Skip to content

පටුනට යන්න

41 පාඩම

ලිංගික කාරණා ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ලිංගික කාරණා ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ලිංගික කාරණා ගැන කතා කරන්න ගොඩක් අය කැමති නැහැ. ඒත් බයිබලයේ ලිංගික කාරණා ගැන පැහැදිලිව සහ ගෞරවනීය විදිහට කතා කරලා තියෙනවා. බයිබලයේ කියලා තියෙන දේවල් අපිට ගොඩක් ප්‍රයෝජනවත්. මොකද අපේ නිර්මාතෘ හැටියට යෙහෝවා දෙවියන් අපිට හොඳම දේ මොකක්ද කියලා දන්නවා. ඔහුව සතුටු කරන්න නම් අපි මොනවාද කරන්න ඕනෙ කියලත් සදහටම සතුටින් ජීවත් වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද කියලත් ඔහු අපිට කියලා දෙනවා.

1. ලිංගික සම්බන්ධකම් ගැන යෙහෝවා කියලා තියෙන්නේ මොකක්ද?

ලිංගික සම්බන්ධකම් පවත්වන්න මිනිස්සුන්ට තියෙන හැකියාව යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක්. ඒක විවාහ වෙලා ඉන්න පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අතර විතරක් වෙන්න ඕනෙ දෙයක් කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. ඒ තෑග්ග නිසා යුවළකට දරුවන් හදාගන්න පුළුවන්. ඒ වගේම එකිනෙකා ගැන එයාලට තියෙන ආදරේ, සෙනෙහස පෙන්නන්නත් සතුටක් ලබන්නත් පුළුවන්. “ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න” කියලා බයිබලයේ කියලා තියෙන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 5:18, 19) විවාහ වෙලා ඉන්න ක්‍රිස්තියානීන් එයාලගේ සහකරුට, සහකාරියට විශ්වාසවන්තව ඉඳියි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අනාචාරයේ යෙදෙන එක එයාලා බරපතළ වරදක් විදිහට සලකනවා.—හෙබ්‍රෙව් 13:4 කියවන්න.

2. වේශ්‍යාකම කියන්නේ මොකක්ද?

‘වේශ්‍යාකම් කරන අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැහැ’ කියලා බයිබලයේ අපිට කියනවා. (1 කොරින්ති 6:9, 10) වේශ්‍යාකම ගැන කතා කරද්දී බයිබල් ලේඛකයන් පාවිච්චි කරලා තියෙන්නේ “පෝර්නියා” කියන ග්‍රීක වචනයයි. ඒකට මේ දේවල් ඇතුළත්. (1) විවාහක යුවළක් අතර වෙන ලිංගික සම්බන්ධකම් හැර අනිත් හැම ලිංගික සම්බන්ධකමක්ම. a (2) සමලිංගික ඇසුර. (3) සත්තු එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන එක. “වේශ්‍යාකමින් වැළකිලා” ඉද්දී ඒකෙන් අපිට ප්‍රයෝජන ලැබෙනවා විතරක් නෙමෙයි යෙහෝවාත් අපි ගැන සතුටු වෙනවා.—1 තෙසලෝනික 4:3.

තවත් හොයමු

ඔයාට වේශ්‍යාකමින් වැළකිලා ඉන්න පුළුවන් කොහොමද කියලත් පවිත්‍ර ජීවිතයක් ගත කරන එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලත් බලන්න.

3. දුරාචාරයෙන් පලා දුවන්න

කාන්තාවක් යෝසෙප් කියන තරුණයාව වරදට පොලඹවන්න හැදුවත් එයා ඒකට විරුද්ධ වුණා. උත්පත්ති 39:1-12 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෝසෙප් පලා ගියේ ඇයි?—9වෙනි පදය බලන්න.

  • යෝසෙප් ගත්තේ හරි තීරණය කියලා ඔයා හිතනවාද? ඔයා එහෙම කියන්නේ ඇයි?

යෝසෙප් වගේ දුරාචාරයෙන් පලා දුවන්න අද ඉන්න යෞවනයන්ට පුළුවන් කොහොමද? වීඩියෝ එක බලන්න.

යෙහෝවාට ඕනෙ අපි හැමෝම දුරාචාරයෙන් ඈත් වෙලා ඉන්නවා දකින්න. 1 කොරින්ති 6:18 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • මොන වගේ දේවල් නිසා කෙනෙක් දුරාචාරයට වැටෙන්න පුළුවන්ද?

  • ඔයාට දුරාචාරයෙන් පලා දුවන්න පුළුවන් කොහොමද?

4. වැරදි පෙලඹීම් ප්‍රතික්ෂේප කරන්න ඔයාට පුළුවන්

දුරාචාරයේ යෙදෙන්න එන පෙලඹීම්වලට විරුද්ධ වෙන එක අමාරු වෙන්න පුළුවන් ඇයි? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • වීඩියෝ එකේ ඉන්න සහෝදරයා එයා හිතන සහ කරන සමහර දේවල් එයාගේ බිරිඳට ද්‍රෝහි වෙන්න හේතුවක් වෙන්න පුළුවන් කියලා තේරුම්ගත්තාම මොනවාද කළේ?

විශ්වාසවන්තව සේවය කරන ක්‍රිස්තියානියෙක්ට වුණත් නරක සිතුවිලි එන්න පුළුවන්. නරක දේවල් ගැන හිතහිත ඉන්න එකෙන් වැළකිලා ඉන්න ඔයාට පුළුවන් කොහොමද? ෆිලිප්පි 4:8 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අපේ හිත යොමු කරන්න ඕනෙ මොන වගේ දේවලටද?

