Skip to content

පටුනට යන්න

50 පාඩම

පවුලක් විදිහට සතුටින් ඉන්නේ කොහොමද? - 2වෙනි කොටස

පවුලක් විදිහට සතුටින් ඉන්නේ කොහොමද? - 2වෙනි කොටස

දරුවෝ යෙහෝවාගෙන් ලැබුණ තෑග්ගක්. ඒ තෑග්ග ආදරෙන් රැකබලා ගනියි කියලා යෙහෝවා දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒක හොඳින් කරන්න ඕනෙ කරන මඟ පෙන්වීමුත් ඔහු දීලා තියෙනවා. පවුලක් විදිහට සතුටින් ඉන්න දරුවන්ගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ගැනත් ඔහු කියලා දීලා තියෙනවා.

1. යෙහෝවා දෙමාපියන්ට දීලා තියෙන්නේ මොන වගේ මඟ පෙන්වීම්ද?

දෙමාපියන් දරුවන්ට ආදරේ කරයි කියලත් එයාලා එක්ක පුළුවන් තරම් කාලේ ගත කරයි කියලත් යෙහෝවා බලාපොරොත්තු වෙනවා. දරුවන්ව ආරක්ෂා කරගන්න, බයිබලයේ තියෙන ප්‍රතිපත්ති කියලා දීලා එයාලව පුහුණු කරන්න කියලා යෙහෝවා දෙමාපියන්ට කියලා තියෙනවා. (හිතෝපදේශ 1:8) ඔහු තාත්තලාට කියන්නේ ‘දරුවන්ව ඇතිදැඩි කරද්දී නිතරම යෙහෝවා දෙවි සිතන ආකාරයට සිතන්න එයාලට උගන්වන්න’ කියලයි. (එෆීස 6:4 කියවන්න.) යෙහෝවා කැමති නැහැ ඔහු දෙමාපියන්ට දීලා තියෙන වගකීම එයාලා වෙන කාටවත් දෙනවාට. ඔහු දීලා තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙලා දරුවන්ව ඇතිදැඩි කරද්දී යෙහෝවා හුඟක් සතුටු වෙනවා.

2. යෙහෝවා දරුවන්ට දීලා තියෙන්නේ මොන වගේ මඟ පෙන්වීම්ද?

යෙහෝවා දරුවන්ට කියන්නේ “දෙමාපියන්ට කීකරු වෙන්න” කියලයි. (කොලොස්සි 3:20 කියවන්න.) දරුවෝ දෙමාපියන්ට ගෞරව කරද්දී, කීකරු වෙද්දී යෙහෝවා වගේම දෙමාපියනුත් ගොඩක් සතුටු වෙනවා. (හිතෝපදේශ 23:22-25) යේසුස් දරුවන්ට හොඳ ආදර්ශයක් තිබ්බා. ඔහු පරිපූර්ණ කෙනෙක් වුණත් පොඩි වයසේ ඉද්දී ඔහුගේ දෙමාපියන්ට ගෞරව කරලා එයාලට කීකරුව හිටියා.—ලූක් 2:51, 52.

3. යෙහෝවාට තව ළං වෙන්න පවුලේ හැමෝටම පුළුවන් කොහොමද?

ඔයා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් නම් ඔයාට ඕනෙ ඔයා යෙහෝවාට ආදරේ කරනවා වගේ ඔයාගේ දරුවනුත් ඔහුට ආදරේ කරනවා දකින්න. ඒකට දරුවන්ට උදව් කරන්න පුළුවන් විදිහ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘[යෙහෝවා කියලා තියෙන දේවල්] ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න. නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් ඒ දේවල් ගැන කතා කරන්න.’ (ද්විතීය කතාව 6:7) “කාවද්දනවා” කියන්නේ දෙයක් නිතර නිතර කියන එකට. දෙමාපියන් දන්නවා සමහර දේවල් නිතර නිතර කිව්වාම තමයි දරුවන්ට ඒවා මතක හිටින්නේ කියලා. ඒ පදයේ කියන්නේ ඔයාගේ දරුවන් එක්ක යෙහෝවා ගැන කතා කරන්න අවස්ථාවන් හොයාගන්න කියලයි. හැම සතියේම පවුලේ නමස්කාරය කරන එක හොඳ දෙයක්. ඔයාට දරුවෝ නැති වුණත් හැම සතියකම බයිබලය අධ්‍යයනය කරන්න කාලේ වෙන් කරගන්න.

