Skip to content

පටුනට යන්න

95වෙනි පාඩම

එයාලව නතර කරන්න කිසි දේකට බැරි වුණා

එයාලව නතර කරන්න කිසි දේකට බැරි වුණා

ඇවිදින්න බැරිව හිටපු කෙනෙක් හැමදාම දේවමාලිගාව ළඟ හිඟමන් ඉල්ලමින් හිටියා. දවසක් එයා පේතෘස්වයි යොහන්වයි දැකලා ‘අනේ මට කීයක් හරි දෙන්න’ කියලා කිව්වම පේතෘස් මෙහෙම කිව්වා. ‘සල්ලිවලට වඩා වටින දෙයක් මං ඔයාට දෙන්නම්. යේසුස්ගේ නාමයෙන් නැඟිටලා ඇවිදින්න.’ එතකොටම එයා ඇවිදින්න පටන්ගත්තා. ඒක දැකලා සෙනඟ මොන තරම් සතුටු වුණාද කියනවා නම් හුඟදෙනෙක් යේසුස්ගේ ගෝලයන් වුණා.

ඒත් කේන්තියෙන් හිටිය පූජකයනුයි සද්දුසිවරුයි නියෝජිතයන්ව නඩු අහන තැනට අරන් ගිහින් මෙහෙම ඇහුවා. ‘මේ මිනිසාව සුව කරන්න කවුද ඔයාලට බලය දුන්නේ?’ ‘ඔයාලා මරලා දැම්ම යේසුස්’ කියලා පේතෘස් කිව්වම එයාලා කෑගහලා කිව්වා ‘යේසුස් ගැන කතා කරන්න එපා’ කියලා. ‘යේසුස් ගැන කතා කරන එක අපි නවත්තන්නේ නැහැ’ කියලා නියෝජිතයන් කිව්වා.

පේතෘස්වයි යොහන්වයි නිදහස් කළාට පස්සේ එයාලා අනිත් ගෝලයන් ළඟට ගිහින් වෙච්ච දේ කිව්වා. එයාලා හැමෝම දෙවිට කිව්වා ‘දෙවියනි, භය නැතුව දිගටම දේශනා කරන්න අපිට උදව් කරන්න’ කියලා. යෙහෝවා දෙවි එයාලට බලය දුන්න නිසා දිගටම දේශනා කරන්නත් හුඟක් අයගේ ලෙඩ හොඳ කරන්නත් පුළුවන් වුණා. තව තවත් අය යේසුස්ගේ ගෝලයන් වුණා. ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් හිටපු සද්දුසිවරු නියෝජිතයන්ව හිරේ දැම්මා. ඒත් එදා රෑ යෙහෝවා දෙවි දේවදූතයෙක්ව එවලා හිරගෙදර දොරවල් ඇරියා. දේවදූතයා එයාලට කිව්වා ‘දේවමාලිගාවට ගිහින් උගන්නන්න’ කියලා.

‘හිරගෙදර අගුල් දාලා තිබුණත් කලින් දවසේ අල්ලගත්ත අය දැන් හිරගෙදර නෑ, එයාලා දැන් දේවමාලිගාවේ උගන්නනවා’ කියලා පහුවෙනිදා උදේ සැන්හෙඩ්‍රිනයට ඒ කියන්නේ ආගමික නායකයන්ගේ අධිකරණයට දැනගන්න ලැබුණා. එයාලා නියෝජිතයන්ව ආයෙත් සැන්හෙඩ්‍රිනයට ගෙනාවා. එතන හිටිය උත්තම පූජකයා එයාලගෙන් මෙහෙම ඇහුවා. ‘යේසුස් ගැන කතා කරන්න එපා කියලා අපි ඔයාලට කිව්වා නේද?’ එතකොට පේතෘස් කිව්වා ‘අපි කීකරු වෙන්න ඕනෙ මිනිසුන්ට නෙමෙයි දෙවිටයි’ කියලා.

ආගමික නායකයන්ට ඕන වුණේ නියෝජිතයන්ව මරන්න. ඒත් ගමාලියෙල් කියන පරිසිවරයා මෙහෙම කිව්වා. ‘දෙවියන් මේ මිනිසුන්ට උදව් කරනවා ඇති. ඔයාලට ඕනෙ දෙවියන් එක්ක සටන් කරන්නද?’ ඒ නිසා ආගමික නායකයන් නියෝජිතයන්ව මරන්නේ නැතුව එයාලට හොඳටම ගහලා ආයෙත් දේශනා කරන්න එපා කියලා එයාලව නිදහස් කළා. ඒත් එයාලා දිගටම දේවමාලිගාවෙත් ගෙයින් ගෙටත් නිර්භීතව දේශනා කළා.

“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.”—ක්‍රියා 5:29