Skip to content

පටුනට යන්න

32 පාඩම

දේවරාජ්‍යයේ පාලනය පටන් අරන්!

දේවරාජ්‍යයේ පාලනය පටන් අරන්!

දෙවියන්ගේ රාජ්‍යය ස්වර්ගයේ පාලනය කරන්න පටන්ගත්තේ 1914දියි. ඒත් එක්කම තමයි අවසාන කාලය ඒ කියන්නේ මිනිස් පාලනයේ අවසාන කාලය පටන්ගත්තේ. කොහොමද අපි ඒක දන්නේ? ඒක තේරුම්ගන්න අවසාන කාලය ගැන බයිබලයේ තියෙන අනාවැකි කීපයක් බලමු. ඒ වගේම 1914 ඉඳන් ලෝකේ වෙන සිද්ධීන් ගැනත් ඒ කාලයේ ඉඳන් මිනිසුන් තුළ දකින්න තියෙන ගතිලක්ෂණ ගැනත් බලමු.

1. බයිබලයේ තියෙන අනාවැකිවලින් පැහැදිලි වෙන්නේ මොනවාද?

දෙවියන්ගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගන්නේ “කාලවල් හතක්” විදිහට හඳුන්වන කාල පරිච්ඡේදයක් අවසානයේදී කියලා බයිබලයේ කියනවා. (දානියෙල් 4:16, 17) ඒක ලියලා සියවස් ගාණකට පස්සේ යේසුස් ඒ කාල පරිච්ඡේදය හැඳින්නුවේ “ජාතීන් සඳහා නියමිත වූ කාලය” විදිහටයි. (ලූක් 21:24) ඒ වගේම ඒ වෙද්දීත් ඒ කාල පරිච්ඡේදය අවසන් වෙලා නැහැ කියලා ඔහු ඉගැන්නුවා. ඒ කාලවල් හත අවසන් වුණේ 1914දියි. එහෙම කියන්නේ ඇයි කියලා අපි මේ පාඩමෙන් බලමු.

2. 1914 ඉඳන් ලෝකේ සිද්ධ වෙන දේවල් සහ මිනිස්සු තුළ දකින්න තියෙන ගතිලක්ෂණ මොනවාද?

යේසුස්ගේ අනුගාමිකයන් යේසුස්ගෙන් ඇහුවා, “ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද” කියලා. (මතෙව් 24:3) දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තාට පස්සේ ලෝකේ සිද්ධ වෙන්න යන හුඟක් දේවල් ගැන යේසුස් එයාලට කිව්වා. යුද්ධ, ආහාර හිඟකම්, භූමිකම්පා ඒවායින් කීපයක්. (මතෙව් 24:7 කියවන්න.) “අවසාන කාලයේදී” ජීවත් වෙන මිනිස්සුන්ගේ නරක ගති නිසා ඒක ජීවත් වෙන්න ‘අසීරු කාලයක්’ වෙනවා කියලත් බයිබලයේ කියනවා. (2 තිමෝති 3:1-5) ඒ නරක ගතිලක්ෂණ සහ යේසුස් කියපු සිද්ධීන් 1914 ඉඳන් පැහැදිලිවම දකින්න තියෙනවා.

3. දේවරාජ්‍යයේ පලනය පටන්ගත්තාට පස්සේ ලෝකේ තත්වය මෙච්චර නරක අතට හැරිලා තියෙන්නේ ඇයි?

යේසුස් දේවරාජ්‍යයේ රජ වුණ ගමන්ම වගේ ඔහු සාතන් සහ භූතයන් එක්ක ස්වර්ගයේ යුද්ධයක් කළා. ඒ යුද්ධයෙන් සාතන් පැරදුණා. බයිබලයේ කියනවා ඊටපස්සේ ‘සාතන්වත් ඔහුගේ දූතයන්වත් පොළොවට හෙළුවා’ කියලා. (එළිදරව් 12:9, 10, 12) සාතන් දන්නවා දෙවියන් එයාව ඉක්මනටම විනාශ කරනවා කියලා. එයා ඉන්නේ ලොකු කේන්තියකින්. ඒ නිසා එයා පුළුවන් තරම් මේ පොළොවේ ඉන්න අයට දුක් කරදර ඇති කරනවා. මේ ලෝකේ තත්වය මෙච්චර නරක අතට හැරිලා තියෙන්නේ ඒ නිසයි. ඒත් දේවරාජ්‍යයෙන් ළඟදීම ඒ හැම දුකක්ම නැති කරනවා.

