Skip to content

පටුනට යන්න

42 පාඩම

විවාහය සහ විවාහ නොවී ඉන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

විවාහය සහ විවාහ නොවී ඉන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

සමහර අය හිතන්නේ විවාහ වුණේ නැත්නම් කෙනෙක්ට සතුටින් ඉන්න බැහැ කියලා. හැබැයි විවාහ වුණ හැමෝම සතුටින් ඉන්නවා කියලත් විවාහ වෙලා නැති හැමෝම දුකෙන් ඉන්නවා කියලත් කියන්න බැහැ. බයිබලයේ කියනවා විවාහ වෙන එකත් විවාහ නොවී ඉන්න එකත් දෙවියන්ගෙන් ලැබිලා තියෙන ආශීර්වාද කියලා.

1. විවාහ නොවී ඉන්න එකේ සමහර ප්‍රයෝජන මොනවාද?

“කෙනෙක් විවාහ වුණත් එයින් ඔහුට යහපතක් සිදු වේ. නමුත් විවාහ නොවී සිටින තැනැත්තාට ඊටත් වඩා යහපතක් සිදු වෙනවා” කියලා බයිබලයේ කියනවා. (1 කොරින්ති 7:32, 33, 38 කියවන්න.) තනිකඩ කෙනෙක්ට “ඊටත් වඩා යහපතක් සිදු වෙනවා” කියද්දී මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? තනිකඩ කෙනෙක්ට වැඩි නිදහසක් තියෙනවා. උදාහරණෙකට සේවය කරන්න වෙන රටකට යන එක වගේ දේවල් එයාලට කරන්න පුළුවන්. ඒ වගේම එයාලට පුළුවන් යෙහෝවා එක්ක එයාලට තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න වැඩි කාලයක් ගන්න.

2. නීත්‍යනුකූලව විවාහ වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

තනිකඩව ඉන්න එකෙන් වගේම විවාහ වෙන එකෙනුත් ආශීර්වාද ලැබෙනවා. බයිබලයේ කියනවා “එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය” කියලා. (දේශනාකාරයා 4:9) බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න අය ඒක ඇත්තක් කියලා අද්දකිනවා. නීත්‍යනුකූලව විවාහ වෙද්දී යුවළක් එකිනෙකාට ආදරේ කරන්න, ගෞරව කරන්න, එකිනෙකාව රැකබලා ගන්න පොරොන්දු වෙනවා. ඒ නිසා විවාහ නොවී එකට ජීවත් වෙන දෙන්නෙක්ට වඩා සුරක්ෂිත හැඟීමක් ඒ දෙන්නාට දැනෙනවා. නීත්‍යනුකූලව විවාහ වෙන යුවළකට ලැබෙන දරුවන්ටත් ආරක්ෂාවක් ලැබෙනවා.

3. යෙහෝවා විවාහය සලකන්නේ කොහොමද?

මුල්ම විවාහය කරපු වෙලාවේ යෙහෝවා මෙහෙම කිව්වා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය.” (උත්පත්ති 2:24) යෙහෝවාට ඕනෙ යුවළක් ජීවත් වෙන තාක් කල් එකිනෙකාට ආදරේ කරලා එකට ජීවත් වෙනවා දකින්න. දික්කසාද වෙන්න අවසර තියෙන්නේ එක් කෙනෙක් අනාචාරයේ යෙදුණොත් විතරයි. වරද නොකළ කෙනාට දික්කසාද වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න අයිතිය යෙහෝවා දීලා තියෙනවා. a (මතෙව් 19:9) විවාහයන් කීපයක් එකපාර කරගන්න එක යෙහෝවා කොහොමටවත් අනුමත කරන්නේ නැහැ.—1 තිමෝති 3:2.

තවත් හොයමු

ඔයා විවාහ වෙලා හිටියත් නැතත් සතුටින් ඉන්න පුළුවන් කොහොමද කියලත් යෙහෝවාව සතුටු කරන්න පුළුවන් කොහොමද කියලත් දැනගන්න.

