Skip to content

පටුනට යන්න

09 පාඩම

යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න

යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න

ඔයාගේ ජීවිතේට හරි මඟ පෙන්වීම් ඕනෙ කියලා ඔයාට හිතෙනවාද? හිතට වධ දෙන ප්‍රශ්නවලට ඔයා උත්තර හොයනවාද? ඔයාට සහනයක් ඕනෙ කියලා දැනිලා තියෙනවාද? යෙහෝවා දෙවියන්ට තව ළං වුණොත් හොඳයි කියලා ඔයාට හිතෙනවාද? යාච්ඤාව ඒ හැම දේටම උදව් වෙනවා. ඒත් යාච්ඤා කරන්න ඕනෙ කොහොමද? දෙවියන් හැම යාච්ඤාවක්ම අහනවාද? දෙවියන් ඔයාගේ යාච්ඤා අහන්න නම් ඔයා මොනවාද කරන්න ඕනේ?

1. අපි යාච්ඤා කරන්න ඕනෙ කාටද? මොනවා ගැනද?

යේසුස් කිව්වා අපි යාච්ඤා කරන්න ඕනෙ ‘ස්වර්ගයේ ඉන්න අපේ පියාණන්’ වන යෙහෝවා දෙවියන්ට විතරයි කියලා. (මතෙව් 6:9) යේසුස් යාච්ඤා කළෙත් යෙහෝවා දෙවියන්ට. අපි යාච්ඤාවෙන් යෙහෝවා දෙවියන් එක්ක කතා කරද්දී ඔහු එක්ක අපිට තියෙන යාළුකම තව වැඩි වෙනවා.

බයිබලේ කියනවා ‘දෙවිගේ කැමැත්තට එකඟව අපි යමක් ඉල්ලලා යාච්ඤා කරද්දී දෙවි ඒ හැම දේකටම සවන් දෙනවා’ කියලා. (1 යොහන් 5:14) ඒ කියන්නේ අපිට ඕනෙම දෙයක් ගැන යාච්ඤා කරන්න පුළුවන්. හැබැයි යාච්ඤා කරද්දී අපි කියන දේවල් දෙවියන් කැමති දේවලට එකඟ වෙන්න ඕනේ. එතකොට තමයි ඔහු අපේ යාච්ඤා අහලා ඒවාට උත්තර දෙන්නේ. අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද කියලා යේසුස් කියලා දුන්නා. (මතෙව් 6:9-13 කියවන්න.) අපේ ප්‍රශ්න ගැන යාච්ඤා කරන්න අපිට පුළුවන්. ඒත් අනිත් අයට උදව් කරන්න කියලා යාච්ඤා කරන්නත් අපි වෙනුවෙන් කරලා තියෙන දේවලට දෙවියන්ට ස්තුති කරන්නත් අපි අමතක කරන්න හොඳ නැහැ.

2. අපි යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?

“ඔබේ හදවතේ ඇති සියල්ල දෙවිට පවසන්න.” (ගීතාවලිය 62:8) ඒ කියන්නේ අපේ හිතේ තියෙන හැම දෙයක්ම අපි දෙවියන්ට අවංකවම කියන්න ඕනේ. ලොකු ගෞරවයක් ඇතුව ඕනෙම ඉරියව්වකින් අපිට යාච්ඤා කරන්න පුළුවන්. ඕනෙම තැනක, ඕනෙම වෙලාවක නිහඬව හරි ශබ්ද නඟලා හරි අපිට යාච්ඤා කරන්න පුළුවන්.

3. දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද?

එක විදිහක් තමයි බයිබලය. බයිබලෙන් අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන්. ඒක කියවද්දී “අද්දැකීම් අඩු තැනැත්තාට ප්‍රඥාව ලැබෙනවා.” (ගීතාවලිය 19:7; යාකොබ් 1:5 කියවන්න.) තව විදිහක් තමයි අපි ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී කලබල වෙන්නේ නැතුව සන්සුන්ව වැඩ කරන්න උදව් කරන එක. ඒ වගේම උදව් ඕනෙම කරන වෙලාවලදී අපිට උදව් කරන්න දෙවියන් ඔහුට නමස්කාර කරන අයගේ හිත් පොලඹවනවා. ඒකත් ඔහු අපිට උත්තර දෙන විදිහක්.

තවත් හොයමු

දෙවියන් සතුටු වෙන විදිහට, මුළු හිතින්ම යාච්ඤා කරන්නේ කොහොමද කියලත් යාච්ඤාවෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් දැනගන්න.

4. දෙවියන් හැම යාච්ඤාවක්ම පිළිගන්නවාද?

දෙවියන් අපි කරන හැම යාච්ඤාවක්ම අහනවාද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? වීඩියෝ එක බලන්න.

යෙහෝවා දෙවියන් කැමතියි අපි ඔහුට යාච්ඤා කරනවාට. ගීතාවලිය 65:2 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • “යාච්ඤා අසන තැනැත්තාණන්” ඔයාගේ යාච්ඤාත් අහන්න කැමැත්තෙන් ඉන්නවා කියලා ඔයා හිතනවාද? එහෙම කියන්නේ ඇයි?

