Skip to content

පටුනට යන්න

89වෙනි පාඩම

පේතෘස් යේසුස්ව අඳුනන්නේ නැහැ කියයි

පේතෘස් යේසුස්ව අඳුනන්නේ නැහැ කියයි

යේසුස් නියෝජිතයන් එක්ක උඩුමහල් කාමරයේ හිටිය වෙලේ එයාලට කිව්වා ‘අද රෑ ඔයාලා හැමෝම මාව දාලා යනවා’ කියලා. එතකොට පේතෘස් කිව්වා ‘අපෝ නෑ, අනිත් අය ගියත් මං නං ඔබව දාලා යන්නේ නෑ’ කියලා. ඒත් යේසුස් කිව්වා ‘කුකුළෙක් හඬලන්න කලින් ඔයා මාව දන්නේ නැහැ කියලා තුන්පාරක්ම කියයි’ කියලා.

යේසුස්ව අත්අඩංගුවට ගත්ත අය ඔහුව කායෆස්ගේ ගෙදරට ගෙනිච්ච වෙලේ නියෝජිතයන් හැමෝම වගේ ඔහුව දාලා ගිහිල්ලයි තිබුණේ. හැබැයි දෙන්නෙක් යේසුස්ගේ පස්සෙන් ආවා. එක් කෙනෙක් පේතෘස්. එයා කායෆස්ගේ ගෙදර ඇතුල් මළුවේ තිබුණු ගිනි මැලයක් ළඟ ඉඳගෙන ඉද්දී සේවිකාවක් එයාව දැකලා කිව්වා ‘ඔයත් යේසුස් එක්ක හිටියා නේද’ කියලා.

පේතෘස් කිව්වා ‘ඔයා මොනවා කියවනවද කියලා මට නම් තේරෙන්නෑ’ කියලා. ඊටපස්සේ එයා එතැනින් ගියාම තවත් කෙනෙක් කිව්වා ‘මෙයත් යේසුස් එක්ක හිටිය කෙනෙක්’ කියලා. එතකොට පේතෘස් කිව්වා ‘මං යේසුස්ව දන්නෙවත් නෑ’ කියලා. තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ඔයා කතා කරන විදිහෙන්ම තේරෙනවා ඔයත් යේසුස් වගේ ගලීලයෙන් ආපු කෙනෙක් කියලා.’ ඒ වෙලාවේ පේතෘස් දිවුරලා කිව්වා ‘මං එයාව දන්නේ නෑ’ කියලා.

එතකොටම කුකුළෙක් හැඬලුවා. යේසුස් ඒ වෙලාවේ පේතෘස් දිහා බැලුවම පේතෘස්ට ලොකු දුකක් දැනුණු නිසා එයා එළියට ගිහින් හොඳටම ඇඬුවා.

මන්ත්‍රණ සභාව යේසුස්ගේ නඩු විභාගය අහන්න කායෆස්ගේ ගෙදරට ඇවිල්ලයි හිටියේ. යේසුස්ව මරන්න එයාලා තීරණය කරලා තිබුණත් ඒකට සාක්ෂියක් තිබුණේ නැහැ. ඒ නිසා කායෆස් යේසුස්ගෙන් ඇහුවා ‘ඔබ දෙවිගේ පුතාද’ කියලා. ‘මං තමයි’ කියලා යේසුස් කිව්වම කායෆස් කිව්වා ‘ඒක දේවඅපහාසයක්, අපිට තවත් සාක්ෂි ඕනෙ නෑ’ කියලා. මන්ත්‍රණ සභාවත් කිව්වා ‘මෙයාව මරන්න’ කියලා. එයාලා යේසුස්ගේ කම්මුලට ගහලා, කෙළත් ගහලා ඇස් බැඳලා ගහන ගමන් කිව්වා ‘ඔබ අනාගතවක්තෘවරයෙක් නම් ඔබට ගහපු කෙනාව කියන්න’ කියලා.

එළිය වැටුණම එයාලා යේසුස්ව මන්ත්‍රණ සභාවේ ශාලාවට අරන් ගිහින් ඇහුවා ‘ඔබ දෙවිගේ පුතාද’ කියලා. එතකොට යේසුස් කිව්වා ‘ඒ මමයි කියලා ඔබම කියනවනේ’ කියලා. ඊටපස්සේ එයාලා යේසුස් දෙවිට අපහාස කළා කියලා චෝදනා කරලා යේසුස්ව රෝම ආණ්ඩුකාරයා වුණු පොන්තියුස් පිලාත් ළඟට අරන් ගියා.

‘නමුත් ඔබ සියලුදෙනාම මාව තනි කර දමනවා. ඇත්තෙන්ම ඒ දේ සිදු වන වේලාව අත ළඟයි. කොහොමවුණත් පියාණන් මා සමඟ සිටිනවා. ඒ නිසා මම තනි වන්නේ නැහැ.’—යොහන් 16:32