Skip to content

පටුනට යන්න

24 පාඩම

දේවදූතයන් කියන්නේ කවුද? එයාලා මොනවාද කරන්නේ?

දේවදූතයන් කියන්නේ කවුද? එයාලා මොනවාද කරන්නේ?

යෙහෝවා දෙවියන් කැමතියි ස්වර්ගයේ ඉන්න ඔහුගේ පවුලේ අය ගැන අපි දැනගන්නවාට. ඒ පවුලේ අයට දේවදූතයන් ඇතුළත්. එයාලව “දෙවිගේ පුත්‍රයෝ” කියලා හඳුන්වනවා. (යෝබ් 38:7) දේවදූතයන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද? එයාලා මිනිස්සුන්ගේ වැඩවලට සම්බන්ධ වෙන්නේ කොහොමද? හැම දේවදූතයෙක්ම දෙවියන්ගේ පවුලට අයිතිද?

1. දේවදූතයන් කියන්නේ කවුද?

යෙහෝවා දේවදූතයන්ව නිර්මාණය කළේ මේ පොළොව නිර්මාණය කරන්න කලින්. දෙවියන්ව පේන්නේ නැහැ වගේ අපිට දේවදූතයන්වත් පේන්නේ නැහැ. එයාලා ඉන්නේ ස්වර්ගයේ. (හෙබ්‍රෙව් 1:14) මිලියන ගාණක් දේවදූතයන් හිටියත් එයාලා එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. (එළිදරව් 5:11) එයාලා ‘යෙහෝවා දෙවිගේ අණට සැමවිටම කීකරු වෙනවා. ඔහු පවසන දේට සවන් දීලා එය ඉටු කරනවා.’ (ගීතාවලිය 103:20) අතීතයේදී යෙහෝවා ඔහුගේ සෙනඟට පණිවිඩ දැනුම් දෙන්න දේවදූතයන්ව පාවිච්චි කළා. සෙනඟට උදව් කරන්නත් එයාලව බේරගන්නත් ඔහු දේවදූතයන්ව පාවිච්චි කළා. අදත් දෙවියන් ගැන දැනගන්න කැමති මිනිස්සුන්ව හොයාගන්න සැබෑ ක්‍රිස්තියානීන්ට එයාලා උදව් කරනවා.

2. සාතන් සහ භූතයන් කියන්නේ කවුද?

සමහර දේවදූතයන් යෙහෝවාට විශ්වාසවන්තව හිටියේ නැහැ. මුලින්ම දෙවියන්ට විරුද්ධ වුණ දේවදූතයාව ‘යක්ෂයා කියලත් සාතන් කියලත් හඳුන්වනවා.’ එයා “මුළු පොළොවම නොමඟ යවනවා.” (එළිදරව් 12:9) සාතන්ට ඕන වුණේ අනිත් අයව පාලනය කරන්න. ඒ නිසා එයා මුල්ම මිනිස් යුවළවත් පස්සේ වෙන දේවදූතයන්වත් දෙවියන්ට අකීකරු වෙන්න පෙලඹුවා. මේ අකීකරු වුණ දේවදූතයන්ට තමයි භූතයන් කියන්නේ. යෙහෝවා එයාලව ස්වර්ගයෙන් පන්නලා දැම්මා. එයාලා දැන් ඉන්නේ පොළොවේ. දෙවියන් ළඟදීම එයාලව විනාශ කරනවා.—එළිදරව් 12:9, 12 කියවන්න.

3. සාතන් සහ භූතයන් අපිව නොමඟ යවන්න හදන්නේ කොහොමද?

මිනිස්සුන්ව නොමඟ යවන්න සාතන් සහ භූතයන් ජ්‍යෝතිශය, සාස්තර බලන එක, පේන බලන එක සහ මන්තර ගුරුකම් වගේ දේවල් පාවිච්චි කරනවා. ඒ හැම දේකදීම වෙන්නේ මිනිස්සු භූතයන් එක්ක සම්බන්ධ වෙන එකයි. ඒවා හඳුන්වන්නේ භූතවාදය කියලා. සමහර ප්‍රතිකාර ක්‍රමවලටත් භූතයන් එක්ක සම්බන්ධ වෙලා කරන දේවල් ඇතුළත් වෙනවා. ඒ වගේම සමහර අය හිතනවා එයාලට මැරුණු අය එක්ක කතා කරන්න පුළුවන් කියලා. හැබැයි ඒකත් භූතයන් මිනිස්සුන්ව නොමඟ යවලා තියෙන විදිහක්. ඒත් “මායාකාරයන්ගෙන් හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන් හෝ උපකාර නොපතන්න” කියලා යෙහෝවා අපිට කියනවා. (ලෙවී කතාව 19:31) ඔහු එහෙම කියන්නේ සාතන් සහ භූතයන්ගෙන් අපිව ආරක්ෂා කරන්නයි. එයාලා දෙවියන්ගේ හතුරෝ. එයාලට ඕනෙ අපිට අනතුරක් කරන්න.

තවත් හොයමු

දේවදූතයන් අපිට උදව් කරන විදිහ ගැන දැනගන්න. භූතයන් එක්ක සම්බන්ධ වෙන එකේ අනතුරු ගැනත් සාතන්ගෙන් සහ භූතයන්ගේ ආරක්ෂා වෙන්න අපිට පුළුවන් විදිහ ගැනත් දැනගන්න.

