Skip to content

පටුනට යන්න

16 පාඩම

යේසුස් පොළොවේ හිටපු කාලේ මොනවාද කළේ?

යේසුස් පොළොවේ හිටපු කාලේ මොනවාද කළේ?

යේසුස් කියන නම ඇහෙද්දී ගොඩක් අයට මතක් වෙන්නේ පුංචි බිලිඳෙක්ව, අනාගතය ගැන කියපු කෙනෙක්ව නැත්තම් දුක් විඳලා මැරුණු මනුස්සයෙක්ව. ඒත් යේසුස් කරපු දේවල්වලින් ඔහු ගැන ඊට වඩා දෙයක් අපිට ඉගෙනගන්න පුළුවන්ද? යේසුස් කරපු වැදගත් දේවල් කීපයක් ගැනයි, ඒවා ඔයාට උදව් වෙන විදිහ ගැනයි අපි මේ පාඩමෙන් බලමු.

1. යේසුස් කරපු වැදගත්ම වැඩේ මොකක්ද?

යේසුස් පොළොවේ ඉද්දී කරපු වැදගත්ම වැඩේ තමයි “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” දේශනා කරපු එක. (ලූක් 4:43 කියවන්න.) දෙවියන් ආණ්ඩුවක් පිහිටුවනවා, ඒ ආණ්ඩුවෙන් මිනිස්සුන්ගේ ඔක්කොම ප්‍රශ්න විසඳනවා කියන ශුභාරංචිය යේසුස් මිනිස්සුන්ට කිව්වා. a මිනිස්සුන්ට සහනයක් වෙන මේ පණිවිඩය කියන්න අවුරුදු තුනහමාරක් තිස්සේ යේසුස් ගොඩක් මහන්සි වුණා.—මතෙව් 9:35.

2. යේසුස් ආශ්චර්යයන් කළේ ඇයි?

බයිබලයේ කියනවා දෙවියන් යේසුස් මාර්ගයෙන් “බලවත් ක්‍රියා, ආශ්චර්යයන් සහ ලකුණු” ගොඩක් කළා කියලා. (ක්‍රියා 2:22) දෙවියන්ගේ බලයේ උදව්වෙන් යේසුස් පුදුම දේවල් ගොඩක් කළා. ඔහු කුණාටුවක් නතර කළා. දහස් ගාණකට කෑම දුන්නා. අසනීප අයව සුව කළා. මැරුණු අයවත් ආයෙත් ජීවත් කළා. (මතෙව් 8:23-27; 14:15-21; මාක් 6:56; ලූක් 7:11-17) යේසුස් කරපු ඒ වගේ දේවලින් ඔහුව එවලා තියෙන්නේ දෙවියන් කියලා පැහැදිලි වුණා. ඒ වගේම ඒ ආශ්චර්යයන්වලින් පැහැදිලි වුණා අපේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න යෙහෝවා දෙවියන්ට බලය තියෙනවා කියලා.

3. යේසුස් ජීවත් වුණ විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යේසුස් හැම වෙලාවෙම යෙහෝවා දෙවියන්ට කීකරු වුණා. (යොහන් 8:29 කියවන්න.) ඔහුගේ තාත්තා ඔහුට කරන්න කියපු හැම දෙයක්ම යේසුස් ඒ විදිහටම කළා. මිනිස්සු ඔහුව නතර කරන්න හැදුවාට, ඔහුට විරුද්ධ වුණාට දෙවියන්ට කීකරු වෙන එක ඔහු නැවැත්තුවේ නැහැ. මරණය දක්වාම ඔහු එහෙම කළා. කොච්චර අමාරු දේවල්වලට මුහුණ දුන්නත් දෙවියන්ට කීකරු වෙන්න මිනිස්සුන්ට පුළුවන් කියලා යේසුස් පෙන්නුවා. ඒ විදිහට යේසුස් අපිට “ආදර්ශයක්” තිබ්බා. අපිට පුළුවන් “ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය” කරන්න.—1 පේතෘස් 2:21.

තවත් හොයමු

යේසුස් මිනිස්සුන්ට ශුභාරංචිය කියපු විදිහ ගැනයි, ආශ්චර්යයන් කරපු විදිහ ගැනයි බලන්න.

4. යේසුස් ශුභාරංචිය හැමෝටම කිව්වා

යේසුස්ට ඕනෙ වුණේ පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය ගැන කියන්න. එහෙම කරන්න ඔහු හැතැප්ම සිය ගාණක් පයින් ගියා. ලූක් 8:1 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යේසුස් ශුභාරංචිය කිව්වේ ඔහු ළඟට ආව මිනිස්සුන්ට විතරද?

  • මිනිසුස් ළඟට යන්න යේසුස් මොන වගේ උත්සාහයක්ද ගත්තේ?

ගැලවුම්කරු මිනිස්සුන්ට ශුභාරංචිය ගැන කියනවා කියලා දෙවියන් කලින්ම කියලා තිබුණා. යෙසායා 61:1, 2 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යේසුස් මේ අනාවැකිය ඉටු කළේ කොහොමද?

  • ඒ ශුභාරංචිය අද ඉන්න මිනිස්සුත් දැනගන්න ඕනෙ කියලා ඔයා හිතනවාද?

