Skip to content

පටුනට යන්න

පූර්ණ-කාලීන සේවය මගින් යෙහෝවාට තුති පුදයි!

පූර්ණ-කාලීන සේවය මගින් යෙහෝවාට තුති පුදයි!

ජීවිත කතාව

පූර්ණ-කාලීන සේවය මගින් යෙහෝවාට තුති පුදයි!

ස්ටැන්ලි ඊ. රේනල්ස් පැවසූ පරිදි

මම ඉපදුණේ 1910, එංගලන්තයේ ලන්ඩන්වලදියි. පළවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ, මගේ දෙමාපියන් වෙස්ට්බරි ලේ යනුවෙන් හඳුන්වන විල්ට්ෂයර් නම් කුඩා ගම්මානයක පදිංචියට ගියා. මම පුංචි කාලෙ ‘දෙවියන් කියන්නේ කවුද’ කියලා හුඟක් වෙලාවලදී කල්පනා කරලා තියෙනවා. කිසි කෙනෙකුට බැරි වුණා ඒක මට පැහැදිලි කරන්න. ඒ වගේම ටිකදෙනෙක් හිටිය අපේ ගමට, දෙවිට නමස්කාර කිරීම සඳහා දෙව්මැදුරු දෙකක් හා පල්ලියක් අවශ්‍ය වුණේ ඇයි කියලා තේරුම්ගන්නත් මට බැරි වුණා.

වර්ෂ 1935දී, දෙවෙනි ලෝක මහා යුද්ධයට අවුරුදු හතරකට කලින් මගේ මල්ලි ඩික් එක්ක මම එංගලන්තයේ වේමත්හි දකුණු වෙරළේ නිවාඩුවක් ගත කරන්න සයිකලෙන් ගියා. වැස්ස වහිද්දී නැඟෙන හඬට සවන් දෙමින්, මොනවද කරන්නේ කියලා අපි කූඩාරමේ ඉඳන් කල්පනා කර කර ඉන්න කොට, වයසක මහත්තයෙක් ඇවිත් දෙවිගේ වීණාව, ආලෝකය I හා ආලෝකය II (ඉංග්‍රීසියෙන්) කියන ප්‍රකාශන තුන මට ඉදිරිපත් කළා. ඒවා බයිබලය පාඩම් කිරීමට ආධාර වෙන ප්‍රකාශනයි. කම්මැළිකම යන්නත් එක්ක කියවන්න යමක් ලැබුණ එක සතුටක් නිසා මම ඒවා ලබාගත්තා. කියවගෙන යද්දී ඒ මොහොතෙම මගේ හිත ඇදිලා ගියා. ඒත් ඒක මගෙත්, මගේ සහෝදරයන්ගෙත් ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරයි කියල නම් මම දැනගෙන හිටියේ නැහැ.

අපේ ගමේ ජීවත් වුණ කේට් පාර්සන්ස් ඒ වගේම බයිබල් පොත් පත් වගයක් බෙදුවා කියලා මම ගෙදර ආවහම අම්මා මට කිව්වා. හුඟක් වයසක කෙනෙක් වුණත් අපේ ගමේ හැම තැනම විසිරිලා ඉන්න ටිකදෙනාව හමු වෙන්න කේට් පාර්සන්ස් පොඩි මෝටර් සයිකලයකින් යන නිසා ඇයව හරි ප්‍රසිද්ධයි. මම ඇයව හමු වෙන්න ගියා. මැවීම හා සම්පත් (ඉංග්‍රීසියෙන්) යන පොත් මෙන්ම වොච් ටවර් සමිතියේ වෙනත් ප්‍රකාශනත් ඈ මට සතුටෙන් දුන්නා. ඇය යෙහෝවාගේ සාක්ෂිකාරියක බවත් ඇය මට පැවසුවා.

