Skip to content

පටුනට යන්න

27 පාඩම

යේසුස් මැරුණේ අපිව බේරගන්නයි කියලා කියන්නේ ඇයි?

යේසුස් මැරුණේ අපිව බේරගන්නයි කියලා කියන්නේ ඇයි?

අපි වැරදි කරන්නෙත් දුක් විඳින්නෙත් මැරෙන්නෙත් අපේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණ නිසයි. a ඒ කියන්නේ අපිට කිසිම බලාපොරොත්තුවක් නැහැ කියන එකද? නැහැ. මොකද යෙහෝවා ඔහුගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස්ව මේ ලෝකෙට එවලා අපිව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කරන්න මාර්ගයක් හදලා දුන්නා. අපිව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න නම් ඒකට වන්දියක් ගෙවන්න ඕනෙ වුණා. බයිබලයේ කියනවා අපි වෙනුවෙන් ඒ වන්දිය ගෙවන්න යේසුස් කිසි අඩුවක් නැති ඔහුගේ පරිපූර්ණ ජීවිතය පූජා කළා කියලා. (මතෙව් 20:28 කියවන්න.) යේසුස්ට ඕනෙ නම් තිබුණා කවදාවත් මැරෙන්නේ නැතුව හැමදාටම මේ පොළොවේ ජීවත් වෙන්න. ඒත් යේසුස් කැමැත්තෙන්ම ඔහුගේ ජීවිතේ පූජා කළා. ඔහු එහෙම කරපු නිසා ආදම් සහ ඒව නැති කරගත්ත හැම දේම ආයෙත් ලබාගන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම යේසුත් යෙහෝවා දෙවියනුත් අපිට කොච්චර ආදරෙයිද කියලා ඒකෙන් ඔප්පු වුණා. යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපේ හිතේ තියෙන අගය තව වැඩි කරගන්න මේ පාඩම ඔයාට උදව් වෙයි.

1. ඔයාට යේසුස්ගේ ජීවිත පූජාවෙන් දැන් ප්‍රයෝජන ලබාගන්න පුළුවන් කොහොමද?

අපිට පාපය උරුම වෙලා තියෙන නිසා යෙහෝවා අකමැති ගොඩක් දේවල් අපේ අතින් සිද්ධ වෙනවා. ඒ වුණත් අපි අවංකවම අපේ වැරදි ගැන දුක් වෙලා යේසුස්ගේ නමින් දෙවියන්ගෙන් ඒවාට සමාව ඉල්ලනවා නම්, ආයෙත් ඒ වැරදි නොකර ඉන්න ලොකු උත්සාහයක් ගන්නවා නම් යෙහෝවාත් එක්ක කිට්ටු යාළුකමක් ඇති කරගන්න අපිට පුළුවන්. (1 යොහන් 2:1) බයිබලයේ මෙහෙම කියනවා. ‘ක්‍රිස්තුස් සියලුදෙනාගේ පව් උදෙසා මිය ගියා. ධර්මිෂ්ඨ කෙනෙකු වූ ඔහු මිය ගියේ අධර්මිෂ්ඨයන් වෙනුවෙන්. ඔහු ඒ දේ කළේ ඔබව දෙවි වෙතට යොමු කරන්නයි.’1 පේතෘස් 3:18.

2. ඔයාට යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඉදිරියේදී ප්‍රයෝජන ලබාගන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවියන් යේසුස්ගේ පරිපූර්ණ ජීවිතය මිනිස්සු වෙනුවෙන් දුන්නේ ‘[යේසුස්] ගැන විශ්වාසය තියන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබා දෙන්නයි.’ (යොහන් 3:16) යේසුස් කරපු ඒ දේ නිසා දැන් යෙහෝවා දෙවියන්ට පුළුවන් ආදම්ගේ අකීකරුකම නිසා මිනිස්සුන්ට අද්දකින්න වුණ හැම නරක දෙයක්ම නැති කරලා දාන්න. යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් ඔයාටත් පුළුවන් පාරාදීස පොළොවක හැමදාටම සතුටින් ජීවත් වෙන්න.—යෙසායා 65:21-23.

තවත් හොයමු

යේසුස් ඔහුගේ ජීවිතේ දුන්නේ ඇයි කියලත් ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැනත් තව තොරතුරු දැනගන්න.

3. යේසුස් මිය ගියේ අපිව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කරන්නයි

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ආදම් දෙවියන්ට අකීකරු වුණ නිසා එයා නැති කරගත්තේ මොනවාද?

රෝම 5:12 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ආදම් කරපු පාපය ඔයාට බලපාලා තියෙන්නේ කොහොමද?

යොහන් 3:16 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා දෙවියන් ඔහුගේ පුතාව මේ පොළොවට එව්වේ ඇයි?

