Skip to content

පටුනට යන්න

21වෙනි පාඩම

ශුභාරංචිය දේශනා කරන්නේ කොහොමද?

ශුභාරංචිය දේශනා කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් ළඟදීම ඔහුගේ රාජ්‍යය මාර්ගයෙන් අපේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා. ඒ ගැන හැමෝම දැනගන්න ඕනේ. යේසුත් ඔහුගේ ගෝලයන්ට කිව්වා ඒ පණිවිඩය ගැන හැමෝටම කියන්න කියලා. (මතෙව් 28:19, 20) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස් කියපු දේට කීකරු වෙලා තියෙන්නේ කොහොමද?

1. මතෙව් 24:14 තියෙන අනාවැකිය අද ඉටු වෙන්නේ කොහොමද?

යේසුස් මෙහෙම කිව්වා. ‘රාජ්‍යය ගැන ශුභාරංචිය පොළොව පුරාම මිනිස්සු ජීවත් වෙන හැම තැනකම දේශනා කරයි.’ (මතෙව් 24:14) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මේ සේවය කරන්නේ හරිම සතුටින්. අපි ලෝකේ පුරාම භාෂා 1,000කට වැඩි ගාණකින් ශුභාරංචිය දේශනා කරනවා. මේ වගේ ලොකු වැඩක් කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒක හොඳට සංවිධානය කරන්න ඕනේ. යෙහෝවාගේ උදව් නැතුව නම් ඒක කොහොමටවත් කරන්න බැහැ.

2. හැමෝටම දේශනා කරන්න අපි මොන වගේ උත්සාහයක්ද ගන්නේ?

මිනිස්සුන්ව හම්බ වෙන්න පුළුවන් ඕනෙම තැනකට ගිහින් අපි දේශනා කරනවා. මුල් ක්‍රිස්තියානීන් වගේ අපි “ගෙයින් ගෙට” ගිහිල්ලා දේශනා කරනවා. (ක්‍රියා 5:42) ගෙයින් ගෙට ගිහිල්ලා කරන සේවය හරිම පිළිවෙළකට කරන්න පුළුවන්. ඒ නිසා හැම අවුරුද්දකම මිලියන ගාණකට දේශනා කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒත් මිනිස්සු ගොඩක් වෙලාවට ගෙවල්වල නැති නිසා අපි පොදු තැන්වලට ගිහිල්ලත් දේශනා කරනවා. ඕනෙම තැනක, ඕනෙම වෙලාවක යෙහෝවා දෙවියන් ගැනත් ඔහු කරන්න යන දේවල් ගැනත් මිනිස්සුන්ට කියන්න අපි ලෑස්ති පිට ඉන්නවා.

3. ශුභාරංචිය දේශනා කරන වගකීම තියෙන්නේ කාටද?

ශුභාරංචිය අනිත් අයට කියන එක සැබෑ ක්‍රිස්තියානීන් හැමෝගෙම වගකීමක්. ඒ වගකීම අපි සැහැල්ලුවට ගන්නේ නැහැ. අපි හැමෝම මේ වැඩේට උපරිමයෙන් හවුල් වෙන්න උත්සාහ කරනවා. මොකද ඒකෙන් මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න පුළුවන් කියලා අපි දන්නවා. (1 තිමෝති 4:16 කියවන්න.) මේ වැඩේ කරනවාට අපිට ගෙවීමක් කරන්නේ නැහැ. බයිබලයේ කියනවා “ඔයාලට නොමිලේ ලැබුණ දේ නොමිලේම දෙන්න” කියලා. (මතෙව් 10:7, 8) හැමෝම අපේ පණිවිඩය අහන්න කැමති නැති වෙන්න පුළුවන්. ඒත් අපි දේශනා කරන එක නවත්තන්නේ නැහැ. මොකද අපි දිගටම දේශනා කරද්දී අපි කීකරු වෙන්නේ යෙහෝවාට. ඒ ගැන ඔහු ගොඩක් සතුටු වෙනවා.

තවත් හොයමු

ලෝකේ පුරාම දේශනා කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගන්නේ මොන වගේ උත්සාහයක්ද කියලා තව දැනගන්න. යෙහෝවා අපිට උදව් කරන විදිහ ගැනත් දැනගන්න.

4. හැම කෙනෙක්ටම දේශනා කරන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා

ලෝකේ ඕනෙම තැනක ඉන්න මිනිස්සුන්ට ශුභාරංචිය ගැන දේශනා කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගොඩක් මහන්සි වෙනවා. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • දේශනා කරන්න සාක්ෂිකරුවන් ගන්න උත්සාහය දිහා බලද්දී ඔයාගේ හිතට වැදුණේ මොකක්ද?