බයිබලයත් උපකාර කරගෙන මම එම පොත් කියෙව්වට පස්සේ, යෙහෝවා සැබෑ දෙවි බවත්, ඔහුට නමස්කාර කරන්න ඕන බවත් මට තේරුණා. ඒ නිසා මම පල්ලියෙන් අස් වෙන බවට ලිපියක් යවා, ජෝන් හා අලිස් මූඩිගේ නිවසේ පැවැත්තුව බයිබල් පාඩම්වලට සහභාගි වෙන්න පටන්ගත්තා. ඔවුන් ජීවත් වුණේ අපට කිට්ටුවෙන්ම තිබුණ ටවුම වන වෙස්ට්බරිවලයි. ඒ රැස්වීම්වලට සහභාගි වුණේ අපි හත්දෙනෙක් විතරයි. රැස්වීම්වලට කලින් හා පස්සේ, කේට් පාර්සන්ස් පියානෝව වාදනය කරද්දී අපි පුළුවන් තරම් හයියෙන් රාජ්‍ය ගීතිකා ගායනා කළා!

මුල් කාලය

අපි ජීවත් වෙමින් හිටියේ වැදගත් කාලයක බව මම දැනගත්තා. මම මතෙව් 24:14හි කියා තිබෙන දේශනා වැඩයෙහි හවුල් වෙන්න ආශාවෙනුයි හිටියේ. ඒ නිසා මම දුම්පානය නවත්වලා පොත් බෑගයක් සල්ලිවලට අරගෙන උතුම් දෙවි යෙහෝවාට කැප වුණා.

වොච් ටවර් සමිතියේ සභාපති ජෝසෆ් එෆ්. රදෆර්ඩ් 1936 අගෝස්තුවලදී “අර්මගෙදොන්” යන විෂය යටතේ කතාවක් දෙන්න ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝවලට ආවා. ග්ලාස්ගෝ තිබුණේ කිලෝමීටර් 600කට වඩා දුරින් වුවත් එහි ගොස් එම සමුළුවේදී බව්තීස්ම වීමයි මගේ අධිෂ්ඨානය වුණේ. මුදල් හිඟ නිසා ස්කොට්ලන්ත මායිමේ තිබූ නගරයක් වන කාලයිල් තෙක් මගේ සයිකලය රැගෙන දුම්රියෙන් ගිය අතර, එතැන් සිට කිලෝමීටර් 160ක් උතුරට සයිකලය පැද්දා. ආපහු නිවස බලා එද්දිත්, ගමනෙන් වැඩි හරියක්ම සයිකලයෙන් ආ නිසා ශාරීරිකව දුබල වුණා. ඒත් ආත්මිකව ශක්තිමත් වෙලයි හිටියේ.

එදා ඉඳලා දිගටම මම අසල ගම්මානවල ජනයාට මගේ විශ්වාසයන් ගැන පවසන්න ගියේ සයිකලෙන්. ඒ කාලයේදී හැම සාක්ෂිකරුවෙකු ළඟම, නිවැසියන්ට කියවීමට හැකි වන පරිදි ශුද්ධ ලියවිලිමය පණිවිඩයක් ලියා තිබූ සාක්ෂි පතක් තිබුණා. සමිතියේ සභාපති දුන් පටිගත කළ බයිබල් කතාත්, අපි එහා මෙහා ගෙනියන්න පුළුවන් ශබ්දවාහිනියකින් වාදනය කළා. ඒ වගේම, අපි හැමවිටම සඟරා බෑගයක් a රැගෙන ගියා. ඇත්තවශයෙන්ම අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියලා හැමෝම හඳුනගන්නෙ ඒකෙනුයි.

යුධ සමයේදී පුරෝගාමී සේවය

මගේ මල්ලි 1940දී බව්තීස්ම වුණා. වර්ෂ 1939දී දෙවන ලෝක මහා යුද්ධය ඇරඹී තිබුණා. මේ කාලයේදී පූර්ණ-කාලීන දේශනා සේවකයන් අත්‍යවශ්‍යයි කියලා අපිට වැටහුණා. ඒ නිසා අපි පුරෝගාමී සේවය කරන්න කැමැත්ත පළ කර ඉල්ලුම්පත් යැව්වා. බ්‍රිස්ටල්හි පුරෝගාමී නිවසට අපි දෙන්නටම පැවරුම් ලැබුණාම අපි හුඟක් සතුටු වුණා. එහිදී අපි හුඟක් අගය කළ ඊඩිත් පූල්, බර්ට් ෆාම, ටොම් සහ ඩොරති බ්‍රිජ්ස්, බර්නාඩ් හෞටන් හා වෙනත් පුරෝගාමීන්ට එක් වෙන්න පුළුවන් වුණා.