  1. ආදම් පරිපූර්ණ මිනිසෙක්. එයා දෙවියන්ට අකීකරු වුණ නිසා මිනිස්සුන්ට පාපයත් මරණයත් උරුම වුණා

  2. යේසුත් පරිපූර්ණ මිනිසෙක්. ඔහු දෙවියන්ට කීකරු වුණ නිසා මිනිස්සුන්ට පාපයෙන්, මරණයෙන් නිදහස් වෙලා හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා

4. යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබාගන්න අපි හැමෝටම පුළුවන්

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • එක මිනිසෙක්ගේ මරණයෙන් මිනිස්සු හැමෝටම ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

1 තිමෝති 2:5, 6 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ආදම් කිසි අඩුවක් නැති පරිපූර්ණ මිනිසෙක්. එයා නිසා මිනිස්සුන්ට පාපයත් මරණයත් උරුම වුණා. යේසුත් පරිපූර්ණ මිනිසෙක්. මිනිස්සුන්ව බේරගන්න ඕන කරන “නියමිත වන්දිය” ඔහු ගෙව්වේ කොහොමද?

5. යේසුස්ගේ ජීවිත පූජාව තමයි යෙහෝවා ඔයාට දුන්න වටිනාම තෑග්ග

යෙහෝවා දෙවියන්ගේ යාළුවන්ට දැනෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව එයාලා වෙනුවෙන්ම දුන්න තෑග්ගක් කියලයි. ගලාති 2:20 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • පාවුල් යේසුස්ගේ ජීවිත පූජාව සැලකුවේ එයා වෙනුවෙන්ම දීපු තෑග්ගක් විදිහටයි කියලා අපි දන්නේ කොහොමද?

ආදම් පව් කරපු නිසා එයාගෙන් පැවතෙන හැමෝටම මරණය උරුම වුණා. ඒත් යෙහෝවා ඔහුගේ පුතාව එව්වේ අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතේ දීලා අපිට හැමදාටම සතුටින් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි.

තමන්ගේ පුතා දුක් විඳිද්දී යෙහෝවා දෙවියන්ට දැනෙන්න ඇත්තේ කොහොමද කියලා මේ බයිබල් පද කියවද්දී හිතින් මවාගන්න. යොහන් 19:1-7, 16-18 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා සහ යේසුස් ඔයා වෙනුවෙන් කරපු දේ ගැන ඔයාට දැනෙන්නේ කොහොමද?

සමහරු මෙහෙම අහයි: “එක් කෙනෙක්ගේ මරණයෙන් කොහොමද හැමෝටම ගැලවීම ලැබෙන්නේ?”

  • ඔයා ඒකට උත්තර දෙන්නේ කොහොමද?

ඉගෙනගත්ත දේ

යේසුස්ගේ මරණය නිසා අපේ පව්වලට සමාව දෙන්න යෙහෝවාට පුළුවන්. ඒ වගේම කවදාවත් මැරෙන්නේ නැතුව හැමදාමට ජීවත් වෙන්න අපිට ඒකෙන් අවස්ථාව ලැබුණා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • යේසුස් මැරුණේ ඇයි?

  • යේසුස්ගේ පරිපූර්ණ ජීවිතය අපේ පව්වලට නියමිත වන්දියක් වුණේ කොහොමද?

  • යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඔයාට ප්‍රයෝජන ලබාගන්න පුළුවන් කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

යේසුස්ගේ පරිපූර්ණ ජීවිතය නියමිත වන්දියක් කියලා කියන්නේ ඇයි කියලා දැනගන්න.

“යේසුස්ගේ ජීවිත පූජාව වන්දියක් වුණේ කොහොමද?” (වෙබ් ලිපිය)

පාපයෙන් සහ මරණයෙන් ගැලවෙන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න.

“යේසුස් නිසා අපිට ගැලවීම ලැබෙන්නේ කොහොමද?” (වෙබ් ලිපිය)

බරපතළ වැරදිවලටත් සමාව දෙන්න යෙහෝවාට පුළුවන්ද?

“පැනයට පිළිතුර බයිබලයෙන්” (2013 මැයි 1 ‘මුරටැඹ’)

කෙනෙක්ට එයාගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්න යේසුස්ගේ ජීවිත පූජාව ගැන ඉගෙනගත්ත එක උදව් වුණේ කෙහොමද කියලා දැනගන්න.

“මං දැන් දරුණු කෙනෙක් නෙමෙයි” (වෙබ් ලිපිය)

a පාපය කියන්නේ අපි කරන වැරදි විතරක් නෙමෙයි. ආදම්ගෙන් පැවත එන නිසා අපිට උරුම වුණ දුර්වලකම්, අඩුපාඩු සහ වැරදි කරන්න අපි තුළ තියෙන පෙලඹීමත් ඒකට ඇතුළත්.