Skip to content

පටුනට යන්න

49වෙනි පාඩම

පවුලක් විදිහට සතුටින් ඉන්නේ කොහොමද? – 1වෙනි කොටස

පවුලක් විදිහට සතුටින් ඉන්නේ කොහොමද? – 1වෙනි කොටස

අලුත විවාහ වුණ යුවළක් සිහින මවන්නේ විවාහ වුණ දවසේ හිටියා වගේම හැමදාටම සතුටින් ඉන්නයි. ඒක සැබෑ කරගන්න බැරි හීනයක් නෙමෙයි. බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න මහන්සි වෙන, අවුරුදු ගාණක් තිස්සේ විවාහ වෙලා ඉන්න ක්‍රිස්තියානි යුවළයන් ඒ හීනය සැබෑ කරගෙන තියෙනවා.

1. බයිබලයේ සැමියාට දෙන්නේ මොන වගේ මඟ පෙන්වීම්ද?

පවුලේ මූලිකත්වය අරන් වැඩ කරන්න යෙහෝවා භාර දීලා තියෙන්නේ සැමියාට. (එෆීස 5:23 කියවන්න.) එයා පවුලේ අයට ප්‍රයෝජනවත් වෙන තීරණ ගනියි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා. දෙවියන් පුරුෂයන්ට කියන්නේ “දිගටම ඔයාලාගේ භාර්යාවන්ට ආදරේ කරන්න” කියලා. (එෆීස 5:25) සැමියෙක් බිරිඳට ඇත්තටම ආදරෙයි නම් අනිත් අය ඉන්න තැනදී වගේම ගෙදරදීත් බිරිඳට කරුණාවෙන් සලකනවා. එයාව සතුටින් තියනවා. ආරක්ෂා කරනවා. එයාට ඕනෙ කරන දේවල් ලබා දෙනවා. (1 තිමෝති 5:8) එයා මුල් තැන දෙන්නේ යෙහෝවා එක්ක තියෙන බැඳීම වැඩි කරගන්න බිරිඳට උදව් කරන එකටයි. (මතෙව් 4:4) ඒකට එයා බිරිඳ එක්ක එකතු වෙලා යාච්ඤා කරනවා. බයිබලය කියවනවා. ඒ දේවල් කරනවා නම් යෙහෝවා එක්ක තියෙන බැඳීම රැකගන්න සැමියාටත් පුළුවන් වෙනවා.—1 පේතෘස් 3:7 කියවන්න.

2. බයිබලයේ බිරිඳට දෙන්නේ මොන වගේ මඟ පෙන්වීම්ද?

භාර්යාවන් එයාලාගේ “ස්වාමිපුරුෂයන්ට මුළු හදවතින්ම ගෞරව කරන්න ඕනෙ” කියලා බයිබලයේ කියනවා. (එෆීස 5:33) සැමියාගේ හොඳ පැති ගැන, පවුල බලාගන්න එයා වෙන මහන්සිය ගැන හිතනවා නම් බිරිඳට ඒක කරන්න පුළුවන්. සැමියාට ගෞරව කරන බිරිඳක් සැමියා ගන්න තීරණ සාර්ථක කරගන්නත් උදව් වෙනවා. සැමියා යෙහෝවාට නමස්කාර කරන කෙනෙක් වුණත් නැතත් එයා සැමියාට ආදරෙන්, ගෞරවයෙන් කතා කරනවා. අනිත් අය ඉස්සරහා සැමියාව පහත් කරලා කතා කරන්නෙත් නැහැ.

3. සැමියාට සහ බිරිඳට එයාලාගේ බැඳීම තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?

දෙන්නෙක් විවාහ වුණාම එයාලා “එක් කෙනෙක් වගේ වෙනවා.” (මතෙව් 19:5) ඒ කියන්නේ එයාලා එකිනෙකාගෙන් ඈත් නොවී ඉන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. එයාලා නිතරම එකට කාලේ ගත කරනවා නම්, හිතේ තියෙන දේවල් හංගන්නේ නැතුව ආදරෙන් කතාබහ කරනවා නම් ඒක කරන්න පුළුවන්. යෙහෝවාගෙන් පස්සේ එයාලා වැඩියෙන්ම ආදරේ කරන්න ඕනෙ එයාලාගේ සැමියාට/බිරිඳට. ඒ තැන එයාලා වෙන කිසිම කෙනෙක්ටවත් දේකටවත් දෙන්නේ නැහැ. ඒ වගේම වෙන කිසිම කෙනෙක් ගැන එයාලා ආලවන්ත හැඟීම් ඇති කරගන්නෙත් නැහැ.

තවත් හොයමු

විවාහ බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද කියලා දැනගන්න.

4. බිරිඳව ආදරෙන් රැකබලා ගන්න

“ස්වාමිපුරුෂයනුත් තමන්ගේ ශරීරයට ආදරෙන් සලකනවා වගේ තමන්ගේ භාර්යාවන්ටත් ආදරෙන් සලකන්න ඕනෙ” කියලා බයිබලයේ කියනවා. (එෆීස 5:28, 29) ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • බිරිඳට ආදරෙයි කියලත් එයා ගැන සැලකිලිමත් කියලත් සැමියෙක්ට පෙන්නන්න පුළුවන් මොන වගේ විදිවලින්ද?

කොලොස්සි 3:12 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • විවාහ ජීවිතේදී ඒ ගුණාංග පෙන්නන්න සැමියෙක්ට පුළුවන් කොහොමද?