තවත් හොයමු

1914දී දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තා කියලා අපි දන්නේ කොහොමද? අපි ඒක දැනන් ඉන්න එක වැදගත් වෙන්නේ ඇයි?

4. පාලනය පටන්ගත්තේ 1914දී කියලා කියන්නේ ඇයි?

අතීතයේදී බැබිලෝනියේ හිටපු නෙබුකද්නෙෂර් රජට අනාගතයේදී වෙන්නේ මොනවාද කියලා දෙවියන් හීනයක් මාර්ගයෙන් පෙන්නුවා. ඒ හීනේ ගැන සහ ඒකේ තේරුම ගැන දානියෙල් කිව්ව දේ අපිට බයිබලයෙන් කියවන්න පුළුවන්. බයිබලයේ තියෙන ඒ දේවලින් පැහැදිලියි ඒ හීනේ සඳහන් වෙන්නේ නෙබුකද්නෙෂර්ගේ පාලනය ගැන සහ දේවරාජ්‍යයේ පාලනය ගැන කියලා.​—දානියෙල් 4:17 කියවන්න. a

දානියෙල් 4:20-26 කියවන්න. ඊටපස්සේ වගුව පාවිච්චි කරලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.

  • (1) නෙබුකද්නෙෂර් හීනෙන් දැක්කේ මොනවාද?​—20 සහ 21 පද බලන්න.

  • (2) ගහට මොනවාද වෙන්නේ?​—23 පදය බලන්න.

  • (3) “කාලවල් හත” අවසානයේදී වෙන්නේ මොනවාද?​—26 පදය බලන්න.

හීනෙන් දැකපු ගහෙන් අදහස් කරන දේ

අනාවැකිය (දානියෙල් 4:20-36)

පාලනය

(1) විශාල ගසක්

පාලනය නවතියි

(2) ‘ගස කපා දාන්න’ ඊටපස්සේ ‘කාලවල් හතක් පහු වෙන කල්’ ඉන්න

පාලනය ආයෙත් පටන්ගනියි

(3) ‘රාජ්‍යය ආයෙත් ඔබේ අතට ලැබෙයි’

අනාවැකියේ පළවෙනි ඉටු වීම

  • (4) ගහෙන් නියෝජනය වුණේ කාවද?​—22 පදය බලන්න.

  • (5) එයාගේ පාලනය නැවතුණේ කොහොමද?​දානියෙල් 4:29-33 කියවන්න.

  • (6) “කාලවල් හත” අවසානයේදී නෙබුකද්නෙෂර්ට වුණේ මොනවාද?​දානියෙල් 4:34-36 කියවන්න.

මුල් ඉටු වීම

පාලනය

(4) බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්

පාලනය නවතියි

(5) ක්‍රි.පූ. 606න් පස්සේ නෙබුකද්නෙෂර්ගේ සිහිය විකල් වෙලා අවුරුදු හතක් එයාට පාලනය කරන්න බැරි වුණා

පාලනය ආයෙත් පටන්ගනියි

(6) නෙබුකද්නෙෂර් පියවි සිහියට ඇවිත් ආයෙත් පාලනය කරන්න පටන්ගත්තා

අනාවැකියේ දෙවෙනි ඉටු වීම

  • (7) ගහෙන් නියෝජනය කළේ කාවද?​1 ලේකම් 29:23 කියවන්න.

  • (8) ඒ පාලනය නතර වුණේ කවදාද? යේසුස් පොළොවේ ඉද්දීත් ඒ පාලනය පටන් අරන් තිබුණේ නැහැ කියලා අපි දන්නේ කොහොමද?​ලූක් 21:24 කියවන්න.

  • (9) ඒ පාලනය ආයෙත් පටන්ගත්තේ කවදාද? කොහේදීද?

දෙවෙනි ඉටු වීම

පාලනය

(7) දෙවියන්ගේ පාලනය නියෝජනය කරපු ඊශ්‍රායෙලයේ රජවරු

පාලනය නවතියි

(8) යෙරුසලමේ විනාශයත් එක්කම ඊශ්‍රායෙලයේ රජවරුන්ගේ පාලනය අවුරුදු 2,520කට නතර වුණා

පාලනය ආයෙත් පටන්ගනියි

(9) දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් ස්වර්ගයේ පාලනය කරන්න පටන්ගත්තා

කාලවල් හත කොච්චර දිගද?

