Skip to content

පටුනට යන්න

යෙහෝවා අපේ සිත අභිභවා යයි

යෙහෝවා අපේ සිත අභිභවා යයි

යෙහෝවා අපේ සිත අභිභවා යයි

“යෙහෝවා කෙරෙහි භය ඇත්තන් ඔහුගේ ඇස් ඉදිරියෙහි ප්‍රසන්නය” කියා ගීතිකාකරු පැවසුවා. ඔව්, තම ධර්මිෂ්ඨ ප්‍රමිති අනුව ජීවත් වීමට තම භූමික සේවකයන් එක් එක්කෙනා දරන පෞද්ගලික වෑයම දකිද්දී මැවුම්කරුගේ සිතට ලොකු සතුටක් දැනෙනවා. දෙවි තමාට පක්ෂපාත වන අයට ආශීර්වාද කරනවා. ඔහු දුෂ්කර කාලවලදී ඔවුන්ට අවශ්‍ය දිරිගැන්වීමත් සැනසීමත් ලබා දෙනවා. තම නමස්කාරකයන්ගේ අසම්පූර්ණකම නිතරම මතක තබාගන්නා ඔහු, කළ නොහැකි දෙයක් ඔවුන්ගෙන් කිසිවිටකත් ඉල්ලා සිටින්නේ නැහැ. ඔහු අසාධාරණ දෙවිකෙනෙක් නෙවෙයි.—ගීතාවලිය 147:11NW.

පොදුවේ ගත් කල, යෙහෝවා තම සෙනඟට මුළු හදින්ම ප්‍රේම කරන බව විශ්වාස කිරීම අපහසු දෙයක් නොවිය හැකියි. එනමුත් සමහර අය තමන්ගේම වැරදි කොතරම් ලොකුවට දකිනවාද කියනවා නම්, ඔවුන්ට කවදාවත් යෙහෝවාගේ ප්‍රේමය ලබාගත නොහැකියි කියා ඔවුන්ට හැඟෙනවා. “මං වගේ කෙනෙකුට නම් කවදාවත් යෙහෝවාගේ ආදරේ ලබන්න බැහැ” කියා ඔවුන්ට සිතෙන්න පුළුවන්. විටින් විට අපි සෑම කෙනෙකුටම නිෂේධාත්මක හැඟීම් ඇති වන බව ඇත්තයි. නමුත් ඇතමෙකුට නොවටිනාකමේ හැඟීම් සමඟ නිතරම වාගේ පොරබැදීමට සිදු වෙනවා.

නොවටිනාකමේ හැඟීම්

බයිබල් කාලවලදී පවා යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් කිහිපදෙනෙකුටම දරාගත නොහැකියයි හැඟුණු තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. යෝබ්ට තම ජීවිතය පවා එපා වුණා. දෙවි තමාව අත්හැර තිබුණා කියාත් ඔහුට හැඟුණා. හන්නා, පසු කලෙක සාමුවෙල්ව වැදුවත් සෑහෙන කාලයක් පුරා වඳව සිටියා. මෙම වේදනාකාරි තත්වය නිසා ඇය කිහිප වතාවක්ම ඇඬුවා. දාවිත් ‘වේදනා විඳිමින් අතිශයින් නැමී වැතිර සිටියා.’ ඒ වගේම, තමා ලෙඩින් සිටින බව සහෝදරයන්ට ආරංචි වූ බැවින් එපප්‍රොදිතස්ද සෑහෙන දුක් වුණා.—ගීතාවලිය 38:6; 1 සාමුවෙල් 1:7, 10: යෝබ් 29:2, 4, 5; පිලිප්පි 2:25, 26.

