Skip to content

පටුනට යන්න

සිතට සහනය—එය ලබාගන්නේ කෙසේද?

සිතට සහනය—එය ලබාගන්නේ කෙසේද?

සිතට සහනය—එය ලබාගන්නේ කෙසේද?

කලින් ලිපියේ සඳහන් කළ තොරෝගේ කාලය හා අපේ කාලය අතර ලොකු වෙනසක් තිබේ. කැපීපෙනෙන එක වෙනසක් වන්නේ විවිධ අය නිමක් නොමැතිව උපදෙස් සැපයීමය. මනෝවිද්‍යාඥයෝ, ස්වසාධන පොත් පත් ලියන අය හා පුවත්පත් තීරු ලේඛකයෝ පවා සිතට සහනයක් ගෙන දීමට පොරොන්දු වෙමින් තම මත ඉදිරිපත් කරති. එවැනි උපදෙස් පිළිපැදීමෙන් අපට තාවකාලික සහනයක් ලබාගත හැකි නමුත් නියම සහනය ලබාගැනීමට නම් ඊට වඩා යමක් අවශ්‍යය. කලින් ලිපියේ සඳහන් කළ අය අද්දැකීමෙන්ම ඉගෙනගත්තේ එයයි.

ඇන්ටෝනියෝ, මාර්කොස්, ගර්සන්, වානියා හා මාර්සෙලූ විවිධ පසුබිම්වල හැදී වැඩුණ අතර, එකිනෙකාට වෙනස් වූ ගැටලු සමඟ පොරබැදූහ. නමුත් එම පස්දෙනා අතර සමානකම්ද තිබිණ. ඔවුහු සියලුදෙනාම වරක් “ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, [දෙවිත්] නැතුව [සිටියහ].” (එපීස 2:12) එමෙන්ම ඔවුහු සියලුදෙනාම සිතට සහනයක් සොයමින් සිටියහ. තවද යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත් පසුව සොයමින් සිටි එම සහනය ඔවුන්ට ලැබිණ. බයිබලය අධ්‍යයනය කරන්න කරන්න, දෙවි තමන් ගැන උනන්දුවක් දක්වන බව ඔවුහු වටහාගත්හ. පාවුල් අතීනසයේ අයට පැවසූ මෙම වදන්වල සත්‍යතාව ඔවුන්ට තහවුරු විය. ‘දෙවි අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.’ (ක්‍රියා 17:27) නිසැකවම, සිතට සහනයක් ලබාගැනීම සඳහා මෙම සත්‍යය අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි.

මෙතරම් නොසන්සුන්බවක් මන්ද?

අදදින මිනිසුන් අතර සමාදානයක් නැත. ඔවුන්ගේ සිතට සහනයක්ද නැත. ලෝකය තුළ මෙතරම් සාමයේ ඌනතාවක් පවතින්නේ මන්ද? බයිබලය එයට හේතු දෙකක් සපයයි. පළමුවෙනි එක යෙරෙමියා 10:23හි පහදා දී ඇත. එහි මෙසේ පවසයි. “මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” උපකාරයකින් තොරව තමාවම පාලනය කිරීමට අවශ්‍ය ප්‍රඥාවවත්, දූර්දර්ශීභාවයවත් මිනිසාට නැත. සැබෑ සහනයක් ලබාගත හැක්කේ දෙවිගෙන් පමණයි. දෙවිගේ මඟ පෙන්වීම නොපතන කිසිවෙකුට කල් පවතින සමාදානයක් හෝ සහනයක් අත් කරගත නොහැක. ලෝකයේ සාමය නොමැති වීමට දෙවෙනි හේතුව ප්‍රේරිත යොහන් අපට පහදා දෙයි. “මුළු ලෝකයා නපුරා තුළ” පවතින බව ඔහු පැහැදිලි කර දුන්නේය. (1 යොහන් 5:19) දිව්‍ය මඟ පෙන්වීම නොමැතිව සමාදානය අත් කරගැනීමට වෙර දරන සියලුදෙනාගේම වෑයම් නිෂ්ඵල වේ. මන්ද “නපුරා” වන සාතන් ඒ සෑම වෑයමක්ම කඩාකප්පල් කිරීමට දැන් දැඩි පරිශ්‍රමයක් දරන නිසයි. සාතන්ව අපට නොපෙනුණත් ඔහු සැබෑ මෙන්ම ඉතා බලවත් පුද්ගලයෙකු බව මෙයින් ඔප්පු වේ.

