Skip to content

පටුනට යන්න

99වෙනි පාඩම

සිරගෙයි භාරකරු ශුභාරංචිය පිළිගනියි

සිරගෙයි භාරකරු ශුභාරංචිය පිළිගනියි

ෆිලිප්පියේ හිටියා භූතයෙක් වැහුණු තරුණ සේවිකාවක්. ඒ භූතයා නිසා එයාට පුළුවන් වුණා අනාගතය ගැන කියන්න. ඒකෙන් ඒ සේවිකාවගේ ස්වාමිවරු ගොඩක් සල්ලි හම්බ කළා. පාවුලුයි සීලසුයි ෆිලිප්පියට ආවම ඒ සේවිකාව එයාලා පස්සෙන් දවස් කීපයක්ම ගිහින් ‘මේ මිනිස්සු මහෝත්තම දෙවිගේ සේවකයෝ’ කියලා කෑගැහුවා. අන්තිමට පාවුල් භූතයාට මෙහෙම කිව්වා. ‘යේසුස්ගේ නාමයෙන් මං කියන්නේ මේ තරුණියගෙන් පිටතට එන්න.’ ඒ වෙලාවේම භූතයා පිට වෙලා ගියා.

සල්ලි හම්බ කරන්න බැරි වෙනවා කියලා දැනගත්තම සේවිකාවගේ ස්වාමිවරුන්ට කේන්ති ගියා. එයාලා පාවුල්වයි සීලස්වයි සිවිල් ආණ්ඩුකාරයන් ළඟට එක්කන් ගිහින් මෙහෙම කිව්වා. ‘මේ මිනිස්සු නීති කඩ කරලා නගරයේ කලබල ඇති කරනවා.’ එතකොට ආණ්ඩුකාරයන් කිව්වා ඒ දෙන්නාට ගහලා හිරගෙදරට දාන්න කියලා. හිරගෙදර භාරකරු එයාලව හිරගෙදර ඇතුළටම වෙන්න තිබුණු කළුවර හිරකූඩුවකට දාලා දඬුකදේ ගැහුවා.

ටික වෙලාවකින් ඒ දෙන්නා යෙහෝවා දෙවිට ප්‍රශංසා ගීතිකා කියනවා අනිත් හිරකරුවන්ටත් ඇහුණා. රෑ දොළහට විතර එකපාරටම ලොකු භූමිකම්පාවක් ඇවිත් මුළු හිරගෙදරම හෙල්ලුණා. හිරගෙදර දොරවල් ඇරිලා හිරකරුවන්ගේ විලංගුත් ගැලවුණා. දොරවල් ඇරිලා තියෙනවා දැක්කම හිරගෙදර භාරකරුට හිතුණා හිරකරුවන් පැනලා යන්න ඇති කියලා. ඒ නිසා එයා කඩුව අරන් එයාටම ඇනගන්න හැදුවා.

එතකොටම පාවුල් මෙහෙම කිව්වා. ‘මැරෙන්න එපා. අපි හැමෝම මෙතන ඉන්නවා.’ ඒ වෙලාවේ හිරගෙදර භාරකරු පාවුලුයි සීලසුයි ඉස්සරහ දණ ගහලා ඇහුවා ‘ගැලවීම ලබාගන්න නම් මම මොනවද කරන්න ඕනෙ’ කියලා. එතකොට එයාලා මෙහෙම කිව්වා. ‘ඔයයි පවුලේ අයයි යේසුස්ව විශ්වාස කරන්න.’ ඊටපස්සේ පාවුලුයි සීලසුයි එයාලට ශුභාරංචිය ගැන කිව්වම හිරගෙදර භාරකරුත් පවුලේ හැමෝමත් බව්තීස්ම වුණා.

“මිනිසුන් ඔබව අල්ලාගෙන සිනගෝගවලටත් සිරගෙවල්වලටත් භාර දී ඔබට පීඩා කරයි. ඔබ මගේ නාමය දරන නිසා ඔබව රජුන් සහ ආණ්ඩුකාරයන් ඉදිරියට ඇදගෙන යනු ලබයි. එයින් ඔබට සාක්ෂි දරන්න ප්‍රස්තාවක් උදා වෙයි.”—ලූක් 21:12, 13