Skip to content

පටුනට යන්න

08 පාඩම

යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන්

යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන්

යෙහෝවා දෙවියන් කැමතියි ඔයා ඔහුව හොඳින් දැන හඳුන ගන්නවාට. මොකද ඔහු මොන වගේ කෙනෙක්ද, ඔහු අනිත් අයට සලකන විදිහ, ඉස්සරහට කරන්න යන දේවල් ගැන දැනගත්තාම ඔහුගේ යාළුවෙක් වෙන්න ඔයාට ආසාවක් ඇති වෙයි කියලා ඔහු දන්නවා. ඒත් ඇත්තටම ඔයාට පුළුවන්ද යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න? (ගීතාවලිය 25:14 කියවන්න.) ඔහුගේ යාළුවෙක් වෙන්න ඔයා මොනවාද කරන්න ඕනේ? ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවා. ඔයාට ඉන්න පුළුවන් හොඳම යාළුවා යෙහෝවා දෙවියන් කියලා කියන්නේ ඇයි කියලත් ඒකේ තියෙනවා.

1. යෙහෝවා දෙවියන් ඔයාගෙන් ඉල්ලන්නේ මොනවා කරන්න කියලාද?

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.” (යාකොබ් 4:8) එතන යෙහෝවා දෙවියන් ඔයාගෙන් ඉල්ලන්නේ ඔහුගේ යාළුවෙක් වෙන්න කියලයි. ඒත් පේන්නේ නැති කෙනෙක්ව කොහොමද යාළුවෙක් කරගන්නේ? යෙහෝවා දෙවියන් ඔහු ගැන දැනගන්න ඕනෙ කරන හැම දෙයක්ම බයිබලයට ඇතුළත් කරලා තියෙනවා. අපි ඒ දේවල් කියවලා තේරුම්ගද්දී දෙවියන්ව අපිට පේන්නේ නැති වුණත් ඔහුගේ කිට්ටු යාළුවෙක් වෙන්න අපිට පුළුවන්.

2. ඔයාට ඉන්න පුළුවන් හොඳම යාළුවා යෙහෝවා දෙවියන් කියන්නේ ඇයි?

යෙහෝවා දෙවියන් තරම් ඔයාට ආදරේ කරන වෙන කවුරුත් නැහැ. ඔහු කැමති ඔයා සතුටින් ඉන්නවාටයි. උදව් ඉල්ලන ඕනෙම වෙලාවක ඔයාට උදව් කරන්න ඔහු බලාගෙන ඉන්නවා. දෙවියන් ‘ඔයා ගැන සැලකිලිමත් වෙන නිසා ඔයාගේ කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම ඔහුට දෙන්න’ ඔයාට පුළුවන්. (1 පේතෘස් 5:7) ඕනෙම වෙලාවක ඔහුගේ යාළුවන්ව සනසන්න, එයාලට උදව් කරන්න, ඇහුම්කන් දෙන්න යෙහෝවා දෙවියන් ආසාවෙන් ඉන්නවා.—ගීතාවලිය 94:18, 19 කියවන්න.

3. දෙවියන් ඔහුගේ යාළුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

යෙහෝවා දෙවියන් මිනිසුන් හැමෝටම ආදරෙයි. හැබැයි ‘ඔහු ළං වෙලා ඉන්නේ අවංක අයට.’ (හිතෝපදේශ 3:32) හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා දෙවියන් කියලා තියෙනවා. දෙවියන් කැමති ඔහුගේ යාළුවන් ඒ දේවල් හිතට අරන් ඒ අනුව ජීවත් වෙනවාට. හැබැයි සමහරු හිතනවා දෙවියන් කියන විදිහටම ජීවත් වෙන්න හුඟක් අමාරුයි කියලා. ඒත් යෙහෝවා දෙවියන් මිනිසුන්ව හොඳට තේරුම්ගන්න කෙනෙක්. අපි ඇත්තටම ඔහුට ආදරෙයි නම්, ඔහුව සතුටු කරන්න අපි ලොකු උත්සාහයක් දරනවා නම් ඔහු අපිව ඔහුගේ යාළුවන් විදිහට පිළිගන්නවා.—ගීතාවලිය 147:11; ක්‍රියා 10:34, 35.

තවත් හොයමු

යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න නම් ඔයා තව කරන්න ඕනෙ මොනවාද කියලත් ඔයාට ඉන්න පුළුවන් හොඳම යාළුවා ඔහු කියලා කියන්නේ ඇයි කියලත් දැනගන්න.

4. ආබ්‍රහම් යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක්

ආබ්‍රහම් (ආබ්‍රම් විදිහටත් හඳුන්වනවා) ගැන බයිබලයේ කියලා තියෙන දේවලින් යෙහෝවා දෙවියන්ගේ යාළුවන් මොන වගේ අයද, ඔහු එයාලට සලකන්නේ කොහොමද කියලා ඉගෙනගන්න පුළුවන්. ආබ්‍රහම් ගැන දැනගන්න උත්පත්ති 12:1-4 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට කරන්න කිව්වේ මොනවාද?

  • යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට පොරොන්දු වුණේ මොනවාද?

  • ආබ්‍රහම් මොනවාද කළේ?

5. යෙහෝවා දෙවියන් කැමති ඔහුගේ යාළුවන් මොනවා කරනවාටද?

අපි සාමාන්‍යයෙන් අපේ යාළුවන්ගෙන් යම් දේවල් බලාපොරොත්තු වෙනවා.

  • ඔයා වෙනුවෙන් ඔයාගේ යාළුවන් මොන වගේ දේවල් කරනවාටද ඔයා කැමති?

1 යොහන් 5:3 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න නම් අපි කරන කියන දේවල්, අපේ ගතිගුණ සමහරවිට අපිට වෙනස් කරගන්න වෙයි. යෙසායා 48:17, 18 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ජීවිතේ වෙනස්කම් කරගන්න කියලා යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන්ගෙන් ඉල්ලන්නේ ඇයි?

හොඳ යාළුවෙක් අපිට සමහර දේවල් කරන්න කියන්නේ අපේ ආරක්ෂාව, යහපත ගැන හිතලයි. යෙහෝවා දෙවියනුත් ඒ වගේ යාළුවෙක්

6. යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන් වෙනුවෙන් කරන්නේ මොනවාද?

ප්‍රශ්නවලට හොඳින් මුහුණ දීලා ඒවා දරාගන්න යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන්ට උදව් කරනවා. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • වීඩියෝ එකේ ඉන්න කාන්තාවට කලකිරීමක් දැනුණ අවස්ථාවලදී යෙහෝවා දෙවියන් එයාට උදව් කළේ කොහොමද?

යෙසායා 41:10, 13 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවා දෙවියන් ඔහුගේ හැම යාළුවෙක් වෙනුවෙන්ම කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ මොනවාද?

  • යෙහෝවා දෙවියන් ඔයාට හොඳ යාළුවෙක් වෙයි කියලා ඔයා හිතනවාද? එහෙම හිතන්නේ ඇයි?

උදව් ඕනෙ හැම වෙලාවකම කිට්ටු යාළුවෝ අපි ළඟ ඉන්නවා. යෙහෝවා දෙවියනුත් ඒ වගේ යාළුවෙක්

7. යෙහෝවා දෙවියන්ගේ හොඳ යාළුවෙක් වෙන්න නම් ඔහු එක්ක කතාබහ කරන්න ඕනේ

නිතරම කතාබහ කරද්දී යාළුවන් අතරේ තියෙන බැඳීම තව වැඩි වෙනවා. ගීතාවලිය 86:6, 11 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අපිට යෙහෝවා දෙවියන් එක්ක කතා කරන්න පුළුවන් කොහොමද?

  • යෙහෝවා දෙවියන් අපි එක්ක කතා කරන්නේ කොහොමද?

අපිට පුළුවන් යාච්ඤාවෙන් දෙවියන් එක්ක කතා කරන්න. ඔහු අපිට කතා කරන්නේ බයිබලය මාර්ගයෙන්

සමහරු මෙහෙම කියනවා: “මිනිස්සුන්ට පුළුවන්ද දෙවියන්ගේ යාළුවෙක් වෙන්න!”

  • දෙවියන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් කියන දේ කෙනෙක්ට පෙන්නන්න ඔයා පාවිච්චි කරන්නේ මොන බයිබල් පදයද?

ඉගෙනගත්ත දේ

යෙහෝවා දෙවියන් කැමතියි ඔයාගේ යාළුවෙක් වෙන්න. ඔහුගේ කිට්ටු යාළුවෙක් වෙන්න ඔහු ඔයාට උදව් කරයි.

ඔයා හිතන්නේ මොකක්ද?

  • යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන්ට උදව් කරන්නේ කොහොමද?

  • ජීවිතේ වෙනස්කම් කරගන්න කියලා යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන්ගෙන් ඉල්ලන්නේ ඇයි?

  • යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන්ගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා කියලා ඔයා හිතනවාද? එහෙම හිතන්නේ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

දෙවියන්ගේ යාළුවෙක් වෙන එකෙන් ඔයාගේ ජීවිතේට සතුටක් ලැබෙන්නේ කොහොමද?

“හඳුනාගැනීමට වටින දෙවි කෙනෙකි යෙහෝවා” (2003 පෙබරවාරි 15 ‘මුරටැඹ’)

යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වුණ නිසා එයාගේ ජීවිතේ බේරුණා කියලා එක කාන්තාවක් කියන්නේ ඇයි කියලා දැනගන්න.

“මරණය ගැන මට තිබුණේ පුදුම බයක්” (2017 අංක 1 ‘මුරටැඹ’)

සමහර යෞවනයන්ට යෙහෝවා දෙවියන් ගැන හැඟෙන විදිහ දැනගන්න.

‘යෙහෝවා දෙවියන්ව ඔයාගේ යාළුවෙක් කරගන්න’ 1:46