“යෙහෝවාගේ සාක්ෂිකරුවන්” කියා තද කළු අකුරින් සටහන් කර තිබුණ කුඩා වෑන් රථයක් විගස ආවා අපිව අරගෙන යන්න. එහි රියදුරා වූ ස්ටැන්ලි ජෝන්ස් පසුව චීනයේ මිෂනාරිවරයෙක් බවට පත් වුණා. ඔහුගේ දේශනා වැඩය නිසා අවුරුදු හතක් ඔහුව එහි හුදෙකලාවේ සිර කර තැබුවා.

යුද්ධය දරුණු වෙද්දී, අපිට සුව නින්දක් ලබාගන්න පුළුවන් වුණේ කලාතුරකින්. අපේ පුරෝගාමී නිවස අවට බෝම්බ හෙළීම් සිදු වූ අතර, ගිනි ඇවිළෙන ද්‍රව්‍ය විසි වෙයිද කියලා නිතරම අපිට ඇහැගහගෙන ඉන්න සිද්ධ වුණා. එක සැන්දෑවක, සාක්ෂිකරුවන් 200ක් සහභාගි වුණ කදිම එක්රැස්වීමකින් පස්සේ, අපි මධ්‍යම බ්‍රිස්ටල්වලින් පිට වී ආරක්ෂිතව නිවෙස් කරා පැමිණියේ, සතුරු හමුදා හෙළන ෂෙල් වෙඩි මැද්දෙයි.

පහුවදා උදේ ඩික් හා මම ආපහු නගරයට ගියා අපිට ගේන්න බැරි වුණ සමහර දේවල් අරගෙන එන්න. අපිට අදහගන්න බැරි වුණා. බ්‍රිස්ටල් එකම ලේ විලක් වෙලා, මුළු නගරයම විනාශ වෙලා අළු ගොඩක් වෙලා තිබුණා. අපේ රාජ්‍ය ශාලාව තිබුණ පාක් වීදියෙන් ඒ වන විටත් දුම් ගුලි අහසට නඟිමින් තිබුණා. කොහොමනමුත්, කිසිම සාක්ෂිකරුවෙක් මරණයට පත් වී හෝ තුවාල වී තිබුණේ නැහැ. හොඳ වෙලාවට, ඒ වෙනකොටත් අපි අපේ බයිබල් පොත් පත් රාජ්‍ය ශාලාවෙන් ගෙනිහින් සභාවේ සාමාජිකයන්ගේ නිවෙස්වලට බෙදාහැර තිබුණා. දෙවිදිහකින් ලැබුණ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි යෙහෝවාට ස්තුතිවන්ත වුණා.

නොසිතූ මොහොතක නිදහස

හමුදා සේවයට බන්දවාගැනීමේ ලියකියවිලි මට ලැබෙන කොට, මම මුලසුන භාර අවේක්ෂක හැටියට සේවය කළ බ්‍රිස්ටල් සභාව, දේවසේවකයන් 64ක් දක්වා වැඩිවර්ධනය වී තිබුණා. වෙනත් සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුව ඔවුන්ගේ මධ්‍යස්ථභාවය නිසා හිරේට යවා තිබුණ අතර, මගේ දේශනා සේවයේ නිදහසත් ඇහිරෙයි කියලා මම හිතුවා. බ්‍රිස්ටල් අධිකරණයේදී මගේ නඩුව ඇහැව්වා. එහිදී කලින් බන්ධනාගාර නිලධාරියෙකුව සිටි සහෝදර ඇන්තනි බක් මං වෙනුවෙන් කතා කළා. බයිබල් සත්‍යය කෙරෙහි ස්ථිරව සිටි නිර්භීත මනුෂ්‍යයෙක් වූ ඔහු මා වෙනුවෙන් ඉතා බලපෑමෙන් යුක්තව හේතු දැක්වූ නිසා නොහිතුව විදිහට මට නිදහස ලැබුණා. හමුදා සේවයට බැඳෙන්නේ නැතුව දිගටම මගේ පූර්ණ-කාලීන දේවසේවයේ නියැලෙන්න මට අවසර ලැබුණා!