අදදින ක්‍රිස්තියානීන්ගේ තත්වය කුමක්ද? දුර්වල සෞඛ්‍යය, වයසට යෑම හෝ වෙන යම් හේතුවක් නිසා සමහර අයට යෙහෝවා වෙනුවෙන් කරන්න පුළුවන් දේ සීමිතයි. තමන්ගේ සේවය වැඩි කිරීමට ආශාව තිබුණත් ඔවුන්ට එසේ කළ නොහැකියි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, තමන් යෙහෝවාව හා සෙසු ඇදහිලිවන්තයන්ව සතුටු කිරීමට අසමත් වෙනවා කියා ඔවුන්ට හැඟෙන්න පුළුවන්. තවත් සමහර ක්‍රිස්තියානීන්, තමන්ගේ අතින් කලින් සිදු වූ වැරදි නිසා තවමත් දුක් වෙනවා. ඔවුන්ට හැඟෙන්නේ, යෙහෝවා කවදාවත් තමන්ට සමාව නොදෙන බවයි. ගැටලුවලින් පිරි පසුබිමක හැදී වැඩුණු අයත් සිටිනවා. ඔවුන්ට හැඟෙන්නේ, තමන් කිසිවෙකුගෙන් ආදරය ලබන්න වටින්නේ නැති බවයි. මෙවැනි තත්වයන් ඇතිවීමට හේතුව කුමක්ද?

ඇතැම් අය හැදී වැඩී ඇත්තේ ආත්මාර්ථකාමී වාතාවරණයක් තුළයි. ප්‍රේමය කියන්නේ මොකක්ද කියාවත් නොදන්නා ඔවුන්ට, නිතරම වගේ භයක් දැනෙනවා. ඔවුන් අවට සිටින සෑම කෙනෙක්ම වාගේ කතා කරන්නේ අනුන්ව සමච්චලයට ලක් වන ආකාරයටයි. ඒ නිසා, ප්‍රේමනීය ලෙස කටයුතු කරන, ප්‍රශංසාවත් දිරිගැන්වීමත් ලබා දෙන, බරපතළ වැරදිවලට පවා සමාව දෙන පියෙකුගෙන් ලැබිය යුතු සුරක්ෂිත හැඟීම ඔවුන් කිසිවිටකත් අද්දැක නැහැ. ඔවුන් කවදාවත් එවන් පියෙකුගේ සෙනෙහස ලබා නැති නිසා අපට ආදරය කරන ස්වර්ගික පියෙක් සිටින බව පිළිගැනීම පවා ඔවුන්ට අපහසු විය හැකියි.

ෆ්‍රිට්ස්ගේ අද්දැකීම මෙයට හොඳ නිදසුනක්. ඔහු මෙසේ ලියනවා. a “මගේ තාත්තා කවදාවත් මට ආදරේ පෙන්නුවේ නැහැ. මට ඒක චූටි කාලයේ ඉඳන්ම හරියට බලපෑවා. එයා කවදාවත් මට ප්‍රශංසා කෙරුවේ නැහැ. මම නිතරම තාත්තාට භයෙන් හිටියේ. ඒ හින්දා මම කවදාවත් එයාට ළං වුණේ නැහැ.” ෆ්‍රිට්ස්ට දැන් වයස අවුරුදු 50යි. ඔහු තවමත් නොවටිනාකමේ හැඟීම් සමඟ පොරබදිනවා. මාගරට්ගේ අද්දැකීමත් සලකා බලන්න. ඇය මෙසේ පැහැදිලි කරනවා. “මගේ දෙමව්පියන්ගෙන් මට කවදාවත් ආදරයක් ලැබුණේ නැහැ. මම බයිබලය පාඩම් කරන්න පටන්ගත්ත අලුත ආදරණීය පියෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලාවත් මට තේරුම්ගන්න අමාරු වුණා.”