5. සැමියාට ආදරෙන්, ගෞරවයෙන් සලකන්න

සැමියා යෙහෝවාට නමස්කාර කළත් නැතත් බිරිඳ එයාට ගෞරවයෙන් සලකන්න ඕනෙ කියලා බයිබලයේ කියනවා. 1 පේතෘස් 3:1, 2 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඔයාගේ සැමියා යෙහෝවාට නමස්කාර කරන්නේ නැත්නම් එයා කවදා හරි යෙහෝවාට නමස්කාර කරන කල් ඔයා ආසාවෙන් බලාගෙන ඉන්නවා ඇති. ඔයා හිතන විදිහට එයාට උදව් කරන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද? නිතරම එයාට දේශනා කරන එකෙන්ද? නැත්නම් එයාට ආදරෙන්, ගෞරවයෙන් සලකලා හොඳ බිරිඳක් වෙන එකෙන්ද? එහෙම කියන්නේ ඇයි?

සැමියාට සහ බිරිඳට පුළුවන් එකතු වෙලා හොඳ තීරණ ගන්න. හැබැයි සමහර තීරණවලට බිරිඳ එකඟ නොවෙන්න පුළුවන්. ඒ වෙලාවලදී බිරිඳට පුළුවන් කලබල වෙන්නේ නැතුව, ගෞරවනීයව එයාට හිතෙන දේ සැමියාට කියන්න. ඒත් පවුලේ යහපත වෙනුවෙන් තීරණ ගන්න වගකීම යෙහෝවා භාර දීලා තියෙන්නේ සැමියාට කියලා බිරිඳ මතක තියාගන්න ඕනේ. ඒ නිසා සැමියා ගන්න තීරණයට සහය දෙන්න එයා උපරිමයෙන් උත්සාහ කරන්න ඕනේ. එතකොට ගෙදර සාමය, සතුට පිරුණු තැනක් වෙනවා. 1 පේතෘස් 3:3-5 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • බිරිඳ සැමියාට ගෞරවයෙන් සලකද්දී යෙහෝවාට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

6. දෙන්නා අතරේ ප්‍රශ්න ඇති වුණත් විසඳගන්න පුළුවන්

ඕනෙම විවාහයක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් දෙන්නාට එකතු වෙලා ඒ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • වීඩියෝ එකේ ඉන්න යුවළ එකිනෙකාගෙන් ටිකෙන් ටික ඈත් වෙනවා කියලා පේන්න තිබුණේ මොන දේවලින්ද?

  • දෙන්නාගේ බැඳීම ශක්තිමත් කරගන්න එයාලා කළේ මොනවාද?

1 කොරින්ති 10:24 සහ කොලොස්සි 3:13 කියවන්න. ඒ එක එක පදය කියෙව්වාට පස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • දෙන්නාගේ බැඳීම තව වැඩි කරගන්න ඒ මඟ පෙන්වීම අදාළ කරගන්න පුළුවන් කොහොමද?

අපි එකිනෙකාට ගෞරවයෙන් සලකන්න ඕනෙ කියලා බයිබලයේ කියනවා. කෙනෙක්ට ගෞරවයෙන් සලකනවා කියන්නේ එයාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙලා එයාට කරුණාවෙන් සලකන එකටයි. රෝම 12:10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ‘එයා මට ගරු කළොත් මාත් එයාට ගරු කරනවා’ කියලා සැමියා හරි බිරිඳ හරි හිතන එක හරිද? ඔයා එහෙම හිතන්නේ ඇයි?

සමහරු මෙහෙම කියනවා: “ඉස්සර තිබුණා වගේ ආදරයක් දැන් අපි දෙන්නා අතරේ නැහැ.”

  • ඒ දෙන්නාට උදව් වෙන තොරතුරු බයිබලයේ තියෙනවා කියලා ඔයා එයාට පැහැදිලි කරන්නේ කොහොමද?

ඉගෙනගත්ත දේ

දෙන්නාට දෙන්නා ආදරෙයි නම්, ගරු කරනවා නම් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් සැමියෙක්ට සහ බිරිඳකට සතුටින් ඉන්න පුළුවන්.

ඔයා හිතන්නේ මොකක්ද?

  • පවුලේ සතුට රැකගන්න සැමියාට කරන්න පුළුවන් මොනවාද?

  • පවුලේ සතුට රැකගන්න බිරිඳට කරන්න පුළුවන් මොනවාද?

  • ඔයා විවාහ වෙලා නම් ඔය දෙන්නාගේ බැඳීම තව වැඩි කරගන්න උදව් වෙන්නේ මොන වගේ බයිබල් ප්‍රතිපත්තිද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

පවුලේ හැමෝටම සතුටින් ඉන්න උදව් වෙන යෝජනා කීපයක් ගැන දැනගන්න.

‘ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!’ (සඟරාව)

විවාහ ජීවිතේට දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගත්තාම ලැබෙන ආශීර්වාද ගැන කියවෙන සින්දුවක් බලන්න.

‘ඔබයි මගේ ආදරේ’ (4:26)

සැමියාගේ මූලිකත්වයට ගරු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා දැනගන්න.

“භාර්යාව ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට යටත් විය යුත්තේ ඇයි?” (2010 මැයි 15 ‘මුරටැඹ’)

දික්කසාද වුණ යුවළක් ප්‍රශ්න විසඳගෙන ආයෙත් එකතු වුණ විදිහ දැනගන්න.

‘යට ගිය විවාහ බැඳීම ආයේ ගොඩගත්තා’ (5:14)