5. ජීවිතයට වටිනා පාඩම් යේසුස් කියලා දුන්නා

යේසුස් මිනිස්සුන්ට කියලා දුන්නේ දෙවියන්ගේ ආණ්ඩුව ගැන ශුභාරංචිය විතරද? නැහැ. ඔහු එදිනෙදා ජීවිතයට උදව් වෙන දේවල් ගැනත් ඉගැන්නුවා. කන්ද උඩ දේශනාව කියලා හඳුන්වන ඔහු දීපු ප්‍රසිද්ධ දේශනයේදී ඔහු උගන්නපු වටිනා පාඩම් කීපයක් ගැන බලන්න. මතෙව් 6:14, 34 සහ 7:12 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යේසුස් කියලා දුන්න වටිනා පාඩම් මොනවාද?

  • අද ඉන්න මිනිස්සුන්ටත් ඒවා උදව් වෙනවා කියලා ඔයා හිතනවාද?

6. යේසුස් ආශ්චර්යයන් කළා

ගොඩක් බලවත් දේවල් කරන්න යෙහෝවා දෙවියන් යේසුස්ට බලය දුන්නා. ඒවායින් එකක් ගැන දැනගන්න මාක් 5:25-34 කියවන්න. නැත්නම් වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අසනීපෙන් හිටපු කාන්තාව විශ්වාස කළේ මොකක්ද?

  • ඒ සිද්ධියෙන් ඔයාගේ හිතට ගියේ මොකක්ද?

යොහන් 5:36 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යේසුස් කරපු ආශ්චර්යයන්වලින් ඔහු ගැන පැහැදිලි වුණේ මොකක්ද?

ඔයා දැනගෙන හිටියාද?

යේසුස් ගැන අපි දන්න ගොඩක් තොරතුරු තියෙන්නේ මතෙව්, මාක්, ලූක්, යොහන් කියන පොත් හතරේ. ඒවා ශුභාරංචි නැත්නම් සුවිශේෂ පොත් කියලා හඳුන්වනවා. ඒ පොත් ලියපු අය යේසුස් ගැන වෙනත් පැතිවලින් තොරතුරු දීලා තියෙනවා. ඒ පොත් හතරම කියවද්දී යේසුස්ගේ ජීවිතය ගැන අපේ හිතේ ලස්සන පින්තූරයක් මැවෙනවා.

  • මතෙව්

    පළවෙනි ශුභාරංචි පොත ලිව්වා. ඒකේ ගොඩක් කතා කරන්නේ යේසුස් උගන්වපු දේවල් ගැන. විශේෂයෙන්ම යේසුස් දේවරාජ්‍යය ගැන කියපු දේවල් ගැන.

  • මාක්

    කෙටිම ශුභාරංචි පොත ලිව්වා. ඒකේ රසවත් සිද්ධීන් ගොඩක් වාර්තා කරලා තියෙනවා.

  • ලූක්

    වැඩියෙන්ම කතා කරන්නේ යාච්ඤා කරන එක යේසුස්ට කොච්චර වැදගත් වුණාද කියන දේ ගැන සහ යේසුස් කාන්තාවන්ට සලකපු විදිහ ගැනයි.

  • යොහන්

    යේසුස් ඔහුගේ කිට්ටු යාළුවන් සහ වෙනත් අය එක්ක කතා කරපු දේවල් ගැන ලියලා තියෙනවා. ඒකෙන් යේසුස් කොයි වගේ කෙනෙක්ද කියලා ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

සමහරු මෙහෙම කියනවා: “යේසුස් කියන්නෙත් හොඳ දේවල් උගන්වපු ශාස්තෘවරයෙක්.”

  • ඔයා හිතන්නෙත් යේසුස් නිකම්ම ආගමික ශාස්තෘවරයෙක් විතරක් කියලාද?

ඉගෙනගත්ත දේ

යේසුස් දෙවියන්ගේ ආණ්ඩුව ගැන කියලා දුන්නා. ආශ්චර්යයන් කළා. හැම වෙලේම යෙහෝවා දෙවියන්ට කීකරු වුණා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • පොළොවේ හිටපු කාලේ යේසුස් කරපු වැදගත්ම වැඩේ මොකක්ද?

  • යේසුස් කරපු ආශ්චර්යයන්වලින් පැහැදිලි වුණේ මොකක්ද?

  • යේසුස් උගන්වපු සමහරක් වටිනා පාඩම් මොනවාද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

යේසුස් කරපු ආශ්චර්යයන් නිකම්ම ගොතපු කතා නෙමෙයි කියලා කියන්නේ ඇයි?

“යේසුස් කළ ප්‍රාතිහාර්යයන්වලින් ඔබට කුමක් ඉගෙනගත හැකිද?” (2004 ජූලි 15 ‘මුරටැඹ’)

නිතරම අනිත් අය ගැන හිතලා වැඩ කරපු යේසුස්ගේ ආදර්ශය කෙනෙක්ට උදව් වුණේ කොහොමද කියලා කියවලා බලන්න.

“මං හිතුවේ මං ගැන විතරමයි” (2014 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’)

යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් වුණ අනුපිළිවෙළ ගැන දැනගන්න.

“යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම්” (‘ වවචනය අධ්‍යයනයට,’ 4වෙනි කොටස)

a දේවරාජ්‍යය ගැන තවත් තොරතුරු 31-33 පාඩම්වල කතා කරනවා.