තවත් හොයමු

පවුලේ හැමෝටම සුරක්ෂිතව, සතුටින් ඉන්න උදව් වෙන යෝජනා කීපයක් ගැන දැනගන්න.

4. දරුවන්ව ආදරෙන් පුහුණු කරන්න

දරුවෙක්ව පුහුණු කරන එක ලේසි නැහැ. ඒකට බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඔයාට උදව් වෙන්නේ කොහොමද? යාකොබ් 1:19, 20 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • දෙමාපියන් කතා කරද්දී එයාලගේ ආදරේ දරුවන්ට දැනෙන්න ඕනේ. දෙමාපියන්ට ඒක කරන්න පුළුවන් කොහොමද?

  • දෙමාපියන් තරහෙන් ඉද්දී දරුවන්ව හික්මවන්න හොඳ නැත්තේ ඇයි? a

5. දරුවන්ව ආරක්ෂා කරගන්න

දරුවන්ව ආරක්ෂා කරගන්න නම් එයාලා එක්ක ලිංගික කාරණා ගැන කතා කරන එක හරිම වැදගත්. එහෙම කරන එක ලේසි නැති වෙන්න පුළුවන්. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • සමහර දෙමාපියන්ට දරුවන් එක්ක ලිංගික කාරණා ගැන කතා කරන එක ලේසි නැත්තේ ඇයි?

  • සමහර දෙමාපියන් එයාලගේ දරුවන්ට ලිංගික කාරණා ගැන කියලා දෙන්නේ කොහොමද?

බයිබලයේ කලින්ම කියලා තියෙන විදිහට සාතන්ගේ පාලනය යටතේ තියෙන මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ දුෂ්ටකම් එන්න එන්නම වැඩි වෙනවා. 2 තිමෝති 3:1, 13 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • 13වෙනි පදයේ කතා කරන දුෂ්ට මිනිස්සු අතරේ දරුවන්ව අපයෝජනයට ලක් කරන අයත් ඉන්නවා. එහෙම බලද්දී ඔයාගේ දරුවන්ට ලිංගික කාරණා ගැනත් ළමා අපචාරකයන්ගෙන් ආරක්ෂා වෙන විදිහ ගැනත් කියලා දෙන එක වැදගත් කියලා ඔයා හිතනවාද? එහෙම කියන්නේ ඇයි?

ඔයා දැනගෙන හිටියාද?

දරුවන්ට ලිංගික කාරණා ගැන කියලා දෙන්නත් ළමා අපචාරකයන්ගෙන් එයාලව ආරක්ෂා කරගන්නත් උදව් වෙන හුඟක් තොරතුරු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙමාපියන්ට ලබා දීලා තියෙනවා. මේ ඒවායින් කීපයක්.

6. දෙමාපියන්ට ගෞරව කරන්න

දෙමාපියන්ට කතා කරන විදිහෙන් එයාලට ගෞරව කරනවා කියලා පෙන්නන්න දරුවන්ටත් යෞවනයන්ටත් පුළුවන්. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • දෙමාපියන්ගේ හිත රිද්දන්නේ නැතුව කතා කරන එකෙන් යෞවනයන්ට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද?

  • දෙමාපියන්ට දෙයක් කියද්දී ගෞරවයෙන් ඒක කියන්න යෞවනයන්ට පුළුවන් කොහොමද?

හිතෝපදේශ 1:8 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • දෙමාපියන් උපදෙසක් දෙද්දී යෞවනයන් ඒක භාරගන්න ඕනෙ කොහොමද?

7. පවුලේ හැමෝම එකට එකතු වෙලා යෙහෝවාට නමස්කාර කරන්න

හැම සතියකම පවුලක් විදිහට යෙහෝවාට නමස්කාර කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කාලේ වෙන් කරගන්නවා. පවුලේ නමස්කාරය කරන්නේ කොහොමද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • හැම සතියකම අත්හරින්නේ නැතුව පවුලේ නමස්කාරය කරන්න පවුලකට පුළුවන් කොහොමද?

