Skip to content

පටුනට යන්න

7වෙනි පාඩම

යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද?

යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද?

යෙහෝවා දෙවියන් ගැන හිතද්දී ඔයාට එන්නේ මොන වගේ අදහසක්ද? ඈත අහසේ තියෙන තරුවක් වගේ කවදාවත් ළං වෙන්න බැරි කෙනෙක් විදිහටද? නැත්නම් භයානක විදුලි කෙටීමක් වගේ හරිම බලවත් හැබැයි කිසිම හැඟීමක් දැනීමක් නැති කෙනෙක් විදිහටද? ඇත්තටම යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද? යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලත් ඔහුට ඔයාව කොච්චර වටිනවාද කියලත් බයිබලයෙන් දැනගන්න පුළුවන්.

1. අපිට දෙවියන්ව පේන්නේ නැත්තේ ඇයි?

“දෙවියන්ව පේන්නේ නැහැ. ඔහු ඉන්නේ ස්වර්ගයේ.” (යොහන් 4:24) යෙහෝවා දෙවියන්ට අපිට වගේ ශරීරයක් නැහැ. ඔහු ඉන්නෙත් අපිට පේන්නේ නැති තැනක, ඒ කියන්නේ ස්වර්ගයේ. ඒ නිසා අපිට ඔහුව පේන්නේ නැහැ.

2. යෙහෝවා දෙවියන්ට තියෙන සමහර ගතිගුණ මොනවාද?

යෙහෝවා දෙවියන්ව පේන්නේ නැති වුණත් ඔහු ලස්සන ගතිගුණ තියෙන සැබෑ කෙනෙක්. ඔහු මොන වගේද කියලා දැනගද්දී අපේ හිතේ ඔහු ගැන ලොකු ආදරයක් ඇති වෙනවා. බයිබලයේ කියන්නේ “යෙහෝවා යුක්තියට ප්‍රිය කෙනෙක්. තමන්ව අත්හරින්නේ නැති අයව ඔහුත් කවදාවත් අත්හරින්නේ නැහැ” කියලා. (ගීතාවලිය 37:28) ඒ වගේම ඔහු “ලොකු සෙනෙහසක් පෙන්නන, දයාවන්ත දෙවි කෙනෙක්.” දුක් විඳින අය ගැන ඔහු විශේෂ සැලකිල්ලක් පෙන්නනවා. (යාකොබ් 5:11) “යෙහෝවා බිඳුණු සිත් ඇති අය ළඟින්ම ඉන්නවා. අධෛර්යය වුණ අයව ඔහු බේරගන්නවා.” (ගීතාවලිය 34:18, පාදසටහන) ඔයා කරන දේවලින් යෙහෝවා දෙවියන්ව දුකට නැත්නම් සතුටට පත් කරන්න පුළුවන් කියලා ඔයා දැනන් හිටියාද? ඔයා වැරදි දේවල් කරද්දී දෙවියන්ට ලොකු දුකක් දැනෙනවා. (ගීතාවලිය 78:40, 41) හැබැයි ඔයා හරි දේ කරද්දී ඔහුට දැනෙන්නේ ලොකු සතුටක්.—හිතෝපදේශ 27:11 කියවන්න.

3. අපිට ආදරෙයි කියලා යෙහෝවා දෙවියන් පෙන්නන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන්ගේ කැපීපේනම ගුණාංගය තමයි ආදරේ. බයිබලයේ කියන්නේ “දෙවියන් තමයි ආදරය” කියලා. (1 යොහන් 4:8) යෙහෝවා දෙවියන්ට අපි ගැන තියෙන ආදරේ බයිබලයෙන් විතරක් නෙමෙයි ඔහු හදලා තියෙන දේවලිනුත් දකින්න පුළුවන්. (ක්‍රියා 14:17 කියවන්න.) දෙවියන් අපිව හදලා තියෙන විදිහ ගැන හිතන්න. ලස්සන ලස්සන පාට දකින්න, මිහිරි නාද අහන්න, එක එක කෑමවල රස බලන්න පුළුවන් විදිහටයි ඔහු අපිව හදලා තියෙන්නේ. අපි සතුටින් ජීවත් වෙනවා දකින්නයි ඔහුට ඕනේ.

තවත් හොයමු

යෙහෝවා දෙවියන් හැම දේම කරන්න පාවිච්චි කරන්නේ මොකක්ද කියලා දැනගන්න. යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා ඔහු අපිට පෙන්නලා තියෙන්නේ කොහොමද කියන දේ ගැන බලන්න.

4. දෙවියන්ගේ බලය

හැම වැඩක්ම කරන්න අපි අපේ අත් පාවිච්චි කරනවා වගේ යෙහෝවා දෙවියන් හැම දෙයක්ම කරන්න ඔහුගේ බලය a පාවිච්චි කරනවා. දෙවියන් පාවිච්චි කරන ඒ බලය පුද්ගලයෙක් විදිහට බයිබලයේ කොහෙවත් විස්තර කරලා නැහැ. ලූක් 11:13 සහ ක්‍රියා 2:17 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • දෙවියන්ගේ බලය ඉල්ලන අයට ඔහු ඒක “ලබා දෙනවා.” ඉතින් ඔයා හිතනවාද දෙවියන්ගේ බලය පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලා? ඔයා එහෙම කියන්නේ ඇයි?

