Skip to content

පටුනට යන්න

26වෙනි පාඩම

මෙච්චර දුක් කරදර දුෂ්ටකම් තියෙන්නේ ඇයි?

මෙච්චර දුක් කරදර දුෂ්ටකම් තියෙන්නේ ඇයි?

වේදනාකාරී දේකට මුහුණ දෙන්න වුණාම හුඟක් අය අහනවා “ඇයි මෙහෙම වෙන්නේ” කියලා. ඒ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් බයිබලයෙන් හොයාගන්න පුළුවන්.

1. දුෂ්ටකම් පටන්ගත්තේ සාතන් නිසයි කියලා කියන්නේ ඇයි?

සාතන් කියලා හඳුන්වන යක්ෂයා දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා. සාතන්ට ඕනෙ වුණේ මිනිස්සු හැමෝවම එයාගේ පාලනය යටතට ගන්න. ඒ නිසා එයා ආදම්වත් ඒවවත් පෙලඹුවා දෙවියන්ට විරුද්ධව වැඩ කරන්න. සාතන් ඒක කළේ කොහොමද? එයා ඒවට බොරුවක් කිව්වා. (උත්පත්ති 3:1-5) සාතන් ඒවට කියපු දේවලින් එයා පෙන්නන්න හැදුවා යෙහෝවා ඒවට හොඳ දෙයක් දෙන්නේ නැතුව හංගගෙන ඉන්නවා කියලා. දෙවියන්ට අකීකරු වුණොත් මිනිස්සුන්ට ඊට වඩා සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා එයා ඇඟෙව්වා. දෙවියන්ට අකීකරු වුණාට ඒව මැරෙන්නේ නැහැ කියලත් එයා කිව්වා. ඒක තමයි පළවෙනි බොරුව. සාතන් “බොරුකාරයෙක්” කියලත් “බොරුවේ පියා” කියලත් බයිබලයේ කියන්නේ ඒ නිසයි.—යොහන් 8:44.

2. ආදම් සහ ඒව තීරණය කළේ මොනවා කරන්නද?

යෙහෝවා දෙවියන් ආදම් සහ ඒවට ඕනෙ කරන හැම දෙයක්ම දීලයි තිබුණේ. ඒදන් උයනේ තිබුණ ඕනෙම ගහකින් එයාලට කන්න පුළුවන්කම තිබුණා. එක ගහකින් විතරයි දෙවියන් එයාලට කන්න එපා කියලා කිව්වේ. (උත්පත්ති 2:15-17) ඒත් කන්න එපා කියපු ගහෙන් ඒව “ගෙඩි කඩාගෙන කෑවා.” ඊටපස්සේ ආදමුත් “ඒකෙන් කෑවා.” (උත්පත්ති 3:6) ඒ දෙන්නාම දෙවියන්ට අකීකරු වෙන්න තීරණය කළා. දෙවියන් ඒ දෙන්නාව කිසිම අඩුවක් නැති පරිපූර්ණ අය විදිහට නිර්මාණය කරලා තිබුණ නිසා එයාලට ලේසියෙන්ම හරි දේ කරන්න පුළුවන්කම තිබුණා. ඒත් එයාලා හිතාමතාම දෙවියන්ට අකීකරු වෙලා පව් කළා. ඒකෙන් පෙන්නුවේ එයාලට දෙවියන්ගේ පාලනය ඕනෙ නැහැ කියලයි. ඒ තීරණය නිසා එයාලට ගොඩක් දුක් විඳින්න වුණා.—උත්පත්ති 3:16-19.

3. ආදම් සහ ඒව ගත්ත තීරණය අපි හැමෝටම බලපාන්නේ කොහොමද?

ආදම්, ඒව පව් කළාම එයාලා ඉක්මනින් වැරදි දේ කරන්න පෙලඹෙන, දුර්වලකම්, අඩුපාඩු තියෙන අය වුණා. ඒ පව්කාර ස්වභාවය එයාලාගෙන් පැවතෙන හැමෝටමත් උරුම වුණා. ආදම් කරපු දේ අපිට බලපාන විදිහ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “එක මිනිසෙක් නිසා ලෝකෙට පව්කාරකම ඇතුල් වුණා. ඒ පව්කාරකමේ ප්‍රතිඵලය මරණයයි. මරණය හැමෝටම උරුම වුණා.”රෝම 5:12.

අපිට දුක් විඳින්න වෙන හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි අපිම ගන්න වැරදි තීරණ. තවත් එකක් තමයි අනිත් අය ගන්න වැරදි තීරණ. අපි වැරදි වෙලාවේ වැරදි තැන ඉන්න නිසාත් නරක දේවල්වලට මුහුණ දෙනවා.—දේශනාකාරයා 9:11 කියවන්න.

තවත් හොයමු

දුෂ්ටකම්, දුක් කරදරවලට වග කියන්න ඕනෙ දෙවියන් නෙමෙයි කියලා කියන්නේ ඇයි කියලත් අපි දුක් විඳිද්දී දෙවියන්ට ඒක බලපාන්නේ කොහොමද කියලත් දැනගන්න.

4. දුක් කරදරවලට වග කියන්න ඕනෙ කවුද?

මේ ලෝකේ පාලනය කරන්නේ දෙවියන් කියලයි හුඟක් අය හිතන්නේ. ඒත් ඒකද ඇත්ත? වීඩියෝ එක බලන්න.

