Skip to content

පටුනට යන්න

92වෙනි පාඩම

යේසුස් මුහුදු වෙරළේදී ගෝලයන්ව හම්බ වෙයි

යේසුස් මුහුදු වෙරළේදී ගෝලයන්ව හම්බ වෙයි

ටික දවසකට පස්සේ පේතෘස් ගලීල මුහුදේ මාළු අල්ලන්න ගියා. තෝමස්, යාකොබ්, යොහන් එක්ක තව ගෝලයෝ ටිකදෙනෙකුත් පේතෘස් එක්ක ගියා. මුළු රෑම දැල එලාගෙන හිටියත් එයාලට මාළු අහු වුණේ නැහැ.

පහුවෙනිදා උදෙන්ම එයාලා දැක්කා කවුද කෙනෙක් වෙරළේ ඉන්නවා. ඒ කෙනා එයාලගෙන් ඇහුවා ‘ඔයාලා මාළු ඇල්ලුවාද’ කියලා. ‘නැහැ’ කියලා ගෝලයෝ කිව්වාම ඒ කෙනා කිව්වා ‘ඔරුවේ දකුණු පැත්තට දැල දාන්න’ කියලා. එහෙම කළාම එයාලට දැල ඇදගන්නත් බැරි තරමට ඒකට මාළු අහු වුණා. ‘ඒ අපේ ස්වාමීන්’ කියලා යොහන් කිව්වාම පේතෘස් වතුරට පැනලා වෙරළට පීනගෙන ගියා. අනිත් අය ඔරුවෙම ආවා.

වෙරළට ආවාම එයාලා දැක්කා අඟුරු දල්වලා ඒ උඩ මාළුත් ඒ ළඟම රොටිත් තියෙනවා. යේසුස් එයාලට කිව්වා අල්ලපු මාළු ටිකකුත් අරගෙන එන්න කියලා. ඊටපස්සේ කෑම කන්න එන්න කියලා එයාලට කතා කළා.

කෑවාට පස්සේ යේසුස් පේතෘස්ගෙන් ඇහුවා ‘මාළු අල්ලනවාට වඩා ඔයා මට ආදරෙයිද’ කියලා. එතකොට පේතෘස් කිව්වා ‘ඔව් ස්වාමීනි ඔබ ඒක දන්නවානේ’ කියලා. ‘මගේ බැටළු පැටවුන්ව පෝෂණය කරන්න’ කියලා යේසුස් කිව්වා. යේසුස් ආයෙත් ‘ඔයා මට ආදරෙයිද’ කියලා පේතෘස්ගෙන් ඇහුවාම ‘ඔබ ඒක දන්නවානේ’ කියලා එයා කිව්වා. එතකොට යේසුස් කිව්වා ‘මගේ කුඩා බැටළුවන්ව බලාගන්න’ කියලා. තුන්වෙනි පාරත් ඒකම ඇහුවාම පේතෘස්ට ගොඩක් දුක හිතුණා. ‘ස්වාමීනි මගේ හිතේ ඔබ ගැන කොයි තරම් ආදරයක් තියෙනවාද කියලා ඔබ දන්නවානේ’ කියලා පේතෘස් කිව්වාම යේසුස් මෙහෙම කිව්වා. ‘මගේ කුඩා බැටළුවන්ව පෝෂණය කරන්න.’

“එවිට ඔහු [යේසුස්] මා පසුපස එන්න. මම ඔබව මසුන් අල්ලන්නන් වෙනුවට මිනිසුන් අල්ලන්නන් කරනවාකියා ඔවුන්ට කීවේය. ඔවුහු ඒ මොහොතේම දැල් පසෙක තබා ඔහු අනුව ගියෝය.”—මතෙව් 4:19, 20