  • වැරදි දේවල් කරන්න එන පෙලඹීම්වලට විරුද්ධව ඉන්න බයිබලය කියවන එක, නමස්කාරයට සම්බන්ධ දේවල්වල හවුල් වෙන එක අපිට උදව් වෙන්නේ කොහොමද?

5. යෙහෝවාගේ ප්‍රමිති අපිට ආරක්ෂාවක්

අපිට හොඳම දේ මොකක්ද කියලා යෙහෝවා දන්නවා. පවිත්‍රව ඉන්නේ කොහොමද කියලත් එහෙම ඉන්න එක අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද කියලත් ඔහු අපිට කියලා දෙනවා. හිතෝපදේශ 7:7-27 කියවන්න නැත්නම් වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • තරුණයා කරපු මොන දේවල් නිසාද එයා වරදට වැටුණේ?—හිතෝපදේශ 7:8, 9 බලන්න.

  • හිතෝපදේශ 7:23, 26 අනුව දුරාචාරය නිසා ගොඩක් භයානක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් අපි පවිත්‍රව හිටියොත් මොන වගේ ප්‍රශ්න මඟහරින්න අපිට පුළුවන්ද?

  • පවිත්‍ර ජීවිතයක් ගත කරන එක සදහටම සතුටින් ජීවත් වෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

බයිබලයේ සමලිංගික ඇසුර ගැන කියන දේ හරිම අසාධාරණයි කියලා සමහරු හිතනවා. හැබැයි යෙහෝවා කියන්නේ ආදරේ උල්පත. ඔහු කවදාවත් අසාධාරණ ප්‍රමිති දෙන්නේ නැහැ. ඔහු කැමතියි හැමෝම සදහටම සතුටින් ජීවත් වෙනවා දකින්න. හැබැයි ඒක ලබාගන්න නම් අපි ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න ඕනේ. 1 කොරින්ති 6:9-11 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • දෙවියන් වැරදි දේවල් විදිහට සලකන්නේ සමලිංගිකව හැසිරෙන්න තියෙන ආශාව විතරද?

දෙවියන්ව සතුටු කරන්න නම් අපි හැමෝම අපේ ජීවිතවල වෙනස්කම් කරගන්න ඕනේ. එහෙම කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද? ගීතාවලිය 19:8, 11 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • සදාචාරය ගැන යෙහෝවා දීලා තියෙන ප්‍රමිති සාධාරණයි කියලා ඔයා හිතනවාද? ඔයා එහෙම කියන්නේ ඇයි?

සදාචාරය ගැන යෙහෝවා දීලා තියෙන ප්‍රමිතිවලට කීකරු වෙන්න ඔහු ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ඔහු ඔයාටත් උදව් කරයි

සමහරු මෙහෙම කියනවා: “දෙන්නාට දෙන්නා ආදරේ නම් එකට ඉන්න එකේ තියෙන වරද මොකක්ද?”

  • එහෙම කියන කෙනෙක්ට ඔයා මොනවාද කියන්නේ?

ඉගෙනගත්ත දේ

ලිංගික සම්බන්ධකම් කියන්නේ විවාහක යුවළකට සතුටු වෙන්න යෙහෝවාගෙන් ලැබිලා තියෙන තෑග්ගක්.

ඔයා හිතන්නේ මොකක්ද?

  • වේශ්‍යාකමට නැත්නම් දුරාචාරයට ඇතුළත් වෙන්නේ මොනවාද?

  • දුරාචාරයට වැටෙන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

  • සදාචාරය ගැන යෙහෝවා දීලා තියෙන ප්‍රමිති අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

එකට ජීවත් වෙන්න කැමති පුරුෂයෙක් සහ කාන්තාවක් විවාහ වෙන්න ඕනෙ කියලා දෙවියන් කියන්නේ ඇයි කියලා බලන්න.

“විවාහ නොවී එකට ජීවත් වීම වැරදිද?” (වෙබ් ලිපිය)

සමලිංගික ඇසුර වැරදියි කියලා බයිබලයේ කියන එකෙන් අදහස් කරන්නේ අපි ඒ වගේ අයට වෛර කරන්න ඕනෙ කියන එක නෙමෙයි කියන්නේ ඇයි?

“සමලිංගික ඇසුර ඇත්තටම වැරදිද?” (වෙබ් ලිපිය)

ලිංගික කාරණා ගැන දෙවියන් දීලා තියෙන නීති අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

“මුඛ සංවාසය ලිංගික ක්‍රියාවක්ද?” (වෙබ් ලිපිය)

සමලිංගිකව හැසුරුණු කෙනෙක් දෙවියන් සතුටු වෙන විදිහට එයාගේ ජීවිතේ වෙනස් කරගත්තේ ඇයි කියලා “සාක්ෂිකරුවන් මට ගෞරවයෙන් සැලකුවා” කියන ලිපිය කියවලා දැනගන්න.

“ජීවිත වෙනස් කළ පොතක්” (2011 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’)

a දෙවියන් පිළිකුල් කරන ඒ ලිංගික සම්බන්ධකම්වලට ලිංගිකව එකතු වෙන එක විතරක් නෙමෙයි මුඛය, ගුදය ලිංගික ක්‍රියාවලට යොදාගන්න එක සහ එකිනෙකාගේ ලිංගික අවයව පිරිමදින එකත් ඇතුළත්.