යාකොබ් 1:13 සහ 1 යොහන් 5:19 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • දුක් කරදර, දුෂ්ටකම්වලට වග කියන්න ඕනෙ දෙවියන්ද?

5. සාතන්ගේ පාලනය නිසා මිනිස්සු අද්දකින දේවල්

උත්පත්ති 3:1-6 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • සාතන් කියපු බොරුව මොකක්ද?—4 සහ 5 පද බලන්න.

  • යෙහෝවා මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන්නේ නැතුව හංගගෙන ඉන්නවා කියලා සාතන් ඇඟෙව්වේ කොහොමද?

  • සතුටින් ඉන්න නම් මිනිස්සු දෙවියන්ගේ පාලනයට යටත් වෙන්න ඕනෙ නැහැ කියලා සාතන් ඇඟෙව්වේ කොහොමද?

දේශනාකාරයා 8:9 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා මේ පොළොව පාලනය කරන්නේ නැති නිසා සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද?

  1. දෙවියන් ආදම් සහ ඒවව නිර්මාණය කළේ පරිපූර්ණ අය විදිහට. එයාලා හිටියේ එයාලට ඕනෙ කරන හැම දේම තිබුණ ලස්සන උයනක. ඒත් එයාලා සාතන් කියන දේ අහලා යෙහෝවාට විරුද්ධව වැඩ කළා

  2. ඒ නිසයි පාපය, දුක් වේදනා සහ මරණය ඇති වුණේ

  3. පාපය, දුක් වේදනා සහ මරණය යෙහෝවා නැති කරනවා. එදාට මිනිස්සු හැමෝම කිසි අඩුවක් නැති පරිපූර්ණ අය වෙනවා. එයාලා පාරාදීසයක ජීවත් වෙනවා

6. අපි දුක් විඳින එක යෙහෝවා දෙවියන්ටත් දුකක්

අපි දුක් විඳිද්දී දෙවියන් අහක බලන්ද ඉන්නේ? දාවිත් රජ සහ පේතෘස් කියපු දේ බලන්න. ගීතාවලිය 31:7 සහ 1 පේතෘස් 5:7 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අපි දුක් විඳිද්දී දෙවියන්ට ඒක පේනවා කියලත් අපේ දුක දෙවියන්ට දැනෙනවා කියලත් දැනගත්තාම ඔයාට හිතුණේ මොනවාද?

7. දෙවියන් හැම දුකක්ම වේදනාවක්ම නැති කරනවා

යෙසායා 65:17 සහ එළිදරව් 21:3, 4 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා හැම නරක දෙයක්ම නැති කරන නිසා මිනිස්සු ආයේ කවදාවත්ම වේදනා විඳින්නේ නැහැ කියලා දැනගත්තාම ඔයාට දැනුණේ කොහොමද? ඒ ඇයි?

ඔයා දැනගෙන හිටියාද?

යෙහෝවා දෙවියන් කියන්නේ හැමෝටම ආදරේ කරන, සාධාරණ පාලකයෙක්. ඒත් සාතන් මුල්ම බොරුව කියලා යෙහෝවාට අපහාස කළා. ඔහුගේ හොඳ නමට මඩ ගැහුවා. යෙහෝවා ළඟදීම මිනිස්සුන්ගේ දුක් කරදර නැති කරලා, ඉන්න පුළුවන් හොඳම පාලකයා ඔහුයි කියලා ඔප්පු කරලා පෙන්නනවා. ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළල ඔහු සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. යෙහෝවා දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළල ඉවත් කරන එක තරම් වැදගත් දෙයක් තවත් නැහැ. —මතෙව් 6:9, 10.

සමහරු මෙහෙම කියනවා: “අපි ඉපදුණොත් දුක් විඳිනවාමයි. ඒක දෙවියන්ගේ කැමැත්ත.”

  • ඒ වගේ දෙයක් කියන කෙනෙක්ට ඔයා මොනවාද කියන්නේ?

ඉගෙනගත්ත දේ

මේ ලෝකේ තියෙන දුෂ්ටකම්වලට වැඩියෙන්ම වග කියන්න ඕනෙ සාතන් සහ මුල්ම මිනිස් යුවළ. අපි දුක් විඳිද්දී යෙහෝවාට අපේ දුක දැනෙනවා. ඔහු අපේ දුක ළඟදීම නැති කරනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • සාතන් ඒවට කියපු බොරුව මොකක්ද?

  • ආදම් සහ ඒව දෙවියන්ට විරුද්ධව වැඩ කරපු එක අපි හැමෝටම බලපාන්නේ කොහොමද?

  • අපි දුක් විඳිද්දී යෙහෝවාටත් ඒ දුක දැනෙනවා කියලා අපි දන්නේ කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

පාපය කියන්නේ මොකක්ද කියලා බයිබලයෙන් දැනගන්න.

“පාපය කියන්නේ මොකක්ද?” (වෙබ් ලිපිය)

ඒදන් උයනේදී සාතන් කරපු චෝදනාව ගැන වැඩි විස්තර දැනගන්න.

“දුක් වේදනා පවතින්න දෙවියන් ඉඩ දීලා තියෙන්නේ ඇයි?” (2014 ජනවාරි 1 ‘මුරටැඹ’)

නරක දේවල් අද්දැක්ක කෙනෙක්ට බයිබලයෙන් සහනයක් ලැබුණේ කොහොමද කියලා දැනගන්න.

‘මං දැන් තනි වෙලා නැහැ’ (5:09)