බයිබලයේ තියෙන සමහර පදවල අදහස තේරුම්ගන්න ඒකේ තියෙන තවත් පද උදව් වෙනවා. උදාහරණයකට බයිබලයේ එළිදරව් පොතේ කියනවා කාලවල් 3 1/2ක් කියන්නේ දවස් 1,260ක් කියලා. (එළිදරව් 12:6, 14) එහෙම බලද්දී කාලවල් 7ක් කියන්නේ දවස් 2,520යි. බයිබලයේ සමහර වෙලාවට එක දවසක් ගැන කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ එක අවුරුද්දක් ගැන. (එසකියෙල් 4:6) දානියෙල් පොතේ කතා කරන කාලවල් හතටත් ඒක අදාළයි. ඒ කාලවල් හතෙන් නියෝජනය වෙන්නේ අවුරුදු 2,520ක්.

5. 1914 ඉඳන් මේ ලෝකේ වෙනස් වෙලා

යේසුස් තමන් රජ වුණාට පස්සේ ලෝකේ සිද්ධ වෙන්න යන දේවල් ගැන කලින්ම කිව්වා. ලූක් 21:9-11 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • මේ පදවල කතා කරන මොන දේවල්ද ඔයා දැකලා හෝ අහලා තියෙන්නේ?

මිනිස් පාලනයේ අවසාන කාලයේදී ජීවත් වෙන මිනිස්සු තුළ දකින්න තියෙන ගතිලක්ෂණ ගැන පාවුල් කතා කළා. 2 තිමෝති 3:1-5 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • මෙතන කතා කරන ගතිලක්ෂණ මිනිස්සු තුළ ඔයා දැකලා තියෙනවාද? ඒ මොන වගේ ඒවාද?

6. දෙවියන්ගේ රාජ්‍යය ඔයාට හුඟක් වැදගත් කියලා ඔයා පෙන්නන්නේ කොහොමද?

මතෙව් 24:3, 14 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • දේවරාජ්‍යයේ පාලනය පටන් අරන් කියලා පැහැදිලි වෙන්නේ ලෝකේ පුරාම සිද්ධ වෙන මොන වැදගත් වැඩෙන්ද?

  • ඒ වැඩේට හවුල් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

දෙවියන්ගේ රාජ්‍යයේ පාලනය දැන් ස්වර්ගයේ ඇරඹිලයි තියෙන්නේ. ළඟදීම ඒ රාජ්‍යයෙන් මේ මුළු පොළොවම පාලනය කරනවා. හෙබ්‍රෙව් 10:24, 25 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • “මහත් දවස ළඟයි” කියලා තේරෙන නිසා අපි එක් එක් කෙනා කරන්න ඕනෙ මොනවාද?

අනිත් අයගේ ජීවිත බේරගන්න උදව් වෙන දෙයක් ගැන ඔයා දැනගත්තොත් ඔයා මොකද කරන්නේ?

සමහරු මෙහෙම අහයි: “ඇයි ඔයාලා ඔච්චර ඔය 1914 ගැන කතා කරන්නේ?”

  • ඔයා ඒකට දෙන්නේ මොන වගේ උත්තරයක්ද?

ඉගෙනගත්ත දේ

බයිබලයේ සඳහන් අනාවැකි සහ ලෝකේ සිද්ධ වෙන දේවලින් තේරෙනවා දේවරාජ්‍යයේ පාලනය පටන් අරන් කියලා. දේවරාජ්‍යය ගැන දේශනා කරද්දී, රැස්වීම්වලට හවුල් වෙද්දී අපි පෙන්නන්නේ අපි ඒක විශ්වාස කරනවා කියලයි.

ඔයා හිතන්නේ මොකක්ද?

  • කාලවල් හත අවසානයේදී වුණේ මොකක්ද?

  • 1914දී දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තා කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?

  • දේවරාජ්‍යය දැනටමත් පාලනය කරනවා කියන දේ ඔයාට විශ්වාසයි කියලා පෙන්නන්නේ කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

1914 ඉඳන් මේ ලෝකේ වෙනස් වෙලා තියෙන විදිහ ගැන ඉතිහාසඥයන් සහ වෙනත් අය කියන දේවල් දැනගන්න.

“සදාචාරයේ බිඳවැටීමේ කඩඉම” (2007 අප්‍රියෙල් ‘පිබිදෙව්!’)

මතෙව් 24:14 සඳහන් අනාවැකිය ගැන දැනගත්තාට පස්සේ කෙනෙක් එයාගේ ජීවිතේ වෙනස් කරගත්තේ කොහොමද කියලා දැනගන්න.

“බේස්බෝල් තමයි මගේ ජීවිතේ අංක එක වෙලා තිබුණේ” (2017 අංක 3 ‘මුරටැඹ’)

a මේ පාඩමේ “තව දැනගන්න” කියන කොටස යටතේ තියෙන  අන්තිම ලිපි දෙක බලන්න.