  • සතුටක් ලැබෙන විදිහට සහ ප්‍රයෝජනවත් විදිහට පවුලේ නමස්කාරය කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?—මේ පාඩමේ මුලින්ම තියෙන පින්තූරය බලන්න.

  • හැමෝම එකතු වෙලා පවුලේ නමස්කාරය කරන එක අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි?

යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා පවුලේ හැමෝටම එකතු වෙලා ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් ගැන කතා කරන්න කියලා. ද්විතීය කතාව 6:6, 7 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • එතන තියෙන ප්‍රතිපත්තිය ඔයාට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

පවුලේ නමස්කාරයේදී කරන්න පුළුවන් දේවල්:

  • රැස්වීම්වලට ලෑස්ති වෙන්න.

  • ඔයාගේ පවුලේ අය කැමති බයිබලයේ සඳහන් සිද්ධියක් කියවලා ඒ ගැන කතා කරන්න.

  • ඔයාට පොඩි දරුවන් ඉන්නවා නම් jw.org එකේ තියෙන ක්‍රියාකාරකම් පිටුවක් ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් ප්‍රින්ට් කරගන්න.

  • ඔයාට යෞවන දරුවෝ ඉන්නවා නම් jw.org එකේ යෞවනයන්ට තියෙන ලිපියක තොරතුරු එයාලත් එක්ක කතා කරන්න.

  • දරුවන් එක්ක එකතු වෙලා බයිබලයේ තියෙන සිද්ධියක් රඟපාන්න.

  • jw.org එකේ තියෙන වීඩියෝ එකක් බලලා ඒ ගැන කතා කරන්න.

සමහරු මෙහෙම කියනවා: “බයිබලයේ තියෙන දේවල් දරුවන්ට තේරුම්ගන්න අමාරුයි.”

  • ඔයා ඒකට උත්තර දෙන්නේ කොහොමද?

ඉගෙනගත්ත දේ

දරුවන්ට ඕනෙ කරන ආදරය, පුහුණුව, ආරක්ෂාව දෙන්න කියලත් දෙමාපියන්ට ගෞරව කරන්න සහ කීකරු වෙන්න කියලත් පවුලේ නමස්කාරය කරන්න කියලත් යෙහෝවා කියනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • දරුවන්ව පුහුණු කරන්න සහ ආරක්ෂා කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

  • දෙමාපියන්ට ගෞරව කරන්න දරුවන්ට පුළුවන් කොහොමද?

  • පවුලේ නමස්කාරය කරන්න හැම සතියකම වෙලාව වෙන් කරගන්න එකේ තියෙන ප්‍රයෝජන මොනවාද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

වැඩිහිටියෙක් වුණාම එන අභියෝගවලට මුහුණ දෙන්න ඔයාගේ දරුවන්ට උදව් වෙන්නේ මොනවාද කියලා දැනගන්න.

“දරුවන්ට කියා දෙන්න ඕන පාඩම් 6ක්” (2019 අංක 2 ‘පිබිදෙව්!’)

මහලු දෙමාපියන්ව බලාගන්න අයට බයිබලයේ දීලා තියෙන්නේ මොන වගේ මඟ පෙන්වීම්ද කියලා දැනගන්න.

“මහලු දෙමාපියන්ව රැකබලා ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?” (වෙබ් ලිපිය)

දරුවන්ව හදා වඩා ගන්න පුළුවන් කොහොමද කියලා දැනන් හිටිපු නැති කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් වුණේ කොහොමද කියලා දැනගන්න.

‘අපේ දරුවන් හදා වඩාගන්න හැටි යෙහෝවා දෙවි අපිට කියලා දුන්නා’ (5:58)

තාත්තලාට එයාලගේ පුතාලා එක්ක තියෙන බැඳීම තව වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

“පිය පුතු බැඳීම රැකගන්න” (2011 නොවැම්බර් 1 ‘මුරටැඹ’)

a බයිබලයේ “හික්මවීම්” කියන වචනය සඳහන් වෙද්දී ඒකට උපදෙස්, නිවැරදි කිරීම් සහ මඟ පෙන්වීම් ඇතුළත් වෙනවා. මානසිකව වැටෙන විදිහට බණින එක, කුරිරු විදිහට දඬුවම් කරන එක ඒකට ඇතුළත් වෙන්නේ නැහැ.—හිතෝපදේශ 4:1.