Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

දයාබර සහෝදර සහෝදරියනි,

යෙහෝවා දෙවිට නමස්කාර කරන අය විදිහට අපි ඔහුගේ වචනය වන බයිබලයට ගොඩක් ඇලුම් කරනවා. ඒකෙ තියෙන ඉතිහාස වාර්තා නිවැරදියි කියලත් අපේ ජීවිතේට අත්‍යවශ්‍ය මඟ පෙන්වීම් ඒකෙ තියෙනවා කියලත් මිනිසුන් ගැන දෙවිගේ හිතේ තියෙන ආදරය ඒ පොතේ පැහැදිලිව පෙන්නලා තියෙනවා කියලත් අපිට කිසිම සැකයක් නැහැ. (ගීතාවලිය 119:105; ලූක් 1:3; 1 යොහන් 4:19) බයිබලයේ තියෙන ඒ වටිනා තොරතුරු ගැන ඉගෙනගන්න අනිත් අයට උදව් කරන්න අපි හුඟක් ආසයි. ඒ නිසා ‘බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්’ කියන මේ පොත අපි ඔයාලට දෙන්නේ හද පිරි සතුටින්.

මේ පොත විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ දරුවන්ට. ඒ වුණත් බයිබලය ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න වැඩිහිටියන්ට උදව් කරන්නත් මේ පොත යොදාගන්න පුළුවන්. බයිබලය කියන්නේ අපි හැමෝම වෙනුවෙන් ලියවුණු පොතක් නිසා බයිබලයේ තියෙන සිද්ධීන් මේ පොතෙන් ආයෙත් කියවද්දී හුඟක් ප්‍රයෝජන ලබන්නත් ලොකු සතුටක් අද්දකින්නත් අපිට පුළුවන්.

දෙවි හැම දෙයක්ම නිර්මාණය කරපු අවස්ථාවේ ඉඳන් මිනිස් පවුලේ සිද්ධ වුණු දේවල් මේ පොතේ තියෙනවා. බයිබලයේ තියෙන සිද්ධීන් සරලව ඉදිරිපත් කරන්නත් පුළුවන් හැම අවස්ථාවකම ඒවා සිද්ධ වුණු අනුපිළිවෙළටම ඉදිරිපත් කරන්නත් අපි උත්සාහ කළා.

මේ පොත බයිබලයේ සිද්ධීන් ඇතුළත් කරලා සකස් කරපු නිකම්ම නිකම් කතන්දර පොතක් නෙමෙයි. මේ පොතේ තියෙන තොරතුරුත් පින්තූරත් සකස් කරලා තියෙන්නේ ඒ සිද්ධීන්වල ඉන්න චරිතවලට පණපොවමින් ඒ අයගේ හැඟීම් තේරුම්ගන්න පුළුවන් වෙන විදිහටයි.

බයිබලයේ තියෙන්නේ ඇත්තටම ජීවත් වුණු මිනිසුන්ගේ අද්දැකීම් කියලා තේරුම්ගන්න මේ පොත අපිට උදව් වෙනවා. යෙහෝවා දෙවිට කීකරු වුණු වගේම අකීකරු වුණු බයිබල් චරිතවලින් වටිනා පාඩම් ඉගෙනගන්න මේ පොත අපිට උදව් වෙයි. (රෝම 15:4; 1 කොරින්ති 10:6) මේ පොතේ කොටස් 14ක් තියෙනවා. ඒ හැම කොටසක්ම පටන්ගද්දී ඒකෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් කීපයක් ගැන සාරාංශයක් තියෙනවා.

ඔයා දෙමාපියෙක් නම් දරුවා එක්ක පාඩමක් කියවලා ඒකෙ තියෙන පින්තූර ගැනත් එයා එක්ක කතා කරන්න. ඒ පාඩම පදනම් වෙලා තියෙන බයිබල් පද බයිබලයෙන්ම කියවන්න. බයිබලයෙන් කියවපු පද මේ පොතේ තියෙන පාඩමට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. බයිබලයේ තියෙන පණිවිඩය සරලව තේරුම්ගන්න වැඩිහිටි කෙනෙක්ට උදව් කරන්නත් ඒ හා සමාන ක්‍රමයක් පාවිච්චි කරන එක ප්‍රයෝජනවත් වෙයි.

අවංක හදවත් තියෙන බාල මහලු හැමෝටම දේවවචනයෙන් ඉගෙනගෙන ඒවා ජීවිතේට අදාළ කරගන්න මේ පොත උදව් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රතිඵලයක් විදිහට දෙවිගේ පවුලේ සාමාජිකයන් වෙලා දිගටම යෙහෝවා දෙවිට නමස්කාර කරන්න එයාලටත් පුළුවන් වෙයි.

ඔබේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය