Skip to content

පටුනට යන්න

31 පාඩම

දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද?

දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද?

බයිබලය පුරාම කතා කරලා තියෙන්නේ දේවරාජ්‍යය ගැනයි. ඒක තමයි බයිබලයේ ප්‍රධානම පණිවිඩය. යෙහෝවා ඔහුගේ රාජ්‍යය මාර්ගයෙන් තමයි මේ පොළොව පාරාදීසයක් කරන්නේ. දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද? ඒකේ පාලනය දැනටමත් පටන් අරන් කියලා අපි දන්නේ කොහොමද? ඒකෙන් දැනටමත් කරලා තියෙන්නේ මොනවාද? අනාගතයේදී කරන්න යන්නේ මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ පාඩමෙනුත් ඊළඟ පාඩම් දෙකෙනුත් බලමු.

1. දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද? ඒකේ රජ කවුද?

දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ යෙහෝවා දෙවියන් පිහිටවපු ආණ්ඩුවක්. ඒකේ රජ යේසුස් ක්‍රිස්තුස්. ඔහු පාලනය කරන්නේ ස්වර්ගයේ ඉඳන්. (මතෙව් 4:17; යොහන් 18:36) බයිබලයේ කියනවා යේසුස් “සදහටම රජකම් කරනවා” කියලා. (ලූක් 1:32, 33) දෙවියන්ගේ රාජ්‍යයේ රජ විදිහට අනාගතයේදී යේසුස් පොළොවේ ඉන්න හැමෝවම පාලනය කරනවා.

2. යේසුස් එක්ක පාලනය කරන්නේ කවුද?

මේ පොළොව පාලනය කරන්න යන්නේ යේසුස් විතරක් නෙමෙයි. දෙවියන් “හැම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම” තෝරගන්න පිරිසකට මේ පොළොවේ රජකම භාර දෙනවා. (එළිදරව් 5:9, 10) යේසුස් එක්ක පාලනය කරන්න කීදෙනෙක් හවුල් වෙනවාද? යේසුස් මේ පොළොවට ආව දවසේ ඉඳන් මේ වෙන කල් මිලියන ගාණක් දෙනෙක් ඔහුගේ අනුගාමිකයන් වෙලා තියෙනවා. ඒත් ඒ අයගෙන් 1,44,000දෙනෙක් විතරයි ඔහුත් එක්ක ස්වර්ගයේ පාලනය කරන්නේ. (එළිදරව් 14:1-4 කියවන්න.) යේසුස්ගේ අනිත් අනුගාමිකයන් හැමෝම දේවරාජ්‍යයේ පාලනය යටතේ මේ පොළොවේ ජීවත් වෙනවා.​—ගීතාවලිය 37:29.

3. දෙවියන්ගේ ආණ්ඩුව මිනිස්සුන්ගේ ආණ්ඩුවලට වඩා උසස් කියන්නේ ඇයි?

සමහර පාලකයන් උත්සාහ කරනවා හොඳ දේවල් කරන්න. ඒත් ඒ හැම දේම කරන්න එයාලට හැකියාව නැහැ. ඒ වගේම කාලයක් ගියාම එයාලා වෙනුවට මිනිස්සුන් ගැන හිතන්නේ නැති පාලකයන් පත් වෙන්න ඉඩ තියෙනවා. ඒත් දෙවියන් පිහිටුවලා තියෙන ආණ්ඩුව “කිසිදාක විනාශ නොවන රාජ්‍යයක්.” (දානියෙල් 2:44) ඒ නිසා ඒකේ රජ වන යේසුස්ව පාලනයෙන් අයින් කරන්න කාටවත් බැහැ. යේසුස් මේ මුළු පොළොවම පාලනය කරන්න යනවා. එදාට ඔහු හැමෝටම එක වගේ සලකනවා. ඔහු හැමෝටම ආදරයෙන්, කරුණාවෙන්, සාධාරණව සලකනවා. ඒ විදිහටම අනිත් අයට සලකන්න ඔහු මිනිස්සුන්ට කියලා දෙනවා.​—යෙසායා 11:9 කියවන්න.

තවත් හොයමු

දෙවියන්ගේ ආණ්ඩුව මිනිස් ආණ්ඩුවලට වඩා උසස් කියලා කියන්න තියෙන තවත් හේතු බලන්න.

4. මුළු පොළොවම පාලනය කරන බලවත් ආණ්ඩුවක්

මේ වෙන කල් පාලනය කරලා තියෙන අනිත් හැම පාලකයෙක්ටම වඩා යේසුස් හුඟක් බලවත්. මතෙව් 28:18 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • මිනිස් පාලකයන්ට වඩා යේසුස් හුඟක් බලවත් කියලා කියන්නේ ඇයි?

තියෙන ආණ්ඩු පෙරළිලා අලුත් ආණ්ඩු පත් වෙන එක නිතරම වගේ දකින්න තියෙන දෙයක්. ඒ වගේම පාලකයෙක්ට පාලනය කරන්න හම්බ වෙන්නේ එක රටක් නැත්නම් පළාතක් විතරයි. දෙවියන්ගේ රාජ්‍යයත් ඒ වගේද? දානියෙල් 7:14 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • දෙවියන්ගේ රාජ්‍යය ‘කවදාවත් විනාශ වෙන්නේ නැති’ එක හොඳයි කියලා ඔයා හිතන්නේ ඇයි?

  • දෙවියන්ගේ රාජ්‍යයෙන් මුළු පොළොවම පාලනය කරන එක හොඳ දෙයක් වෙන්නේ ඇයි?

