Skip to content

පටුනට යන්න

88වෙනි පාඩම

යේසුස්ව අත්අඩංගුවට ගනියි

යේසුස්ව අත්අඩංගුවට ගනියි

යේසුස් නියෝජිතයන් එක්ක කිද්‍රොන් නිම්නය හරහා ඔලීව කන්දට ගියා. ඒ වෙද්දී රෑ 12ත් පහු වෙලා හොඳට හඳ එළියත් තිබුණා. එයාලා ගෙත්සෙමනය උයනට ආවම යේසුස් නියෝජිතයන්ට කිව්වා ‘ඔයාලා මෙතනට වෙලා අවදියෙන් ඉන්න’ කියලා. ලොකු පීඩනයකින් හිටිය යේසුස් උයනේ ටිකක් ඇතුළට ගිහින් දණගහලා යෙහෝවා දෙවිට කිව්වා ‘ඔබේ කැමැත්ත වෙන්න සලස්වන්න’ කියලා. ඒ වෙලාවේ යෙහෝවා දෙවි දේවදූතයෙක්ව එවලා යේසුස්ව දිරිගැන්නුවා. යේසුස් නියෝජිතයන් ළඟට යද්දී එයාලට නින්ද ගිහින්. ඒ නිසා යේසුස් මෙහෙම කිව්වා. ‘නැඟිටින්න, මේක නිදියන්න වෙලාවක් නෙවෙයි. මාව සතුරන් අතට පාවලා දෙන වෙලාව ළං වෙලා.’

යේසුස් හුඟක් වෙලාවට නියෝජිතයන් එක්ක ඒ තැනට එන නිසා යූදස් හිතුවා යේසුස් එතැන ඇති කියලා. වැඩි වෙලාවක් යන්න කලින් කඩු අතේ තියන් හිටිය කට්ටියක්ව එයා එක්කන් ආවා. යේසුස්ව අඳුනගන්න ලකුණක් යූදස් එයාලට දීලයි තිබුණේ. එයා කෙළින්ම යේසුස් ළඟට ගිහින් ‘සුබ දවසක් වේවා ගුරුතුමනි’ කියලා යේසුස්ව සිඹගත්තා. එතකොට යේසුස් ඇහුවා ‘ඔයා මාව පාවලා දෙන්නේ මෙහෙමද’ කියලා.

ඇවිත් හිටිය කට්ටියගෙන් යේසුස් ඇහුවා ‘ඔයාලා හොයන්නේ කාවද’ කියලා. ‘නාසරෙත් නුවරෙන් ආපු යේසුස්ව’ කියලා එයාලා කිව්වම යේසුස් කිව්වා ‘ඒ මමයි’ කියලා. එතකොට එයාලා බය වෙලා පස්සෙන් පස්සට ගිහින් බිම වැටුණා. යේසුස් ආයෙත් ඇහුවා ‘ඔයාලා හොයන්නේ කාවද’ කියලා. එයාලා කිව්වා ‘නාසරෙත් නුවරෙන් ආපු යේසුස්ව’ කියලා. එතකොට යේසුස් කිව්වා ‘ඒ මමයි කියලා කිව්වනේ. මෙයාලට යන්න දෙන්න’ කියලා.

ඒ වෙලාවේ පේතෘස් කඩුවක් අරන් උත්තම පූජකයාගේ දාසයා වුණු මැල්කස්ගේ කන කපලා දැම්මා. හැබැයි යේසුස් එයාගේ තුවාලේ සුව කරලා පේතෘස්ට මෙහෙම කිව්වා. ‘කඩුව අහකට දාන්න. ඔයා කඩුවෙන් සටන් කළොත් ඔයාටත් කඩුවෙන්ම මැරෙන්න වෙයි.’ ඇවිත් හිටිය අය යේසුස්ව අල්ලගෙන අත් බැන්ඳාම නියෝජිතයන් පැනලා ගියා. යේසුස්ව මුලින්ම ගෙනිච්චේ නායක පූජක අන්නස් ළඟට. එයා යේසුස්ගෙන් ප්‍රශ්න ඇහුවට පස්සේ කිව්වා යේසුස්ව උත්තම පූජක කායෆස් ළඟට ගෙනියන්න කියලා.

“ඔබට මේ ලෝකයෙන් නොයෙකුත් පීඩා ඇති වෙයි. නමුත් කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා.”—යොහන් 16:33