අපි මෙවැනි හැඟීම්වලින් යටපත් වී සිටිනවා නම්, අපි දෙවිට සේවය කරන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රේමය නිසා නොව නමුත් බිය හෝ වරදසහගතබවේ හැඟීම් නිසා විය හැකියි. යෙහෝවා වෙනුවෙන් කොතරම් කළත් අප සෑහීමකට පත් නොවෙනවා විය හැකියි. අප යෙහෝවාවත් සෙසු ඇදහිලිවන්තයන්වත් සතුටු කිරීමට කොතරම් වෙර දරනවාද කියා පවසනවා නම්, කැමති සෑම දෙයක්ම කිරීමට නොහැකි වූ විට අපට නොවටිනාකමේ හැඟීම් ඇති වෙන්න පටන්ගනියි. එහෙමත් නැත්නම්, ඉලක්කයන් අත් කරගැනීමට අසමත් වූ විට අපේ සිත් අපට දොස් පැවරිය හැකි අතර අපට අධික වේදනාවක් දැනෙන්නත් පුළුවන්.

මේ සඳහා පිළියම කුමක්ද? යෙහෝවාගේ ප්‍රේමය කොතරම් පුළුල්ද කියා මතක් කරගැනීම හොඳ දෙයක්. ප්‍රේරිත යොහන්ට දෙවිගේ ප්‍රේමය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. ඔහු පැවසූ දේ දැන් සලකා බලමු.

‘දෙවි අපේ සිත අභිභවා යයි’

යොහන් පළමුවන සියවසේ අගභාගයේදී සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ ලීවා: “දෙවි සියල්ල දන්නා නිසාත්, ඔහු අපේ සිත අභිභවා යන නිසාත්, අපේ සිත යමක් පිළිබඳව අපට දෝෂාරෝපණය කරන විට ඔහු ඉදිරියෙහි අපේ සිතට ඒත්තුගන්න සලස්වමු. එමෙන්ම අපි සත්‍යයේ පිහිටා සිටින බවටද සහතිකයක් සපයාගනිමු.” යොහන්ට මෙවැනි නිසැකභාවයක් තබාගැනීමට හැකි වුණේ කෙසේද?—1 යොහන් 3:19, 20NW.

යෙහෝවාගේ සේවකයන්ට තමන්ටම දොස් පවරන සිතක් තිබිය හැකි බව යොහන් හොඳින් දැන සිටියා. සමහරවිට යොහන්ටත් එවැනිම හැඟීම් තිබෙන්න ඇති. තරුණ කාලයේදී යොහන්ට කිපෙනසුලු ස්වභාවයක් තිබුණු අතර, අන්‍යයන් සමඟ දැඩි ලෙස කටයුතු කළ නිසා යේසුස් ක්‍රිස්තුස් ඔහුට තරවටුත් කළා. ඒ විතරක් නොවේ, යේසුස් යොහන්ටත් ඔහුගේ සහෝදර වූ යාකොබ්ටත් ‘ගර්ජනාවේ පුත්‍රයෝ යන අර්ථය ඇති බොවනර්ගස් යන නම තැබුවා.’—මාර්ක් 3:17; ලූක් 9:49-56.

ඉන්පසු ගත වූ අවුරුදු 60ක පමණ කාලය තුළදී යොහන් වඩා මෘදු ආකාරයකට කටයුතු කරන්න ඉගෙනගත් අතර, ඔහු ප්‍රේමනීය, දයාවන්ත මෙන්ම සමබර ක්‍රිස්තියානියෙක් බවට පත් වුණා. දේවානුභාවයෙන් තම පළමුවන ලිපිය ලිවීමට පටන්ගත් විට, යෙහෝවා තම සේවකයන්ට සෑම සුළු වරදකටම දඬුවම් නොකරන බව ඔහු වටහාගෙන තිබුණ බව නිසැකයි. යෙහෝවා උණුසුම්, ප්‍රේමනීය, ත්‍යාගශීලී හා දයානුකම්පිත පියෙක් බවත්, තමාට ප්‍රේමයෙන් හා සැබෑකමෙන් සේවය කරන සියලුදෙනාටම ගැඹුරු ප්‍රේමයක් දක්වන දෙවිකෙනෙක් බවත් පිළිගන්න යොහන්ට ඇති තරම් සාක්ෂි තිබුණා. ‘දෙවි ප්‍රේමයය’ කියා ලිවීමට ඔහුට හැකි වූයේ ඒ නිසයි.—1 යොහන් 4:8.

