Skip to content

පටුනට යන්න

48 පාඩම

හොඳ යාළුවන්ව තෝරගන්නේ කොහොමද?

හොඳ යාළුවන්ව තෝරගන්නේ කොහොමද?

හොඳ යාළුවෝ ඉන්න එක අපේ ජීවිතේ සතුට වැඩි කරගන්න උදව් වෙනවා. අපි දුකින් ඉද්දී එයාලා අපේ ළඟින්ම ඉඳලා අපිට සහනයක් වෙනවා. ඒත් බයිබලයේ කියනවා හැමෝම හොඳ යාළුවෝ නෙමෙයි කියලා. එහෙමනම් හොඳ යාළුවන්ව තෝරගන්න පුළුවන් කොහොමද? ඒ ගැන දැන් අපි බලමු.

1. අපි තෝරගන්න යාළුවෝ නිසා අපිට මොනවා වෙන්න පුළුවන්ද?

ගොඩක් වෙලාවට අපි වැඩියෙන්ම ආශ්‍රය කරන අය වගේ හිතන්න, වැඩ කරන්න අපි පෙලඹෙනවා. ඒ අයව හම්බ වෙලා ආශ්‍රය කළත් ඉන්ටර්නෙට් එක හරහා ආශ්‍රය කළත් ඒ දේ වෙන්න පුළුවන්. එයාලගේ ආශ්‍රය නිසා අපිට හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි බයිබලයේ අපිට මෙහෙම කියන්නේ. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව [යෙහෝවාට ආදරේ කරන්නේ නැති අයව] ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝපදේශ 13:20) ඔයා ආශ්‍රය කරන්නේ යෙහෝවාට ආදරේ කරන, ඔහුට නමස්කාර කරන යාළුවන්ව නම් යෙහෝවාට ළං වෙන්නත් හොඳ තීරණ ගන්නත් ඔයාට උදව් කරන්න ඒ අයට පුළුවන්. ඒත් යෙහෝවාට ආදරේ නැති අයව ඔයා කිට්ටු යාළුවෝ කරගත්තොත් ඒ අයට පුළුවන් ඔයාව යෙහෝවාගෙන් ඈත් කරන්න. එහෙමනම් යාළුවන්ව තෝරගද්දී පරෙස්සම් වෙන්න කියලා බයිබලයේ කියන දේ හිතට ගන්න එක කොච්චර වටිනවාද? අපිට ඉන්නේ යෙහෝවාට ආදරේ කරන යාළුවෝ නම් ඒකෙන් අපි විතරක් නෙමෙයි එයාලත් ප්‍රයෝජන ලබනවා. මොකද එතකොට ‘එකිනෙකාව සනසවන්නත් එකිනෙකාව ශක්තිමත් කරන්නත්’ අපිට පුළුවන් වෙනවා.—1 තෙසලෝනික 5:11.

2. ඔයා තෝරගන්න යාළුවෝ ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද?

‘යෙහෝවා අවංක අයට ළංව සිටිනවා’ කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 3:32) ඒ කියන්නේ ඔහු ඕනෙම කෙනෙක්ව ඔහුගේ යාළුවෙක් කරගන්නේ නැහැ. එහෙමනම් දෙවියන්ට ආදරේ කරන්නේ නැති අයව අපේ කිට්ටු යාළුවන් විදිහට තෝරගත්තොත් ඔහුට කොහොම දැනෙයිද? ඔහු ගොඩක් දුක් වෙයි නේද? (යාකොබ් 4:4 කියවන්න.) අපි නරක ආශ්‍රයට වැටෙන්නේ නැතුව යෙහෝවාටත් ඔහුට ආදරය කරන අයටත් ළං වුණොත් ඔහු ගොඩක් සතුටු වෙයි. ඒ වගේම අපේ යාළුවෙක් වෙන්නත් ඔහු කැමති වෙයි.—ගීතාවලිය 15:1-4.

තවත් හොයමු

යාළුවන්ව තෝරගද්දී පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි කියලත් ඔයාව යෙහෝවාට තව ළං කරන්න උදව් වෙන අයව කිට්ටු යාළුවන් කරගන්න පුළුවන් කොහොමද කියලත් බලන්න.

3. නරක යාළුවන්ගෙන් පරෙස්සම් වෙන්න

නරක යාළුවෝ කියන්නේ යෙහෝවාට ආදරේ කරන්නේ නැති, ඔහුගේ ප්‍රතිපත්ති ගාණකටවත් ගන්නේ නැති අයටයි. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • දන්නෙම නැතුව අපි නරක ආශ්‍රයට වැටෙන්න පුළුවන් කොහොමද?

1 කොරින්ති 15:33 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ආශ්‍රය කරන්න සුදුසු නැති යාළුවෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ටද? ඔයා එහෙම කියන්නේ ඇයි?

ගීතාවලිය 119:63 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • කෙනෙක් හොඳ යාළුවෙක්ද කියලා ඔයාට තීරණය කරන්න පුළුවන් කොහොමද?