බහුතරයක් දෙවිගේ මඟ පෙන්වීම නොපතන නිසාත්, සාතන් මේ ලෝකය මත ප්‍රබල බලපෑමක් ඇති කරන නිසාත් මනුෂ්‍යවර්ගයා අන්ත අසරණ තත්වයක සිටියි. ප්‍රේරිත පාවුල් එය විස්තර කළේ මෙලෙසයි. “මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා [විඳියි].” (රෝම 8:22) මෙය අදදින තත්වය හොඳින් විස්තර කරන්නේ නැද්ද? පවුල් ජීවිතයේ විවිධ ගැටලු, අපරාධ, අයුක්තිය, එකිනෙකා අතර පවතින පෞද්ගලික ගැටුම්, ආර්ථික ප්‍රශ්න, ගෝත්‍රික හා ජනවාර්ගික කණ්ඩායම් අතර වෛරය, පීඩිත තත්වයන්, අසනීප හා තවත් බොහෝ දේවල් නිසා මිනිසුන්ට සහනයක් නොලැබේ. මෙම ප්‍රශ්න දුප්පත් රටවලට පමණක් සීමා වී නැත.

සිතට සහනයක්—කොහෙන්ද?

ඇන්ටෝනියෝ, මාර්කොස්, ගර්සන්, වානියා හා මාර්සෙලූ දෙවිගේ වචනය අධ්‍යයනය කරන්න පටන්ගත් විට, ඔවුන්ගේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇති විය. උදාහරණයකට, දැන් පවතින තත්වය නුදුරු අනාගතයේදී වෙනස් වීමට යන බව ඔවුහු සියලුදෙනාම ඉගෙනගත්හ. මෙය සෑම දෙයක්ම අන්තිමේදී හරි යයි කියන පදනම් විරහිත බලාපොරොත්තුවක් නොවේ. ඒ වෙනුවට, මනුෂ්‍යවර්ගයා සඳහා දෙවිට අරමුණක් ඇති බවත්, ඔහුගේ කැමැත්ත කරනවා නම් අපට දැන් පවා එයින් ප්‍රයෝජන අත් කරගත හැකි බවත් යන කාරණා පිළිබඳව ඔවුන් තුළ ස්ථිර විශ්වාසයක් වර්ධනය විය. බයිබලයෙන් ඉගෙනගත් දේවල් ජීවිතයට අදාළ කරගැනීම නිසා ඔවුන්ගේ ප්‍රශ්න ක්‍රමක්‍රමයෙන් විසඳිණ. කිසි කලක නොසිතූ ආකාරයේ සතුටක් හා සහනයක් ඔවුන්ට ලැබිණ.

ඇන්ටෝනියෝ දැන් කම්කරු සමිතියේ වැඩ වර්ජනවලට සහභාගි නොවේ. ඒ මාර්ගයෙන් අත් කරගත හැකි විසඳුම් සීමිත මෙන්ම තාවකාලික බවත් ඔහු වටහාගත්තේය. මිලියන ගණන් ජනයා පරමණ්ඩල (නැතහොත් ස්වාමීන්ගේ) යාච්ඤාව තුළින් “ඔබගේ රාජ්‍යය ඒවා” කියා ඉල්ලා සිටිති. මෙම රාජ්‍යය ගැනද ඇන්ටෝනියෝ ඉගෙනගැනීමට පටන්ගත්තේය. (මතෙව් 6:9ආ) එය සැබෑ ආණ්ඩුවක් බවත් එමගින් මනුෂ්‍යවර්ගයාට නියම සහනයක් ගෙන දෙන බවත් දැනගන්න ලැබීම ඇන්ටෝනියෝගේ සිතට කොතරම් සහනයක් වුණාද!