අපේ උපරිමය යෙහෝවාව සතුටට පත් කරයි

අපේ දුර්වලතා සහ අප අතින් සිදු වන වැරදිවලට හේතු වන්නේ කුමක්ද කියා දෙවි දන්නවා. ඔහු අප සමඟ කටයුතු කරන විට මේවා සැලකිල්ලට ගන්නවා. ‘ඔහු අපේ ස්වභාවය දන්නේය; අප ධූලි බව ඔහු සිහි කරන්නේය’ කියා දාවිත් පැවසුවා. අප හැදී වැඩී තිබෙන පසුබිම හා වාතාවරණය, අප වර්ධනය කරගන්නා පෞද්ගලිකත්වය මත විශාල බලපෑමක් ඇති කරන බව යෙහෝවා දන්නවා. යෙහෝවා අපටත් වඩා හොඳට අප ගැන දන්නවා.—ගීතාවලිය 103:14.

අපි බොහෝදෙනෙක් වඩාත් හොඳ පුද්ගලයන් බවට පත්වීමට වෑයම් කළත්, අසම්පූර්ණකමෙන් අපට ජයගත නොහැකි බව ඔහු දන්නවා. ප්‍රේරිත පාවුල් අපේ තත්වය විස්තර කළේ මෙලෙසයි. “මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි.” අපි සියලුදෙනාම මෙම සටනේ නිරත වෙනවා. මේ නිසා, සමහර අවස්ථාවලදී අපේ සිත් අපටම දොස් පවරනවා විය හැකියි.—රෝම 7:19.

ඒත් අප අප දෙස බලන ආකාරයට වඩා වැදගත් වන්නේ, යෙහෝවා අප දෙස බලන ආකාරයයි. අප ඔහුගේ සිත සතුටු කිරීමට වෙර දරන සෑම අවස්ථාවකදීම යෙහෝවා නිකම්ම සෑහීමකට පත් වනවා වෙනුවට, ඔහු එයින් ඉමහත් ප්‍රීතියක් ලබනවා! (හිතෝපදේශ 27:11) අපි ඉටු කරන දේ අපේ ඇස් ඉදිරියේ ඉතා සුළු දෙයක් මෙන් පෙනුණත්, අපේ පිරිසිදු චේතනා මෙන්ම ඔහුව සතුටු කිරීමට තිබෙන ආශාව යෙහෝවා සැලකිල්ලට ගන්නවා. එය ඔහුගේ සිතට මහත් සතුටක් ගෙන දෙනවා. යෙහෝවාට අපේ සිතේ තිබෙන ආශාවන් හා චේතනාවන් කියවීමට හැකි නිසා ඔහු අප ඉටු කරන දේට ඔබ්බෙන් බලනවා. ඒ කියන්නේ ඔහු අප ඉටු කිරීමට කැමති දේ දකිනවා.—යෙරෙමියා 12:3; 17:10.