4. විවාහ නොවී ඉන්න එක ආශීර්වාදයක්. ඒක හොඳින් පාවිච්චි කරන්න

යේසුස් විවාහ නොවී ඉන්න එක ආශීර්වාදයක් නැත්නම් දීමනාවක් විදිහට සැලකුවා. (මතෙව් 19:11, 12) මතෙව් 4:23 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යේසුස් තනිකඩව හිටපු එක ඔහුගේ තාත්තාට සේවය කරන්නත් අනිත් අය වෙනුවෙන් දේවල් කරන්නත් ඔහුට උදව් වුණේ කොහොමද?

යේසුස් වැඩ කළා වගේ වැඩ කරනවා නම් තනිකඩ අයටත් පුළුවන් සතුටින් ඉන්න. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • තනිකඩ ක්‍රිස්තියානීන්ට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

ඔයා දැනගෙන හිටියාද?

විවාහ වෙන්න යම් නිශ්චිත වයසක් පහු කරන්න ඕනෙ කියලා බයිබලයේ කියන්නේ නැහැ. හැබැයි “යොවුන් විය” පහු වෙන කල් ඉන්න එක හොඳ දෙයක් කියලා බයිබලයේ කියනවා. මොකද ඒ වයසේදී ‘ලිංගික හැඟීම් පාලනය කරගන්න අමාරු’ නිසා කෙනෙක් වැරදි තීරණයක් ගන්න පුළුවන්.—1 කොරින්ති 7:36.

5. විවාහ වෙන්නේ කා එක්කද කියලා හොඳ තීරණයක් ගන්න

විවාහ වෙන්නේ කා එක්කද කියලා ඔයා ගන්න තීරණය ඔයා ජීවිතේ ගන්න වැදගත්ම තීරණවලින් එකක්. මතෙව් 19:4-6, 9 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ක්‍රිස්තියානියෙක් හදිසි වෙලා විවාහ වෙන එක හොඳ නැත්තේ ඇයි?

හොඳ සැමියෙක්ට, බිරිඳකට තියෙන්න ඕනෙ මොන වගේ ගුණාංගද කියලා බයිබලයේ කියනවා. වැදගත්ම දේ විවාහ වෙන්න කෙනෙක්ව තෝරගද්දී එයාට යෙහෝවා ගැන ආදරයක් තියෙනවාද කියලා බලන එක. b 1 කොරින්ති 7:39 සහ 2 කොරින්ති 6:14 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඔයා යෙහෝවාට නමස්කාර කරන කෙනෙක් එක්ක විතරක් විවාහ වෙන්න ඕනෙ ඇයි?

  • යෙහෝවාට ආදරේ නැති කෙනෙක් එක්ක ඔයා විවාහ වුණොත් ඒ ගැන ඔහුට කොහොම හිතෙයිද?

වෙනස් ජාතියේ සත්තු දෙන්නෙක් එකම වියගහේ ගැට ගැහුවොත් උන් දෙන්නාම දුක් විඳිනවා. යෙහෝවාට නමස්කාර කරන්නේ නැති කෙනෙක් එක්ක විවාහ වෙන ක්‍රිස්තියානියෙක්ට වෙන්නෙත් ඒ දේමයි

6. විවාහය දිහා යෙහෝවා බලන විදිහට බලන්න

ඊශ්‍රායෙලයේ හිටපු සමහර පුරුෂයන් එයාලගේ භාර්යාවන්ව පොඩි පොඩි හේතු නිසා දික්කසාද කළා. මලාකි 2:13, 14, 16 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අසාධාරණ විදිහට දික්කසාද කරන එක යෙහෝවා පිළිකුල් කරන්නේ ඇයි?

අනාචාරය සහ දික්කසාදය නිසා වරද නොකරපු කෙනා සහ දරුවන් ගොඩක් දුක් විඳිනවා

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඔයා විවාහ වෙලා ඉන්නේ යෙහෝවාට නමස්කාර නොකරන කෙනෙක් එක්ක නම් ඔයාගේ විවාහයේ සතුට තියාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

7. විවාහය ගැන යෙහෝවා දීලා තියෙන මඟ පෙන්වීම් පිළිපදින්න

විවාහය ගැන යෙහෝවා දීලා තියෙන මඟ පෙන්වීම් පිළිපදින්න කෙනෙක්ට ලොකු උත්සාහයක් දරන්න වෙනවා. c හැබැයි එහෙම කරන අයට ඔහු ආශීර්වාද කරනවා. වීඩියෝ එක බලන්න.