5. මිනිස් ආණ්ඩු වෙනුවට දෙවියන්ගේ ආණ්ඩුව

මේ පොළොව පාලනය කරන්න ඕනෙ මිනිස් ආණ්ඩු නෙමෙයි දෙවියන්ගේ ආණ්ඩුවයි. එහෙම කියන්නේ ඇයි? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • මිනිස්සුන්ගේ ආණ්ඩු නිසා වෙලා තියෙන්නේ මොනවාද?

දේශනාකාරයා 8:9 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • මිනිස් ආණ්ඩු වෙනුවට දෙවියන්ගේ ආණ්ඩුව මේ පොළොව පාලනය කරන්න ඕනෙ කියලා ඔයා හිතනවාද? ඔයා එහෙම හිතන්නේ ඇයි?

6. අපිව තේරුම්ගන්න පුළුවන් පාලකයන්

අපේ රජ යේසුස් මිනිසෙක් විදිහට ජීවත් වුණ නිසා “අපේ දුර්වලකම් ගැන” ඔහුට තේරුම්ගන්න පුළුවන්. ඔහු අපිට “අනුකම්පා” කරනවා. (හෙබ්‍රෙව් 4:15) යේසුස් එක්ක පාලනය කරන 1,44,000දෙනාටත් අපිව තේරුම්ගන්න පුළුවන්. මොකද ඒ විශ්වාසවන්ත පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව තෝරගන්නේ “හැම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම.”​—එළිදරව් 5:9.

  • යේසුස්ටයි, ඔහුත් එක්ක පාලනය කරන අයටයි මිනිස්සුන්ව හොඳින් තේරුම්ගන්න පුළුවන් කියලා දැනගන්න ලැබුණ එක ඔයාට සහනයක්ද? එහෙම කියන්නේ ඇයි?

යේසුස් එක්ක පාලනය කරන්න යෙහෝවා දෙවියන් හැම පසුබිමකින්ම එන පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව තෝරගෙන තියෙනවා

7. දෙවියන්ගේ ආණ්ඩුවෙන් පනවන නීති ගොඩක් වෙනස්

සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ආරක්ෂාවක්, යහපතක් වෙයි කියලා හිතාගෙන ආණ්ඩුවලින් නීති පනවනවා. දෙවියන්ගේ ආණ්ඩුවටත් නීති මාලාවක් තියෙනවා. 1 කොරින්ති 6:9-11 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • දෙවියන්ගේ නීතිවලට හැමෝම කීකරු වෙද්දී ඒක කොයි වගේ කාලයක් වෙයිද? a

  • දේවරාජ්‍යයේ පාලනය යටතේ ජීවත් වෙන අය ඔහුගේ නීතිවලට කීකරු වෙයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙන එක සාධාරණයි කියලා ඔයා හිතනවාද? ඔයා එහෙම හිතන්නේ ඇයි?

  • දෙවියන්ගේ නීතිවලට අනුව ජීවත් වෙන්නේ නැති අයට වුණත් එයාලගේ ජීවිත වෙනස් කරගන්න පුළුවන්ද? එහෙම කියන්නේ ඇයි?​—11වෙනි පදය බලන්න.

මිනිස්සුන්ගේ යහපත සහ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුවලින් නීති පනවනවා. දෙවියන්ගේ ආණ්ඩුවේ නීතිවලින් මිනිස්සුන්ට ඊට වඩා ආරක්ෂාවක් ලැබෙනවා. යහපතක් වෙනවා

සමහරු මෙහෙම අහයි: “මොකක්ද ඔය දේවරාජ්‍යය කියන්නේ?”

  • ඔයා මොන වගේ උත්තරයක්ද දෙන්නේ?

ඉගෙනගත්ත දේ

දෙවියන්ගේ රාජ්‍යය ස්වර්ගයේ තියෙන ඇත්ත ආණ්ඩුවක්. ඉස්සරහට ඒ ආණ්ඩුවෙන් මුළු පොළොවම පාලනය කරනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • දෙවියන්ගේ රාජ්‍යයේ පාලකයන් කවුද?

  • මිනිස්සුන්ගේ ආණ්ඩුවලට වඩා දෙවියන්ගේ ආණ්ඩුව උසස් කියලා කියන්නේ ඇයි?

  • දේවරාජ්‍යය යටතේ ජීවත් වෙන අයගෙන් යෙහෝවා බලාපොරොත්තු වෙන සමහර දේවල් මොනවාද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

දෙවියන්ගේ රාජ්‍යය තියෙන්නේ කොහේද? ඒ ගැන යේසුස් කියපු දේ දැනගන්න.

“දේවරාජ්‍යය මිනිසුන්ගේ හිත්වල තියෙන දෙයක්ද?” (වෙබ් ලිපිය)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිනිස් ආණ්ඩුවලට වඩා දෙවියන්ගේ ආණ්ඩුවට පක්ෂව ඉන්නේ ඇයි?

‘අපි ළැදි වුණේ දේවරාජ්‍යයටයි!’ (1:43)

යෙහෝවා යේසුස් එක්ක පාලනය කරන්න තෝරන 1,44,000දෙනා ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා දැනගන්න.

“ස්වර්ගයට යන්නේ කවුද?” (වෙබ් ලිපිය)

හැමෝටම සාධාරණය ඉටු කරන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලා හිරේ හිටපු කාන්තාවක් විශ්වාස කරන්න පටන්ගත්තේ ඇයි?

“අයුක්තියට විසඳුමක් මට ලැබුණා” (2011 නොවැම්බර් ‘පිබිදෙව්!’)

a ඒ සමහර නීති ගැන 3වෙනි කොටසෙන් දැනගන්න පුළුවන්.