4. යෙහෝවා දෙවියන් ගැන දැනගන්න දේවදූතයන් මිනිස්සුන්ට උදව් කරනවා

දේවදූතයන් මිනිස්සු ළඟට ගිහින් එයාලට දේශනා කරන්නේ නැහැ. ඒත් දෙවියන් ගැන දැනගන්න ආසාවෙන් ඉන්න අයව හොයාගන්න එයාලා දෙවියන්ගේ සේවකයන්ට මඟ පෙන්නනවා. එළිදරව් 14:6, 7 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • දේශනා කරන්න අපිට දේවදූතයන්ගේ උදව් ඕන ඇයි?

  • බයිබලයේ තියෙන දේවල් දැනගන්න කැමැත්තෙන් ඉන්න අයව හොයාගන්න දේවදූතයන් ඔයාට උදව් කරනවා කියලා දැනගත්තාම ඔයාට හිතුණේ මොකක්ද?

5. කිසිම විදිහකින් භූතයන් එක්ක සම්බන්ධ වෙන්න එපා

සාතන් සහ භූතයන් කියන්නේ යෙහෝවාගේ හතුරෝ. එයාලා අපෙත් හතුරෝ. ලූක් 9:38-42 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • භූතයන් මිනිස්සුන්ට කරන්නේ මොන වගේ දේවල්ද?

අපිට ඕන නැහැ භූතයන් එක්ක කිසිම විදිහකින් සම්බන්ධ වෙන්න. ද්විතීය කතාව 18:10-12 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • භූතයන් අපිට බලපෑම් කරන්න හදන්නෙත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න හදන්නෙත් මොන විදිවලින්ද? ඒවාවලින් මොන වගේ දේවල්ද ඔයා ඉන්න පැත්තේ තියෙන්නේ?

  • භූතයන් එක්ක සම්බන්ධ වෙන දේවල් කරන්න එපා කියලා යෙහෝවා කියන එක හොඳ දෙයක් කියලා ඔයා හිතනවාද? ඒ ඇයි?

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • පලේසාගේ දුවගේ අතේ ගැටගහලා තිබුණ යන්තරේ එයාට අනතුරක් කියලා ඔයා හිතනවාද? ඒ ඇයි?

  • භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න නම් පලේසා මොකක්ද කරන්න ඕන වුණේ?

අතීතයේ ඉඳන් සැබෑ ක්‍රිස්තියානීන් භූතයන්ට සම්බන්ධ දේවල්වලින් අයින් වෙලා තියෙනවා. ක්‍රියා 19:19 සහ 1 කොරින්ති 10:21 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඔයා ගාව තියෙන භූතයන්ට සම්බන්ධ හැම දෙයක්ම විනාශ කරලා දාන එක වැදගත් ඇයි?

6. සාතන් සහ භූතයන් එක්ක කරන සටනෙන් ජය ගන්න

සාතන් තමයි භූතයන්ව පාලනය කරන්නේ. හැබැයි දෙවියන්ට විශ්වාසවන්ත දේවදූතයන්ට මඟ පෙන්නන්නේ අග්‍රදේවදූතයා වන මිකායෙල්. මිකායෙල් කියන්නේ යේසුස්ට කියන තවත් නමක්. ඔහු කොච්චර බලවත් කෙනෙක්ද? එළිදරව් 12:7-9 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • වැඩි බලයක් තියෙන්නේ කාටද? මිකායෙල් සහ දේවදූතයන්ටද නැත්නම් සාතන් සහ භූතයන්ටද?

  • යේසුස්ගේ අනුගාමිකයන් සාතන්ට සහ භූතයන්ට බය වෙන්න ඕනෙ කියලා ඔයා හිතනවාද?

සාතන් සහ භූතයන්ට විරුද්ධව කරන සටනෙන් ජය ගන්න ඔයාට පුළුවන්. යාකොබ් 4:7 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • සාතන් සහ භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න ඔයා මොනවාද කරන්න ඕනේ?

සමහරු මෙහෙම කියනවා: “හොල්මන් ෆිල්ම්ස් බැලුවාට, ඒ වගේ දේවල් තියෙන ගේම්ස් ගැහුවාට ප්‍රශ්නයක් නෑ.”

  • එහෙම හිතන එක භයානක ඇයි?

ඉගෙනගත්ත දේ

දෙවියන්ට විශ්වාසවන්ත දේවදූතයන් අපිට උදව් කරනවා. සාතන් සහ භූතයෝ යෙහෝවාගේ හතුරෝ. මිනිස්සුන්ව නොමඟ යවන්න එයාලා භූතවාදය පාවිච්චි කරනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • යෙහෝවා දෙවියන් ගැන දැනගන්න දේවදූතයන් මිනිස්සුන්ට උදව් කරන්නේ කොහොමද?

  • සාතන් සහ භූතයන් කියන්නේ කාටද?

  • භූතයන්ට සම්බන්ධ කිසිම දේකට හවුල් නොවී ඉන්න ඔයාට ඕනෙ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

අග්‍රදේවදූතයා වන මිකායෙල්ට තමයි යේසුස් කියන්නේ කියලා කියන්න තියෙන සාක්ෂි බලන්න.

“මිකායෙල් කියන්නේ කාටද?” (වෙබ් ලිපිය)

යක්ෂයා කියන්නේ ඇත්ත කෙනෙක් කියලා කියන්න තියෙන සාක්ෂි බලන්න.

“යක්ෂයා ඇත්ත කෙනෙක්ද?” (වෙබ් ලිපිය)

කාන්තාවක් භූතයන්ගේ බලපෑම්වලින් නිදහස් වෙච්ච විදිහ ගැන දැනගන්න.

“ඇය ජීවිතයේ අරමුණක් සොයා ගත්තාය” (1993 ජූලි 1 ‘මුරටැඹ’)