දෙවියන් අපේ යාච්ඤා අහනවාට අපි කැමති නම් අපි ඔහු කැමති විදිහට ජීවත් වෙන්න ඕනේ. මීකා 3:4 සහ 1 පේතෘස් 3:12 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා දෙවියන් අපේ යාච්ඤා අහන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

යුද්දෙකදී දෙපැත්තේම ඉන්න අය යුද්ධය ජය ගන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරනවා. ඒ වගේ යාච්ඤාවලට දෙවියන් උත්තර දෙයි කියලා හිතන්න පුළුවන්ද?

5. අපිට හැඟෙන විදිහ යෙහෝවා දෙවියන්ට කියන්න ඕනේ

හුඟක් අයට උගන්වලා තියෙන්නේ කටපාඩමින් යාච්ඤා කරන්න. ඒත් දෙවියන් කැමතිද අපි ඔහුට එහෙම යාච්ඤා කරනවාට? මතෙව් 6:7 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඔයා යාච්ඤා කරද්දී ‘එකම දේ නැවත නැවත නොකියා ඉන්න’ ඔයාට පුළුවන් කොහොමද?

හැම දවසකම යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න පුළුවන් එක දෙයක් ගැන හිතලා යාච්ඤා කරන්න. ඒ විදිහට සතියක් කරන්න. එතකොට ඔයා වෙනස්ම දේවල් හතක් ගැන යාච්ඤා කරලා තියෙයි. එහෙම කරද්දී එකම දේ ආයේ ආයේ කියන්නේ නැතුව දෙවියන් එක්ක ගොඩක් දේවල් ගැන කතා කරන්න ඔයාට පුළුවන් වෙයි.

තාත්තා කෙනෙක් ආසයි එයාගේ දරුවා හිතේ තියෙන හැම දේම එයාට කියනවාට. යෙහෝවා දෙවියනුත් ආසයි අපේ හිතේ තියෙන දේවල් අපි ඔහුට කියනවාට

6. යාච්ඤාව දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්

විශේෂයෙන්ම ප්‍රශ්නවලට මුහුණ දෙද්දී යාච්ඤාව අපිට ශක්තියක් වෙන්නේ කොහොමද? වීඩියෝ එක බලන්න.

යාච්ඤා කරද්දී අපේ හිතට ලොකු සන්සුන්කමක් දැනෙනවා කියලා බයිබලයේ පොරොන්දු වෙනවා. ෆිලිප්පි 4:6, 7 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යාච්ඤා කරද්දී අපේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැහැ. ඒත් යාච්ඤාව අපිට උදව් වෙන්නේ කොහොමද?

  • ඔයා කැමති මොන වගේ දේවල් ගැන යාච්ඤා කරන්නද?

ඔයා දැනගෙන හිටියාද?

“ආමෙන්” කියන එකෙන් අදහස් කරන්නේ “එසේම වේවා” කියන එකයි. අතීතයේ ඉඳන්ම දෙවියන්ට සේවය කරපු අය යාච්ඤාවක් ඉවර වුණාම “ආමෙන්” කියලා කියනවා.—1 ලේකම් 16:36.

7. යාච්ඤා කරන්න කාලේ හොයාගන්න

සමහර වෙලාවට අපිට හුඟක් වැඩ තියෙන නිසා යාච්ඤා කරන්න අමතක වෙන්න පුළුවන්. යාච්ඤා කරන එක යේසුස්ට කොච්චර වැදගත් දෙයක් වුණාද? මතෙව් 14:23 සහ මාක් 1:35 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යාච්ඤා කරන්න යේසුස් කාලේ හොයාගත්තේ කොහොමද?

  • යාච්ඤා කරන්න ඔයාට කාලේ හොයාගන්න පුළුවන්ද? ඒ දවසේ කොයි වෙලාවලදීද?

සමහරු මෙහෙම කියනවා: “යාච්ඤාව කියන්නේ නිකම්ම හිත සනසගන්න කරන දෙයක් විතරයි.”

  • ඒ ගැන ඔයා හිතන්නේ මොනවාද?

ඉගෙනගත්ත දේ

අපි මුළු හිතින්ම දෙවියන්ට යාච්ඤා කරද්දී අපි ඔහුට ළං වෙනවා. අපේ හිත සන්සුන් වෙනවා. ඒ වගේම යෙහෝවා දෙවියන් කැමති දේ කරන්න අපිට ලොකු ශක්තියක් ලැබෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • අපි යාච්ඤා කරන්න ඕනෙ කාටද?

  • අපි යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?

  • යාච්ඤා කරද්දී ඒක අපිට උදව් වෙන්නේ මොන විදිවලින්ද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

යාච්ඤාව ගැන හුඟදෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.

“ඔබේ යාච්ඤාවලට දෙවියන් සවන් දීමට නම්” (2010 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’)

දෙවියන්ට යාච්ඤා කරන එක වැදගත් ඇයි කියලත් ඔහුට තව ළං වෙන විදිහට යාච්ඤා කරන්නේ කොහොමද කියලත් දැනගන්න.

“යාච්ඤා කරන්න ඕනෙ ඇයි?” (වෙබ් ලිපිය)

අපි යාච්ඤා කරන්න ඕනෙ කාටද කියන දේ ගැන බයිබලේ කියන්නේ මොනවාද කියලා දැනගන්න.

“සාන්තුවරුන්ට යාච්ඤා කරන්න ඕනෙද?” (වෙබ් ලිපිය)

යාච්ඤා කරන්න තැනක්, වෙලාවක් තියෙනවාද කියලා දැනගන්න මේ සිංදුව බලන්න.

‘දෙවිත් එක්ක කතා කරන්න’ (1:22)