මගේ නිදහස ගැන මම හුඟක් සතුටු වුණ අතර, හැකි තරම් දුරට දේශනා කරන්න මම ඒ නිදහස යොදවන්න තීරණය කළා. ලන්ඩන් ශාඛා කාර්යාලයට ඇවිත්, ශාඛා අවේක්ෂක සහෝදර ඇල්බට් ඩී. ෂ්‍රෝඩර්ව මුණගැසෙන්න කියා මට දුරඇමතුමක් ලැබුණහම, මොකක්ද වෙන්න යන්නෙ කියලා මම කල්පනා කරන්න පටන්ගත්තා. යෝක්ෂයර්වල එක් එක් සභාවට ගොස් සහෝදරයන්ට උපකාර කිරීම හා දිරිගැන්වීම සඳහා, සංචාරක අවේක්ෂකයෙකු වශයෙන් සේවය කරන්න කියා මට ආරාධනා කළහම මම මොනතරම් පුදුම වුණාද! මට ඒ වගේ පැවරුමකට සුදුසුකම් නැහැ කියලා හැඟුණත්, හමුදා සේවයට බන්දවා නොගත් මම එහි යෑමට නිදහස ඇතුව හිටියා. ඒ නිසා මම යෙහෝවාගේ මඟ පෙන්වීම පිළිගත් අතර කැමැත්තෙන්ම ගියා.

හඩර්ස්ෆීල්ඩ්හි එක්රැස්වීමකදී ඇල්බට් ෂ්‍රෝඩර් මාව සහෝදරයන්ට හඳුන්වා දුන් අතර, 1941 අප්‍රියෙල්වලදී මම මගේ අලුත් පැවරුමේ යෙදුණා. ඒ ප්‍රේමනීය සහෝදරයන්ව අඳුරගන්න ලැබීම මොනතරම් සතුටක්ද! ඔවුන්ගේ ප්‍රේමය හා කරුණාව නිසා, මුළුමනින්ම යෙහෝවාට කැප වී සිටින, එකිනෙකාට ප්‍රේම කරන සෙනඟක් ඔහුට ඉන්න බව වඩාත් හොඳින් තේරුම්ගන්න මට පුළුවන් වුණා.—යොහන් 13:35.

තවත් සේවා වරප්‍රසාද

වර්ෂ 1941දී දින පහක් පුරා ලෙස්ටර්හි ඩි මොන්ෆර්ට් ශාලාවේ අමතක නොවන දේශීය සමුළුවක් පැවැත්තුවා. ආහාර හිඟව, ප්‍රවාහණ පහසුකම් සීමා වී තිබුණත්, ඉරිදා 12,000ක ඉහළ සංඛ්‍යාවක් පැමිණියා. නමුත් ඒ අවස්ථාවේදී රටේ හිටියේ සාක්ෂිකරුවන් 11,000කට ටිකක් වැඩියෙන් විතරයි. සමිතියේ සභාපතිගේ පටිගත කළ කතා වාදනය කළ අතර දරුවෝ (ඉංග්‍රීසියෙන්) යන පොත මුදාහැරියා. ඇත්තෙන්ම, එම සමුළුව බ්‍රිතාන්‍යයේ සිටි යෙහෝවාගේ සෙනඟගේ දිව්‍යාණ්ඩු ඉතිහාසයේ සන්ධිස්ථානයක් වුණා. ඇත්තටම IIවන ලෝක මහා යුද්ධය මැද්දේ තමයි ඒක පැවැත්තුවේ.

මේ සමුළුව පවත්වලා වැඩි කල් යන්න කලින්, ලන්ඩන් බෙතෙල් නිවසේ සේවය සඳහා මට ආරාධනාවක් ලැබුණා. එහිදී, මම වැඩ කළේ නැව්ගත කිරීමේ හා ඇහිරීමේ අංශවලයි. ඊට පස්සේ සභා සම්බන්ධයෙන් කාරණා හසුරුවමින් කාර්යාලයේ වැඩ කළා.

ලන්ඩන්වල බෙතෙල් පවුලේ අයට, දිවා රෑ නොනැවතී එල්ල කළ ගුවන් ප්‍රහාරවලට මූණ දෙන්න සිද්ධ වුණා. එහි සේවය කරමින් හිටිය වගකීම් දරන සහෝදරයන්ව බලධාරීන් නිතරම සෝදිසි කළා. ප්‍රයිස්, හියූස්, යුඅට් චිටි හා ෆ්‍රෑන්ක් ප්ලැට් යන හැමදෙනාම මධ්‍යස්ථභාවය රැකගත් නිසා ඔවුන්ව සිරභාරයට ගත්තා. අන්තිමේදී ඇල්බට් ෂ්‍රෝඩර්ව එක්සත් ජනපදයට පිටුවහල් කළා. මෙවැනි පීඩන තිබුණත්, සභා කටයුතු හා රාජ්‍ය කටයුතු හොඳින් කෙරීගෙන ගියා.

ගිලියද්වලට

වර්ෂ 1945දී යුද්ධය අවසන් වූ විට, මම ගිලියද්හි වොච්ටවර් බයිබල් පාසැලේ මිෂනාරි පුහුණුව ලැබීමට ඉල්ලුම් පතක් යැවූ අතර, 1946දී පැවැත්වුව අටවෙනි පංතියට මාව පිළිගත්තා. ටෝනි ආට්වුඩ්, ස්ටැන්ලි ජෝන්ස්, හැරල්ඩ් කිං, ඩොන් රෙන්ඩෙල් හා ස්ටැන්ලි වූඩ්බර්න් ඇතුළු අපි කීපදෙනෙකුට, ෆෝවේහි මසුන් අල්ලන කෝර්වෝල් ප්‍රාන්ත වරායෙන් නැවට නඟින්න සමිතිය විධිවිධාන යෙදුවා. චීන පිඟන් මැටි ගෙන යන කුඩා බඩු නැවක ගමන් කිරීමට සාක්ෂිකරුවෙක් අපට ආසන වෙන් කරවා තිබුණා. නවාතැන් පහසුකම් තිබුණේ නැති නිසා එකට හිර වෙලා ඉන්න සිද්ධ වුණා. තට්ටුවේ බිම නිතරම වතුර තිබුණා. අපේ ගමනාන්තය වූ ෆිලඩෙල්ෆියාවල වරායට සේන්දු වුණාම අපිට දැනුණේ පුදුම සහනයක්!

නියූ යෝක්වල උතුරේ පිහිටි සවුත් ලාන්සිංහි අලංකාර ලෙස ගිලියද් සරසවිය ගොඩනඟලා තිබුණා. එහිදී මම ලැබුව පුහුණුව ගොඩක් වටිනවා. අපේ පංතියට රටවල් 18කින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආවා. විදේශ රටවලින් දේවසේවකයන් බොහෝදෙනෙකුව ඇතුල් කරගන්න සමිතියට හැකි වුණ මුල් වතාව මෙයයි. අප හැමෝම කිට්ටු මිත්‍රයන් බවට පත් වුණා. ෆින්ලන්තයෙන් පැමිණි කාලෝ සාලවාර මාත් එක්ක එකට කාමරය බෙදාගනිද්දී ඇති වූ මිත්‍රත්වයෙන් මම ලොකු ප්‍රීතියක් ලැබුවා.

නොදැනිම කාලය ගත වුණ අතර මාස පහ අවසානයේදී, අපේ උපාධි පිරිනැමීමටත්, අපේ පැවරුම් ස්ථාන පැවසීමටත් සමිතියේ සභාපති බෘක්ලින් මූලස්ථානයේ ඉඳලා ආවා. ඒ කාලයේ උපාධි ප්‍රදාන උත්සවයේදී නිවේදනය කරන තුරුම තමන් යන්නේ කොතැනටද කියලා ශිෂ්‍යයන් දැනගෙන හිටියේ නැහැ. මට පැවරුම ලැබුණේ ආපහු ලන්ඩන් බෙතෙල් එකට ගිහින් දිගටම මගේ වැඩ කරගෙන යන්නයි.

