Skip to content

පටුනට යන්න

96වෙනි පාඩම

යේසුස් සාවුල්ව තෝරගනියි

යේසුස් සාවුල්ව තෝරගනියි

සාවුල් කියන්නේ ටාසස් කියන නුවරේ ඉපදුණු රෝම පුරවැසියෙක්. එයා යුදෙව් නීතිය ගැන හොඳ දැනුමක් තිබුණු පරිසිවරයෙක්. ක්‍රිස්තියානීන් එක්ක හුඟක් තරහින් හිටිය සාවුල් එයාලව අල්ලගෙන හිරේ දැම්මා. ස්තේපන් කියන ගෝලයාට මිනිසුන් ගල් ගහලා මරපු වෙලාවෙත් සාවුල් එතන හිටියා.

සාවුල් යෙරුසලමේ හිටිය ක්‍රිස්තියානීන්ව විතරක් හිර කරලා නතර වුණේ නැහැ. එයා නායක පූජකයා ළඟට ගිහින් කිව්වා දමස්කයට ගිහින් එහේ ඉන්න ක්‍රිස්තියානීන්ව අල්ලගන්න අවසර දෙන්න කියලා. සාවුල් දමස්කයට ළං වෙද්දී එකපාරටම තද එළියක් වැටිලා එයාව බිමට ඇදගෙන වැටුණා. ‘සාවුල්, ඔබ මට පීඩා කරන්නේ ඇයි’ කියලා කවුද කෙනෙක් අහනවා එයාට ඇහුණා. එතකොට එයා ඇහුවා ‘ඔබ කවුද’ කියලා. ‘මම යේසුස්. ඔයා දැන් දමස්කයට යන්න. කරන්න ඕන දේ එහෙදී ඔයාට දැනගන්න ලැබෙයි’ කියලා කියනවා එයාට ඇහුණා. ඒ වෙලාවේ ඉඳන් එයාට කිසි දෙයක් පෙනුණේ නැහැ. එයාව නගරයට එක්කන් ගියේ එයාගේ අතින් අල්ලගෙනයි.

දමස්කයේ හිටියා දෙවිට විශ්වාසවන්තව වැඩ කරපු අනනියස් කියලා කෙනෙක්. යේසුස් අනනියස්ට දර්ශනයකින් පෙනිලා මෙහෙම කිව්වා. ‘කෙළින් වීථියේ ඉන්න යූදස් කියන කෙනාගේ ගෙදරින් සාවුල් ගැන අහන්න.’ එතකොට අනනියස් කිව්වා ‘ස්වාමීනී මං එයා ගැන දන්නවා. එයා තමයි අපේ සහෝදරයන්ව හිරගෙට දාන්නේ’ කියලා. ඒත් යේසුස් මෙහෙම කිව්වා. ‘එයා ළඟට යන්න. හුඟක් ජාතීන්ට දේශනා කරන්න මං සාවුල්ව තෝරගෙන තියෙනවා.’

අනනියස් සාවුල්ව හොයාගෙන ගිහින් මෙහෙම කිව්වා. ‘මගේ සහෝදර සාවුල්, ඔයාට ආයෙත් පෙනීම ලබා දෙන්න මාව එව්වේ යේසුස්.’ එතකොටම සාවුල්ට පෙනීම ලැබුණා. එයා යේසුස් ගැන ඉගෙනගෙන යේසුස්ගේ ගෝලයෙක් වුණා. සාවුල් බව්තීස්ම වෙලා අනිත් ක්‍රිස්තියානීන් එක්ක සිනගෝගවල දේශනා කරන්නත් පටන්ගත්තා. සාවුල් යේසුස් ගැන උගන්වනවා දැක්කාම අනිත් ක්‍රිස්තියානීන්ට මොනවා හිතෙන්න ඇද්ද! එයාලා මෙහෙම කිව්වා. ‘මේ අර යේසුස්ගේ ගෝලයන්ව අල්ලගෙන ගිහින් හිරගෙට දාපු සාවුල් නේද?’

සාවුල් දමස්කයට වෙලා අවුරුදු තුනක්ම දේශනා කළා. යුදෙව්වන් සාවුල් එක්ක හිටියේ හරිම තරහින්. එයාව මරන්නත් හැදුවා. ඒත් සහෝදරයන් ඒක දැනගෙන එයාව ලොකු කූඩයක දාලා නගරයේ තිබුණු තාප්පේ හිඩසකින් එයාව පහළට බැස්සුවා.

එතනින් සාවුල් ගියේ යෙරුසලමට. එහෙ හිටිය සහෝදරයන් ළඟට යන්න එයාට ඕනෙ වුණත් ඒ සහෝදරයෝ එයාට බය වුණා. ඒත් බානබස් කියන සහෝදරයා සාවුල්ව නියෝජිතයන් ළඟට එක්කන් ගිහින් සාවුල් ඇත්තටම වෙනස් වෙලා කියලා පෙන්නලා දුන්නා. සාවුල් යෙරුසලමේ හිටිය සහෝදරයන් එක්ක එකතු වෙලා උනන්දුවෙන් දේශනා කරන්න පටන්ගත්තා. පස්සේ එයාව හැඳින්නුවේ පාවුල් කියලා.

“ක්‍රිස්තුස් යේසුස් මෙලොවට පැමිණියේ පව්කාරයන්ව ගලවාගැනීමටය. ඒ පව්කාරයන් අතරින් ප්‍රධානතම පව්කාරයා මමය.”—1 තිමෝති 1:15