උදාහරණයකට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බහුතරයක්ම ලැජ්ජාශීලී, සමාජයට මුහුණ දෙන්න භයක් ඇති පුද්ගලයන්. එවැනි අයට ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය දේශනා කිරීම ඇත්තෙන්ම අභියෝගයක්. නමුත් දෙවිට සේවය කිරීමට හා තම අසල්වැසියන්ට බයිබල් දැනුම තුළින් උපකාර කිරීමට තිබෙන ආශාව නිසා ඔවුන් මෙම අභියෝගයෙන් ජයගන්නවා. නමුත් ඇතැම් අවස්ථාවලදී තමන් වැඩි යමක් ඉටු නොකරන බව ඔවුන්ට හැඟෙන්න පුළුවන්. මෙයින් ඔවුන්ගේ ප්‍රීතිය නැති වී යා හැකි අතර, තමන් කරන සේවයෙන් කිසිම ප්‍රයෝජනයක් නැති බවත් ඔවුන්ට හැඟෙන්න පුළුවන්. නමුත් තමා වෙනුවෙන් ඔවුන් දරන වෑයම ගැන යෙහෝවා ඇත්තෙන්ම සතුටු වෙනවා. ඒ වගේම තමන් වපුරන ලද සත්‍යයේ බීජ කොයි මොහොතක, කොතැනකදී හෝ රෝපණය වී, වැඩී, ඵලදාව දෙයිද කියා ඔවුන්ට නිශ්චය කරගන්න බැරි බව ඔවුන් මතක තබාගත යුතුයි.—දේශනාකාරයා 11:6; මාර්ක් 12:41-44; 2 කොරින්ති 8:12.

සමහර සාක්ෂිකරුවන් සෑහෙන කාලයක් පුරා අසනීප තත්වයක සිටිනවා. තවත් සමහරු දැන් වයසට ගොස් තිබෙනවා. එවැනි අයට නිතිපතා රාජ්‍ය ශාලාවට පැමිණ රැස්වීම්වලට සවන් දීම අපහසු දෙයක් විය හැකියි. දේශනා සේවය සම්බන්ධයෙන් කතාවකට සවන් දෙන විට, සේවයේදී ඔවුන් කලින් කළ තරම්ම දැන් ඉටු කළ නොහැකි නිසා සිතට ලොකු වේදනාවක් ඇති විය හැකියි. වේදිකාවෙන් ලැබෙන එවැනි උපදෙස් තමන්ට කැමති පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ගැන ඔවුන්ගේ සිත් ඔවුන්ට දොස් පවරනවාද විය හැකියි. මෙය කනස්සල්ලටද තුඩු දිය හැකියි. නමුත් ඔවුන්ගේ විඳදරාගැනීමත් පක්ෂපාත ලෙස කරන සේවයත් යෙහෝවා හද පත්ලෙන්ම අගය කරනවා. ඔවුන් තමාට පක්ෂපාතව සිටින තාක් කල් යෙහෝවා ඔවුන්ව කවදාවත් අත්හරින්නේ නැහැ. ඒ වගේම, ඔවුන් කර තිබෙන සේවයත් කවදාවත්ම අමතක කරන්නේ නැහැ.—ගීතාවලිය 18:25, නව අනුවාදය; 37:28.

“අපේ සිතට ඒත්තුගන්න සලස්වමු”

යොහන් මහලු වියට පැමිණෙන විට දෙවිගේ ප්‍රේමය කොතරම් පුළුල්ද කියා ඔහු හොඳින් වටහාගන්න ඇති. ‘දෙවි සියල්ල දන්නා බවත්, ඔහු අපේ සිත අභිභවා යන බවත්’ යොහන් අවබෝධ කරගෙන තිබුණ බව මතකයට නඟන්න. තවද “අපේ සිතට ඒත්තුගන්න සලස්වමු” කියා ඔහු අපට දිරිගැන්වුවා. ඔහු මෙයින් අදහස් කළේ කුමක්ද?

වයින්ස් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් නියූ ටෙස්ටමන්ට් ව’ඩ්ස් යන ප්‍රකාශනයට (අලුත් සහ පරණ ගිවිසුමේ වදන් පිළිබඳ වයින්ගේ අර්ථකථන ශබ්දකෝෂයට) අනුව, “ඒත්තුගන්න සලස්වමු” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙහි අර්ථය වෙන්නේ, “තර්කයෙන් ඔප්පු කිරීම, පිළිගැනීමට සැලැස්වීම, පොලඹවනු ලැබීම හා සහතිකයක් සැපයීමයි.” වෙනත් වචනවලින් පැවසුවොත් අපේ සිතට ඒත්තුගැන්වීමට නම්, යෙහෝවා අපිට ප්‍රේම කරන බව පිළිගැනීමට අපි අපේ සිතට සහතිකයක් සපයන්න අවශ්‍යයි. අප එය කරන්නේ කොහොමද?