නැවතත් ලන්ඩන්වල

යුද්ධයෙන් පස්සේ අවුරුදු කීපයකට බ්‍රිතාන්‍යයේ කටුක කාලයක් පැවතුණා. ආහාර සහ කඩදාසි ඇතුළු වෙනත් අවශ්‍යතා බොහෝමයක් සලාක ක්‍රමයට ලබාගැනීමට සිදු වුණා. නමුත් කොහොමහරි අපි ජීවත් වුණ අතර යෙහෝවාගේ රාජ්‍ය කටයුතු වැඩිදියුණු වුණා. බෙතෙල්හි වැඩ කරනවාට අමතරව, මම දිස්ත්‍රික් හා චාරිකා එක්රැස්වීම්වල වැඩකටයුතු කළ අතර සභාවලට සේවය කිරීමටත් ගියා. අයර්ලන්තයේ සමහර සභාවලටත් යන්න පුළුවන් වුණා. එමෙන්ම යුරෝපයෙන් පැමිණි එරික් ෆ්‍රොස්ට් හා වෙනත් සහෝදර සහෝදරියන්ව මුණගැසීමට ලැබීමත්, නාට්සි ගාල් කඳවුරුවල දරුණු වධ හිංසාවලට මූණ දුන් සමහර සාක්ෂිකරුවන්ගේ ස්ථිරත්වය ගැන යමක් ඔවුන්ගෙන් දැනගන්න ලැබීමත් වරප්‍රසාදයක් වුණා. බෙතෙල් සේවය ඇත්තෙන්ම ආශීර්වාද ලත් වරප්‍රසාදයක්.

ලන්ඩන්වල උතුරේ පිහිටි නගරයක් වන වොට්ෆර්ඩ්හි සේවය කරමින් සිටි ජොඇන් වෙබ්ව මම දැනගෙන හිටියේ අවුරුදු දහයක ඉඳලයි. වර්ෂ 1952දී අපි විවාහ වුණා. අපි දෙන්නම පූර්ණ-කාලීන සේවයේ දිගටම නිරත වෙන්න ආශාවෙන් හිටිය නිසා, මම බෙතෙල් එකෙන් පිට වෙද්දී මාව චාරිකා අවේක්ෂකයෙකු හැටියට පත් කළ විට, අපිට ඉමහත් සතුටක් දැනුණා. අපේ මුල්ම චාරිකාව හැටියට අපි ගියේ එංගලන්තයේ දකුණු වෙරළ තීරයේ සසෙක්ස් හා හැම්ප්ෂයර්වලටයි. ඒ කාලයේදී චාරිකා සේවය ඒ තරම් පහසු වුණේ නම් නැහැ. අපි වැඩිහරියක් ගමන් කළේ බස් රථයෙන්, බයිසිකලෙන් එහෙම නැත්නම් පයිනුයි. හුඟක් සභාවන්වලට විශාල මෙන්ම ගම්බද බලප්‍රදේශද අයත්ව තිබුණා. ඒවා කරා යෑම බොහෝවිට දුෂ්කර වුණ නමුත් සාක්ෂිකරුවන්ගේ ගණන දිගටම වැඩි වෙමින් තිබුණා.

වර්ෂ 1958දී නියූ යෝක් නගරය

“නියූ යෝක් නගරයේ යැංකි හා පෝලෝ ක්‍රීඩාංගණවල 1958දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර එක්රැස්වීම සඳහා ප්‍රවාහණ පහසුකම් සැලසුම් කිරීම සම්බන්ධයෙන් උපකාර කිරීමට කාර්යාලයට පැමිණෙන්න ඔබ කැමතිද” කියන ආරාධනයත් 1957දී බෙතෙල් එකෙන් මට ලැබුණා. ආරාධනය පිළිගත් ජොඇන් හා මම, සමිතියෙන් කුලියට ගත් ගුවන් යානා හා නැව්වල ප්‍රවාහණ පහසුකම් ඉල්ලුම් කර සහෝදරයන් එවූ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් කටයුතු කරන්න පටන්ගත්තා. දිව්‍ය කැමැත්ත නමැති එම ප්‍රසිද්ධ ජාත්‍යන්තර එක්රැස්වීමට 2,53,922ක් සහභාගි වුණා. මෙම සමුළුවේදී වතුර බව්තීස්මය මගින් 7,136දෙනෙක් යෙහෝවාට තම කැපවීම සංකේතවත් කළා. එය බයිබලයේ වාර්තා වී ඇති ආකාරයට පො.යු. 33 පෙන්තකොස්තයේ පැවති ඓතිහාසික සිද්ධියේදී බව්තීස්ම වූ ගණන මෙන් දෙගුණයක්.—ක්‍රියා 2:41.

