Skip to content

පටුනට යන්න

101වෙනි පාඩම

පාවුල් රෝමයට ගිය ගමන

පාවුල් රෝමයට ගිය ගමන

පාවුල් ගිය තුන්වෙනි සංචාරය එයා නතර කළේ යෙරුසලමෙන්. එයාව එහෙදී අත්අඩංගුවට අරන් හිරේට දැම්මා. රෑ දර්ශනයකින් යේසුස් පාවුල්ට මෙහෙම කිව්වා. ‘ඔයා රෝමයට ගිහින් දේශනා කරයි.’ පස්සේ පාවුල්ව සිසේරියට යවලා එහෙදී අවුරුදු දෙකක්ම හිරේ දාලා තිබුණා. දවසක් ෆෙස්ටස් කියන ආණ්ඩුකාරයා පාවුල්ගේ නඩුව අහන වෙලාවෙදී පාවුල් කිව්වා ‘මට ඕනෙ රෝමයේ ඉන්න සීසර් මගේ නඩුව අහනවාටයි’ කියලා. ෆෙස්ටස් ඒකට කැමති වෙලා රෝමයට යන නැවකින් පාවුල්ව රෝමයට යැව්වා. ලූක් සහ අරිස්තාකස් කියන සහෝදරයෝ දෙන්නත් එයා එක්ක ගියා.

ගමන යන කොට එයාලගේ නැව දවස් ගාණක් ලොකු කුණාටුවකට අහු වුණා. හැමෝම හිතුවේ එයාලා මැරෙයි කියලා. ඒත් පාවුල් එයාලට මෙහෙම කිව්වා. ‘අපි කවුරුත් මැරෙන්නේ නැහැ. මොකද දේවදූතයෙක් ඇවිත් මට කිව්වා “ඔයා රෝමයට යනවා, නැවේ ඉන්න කිසි කෙනෙකුට මුකුත් වෙන්නේ නැහැ, බය වෙන්න එපා” කියලා.’

කුණාටුව පටන් අරන් දවස් 14කට පස්සේ එයාලා ගොඩබිමක් දැක්කා. ඒ මෝල්ටා කියන දූපත. නැව වෙරළට ළං වෙද්දී ඒක වැලි කන්දක වැදිලා කෑලි කෑලිවලට කැඩුණා. ඒත් නැවේ හිටපු 276දෙනාටම කිසිම කරදරයක් වුණේ නැහැ. සමහරු පීනගෙන ගොඩබිමට ආවා. අනිත් අය නැවේ ලෑලි අල්ලගෙන පාවෙලා ආවා. මෝල්ටාවේ අය සීතලෙන් හිටපු එයාලට ගිනි ගොඩක් ගහලා දීලා එයාලව හොඳින් බලාගත්තා.

මාස තුනකට පස්සේ සෙබළු වෙන නැවකින් පාවුල්ව රෝමයට අරන් ගියා. රෝමයේදී එයාව පිළිගන්න සහෝදරයෝ ඇවිල්ලා ඉන්නවා දැක්කාම එයාට දැනුණේ ලොකු ශක්තියක්. ඒ ගැන එයා යෙහෝවා දෙවිට ස්තූති කළා. පාවුල් හිරකාරයෙක් වුණත් රෝමයේදී එයාට ගෙයක් කුලියට අරන් ඉන්න ඉඩ දීලයි තිබුණේ. ඒත් සෙබළෙක් හැම තිස්සෙම එයාව මුර කරගෙන හිටියා. එයා එහෙ අවුරුදු දෙකක්ම හිටියා. පාවුල් එයාව බලන්න ආපු අයට දේශනා කළා. ඒ විතරක් නෙමෙයි කුඩා ආසියාවෙත් යුදයෙත් තිබුණු සභාවලට ලිපි ලිව්වා. වෙන ජාතීන්වල අයට දේශනා කරන්න යෙහෝවා දෙවි පාවුල්ව යොදාගත්තා කියලා හොඳටම පැහැදිලියි.

‘දෙවිගේ සේවකයන් වීමට අපට තිබෙන සුදුසුකම් අපි සෑම අයුරින්ම ඔප්පු කර පෙන්වන්නෙමු. එසේ කරන්නේ බොහෝ දේ විඳදරාගැනීමෙන්, පීඩාවලට මුහුණ දීමෙන්, අගහිඟකම් ඇතුව සිටීමෙන් සහ දුෂ්කරතා අද්දැකීමෙනුයි.’—2 කොරින්ති 6:4