මෙම ලිපියේ කලින් සඳහන් කළ ෆ්‍රිට්ස්, දැන් අවුරුදු 25කට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වැඩිමහල්ලෙක් වශයෙන් සේවය කර තිබෙනවා. බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීම තුළින් යෙහෝවාගේ ප්‍රේමය සම්බන්ධයෙන් තමාගේ සිතට ඒත්තුගැන්වීමට ඔහු සමත් වී තිබෙනවා. “මම බයිබලයත්, සංවිධානයේ වෙනත් පොත්පතුත් හුඟක් උනන්දුවෙන් අධ්‍යයනය කරනවා. පහුගිය දේවල් ගැන අනවශ්‍ය විදිහට දුක් වෙන්නේ නැතුව, අපි ඉදිරියේ තියෙන ලස්සන බලාපොරොත්තුව වෙත අවධානය යොමු කරන්න එය මට උපකාරවත් වෙලා තියෙනවා. ඉඳලා හිටලා නම් මට පහුගිය දේවල් මතක් වෙනවා. දෙවි මට ආදරේ නැහැයි කියලත් හැඟෙනවා. නමුත් නිතරම බයිබලය අධ්‍යයනය කිරීමෙන් මගේ හිතට ලොකු ධෛර්යයක් ලැබෙනවා. මගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරන්නත්, සමබර ආකල්පයක් ඇතුව ප්‍රීතියෙන් ඉන්නත් මට ඒ හින්දා පුළුවන් වෙලා තියෙනවා” කියා ඔහු පවසනවා.

බයිබලය කියවීමෙන් සහ ඒ මත මෙනෙහි කිරීමෙන් අපේ සැබෑ තත්වය වෙනස් නොවුණත්, අපේ තත්වය දෙස අප බලන ආකාරය එයින් වෙනස් විය හැකියි. ඒ වගේම, දෙවිගේ වචනයේ තිබෙන අදහස්වලින් අපේ සිත පෝෂණය වන විට, අපත් දෙවි සිතන ආකාරයට සිතන්න පටන්ගන්නවා. දෙවිට කොතරම් ගැඹුරු ප්‍රේමයක් තිබෙනවාද කියා තේරුම්ගැනීමටත් එය අපට උපකාරවත් වෙනවා. එවිට කුඩා කාලයේ සිට අප හැදී වැඩුණු වාතාවරණය හා අපේ දුර්වලතා සම්බන්ධයෙන් යෙහෝවා අපට දොස් පවරන්නේ නැති බව අප වටහාගැනීමට පටන්ගන්නවා. අප ශාරීරිකව හෝ චිත්තවේගීය වශයෙන් අද්දකින පීඩාවන් බොහෝ අවස්ථාවලදී අපේම වරදක් නිසා නොවන බව යෙහෝවා දන්නා බැවින්, අපත් සමඟ කටයුතු කරද්දී ප්‍රේමනීය ලෙස ඔහු මේවා සැලකිල්ලට ගන්නවා.