රටවල් 123කින් නියූ යෝක් නගරයට පැමිණෙන නියෝජිතයන් ගැන බලාකියා ගැනීමට එක්රැස්වීමට පැමිණෙන්න කියා සහෝදර නෝර් පෞද්ගලිකව අපට ආරාධනා කිරීමෙන් දැක්වූ කරුණාව ජොඇන්ටවත් මටවත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක අපි දෙන්නටම සන්තෝෂවත්, තෘප්තිකර අද්දැකීමක් වුණා.

පූර්ණ-කාලීන සේවයේ ආශීර්වාද

අපි ආපහු ගියාට පස්සේ, දිගටම සංචාරක සේවයේ යෙදුණත් සෞඛ්‍ය ගැටලු නිසා එය නවත්වන්න සිද්ධ වුණා. ජොඇන්ට රෝහල්ගත වෙන්න සිද්ධ වුණ අතර මටත් යන්තම් අංශභාගෙට වගේ ආවා. අපිව විශේෂ පුරෝගාමීන් හැටියට මාරු කළා. නමුත් පසුව නැවතත් වරප්‍රසාද ලැබුණා තාවකාලිකව චාරිකා සේවයෙහි යෙදෙන්න. අන්තිමේදී අපි ආපහු බ්‍රිස්ටල්වලට පැමිණි අතර එහි දිගටම පූර්ණ-කාලීන සේවයේ නියැලෙමින් සිටිනවා. මගේ මල්ලි ඩික් සහ ඔහුගේ පවුල ඉන්නේ අපි ඉන්න තැනට කිට්ටුවෙනුයි. අපි නිතරම අතීතය මතක් කරනවා.

වර්ෂ 1971දී, දෘෂ්ටිවිතානය වෙන්වීම හේතුවෙන් සුව කළ නොහැකි තරමටම මගේ ඇස් පෙනීම දුර්වල වී ගියා. එදා පටන් මට කියවන්න අපහසු වුණ නිසා පටිගත කර තිබෙන බයිබල් ප්‍රකාශන යෙහෝවාගෙන් ලැබී තිබෙන මවිතකර සැපයුමක් කියා මට දැනෙනවා. ජොඇන් හා මම තවමත් බයිබල් පාඩම් පවත්වන අතර පහුගිය අවුරුදු ගණනාව පුරා හත්දෙනෙකුගෙන් යුත් පවුලක් ඇතුළු 40දෙනෙකුට සත්‍යය ගැන දැනුමක් ලබාගන්න උපකාර කිරීමේ වරප්‍රසාදය අපිට ලැබී තිබෙනවා.

අවුරුදු 60කට ඉස්සෙල්ලා අපි යෙහෝවාට අපේ ජීවිත කැප කරද්දී, අපේ ආශාව වුණේ පූර්ණ-කාලීන සේවයට ඇතුළත් වෙලා දිගටම ඒ සේවයේ පැවතීමයි. උතුම් යෙහෝවාට සේවය කරන්න අපිට තවමත් ශක්තිය තිබීම ගැන අපි මොනතරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද! අප වෙනුවෙන් මෙන්ම, එක්ව සන්තෝෂයෙන් අපි ගත කළ කාලය වෙනුවෙන් ඔහුට කෘතඥ වෙන්න තියෙන එකම මාර්ගය එයයි!

[පාදසටහන]

a මුරටැඹ හා සැනසීම (පසුව, පිබිදෙව්!) නමැති පිටපත් රැගෙන යෑමට සකස් කරන ලද, කරේ දමාගෙන යා හැකි රෙදි බෑගයක්.

[25වන පිටුවේ පින්තූරය]

බ්‍රිස්ටල්හි පුරෝගාමී නිවස ඉදිරියේ මම, මගේ මල්ලි ඩික් (වමේ; ඩික් හිටගෙන) සහ අනිත් පුරෝගාමීන්

[25වන පිටුවේ පින්තූරය]

1940දී බ්‍රිස්ටල්හි පුරෝගාමී නිවස

[26වන පිටුවේ පින්තූර]

ස්ටැන්ලි හා ජොඇන් රේනල්ස් 1952 ජනවාරි 12වෙනිදා විවාහ වූ දිනයේදී සහ අදදින