යෙහෝවා දෙවියන් ඔහුගේ බලය පාවිච්චි කරලා පුදුම දේවල් කරනවා. ගීතාවලිය 33:6 සහ 2 පේතෘස් 1:20, 21 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා දෙවියන් ඔහුගේ බලය පාවිච්චි කරලා මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ?

5. අපිට ආස හිතෙන ගතිගුණ යෙහෝවා දෙවියන්ට තියෙනවා

දෙවියන්ට කාලයක් තිස්සේ සේවය කරපු මෝසෙස්ට දෙවියන් ගැන තවත් දැනගන්න ඕනෙ වුණා. ‘ඔයා වැඩ කරන විදිහ ගැන මට කියලා දෙන්න. එතකොට ඔයාව තවත් හොඳින් දැන හඳුන ගන්න මට පුළුවන්’ කියලා මෝසෙස් දෙවියන්ට කිව්වේ ඒ නිසයි. (නික්මයාම 33:13) ඉතින් යෙහෝවා දෙවියන් ඔහු මොන වගේ කෙනෙක්ද කියලා මෝසෙස්ට විස්තර කළා. නික්මයාම 34:4-6 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවා දෙවියන් තමන් ගැන මෝසෙස්ට කිව්වේ මොනවාද?

  • ඔයා වැඩියෙන්ම ආස යෙහෝවා දෙවියන්ගේ මොන ගතිගුණවලටද?

6. යෙහෝවා දෙවියන් මිනිස්සුන්ට ආදරෙයි

දෙවියන්ගේ සෙනඟ වුණ ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහලුන් වෙලා හිටියා. එයාලා දුක් විඳිද්දී යෙහෝවා දෙවියන්ට දැනුණේ කොහොමද? නික්මයාම 3:1-10 කියවන්න නැත්නම් ඕඩියෝ එක අහන ගමන් ඒ කොටස බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • මිනිස්සු දුක් විඳිද්දී යෙහෝවා දෙවියන්ට දැනෙන විදිහ ගැන මේ සිද්ධියෙන් ඔයා තේරුම්ගත්තේ මොනවාද?—7 සහ 8 පද බලන්න.

  • යෙහෝවා දෙවියන් මිනිස්සුන්ට උදව් කරන්න කැමතියි. ඔහුට ඒක කරන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? එහෙම කියන්නේ ඇයි?

7. පරිසරයේ තියෙන දේවලින් යෙහෝවා දෙවියන් ගැන දැනගන්න පුළුවන්

යෙහෝවා දෙවියන් හදපු දේවලින් ඔහු කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන්. වීඩියෝ එක බලන්න. ඊටපස්සේ රෝම 1:20 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා දෙවියන් හදලා තියෙන දේවලින් දෙවියන්ගේ මොන ගුණාංගද ඔයා දකින්නේ?

සමහරු මෙහෙම කියනවා: “දෙවියන් පුද්ගලයෙක් නෙමෙයි හැම තැනම තියෙන බලවේගයක්.”

  • ඔයා මොකද හිතන්නේ?

  • ඔයා එහෙම හිතන්නේ ඇයි?

ඉගෙනගත්ත දේ

යෙහෝවා දෙවියන්ව පේන්නේ නැති වුණත් ඔහු ලස්සන ගුණාංග තියෙන සැබෑ කෙනෙක්. ආදරේ තමයි ඔහුගේ කැපීපේනම ගුණාංගය.

ඔයා හිතන්නේ මොකක්ද?

  • අපිට යෙහෝවා දෙවියන්ව පේන්නේ නැත්තේ ඇයි?

  • දෙවියන්ගේ බලය පුද්ගලයෙක් නෙමෙයි කියලා කියන්නේ ඇයි?

  • යෙහෝවා දෙවියන්ට තියෙන සමහර ගුණාංග මොනවාද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

යෙහෝවා දෙවියන්ව තවත් හොඳින් අඳුරගන්න ඔහු ගැන ඔයා දැනගන්නම ඕනෙ දේවල් 4ක් බලන්න.

“දෙවියන් මොන වගේ කෙනෙක්ද?” (2019 අංක 1 ‘මුරටැඹ’)

දෙවියන් හැම තැනකම, හැම දේකම ඉන්නවා කියන අදහස හරිද කියලා බලන්න.

“දෙවියන් හැම තැනම ඉන්නවාද?” (වෙබ් ලිපිය)

බයිබලයේ දෙවියන්ගේ බලය ඔහුගේ අත්වලට සමාන කරලා තියෙන්නේ ඇයි කියලා බලන්න.

“ශුද්ධාත්මය කියන්නේ මොකක්ද?” (වෙබ් ලිපිය)

තමන්ට දෙවියන් ආදරේ නැහැ කියලා හිතපු අන්ධ කෙනෙක්ට ඒ අදහස වෙනස් කරගන්න උදව් වුණේ මොනවාද කියලා බලන්න.

“දැන් අනිත් අයටත් උදව් කරන්න මට පුළුවන්” (2015 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’)

a ගොඩක් බයිබල්වල තියෙන්නේ ශුද්ධාත්මය කියලා.