කලින් සඳහන් කළ මාගරට්ගේ තත්වය කුමක්ද? බයිබලය පාඩම් කිරීමෙන් යෙහෝවාව දැනගන්න ලැබීම ඇයටත් මහත් උපකාරයක් වුණා. ෆ්‍රිට්ස්ට කරන්න සිදු වුණාක් මෙන් ඇයටත් පියෙකු සම්බන්ධයෙන් දැරූ ආකල්පය වෙනස් කරන්න සිදු වුණා. ඇය යෙහෝවා ගැන බයිබලයෙන් ඉගෙනගත් දේ සත්‍යයි කියා යාච්ඤාව තුළින් ඇයට ඔප්පු වුණා. “මට කවදාවත් තාත්තා කෙනෙකුගෙන් ආදරය ලැබුණේ නැති නිසා, මම මුලදී යෙහෝවාව මට ආදරයෙන් සලකන, ළඟින්ම ආශ්‍රය කරන යාළුවෙක් හැටියට සලකන්න පටන්ගත්තා. මට ඒ පැත්තෙන් නම් අද්දැකීම් තියෙනවා. මගේ හිතේ තියෙන හැම දෙයක්ම මම ටිකෙන් ටික යෙහෝවාට කියන්න පටන්ගත්තා. මට බය හිතුණාම, දුකක් දැනුණාම, ඕනෑම ප්‍රශ්නයක් ආවාම මම නිතරම එයාට යාච්ඤා කරන්න පටන්ගත්තා. ඒත් එක්කම මම යෙහෝවා ගැන ඉගෙනගත්ත හැම අලුත් දෙයක්ම මගේ හිතේ තැන්පත් කරගත්තා. මම ටිකෙන් ටික යෙහෝවාගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති දකින්න පටන්ගත්තා. මම එයාට තව තවත් කිට්ටු වුණා. දැන් නම් මට කිසිම සැකයක් නැතුව යෙහෝවාව මගේ ප්‍රේමනීය පියා හැටියට පිළිගන්න පුළුවන්” කියා මාගරට් පවසනවා.

කාන්සාව නොමැති කල

අප දැන් ජීවත් වන මෙම දුෂ්ට ලෝක ක්‍රමය පවතින තාක් කල්, කාන්සාවෙන් සම්පූර්ණ නිදහසක් අපට අපේක්ෂා කළ නොහැකියි. ඒ නිසා ඇතැම් ක්‍රිස්තියානීන්ට කලින් කලට කාන්සාව, සිත්තැවුල් හෝ නොවටිනාකමේ හැඟීම් ඇති විය හැකියි. නමුත් අපේ චේතනා හා ඔහු වෙනුවෙන් අප කොතරම් වෙහෙසක් දරනවාද කියා යෙහෝවා දන්නවා. තවද ඔහුගේ නාමය වෙනුවෙන් අපි දක්වන ප්‍රේමය ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.—හෙබ්‍රෙව් 6:10.

මතු පැමිණෙන මෙසියානු පාලනයේදී, සෑම ඇදහිලිවන්ත මනුෂ්‍යයෙකුටම සාතන්ගේ දුෂ්ට පිළිවෙළ තුළ අද්දකින සියලුම පීඩිත තත්වයන්ගෙන් සම්පූර්ණ නිදහසක් අපේක්ෂා කළ හැකියි. මෙය මොනතරම් සහනයක් ගෙන දෙයිද! එදාට අපිට යෙහෝවාගේ නිමක් නොමැති ප්‍රේමය පිළිබඳව තවත් අපමණ සාක්ෂි ප්‍රමාණයක් ලැබෙන බව නිසැකයි. ඒ කාලය එන තෙක් ‘යෙහෝවා සියල්ල දන්නා බවත් අපේ සිත අභිභවා යන බවත්’ අපි දිගටම ඒත්තුගනිමින් සිටිමු.—1 යොහන් 3:20.

[පාදසටහන]

a නම් වෙනස් කර ඇත.

[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා කෲර පාලකයෙක් නොව, ඔහු උණුසුම් හා ප්‍රේමනීය හදවතක් ඇති දයානුකම්පිත පියෙක්

[31වන පිටුවේ පින්තූරය]

දෙවිගේ වචනයේ අදහස්වලින් අපේ සිත පෝෂණය වන විට, අපත් දෙවි සිතන ආකාරයට සිතන්න පටන්ගන්නවා