Skip to content

පටුනට යන්න

94වෙනි පාඩම

ගෝලයන්ට දෙවිගේ බලය ලැබෙයි

ගෝලයන්ට දෙවිගේ බලය ලැබෙයි

යේසුස් ස්වර්ගයට ගිහින් දවස් දහයකට පස්සේ ඒ කියන්නේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී ගෝලයන්ට දෙවිගේ බලය ලැබුණා. එදා පාස්කු උත්සවයට හුඟක් තැන්වලින් සෙනඟ යෙරුසලමට ඇවිල්ලයි හිටියේ. එහේ උඩ තට්ටුවක තිබුණු කාමරයක ගෝලයෝ 120දෙනෙක් විතර එකතු වෙලා හිටියා. එකපාරටම තද හුළඟක් හමනවා වගේ ලොකු සද්දයක් ඇහුණා. ඒත් එක්කම හැම ගෝලයෙක්ගෙම ඔළුවට උඩින් ගිනි දැල්ලක් වගේ දෙයක් පේන්න තිබුණා. ඊටපස්සේ එයාලට වෙන භාෂාවලින් කතා කරන්න පුළුවන් වුණා.

තද හුළඟක් හමන සද්දේ වෙන රටවලින් ආපු අයටත් ඇහුණා. එයාලා ඉක්මනටම ගෝලයෝ හිටපු ගෙදරට ගියා. ගෝලයෝ වෙන භාෂාවලින් කතා කරනවා ඇහිලා එයාලා මෙහෙම කිව්වා. ‘මේ ගලීලයේ අය නේද, එයාලා කොහොමද අපේ භාෂාවලින් කතා කරන්නේ?’

ඊටපස්සේ පේතෘස් නියෝජිතයන් එක්ක මිනිසුන් ඉස්සරහට ගියා. යේසුස්ව මැරුවේ කොහොමද කියලත් යෙහෝවා දෙවි ඔහුව නැවත නැඟිටෙව්වා කියලත් කිව්වට පස්සේ පේතෘස් මෙහෙම කිව්වා. ‘දැන් යේසුස් ඉන්නේ ස්වර්ගයේ දෙවිගේ දකුණු පැත්තේ. ඔහු පොරොන්දු වුණා වගේම දෙවිගේ බලය අපිට දුන්නා. ඒ නිසයි මේ පුදුමාකාර දේවල් සිද්ධ වෙන්නේ.’

ඒක එයාලගේ හිතට තදින්ම දැනුණා. ඒ නිසා එයාලා ඇහුවා ‘අපි දැන් මොනවද කරන්න ඕනෙ’ කියලා. පේතෘස් මෙහෙම කිව්වා. ‘වැරදි ගැන පසුතැවිලා යේසුස්ගේ නාමයෙන් බව්තීස්ම වෙන්න. එතකොට ඔයාලටත් දෙවිගේ බලය ලැබෙයි.’ එදා 3,000ක් විතර බව්තීස්ම වුණා. එදා ඉඳන් යෙරුසලමේ ගෝලයන්ගේ ගාණ එන්න එන්නම වැඩි වුණා. දෙවිගේ උදව්ව ලැබුණු නිසා නියෝජිතයන් හුඟක් සභාවන් පිහිටුවලා යේසුස් එයාලට කරන්න කිව්ව හැම දෙයක් ගැනම අලුත් ගෝලයන්ට කියලා දුන්නා.

“‘ඔබේම දිව අග තිබෙන ඒ වචන’ එනම්, යේසුස් ස්වාමීන් බව ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි. එලෙසම දෙවි ඔහුව මරණයෙන් නැඟිටෙවූ බව ඔබ ඔබේ මුළු හදවතින්ම පිළිගෙන ඒ කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. ඔබ එසේ කළොත් ඔබව ගලවනු ලැබේ.”—රෝම 10:9