Skip to content

පටුනට යන්න

97වෙනි පාඩම

කොර්නේලියස්ට දෙවිගේ බලය ලැබෙයි

කොර්නේලියස්ට දෙවිගේ බලය ලැබෙයි

සිසේරියේ හිටියා කොර්නේලියස් කියලා රෝම හමුදාවේ උසස් නිලධාරියෙක්. යුදෙව්වන් එයාට ගෞරවයෙන් සැලකුවා. මොකද එයා දුප්පත් අයට ගොඩක් උදව් කරපු කෙනෙක්. එයා යෙහෝවා දෙවිව විශ්වාස කළා. නිතරම දෙවිට යාච්ඤා කළා. දවසක් දේවදූතයෙක් ඇවිත් එයාට මෙහෙම කිව්වා. ‘දෙවි ඔයාගේ යාච්ඤා ඇහුවා. යොප්පාව කියන නගරයට මිනිසුන් කීපදෙනෙක්ව යවන්න. එහෙ පේතෘස් කියලා කෙනෙක් ඉන්නවා. ඔයා ළඟට එන්න කියලා එයාට කියන්න.’ කොර්නේලියස් මිනිසුන් තුන්දෙනෙක්ව යොප්පාවට යැව්වා.

ඔය අතරේ පේතෘස් යුදෙව්වන්ට කෑමට ගන්න අවසර නැති සත්තු ටිකක් දර්ශනයකින් දැක්කා. කවුරු හරි කෙනෙක් එයාට කිව්වා ඒ සතුන්ව මරලා කන්න කියලා. ‘මම කවදාවත් අපවිත්‍ර සතෙක්ව කෑමට අරන් නැහැ’ කියලා පේතෘස් කිව්වම ඒ කෙනා මෙහෙම කිව්වා. ‘මේ සතුන් අපවිත්‍රයි කියලා කියන්න එපා. දෙවි මේ සතුන්ව පවිත්‍ර කරලයි තියෙන්නේ. මිනිසුන් තුන්දෙනෙක් ඔයාගේ ගෙදර දොර ළඟ ඉන්නවා. එයාලත් එක්ක යන්න.’ පේතෘස් එතනට ගියාම එයාලා මෙහෙම කිව්වා. ‘අපිව එව්වේ කොර්නේලියස්. ඔයාව එයා ළඟට එක්කං යන්නයි අපි ආවේ.’ පේතෘස් එදා එයාලව ගෙදර නවත්තගෙන පහුවෙනිදා උදෙන්ම තවත් ගෝලයන් ටිකදෙනෙක් එක්ක සිසේරියට ගියා.

කොර්නේලියස් පේතෘස්ව දැක්ක ගමන්ම එයා පේතෘස් ඉස්සරහ දණගැහුවා. එතකොට පේතෘස් මෙහෙම කිව්වා. ‘නැඟිටින්න. මමත් ඔයා වගේම මනුෂ්‍යයෙක්. යුදෙව්වන් වෙන ජාතියක කෙනෙක්ගේ ගෙදරකට යන්නේ නැති වුණත් මං ඔයාගේ ගෙදර ආවේ දෙවි කියපු නිසයි. ඇයි ඔයා මට එන්න කිව්වේ?’

‘දවසක් මං යාච්ඤා කරකර ඉද්දී දේවදූතයෙක් මට කිව්වා ඔයාව ගෙන්නගන්න කියලා. අනේ, යෙහෝවා දෙවි කියපු දේවල් ගැන අපිට කියලා දෙන්න’ කියලා කොර්නේලියස් කිව්වම පේතෘස් මෙහෙම කිව්වා. ‘දෙවි හැමෝටම එක විදිහට සලකනවා කියලා මං දැන් දන්නවා. දෙවිට නමස්කාර කරන්න කැමති ඕන කෙනෙක්ව ඔහු පිළිගන්නවා.’ පේතෘස් එයාලට යේසුස් ගැන හුඟක් දේවල් කියලා දුන්නා. එතකොට දෙවිගේ බලය කොර්නේලියස්ටයි එයාගේ පවුලේ අයටයි ලැබිලා එයාලා බව්තීස්ම වුණා.

“කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”—ක්‍රියා 10:35