Skip to content

පටුනට යන්න

93වෙනි පාඩම

යේසුස් ස්වර්ගයට යයි

යේසුස් ස්වර්ගයට යයි

යේසුස් ගලීලයේදී ආයෙත් ඔහුගේ ගෝලයන්ව හම්බ වෙලා එයාලට කරන්න ගොඩක් වැදගත් වැඩක් භාර දුන්නා. යේසුස් මෙහෙම කිව්වා. ‘හැම රටකම ඉන්න මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න. මං ඔයාලට උගන්නපු දේවල් එයාලට කියලා දෙන්න. එයාලව බව්තීස්ම කරන්න. මං හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා.’

යේසුස්ව නැවත නැඟිටෙව්වාට පස්සේ දවස් 40ක් යන කල් ඔහු ගලීලයෙත් යෙරුසලමෙත් හිටපු ගෝලයන්ට හුඟක් දේවල් ඉගැන්නුවා. හුඟක් පුදුම දේවලුත් කළා. අන්තිම වතාවට ඔහුගේ නියෝජිතයන්ව ඔලීව කන්දේදී හම්බ වෙලා ඔහු මෙහෙම කිව්වා. ‘මගේ පියාණන් ඔයාලට දෙන්න පොරොන්දු වුණ දේ දෙන කල් යෙරුසලමට වෙලා බලාගෙන ඉන්න.’

නියෝජිතයන්ට ඔහු කියපු දේ තේරුණේ නැති නිසා එයාලා ඇහුවා ‘ඔබ ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වෙන්නද යන්නේ’ කියලා. එතකොට යේසුස් මෙහෙම කිව්වා. ‘මාව රජ කරන්නේ කවදාද කියලා තීරණය කරන්නේ යෙහෝවා දෙවි. ඉක්මනටම ඔයාලට දෙවිගේ බලය ලැබෙයි. එතකොට ඔයාලා මගේ සාක්ෂිකරුවන් වෙයි. යෙරුසලමෙත් යුදයෙත් සමාරියෙත් පොළොවේ දුර ඈත කෙළවරවල්වලත් දේශනා කරන්න.’

ඊටපස්සේ යේසුස් ටිකෙන් ටික අහසට යද්දී වලාකුළකින් ඔහුව වැහිලා යන විදිහ ගෝලයන් දැක්කා.

පස්සේ ගෝලයෝ යෙරුසලමට ගියා. එහෙදී එයාලා නිතරම වගේ උඩ තට්ටුවක තිබුණු කාමරයක එකතු වෙලා යාච්ඤා කළා. එයාලා බලාගෙන හිටියේ කරන්න ඕනෙ මොනවද කියලා යේසුස් දැනුම් දෙන කල්.

“රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14