කුණු වෙච්ච එක ඇපල් ගෙඩියක් නිසා අනිත් ඔක්කොම ගෙඩි කුණු වෙන්න පුළුවන්. එක නරක යාළුවෙක් නිසා ඔයාට වෙන්න පුළුවන් මොනවාද?

4. ඔයාගේ යාළුවෝ ඔයා වගේම අය වෙන්න ඕනෙ නැහැ

දාවිත් සහ යොනාතාන් කියන යාළුවෝ දෙන්නා ගැන බයිබලයේ කතා කරනවා. යොනාතාන් දාවිත්ට වඩා වයසින් වැඩියි. ඒ දෙන්නා හැදුණු වැඩුණු පරිසරයත් වෙනස්. ඒත් ඒ දෙන්නා අතරේ තිබුණේ ගොඩක් කිට්ටු යාළුකමක්. 1 සාමුවෙල් 18:1 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අපිට හොඳ යාළුවන්ව හොයාගන්න පුළුවන් අපේම වයසේ, අපේම පසුබිමේ ඉන්න අය අතරෙන් විතරද? එහෙම කියන්නේ ඇයි?

රෝම 1:11, 12 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • එකිනෙකාට ශක්තියක් වෙන්න යෙහෝවාට ආදරේ කරන යාළුවන්ට පුළුවන් කොහොමද?

තරුණ සහෝදරයෙක්ට හිතපු නැති විදිහේ කෙනෙක්ව යාළුවෙක් කරගන්න පුළුවන් වුණේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් දැනගන්න. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අකිල් ඉස්කෝලේදී ආශ්‍රය කරපු යාළුවෝ ගැන අම්මලා ටිකක් බය වුණේ ඇයි?

  • ඒ අයව ආශ්‍රය කරන්න එයාට ආස හිතුණේ ඇයි?

  • තනිකම නැති කරගන්න එයාට පුළුවන් වුණේ කොහොමද?

5. හොඳ යාළුවන්ව හොයාගන්නේ කොහොමද?

හොඳ යාළුවන්ව හොයාගන්නේ කොහොමද කියලත් හොඳ යාළුවෙක් වෙන්නේ කොහොමද කියලත් දැනගන්න. වීඩියෝ එක බලන්න.

හිතෝපදේශ 18:24 සහ 27:17 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • හොඳ යාළුවෝ එකිනෙකාට උදව් කරන්නේ කොහොමද?

  • ඔයාට ඒ වගේ හොඳ යාළුවෝ ඉන්නවාද? ඒ වගේ යාළුවෝ නැත්නම් ඒ වගේ අයව හොයාගන්න පුළුවන් කොහොමද?

ෆිලිප්පි 2:4 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • හොඳ යාළුවෝ හොයාගන්න නම් ඔයා අනිත් අයට හොඳ යාළුවෙක් වෙන්න ඕනේ. ඔයාට ඒක කරන්න පුළුවන් කොහොමද?

හොඳ යාළුවෝ හොයාගන්න නම් ඔයා අනිත් අයට හොඳ යාළුවෙක් වෙන්න ඕනේ

සමහරු මෙහෙම කියනවා: “යාළුවන්ව තෝර තෝර ඉන්න ගියොත් ඉන්න යාළුවෝ ටිකත් නැති වෙයි.”

  • එහෙම කියන කෙනෙක්ට ඔයා උත්තර දෙන්නේ කොහොමද?

ඉගෙනගත්ත දේ

අපි හොඳට හිතලා බලලා යාළුවෝ තෝරගද්දී ඒකෙන් යෙහෝවා සතුටු වෙනවා විතරක් නෙමෙයි අපිටත් ප්‍රයෝජන ලැබෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • අපි තෝරගන්න යාළුවෝ ගැන යෙහෝවා සැලකිලිමත් වෙන්නේ ඇයි?

  • අපි කිට්ටුවෙන් ආශ්‍රය කරන්න හොඳ නැත්තේ මොන වගේ අයවද?

  • හොඳ යාළුවන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

අපි ප්‍රශ්නවලට මුහුණ දෙද්දී හොඳ යාළුවෝ අපිට උදව් කරන්නේ කොහොමද කියලා දැනගන්න.

“අවසානය එන්න කලින් මිතුදම් තව ශක්තිමත් කරගන්න” (2019 නොවැම්බර් ‘මුරටැඹ’)

හොඳ යාළුවන්ව හොයාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලා දැනගන්න.

“හොඳ මිතුරන් හොයාගන්නේ කොහොමද?” (‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 1වන පොත, 8වෙනි පරිච්ඡේදය)

මිතුරු සමාජ වෙබ් අඩවි හරහා ඔයාට හම්බ වෙන යාළුවෝ ගැන ඔයා දැනගන්න ඕනෙ මොනවාද?

‘මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!’ (4:12)

“මට පිය සෙනෙහස ලැබුණා” කියන ලිපිය කියවලා කෙනෙක් එයා ආශ්‍රය කරපු යාළුවන්ව වෙනස් කළේ ඇයි කියලා දැනගන්න.

“ජීවිත වෙනස් කළ පොතක්” (2012 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’)