මාර්කොස්, විවාහය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් නැණවත් උපදෙස් අදාළ කරගැනීමට පටන්ගත්තේය. කලින් දේශපාලනඥයෙකුව සිටි ඔහු දැන් නැවතත් තම භාර්යාව සමඟ සමඟි වී සතුටින් දිවි ගෙවයි. දෙවිගේ රාජ්‍යය මගින් ගිජුකම හා ආත්මාර්ථය රජයන මෙම දුෂ්ට ක්‍රමය නැති කර දමන කාලය පැමිණෙන තෙක් ඔහු ඉතා උනන්දුවෙන් බලා සිටියි. “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” යන වචනවල නියම අර්ථය ඔහු වටහාගෙන තිබේ. (මතෙව් 6:10) දෙවිගේ කැමැත්ත මෙලොවේ ඉටු වෙද්දී මනුෂ්‍යවර්ගයා පෙර කිසිදා නොසිතූ විරූ ආකාරයේ ජීවිතයක් අද්දකින්න යන බවට ඔහු තුළ දැන් ස්ථිර විශ්වාසයක් ඇත.

ගර්සන්ට සිදු වුණේ කුමක්ද? ඔහු දැන් සොරකම අත්හැර තිබේ. ඒ වෙනුවට ඔහු අර්ථවත් ජීවිතයක් ගත කරමින් සිටියි. ජීවිතයට සහනයක් ලබාගන්නා හැටි වෙනත් මිනිසුන්ට කියා දීම සඳහා ඔහු තම කාලය හා ශ්‍රමය යොදාගන්නා නිසා ඔහුගේ ජීවිතයට දැන් අරමුණක් තිබේ. මෙම අද්දැකීම්වලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා එහි ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් කෙනෙකුට තමන්ගේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කළ හැකි බවයි. එයින් සැබෑ සහනය ලැබේ.

ගැටලු මධ්‍යයෙහි සිතට සහනයක්

දෙවිගේ කැමැත්ත ඉටු කිරීමේදී ප්‍රධාන තැන ගන්නේ යේසුස් ක්‍රිස්තුස්ය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගන්නා විට යේසුස් ක්‍රිස්තුස් ගැන බොහෝ දේවල් ඉගෙනගත හැකියි. යේසුස් උපත ලැබූ රාත්‍රියේදී දේවදූතයෝ දෙවිට ප්‍රශංසා කරමින් මෙසේ ගැයූහ. “ඉතා උසස්තැන්හි [දෙවිට] මහිමයද පොළොවෙහි [ඔහුට] ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද [වේවා].” (ලූක් 2:14) යේසුස් වැඩිහිටියෙකු බවට පත් වුණාට පසුව, මිනිසුන්ට සහනයක් ගෙන දීම සඳහා ලොකු උනන්දුවක් දැක්වීය. ඔහු මිනිසුන්ගේ හැඟීම් තේරුම්ගත් අතර, පීඩිත තත්වයන්ට මුහුණ දුන් අයට හා අසනීපයෙන් පෙළුණු අයට පුදුමාකාර ලෙස දයානුකම්පාව පෙන්වීය. තවද දේවදූතයන් ගැයූ ලෙසම ඔහු මුදු මොළොක් ජනයාට සමාදානය එහෙමත් නැත්නම් සහනය ගෙන දුන්නේය. යේසුස්ගේ දේවසේවය නිමාවට පත්වීමත් සමඟම ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසීය. “නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.”—යොහන් 14:27.

යේසුස් නිකම්ම මානව හිතවේදියෙක් නොවේ. ඔහු තමාව එඬේරෙකුට සමාන කළ අතර, ඔහුගේ ගෝලයන්ව බැටළුවන්ට සමාන කළේය. ඒ සම්බන්ධයෙන් අපට මෙසේ කියවීමට තිබේ. “මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය. මම යහපත් බැටළු එඬේරාය. යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය.” (යොහන් 10:10, 11) ඔව්, ලෝකයේ සිටින බොහෝ පාලකයන්ට වඩා හාත්පසින් වෙනස්ව යේසුස් තමාව නොසලකා හරිමින් බැටළුවන් වෙනුවෙන් තම ජීවිතය පූජා කළේය. ඔහු ප්‍රධාන වශයෙන් සැලකිල්ල දැක්වූයේ තමා ගැන නොව, නමුත් තම බැටළුවන් ගැනයි.