මතෙව් 22:39 සහ රෝම 10:13-15 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අපි අනිත් අයට ආදරෙයි කියලා අපි කරන සේවයෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

  • ශුභාරංචිය දේශනා කරන අය ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද?—15වෙනි පදය බලන්න.

5. අපි දෙවියන්ගේ හවුල් සේවකයන්

දේශනා සේවයට යෙහෝවා මඟ පෙන්නනවා කියලා ගොඩක් අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා. නවසීලන්තයේ ඉන්න පෝල් කියන සහෝදරයා දවසක් ගෙයින් ගෙට සේවයේ යද්දී කාන්තාවක් හම්බ වුණා. එදා උදේ ඒ කාන්තාව යෙහෝවා කියන දෙවියන්ගේ නම පාවිච්චි කරලා යාච්ඤා කරලා තිබුණා. එයා දෙවියන්ගෙන් ඉල්ලලා තියෙනවා එයාව හම්බ වෙන්න කවුරු හරි එවන්න කියලා. “පැය තුනකට පස්සේ මම එයාගේ ගෙදරට ගියා” කියලා පෝල් කියනවා.

1 කොරින්ති 3:9 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • නවසීලන්තයෙන් ලැබුණ ඒ අද්දැකීම වගේ අද්දැකීම්වලින් යෙහෝවා අපේ සේවයට මඟ පෙන්නනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

ක්‍රියා 1:8 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අපේ සේවය හොඳින් කරන්න අපිට යෙහෝවාගේ උදව් ඕන ඇයි?

ඔයා දැනගෙන හිටියාද?

දේශනා කරන්න උදව් වෙන පුහුණුවක් හැම සතියකම තියෙන සති මැද රැස්වීමෙන් අපිට ලැබෙනවා. ඔයා ඒ රැස්වීමකට ඇවිත් තියෙනවා නම් ලැබුණු ඒ පුහුණුව ගැන ඔයාට මොකක්ද හිතුණේ?

6. දේශනා කරන්න කියලා දෙවියන් දීලා තියෙන ආඥාවට අපි කීකරු වෙනවා

මුල් කාලයේ හිටපු යේසුස්ගේ ගෝලයන් දේශනා කරද්දී එයාලට විරුද්ධ වුණ ගොඩක් අය ඒක නවත්තන්න හැදුවා. ඒත් එයාලා “ශුභාරංචිය වෙනුවෙන් කතා කරද්දී දේශනා කරන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන්න” පියවර ගත්තා. (ෆිලිප්පි 1:7) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අදත් ඒ දේම කරනවා. a

ක්‍රියා 5:27-42 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අපි දේශනා කරන එක නතර කරන්නේ නැත්තේ ඇයි?—29, 38, සහ 39 පද බලන්න.

සමහරු මෙහෙම අහයි: “සාක්ෂිකරුවන් ඇයි ගෙවල් ගාණේ යන්නේ?”

  • ඒකට ඔයා උත්තර දෙන්නේ කොහොමද?

ඉගෙනගත්ත දේ

සියලුම ජාතීන්වල අයට ශුභාරංචිය කියන්න කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වා. ඒ වැඩේ කරන්න යෙහෝවා ඔහුගේ සෙනඟට උදව් කරනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • ලෝකේ පුරාම ශුභාරංචිය දේශනා කරන්නේ කොහොමද?

  • අපි දේශනා සේවය කරන්නේ අනිත් අයට ආදරේ නිසා කියලා කියන්නේ ඇයි?

  • ශුභාරංචිය අනිත් අයට කියද්දී ඒකෙන් සතුටක් දැනෙනවා කියලා ඔයා හිතනවාද? ඔයා එහෙම කියන්නේ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

විශාල නගරවල සාක්ෂිකරුවන් දේශනා කරන්නේ කොහොමද කියලා බලන්න.

‘පැරිස් නගරයේ කරන විශේෂ පොදු සේවය’ (5:11)

සරණාගතයන්ට දේශනා කරන්න සාක්ෂිකරුවන් කරලා තියෙන්නේ මොන වගේ දේවල්ද?

‘දෙවිට ළං වෙන්න සරණාගතයින්ට අවස්ථාවක්’ (5:59)

ජීවිත කාලේම දේශනා සේවය වෙනුවෙන් වැය කරපු කෙනෙක් ඒ ගැන සතුටු වෙන්නේ ඇයි කියලා දැනගන්න.

‘ගත්තු තීරණය ගැන හරිම සතුටුයි’ (6:29)

a ශුභාරංචිය දේශනා කරන්න කියලා අපිට අණ කරලා තියෙන්නේ දෙවියන්. ඒ නිසා ඒක කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට බලධාරීන්ගෙන් අවසර ගන්න ඕනෙ නැහැ.