Skip to content

පටුනට යන්න

98වෙනි පාඩම

ශුභාරංචිය හුඟක් රටවල පැතිරුණා

ශුභාරංචිය හුඟක් රටවල පැතිරුණා

ලෝකේ පුරාම දේශනා කරන්න යේසුස් භාර දීපු වැඩේ නියෝජිතයන් ඒ විදිහටම කළා. ක්‍රි.ව. 47දී අන්තියෝකියේ හිටපු සහෝදරයන් පාවුල්වයි බානබස්වයි දේශනා කරන්න වෙන රටවලට යැව්වා. ඒ දෙන්නා දර්බය, ලිස්ත්‍රාව, ලිකෝනිය වගේ කුඩා ආසියාවට අයිති හුඟක් රටවලට ගිහින් උද්‍යෝගයෙන් දේශනා කළා.

දුප්පත් පොහොසත් තරුණ මහළු හැමෝටම එයාලා දේශනා කළා. හුඟක් අය ශුභාරංචිය පිළිගත්තා. දවසක් පාවුලුයි බානබසුයි සයිප්‍රසයේ ආණ්ඩුකාරයා වුණ සර්ජියස් පාවුලස්ට දේශනා කරද්දී මන්තර ගුරුකම් කරපු කෙනෙක් එයාලව නවත්තන්න හැදුවා. පාවුල් එයාට කිව්වා ‘යෙහෝවා දෙවි ඔයාට පහර දෙයි’ කියලා. එතකොටම එයා අන්ධ වුණා. ඒක දැකපු ආණ්ඩුකාරයා යේසුස්ගේ අනුගාමිකයෙක් වුණා.

පාවුලුයි බානබසුයි ගෙයින් ගෙට, වෙළඳපොළවල, පාරවල්වල, සිනගෝගවල දේශනා කළා. ලිස්ත්‍රාවෙදී එයාලා කොර වෙලා හිටපු කෙනෙක්ව හොඳ කළාම මිනිස්සු ඒ දෙන්නා දෙවිවරු කියලා හිතලා එයාලට නමස්කාර කරන්න හැදුවා. ඒත් ඒ දෙන්නා මෙහෙම කිව්වා. ‘අපි නිකංම මිනිස්සු. දෙවිට විතරක් නමස්කාර කරන්න.’ පස්සේ යුදෙව්වන් ටිකදෙනෙක් ඒ සෙනඟගේ හිත්වල පාවුල් ගැන තරහක් ඇති කළා. ඒ නිසා එයාලා පාවුල්ට ගල් ගහලා නගරයෙන් එළියට දැම්මා. එයාලා හිතුවේ පාවුල් මැරුණා කියලයි. ඒත් එයා මැරුණේ නැහැ. සහෝදරයන් ඇවිත් එයාව නගරයට අරන් ගියා. පස්සේ පාවුල් ආයෙත් අන්තියෝකියට ගියා.

ක්‍රි.ව. 49දී පාවුල් තවත් සංචාරයක් ගියා. කුඩා ආසියාවේ හිටපු සහෝදරයන්ව හමු වුණාට පස්සේ එයා යුරෝපයටත් ගියා. ඇතන්ස්, එෆීසය, ෆිලිප්පිය, තෙසලෝනිකය වගේ තැන්වලටත් ගියා. එයා එක්ක සීලස්, ලූක්, වගේම තිමෝති කියන තරුණයත් ගියා. එයාලා අලුත් සභාවන් පිහිටුවන්න උදව් කරලා ඒ අයගේ විශ්වාසය ශක්තිමත් කළා. පාවුල් අවුරුදු එකහමාරක් විතර කොරින්තියේ නතර වෙලා ඉඳලා සහෝදරයන්ව දිරිගැන්නුවා. එයා එහෙදී දේශනා කළා, ඉගැන්නුවා, හුඟක් සභාවලට ලිපිත් ලිව්වා. එයා කූඩාරම් හදන කෙනෙක් විදිහටත් වැඩ කළා. කාලෙකට පස්සේ පාවුල් ආයෙත් අන්තියෝකියට ගියා.

ක්‍රි.ව. 52දී පාවුල් තුන්වෙනි සංචාරයත් ගියා. කුඩා ආසියාවෙන් පටන් අරන් ෆිලිප්පියටත් කොරින්තියටත් ගියා. අවුරුදු කීපයක්ම එයා එෆීසයේ ඉඳන් මිනිසුන්ට ඉගැන්නුවා. අසනීප අයව සුව කළා. සභාවේ අයට උදව් කළා. සම්මන්ත්‍රණ ශාලාවේදී හැමදාම දේශන ඉදිරිපත් කළා. හුඟක් අය ඒවා අහලා ජීවිත වෙනස් කරගත්තා. අන්තිමේදී එයා යෙරුසලමට ගියා.

“ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.”—මතෙව් 28:19