යේසුස් කළ දේවලින් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද? බොහෝදෙනෙකුට කටපාඩමින් පවා කීමට හැකි මෙම වදන් සැලකිල්ලට ගන්න. ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’ (යොහන් 3:16) යේසුස් කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කිරීමට මූලිකවම අවශ්‍ය වන්නේ ඔහු ගැනත් ඔහුගේ පියා වන යෙහෝවා ගැනත් දැනුම ලබාගැනීමයි. මෙයින් අපට යෙහෝවා සමඟ සෑහීම ගෙන දෙන සමීප සබඳතාවක් වර්ධනය කරගත හැක.

“මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය” කියා යේසුස් පැවසුවේය. (යොහන් 10:27, 28) මෙම වදන් අපේ හදවතට කොතරම් සැනසිල්ලක් ලබා දෙනවාද! යේසුස් එසේ පවසා දැන් අවුරුදු දෙදාහක් පමණ ගත වී තිබේ. නමුත් අද පවා එම වදන් අප මත ප්‍රබල බලපෑමක් ඇති කරයි. යේසුස් ක්‍රිස්තුස් තවමත් ජීවත්ව සිටින අතර ඔහු දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ රජු වශයෙන් පාලනය කරන බව අප කෙදිනකවත් අමතක නොකළ යුතුයි. ඔහු මිහිපිට ජීවත්ව සිටි කාලයේදී මෙන්ම අදත් සිතට සහනයක් සොයමින් සිටින මෘදු මොළොක් ජනයා ගැන සැලකිල්ලක් දක්වයි. ඔහු තවමත් එඬේරෙකු ලෙස තම බැටළුවන්ව රැකබලා ගනියි. අප ඔහුව අනුකරණය කරනවා නම් අපේ සිතට සහනයක් ලබාගත හැකියි. තවද ඉදිරි අනාගතයේදී යුද්ධ, අපරාධ හා සැහැසියාවෙන් තොර සාමකාමී ලොවක් පැමිණෙන බවට අපට නිසැක බලාපොරොත්තුවක් තබාගත හැකියි.

යෙහෝවා යේසුස් මාර්ගයෙන් අපට උපකාර කිරීමට යන බව දැනගැනීමෙන් හා විශ්වාස කිරීමෙන් අපට කල් පවතින ප්‍රයෝජන අත් කරගත හැකිය. පවුලේ වගකීම්වලින් පීඩාවට පත් වූ නිසා දෙවි ඇයව අත්හැර තිබෙනවායයි සිතූ වානියාව ඔබට මතකද? දෙවි ඇයව අත්හැර නැති බව ඇය දැන් හොඳින් දනියි. “දෙවි සැබෑ කෙනෙක් කියලා මං ඉගෙනගත්තා. එයාගේ ගුණාංග ගැන ඉගෙනගන්න ඉගෙනගන්න, මට එයා ගැන ලොකු ආදරයක් ඇති වුණා. එයාගේ ප්‍රේමය හින්දයි එයා පුතාව මේ ලෝකෙට එව්වේ. ඒ හින්දයි යේසු අපි වෙනුවෙන් ජීවිතය දුන්නේ. මේක දැනගත්තාට පස්සේ මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති වුණා” කියා ඇය පවසයි.

මාර්සෙලූ පවසන්නේ ඔහුට දැන් යෙහෝවා සමඟ හොඳ සබඳතාවක් තිබෙන බවයි. කලින් විනෝදයට මුල් තැන දුන් ඔහු දැන් මෙසේ පවසයි. “හුඟක් වෙලාවට තරුණ කාලයේදී අපේ ජීවිතය ගත කරන්න ඕනේ කොහොමද කියලා අපි හරියට දන්නේ නෑ. අන්තිමේදී වෙන්නේ අපි අපිටම හානි කරගන්න එකයි. මං කළා වගේ හුඟදෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. යෙහෝවා මට සත්‍ය මාර්ගය පෙන්නලා දුන්නා. මට ආශීර්වාද කෙරුවා. තව හුඟදෙනෙකුට ඒ භාග්‍යය ලැබේවා කියලා මං පතනවා.”