හෙබ්‍රෙව් 13:4 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • විවාහය ගැන යෙහෝවා දීලා තියෙන මඟ පෙන්වීම් සාධාරණයි කියලා ඔයා හිතනවාද? ඔයා එහෙම කියන්නේ ඇයි?

ක්‍රිස්තියානීන් එයාලගේ විවාහයන් සහ දික්කසාදයන් රටේ නීතියට අනුව කරයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා. තීතස් 3:1 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඔයා විවාහ වෙලා ඉන්නවා නම් රටේ නීතියෙන් පිළිගන්න විදිහට ඔයාගේ විවාහය කරලා තියෙනවා කියලා ඔයාට ස්ථිරද?

සමහරු මෙහෙම අහයි: “බදින් නැතුව එකට ඉන්න එකේ ඇති වරද මොකක්ද?”

  • ඒ වගේ කෙනෙක්ට ඔයා උත්තර දෙන්නේ කොහොමද?

ඉගෙනගත්ත දේ

විවාහ වෙන එක වගේම විවාහ නොවී ඉන්න එක යෙහෝවාගෙන් ලැබිලා තියෙන ආශීර්වාද. විවාහ වුණත් නැතත් යෙහෝවා කියන විදිහට ජීවත් වෙනවා නම් කෙනෙක්ට සතුටින් ඉන්න පුළුවන්.

ඔයා හිතන්නේ මොකක්ද?

  • අවිවාහක කෙනෙක්ට එයාගේ කාලය හොඳින් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

  • යෙහෝවාට නමස්කාර කරන කෙනෙක් එක්ක විතරක් විවාහ වෙන්න කියලා බයිබලයේ කියන්නේ ඇයි?

  • දික්කසාද වෙන්න බයිබලයේ දීලා තියෙන එකම හේතුව මොකක්ද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

‘ස්වාමීන්ගේ අනුගාමිකයෙක් එක්ක’ විතරක් විවාහ වෙන්න කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?

“පාඨකයන්ගෙන් ප්‍රශ්න” (2004 ජූලි 1 ‘මුරටැඹ’)

යාළු වෙන එක ගැන සහ විවාහ වෙන එක ගැන හොඳ තීරණ ගන්න ඔයාට උදව් වෙන වීඩියෝ දෙකක් බලන්න.

’විවාහයට සූදානම් වීම’ (11:53)

අත්හැරිය දේවලට වඩා යෙහෝවා එයාට ලබා දුන්න දේවල් ගොඩක් වටිනවා කියලා එක සහෝදරයෙකුට හිතුණේ ඇයි කියලා දැනගන්න.

’කවදා හරි එයා සත්‍යයට එයි කියලා මං බලාගෙන හිටියා’ (1:56)

දික්කසාද වෙන්න හරි වෙන් වෙන්න හරි තීරණය කරන්න කලින් කෙනෙක් මොන වගේ දේවල් ගැනද හිතලා බලන්න ඕනේ?

“‘දෙවි එක් කළ’ දේට ගෞරව කරන්න” (2018 දෙසැම්බර් ‘මුරටැඹ’)

a අනාචාරයේ යෙදිලා නැති අවස්ථාවක වෙන් වෙන එක ගැන දැනගන්න 4වෙනි අමතර සටහන බලන්න.

b සමහර රටවල දරුවන්ට විවාහ වෙන්න ගැළපෙන කෙනෙක්ව තෝරන්නේ දෙමාපියන්. ඒ වගේ අවස්ථාවලදී තමන්ගේ දරුවන් ගැන හිතන දෙමාපියන් මුල් තැන දෙන්නේ සල්ලිවලටවත් ඒ කෙනාට සමාජයේ තියෙන තත්වයටවත් නෙමෙයි. ඒ වෙනුවට එයාලා බලන්නේ ඒ කෙනාට යෙහෝවා ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියන එකයි.

c ඔයා විවාහ වෙන්නේ නැතුව එකට ජීවත් වෙනවා නම් එයාව විවාහ කරගන්නවාද නැද්ද කියන එක ඔයා ගන්න ඕනෙ තීරණයක්.