ඉතා පරෙස්සමෙන් බයිබලය අධ්‍යයනය කළ නිසා වානියා හා මාර්සෙලූ දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කරගත්හ. තවද දෙවි ඔවුන්ට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින බවට නිසැකකමක් වර්ධනය කරගැනීමටද ඔවුන්ට හැකි විය. අපත් ඔවුන් මෙන් බයිබලය අධ්‍යයනය කර, එය අපේ ජීවිතයට අදාළ කරගන්නවා නම්, ඔවුන් හා සමානව අපටත් සිතට සහනයක් ලබාගත හැකියි. එවිට, ප්‍රේරිත පාවුල්ගේ මෙම සැනසිලිදායක වදන්වල සත්‍යතාව අපටද අද්දැකීමට හැකි වේ. “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය ක්‍රිස්තුස් [යේසුස්] තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.”—පිලිප්පි 4:6, 7.

අදදින සැබෑ සහනය සොයාගත හැක

සත්‍යය සඳහා පිපාසයක් ඇති ජනයාට පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලබාගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස් අවශ්‍ය මඟ පෙන්වීම සපයයි. ඔවුන් දෙවිගේ නිර්මල නමස්කාරය කරා ඇදෙද්දී ඔවුන්ගේ සිතට පහත පොරොන්දු වී ඇති ආකාරයේ සහනයක් දැනෙයි. “මාගේ සෙනග සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.” (යෙසායා 32:18) මෙය, ඔවුන් අනාගතයේදී අද්දකින්න යන සමාදානයේ පෙර ඡායාවක් පමණයි. ඉදිරියේ භුක්ති විඳිය හැකි සමාදානය ගැන අපට මෙසේ කියවීමට තිබේ. “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය. ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:11, 29.

එසේ නම්, අපට අදදින සැබෑ සමාදානයක් හා සිතට සහනයක් අද්දැකිය හැකිද? ඒ ගැන කිසිම සැකයක් නැත. එමෙන්ම නුදුරු අනාගතයේදී දෙවි කීකරු මනුෂ්‍යවර්ගයාට පෙර කෙදිනක හෝ නොසිතූ විරූ ආකාරයේ සමාදානයක් දෙමින් ඔවුන්ට ආශීර්වාද කරන්න යන බවට අපට නිසැක විය හැකියි. එසේ නම්, ඔබේ සිතට වද දෙන ගැටලු තිබෙනවා නම් දෙවිට යාච්ඤා කර සිතට අවශ්‍ය සහනය ඉල්ලා සිටින්න. දාවිත් රජ යාච්ඤා කළ ආකාරයටම යාච්ඤා කරන්න. ඔහු යාච්ඤා කළේ මෙලෙසයි. “මාගේ සිතේ දුක් වැඩිව තිබේ. මාගේ විපත්තිවලින් මා මුදාගත මැනව. මාගේ පීඩාව සහ වේදනාවද බැලුව මැනව; මාගේ සියලු පව් කමාකළ මැනව.” (ගීතාවලිය 25:17, 18) දෙවි එවැනි යාච්ඤාවලට සවන් දෙනවා යන කාරණය සැක නොකරන්න. ඔහු අවංක සිතැතිව ඔහුගේ උපකාරය පතන සියලුදෙනාටම සහනය හා සමාදානය ලබා දෙයි. ඔහු ප්‍රේමනීය ලෙස අපට මෙසේ සහතික කර තිබේ. ‘යෙහෝවා තමන්ට යාච්ඤා කරන සියල්ලන්ට, එනම් සැබවින් ඔහුට යාච්ඤා කරන සියල්ලන්ට, ළංව සිටින්නේය. ඔහු තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ට කර දෙන්නේය. ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවන්නේය.’—ගීතාවලිය 145:18, 19.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

උපකාරයකින් තොරව තමාවම පාලනය කිරීමට අවශ්‍ය ප්‍රඥාවවත්, දූර්දර්ශීභාවයවත් මිනිසාට නැත. සැබෑ සහනයක් ලබාගත හැක්කේ දෙවිගෙන් පමණයි

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි හා යේසුස් ක්‍රිස්තුස් ගැන දැනුම ලබාගැනීමෙන් අපට යෙහෝවා සමඟ සෑහීම ගෙන දෙන සමීප සබඳතාවක් වර්ධනය කළ හැක

[7වන පිටුවේ පින්තූරය]

බයිබලයේ උපදෙස් පිළිපැදීම සාමකාමී පවුල් ජීවිතයකට දායක වේ