Skip to content

පටුනට යන්න

දෙවිගේ රාජ්‍යය—පොළොවේ නව පාලනය

දෙවිගේ රාජ්‍යය—පොළොවේ නව පාලනය

දෙවිගේ රාජ්‍යය—පොළොවේ නව පාලනය

“[දෙවිගේ රාජ්‍යය] ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:45ආ.

1. අපට බයිබලය කෙරෙහි කුමන ආකාරයේ විශ්වාසයක් තබාගත හැකිද?

බයිබලය වනාහි දෙවි මිනිසුන්ට තොරතුරු දැනුම් දීම සඳහා යොදාගෙන තිබෙන මාධ්‍යයකි. මේ පිළිබඳව ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. ‘නුඹලා දෙවිගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවිගේ වචනයයි.’ (1 තෙසලෝනික 2:13) දෙවි ගැන අප දැනගත යුතු දේවල් වන ඔහුගේ පෞද්ගලිකත්වය, අරමුණු හා ඔහු අපෙන් බලාපොරොත්තු වන දේවල් පිළිබඳව බයිබලයේ අඩංගු වේ. පවුල් ජීවිතය හා අපගේම ජීවිතය ගත කළ යුතු ආකාරය ගැන වෙනත් කිසිම මූලාශ්‍රයකින් ලබාගත නොහැකි කදිම උපදෙස් එහි තිබේ. ඉටු වූ හා ඉටු වෙමින් පවතින මෙන්ම ඉදිරියේදී ඉටුවීමට නියමිත අනාවැකි එහි අන්තර්ගත වේ. මේ නිසා “[දෙවිගේ] මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.”—2 තිමෝති 3:16.

2. යේසුස් බයිබලයේ තේමාව අවධාරණය කළේ කෙසේද?

2 දෙවි සිය ස්වර්ගික රාජ්‍යය උපයෝගි කරගනිමින් තම පරමාධිපත්‍යය (පාලනය කිරීමට ඔහු සතු අයිතිය) නිදොස් කිරීම නමැති බයිබලයේ තේමාව එහි සඳහන් වැදගත්ම දෙය ලෙස දැක්විය හැක. යේසුස් ඔහුගේ දේවසේවයේදී අවධාරණය කළ ප්‍රධාන කාරණයද එය විය. ඒ සම්බන්ධයෙන් අපට මෙසේ කියවීමට තිබේ. ‘පසුතැවිලි වෙන්න. මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළං වී තිබේ කියා යේසුස් දේශනා කරන්ට පටන්ගත්තේය.’ (මතෙව් 4:17) ‘පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයන්න’ කියා උනන්දු කරමින් අපගේ ජීවිතවල එයට හිමි විය යුතු තැන පිළිබඳව ඔහු පැහැදිලි කළේය. (මතෙව් 6:33) “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” කියා දෙවිට යාච්ඤා කිරීමට සිය අනුගාමිකයන්ට ඉගැන්වූ අවස්ථාවේදීද, දෙවිගේ රාජ්‍යය මොනතරම් වැදගත්කමකින් යුක්තද කියා ඔහු පෙන්නුම් කළේය.—මතෙව් 6:9ආ, 10.

පොළොවේ නව පාලනය

3. දෙවිගේ රාජ්‍යය අපට ඉතාමත් වැදගත් වන්නේ මන්ද?

3 දෙවිගේ රාජ්‍යය මිනිසුන්ට එතරම්ම වැදගත් දෙයක් වන්නේ මන්ද? මෙයට හේතුව, වැඩිකල් නොගොස් දෙවිගේ රාජ්‍යය මගින් පොළොවේ පවතින පාලන ක්‍රම සදහටම නැති කර දැමීමයි. මේ සම්බන්ධයෙන් දානියෙල් 2:44, 45හි සඳහන් අනාවැකියේ මෙසේ සඳහන් වේ. ‘ඒ රජුන්ගේ [දැන් පොළොව මත පාලනය කරන පාලකයන්ගේ] දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [ස්වර්ගයේ සිට පාලනය කරනු ලබන ආණ්ඩුවක්] පිහිටුවන්නේය. ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය. ඒක ඒ සියලු රාජ්‍යවල් [පොළොව මත තිබෙන සියලු ආණ්ඩු] පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.’ දෙවිගේ ස්වර්ගික රාජ්‍යය මගින් මේ මුළු පොළොවම පාලනය කරන කාලයේදී, කිසිම මිනිස් පාලනයක් නැවත කිසිදාක ඇති නොවනු ඇත. මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි භේදභින්න වූ මිනිස් පාලන ක්‍රම අතීතයට එක් වනු ඇත.

4, 5. (අ) යේසුස්, දෙවිගේ රාජ්‍යයේ රජ වීමට සුදුසුම තැනැත්තා වන්නේ මන්ද? (ආ) නුදුරු අනාගතයේදී කිරීමට යේසුස්ට පැවරී තිබෙන කාර්යය කුමක්ද?

4 යෙහෝවාගෙන් ඍජුවම ලැබෙන මඟ පෙන්වීම්වලට අනුව පාලනය ගෙන යනු ලබන ස්වර්ගික රාජ්‍යයේ ප්‍රධාන පාලකයා වන ක්‍රිස්තුස් යේසුස්ට හොඳ පාලකයෙකු සතුව තිබිය යුතු සියලුම සුදුසුකම් තිබේ. පොළොවට පැමිණීමට කලින් ස්වර්ගයේ වාසය කළ ඔහු, දෙවි විසින් මවන ලද මුල්ම මැවිල්ල වූ අතර, දෙවිගේ “ප්‍රධාන කර්මාන්තකාරයා” ලෙසද ඔහු කටයුතු කර තිබේ. (හිතෝපදේශ 8:22-31) ‘ඔහු අදෘශ්‍යමාන දෙවිගේ ස්වරූපයය. මුළු මැවිල්ලේ කුලුඳුලාය. ස්වර්ගයෙහි සහ පොළොවෙහි ඇති සියලු දේවල් ඔහු කරණකොටගෙන මවා තිබේ.’ (කොලොස්සි 1:15, 16) එමෙන්ම දෙවි විසින් යේසුස්ව පොළොවට එවීමෙන් පසුවත්, ඔහු නිතරම දෙවිගේ කැමැත්ත කළේය. ඔහු අතිශයින්ම දුෂ්කර වූ පරීක්ෂා හමුවෙහි විඳදරාගනිමින්, මරණ මොහොත දක්වාම සිය පියාට විශ්වාසවන්තව සිටියේය.—යොහන් 4:34; 15:10.

5 මරණය දක්වාම දෙවිට තිබෙන පක්ෂපාතකම බිඳ නොදැමූ නිසා යේසුස්ට මහත් ආශීර්වාද හිමි විය. දෙවි ඔහුව නැවත නැඟිටුවා, ස්වර්ගයට කැඳවාගෙන, ස්වර්ගික රාජ්‍යයේ රජු වීමේ වරප්‍රසාදය ලබා දුන්නේය. (ක්‍රියා 2:32-36) දෙවිගේ රාජ්‍යයේ රජු හැටියට ක්‍රිස්තුස් යේසුස්ට දෙවිගෙන් ලැබෙන පැවරුම ගරුබිය දනවනසුලුය. මිනිස් ආණ්ඩු මේ පොළොවෙන් පහ කර, දුෂ්ටකම සම්පූර්ණයෙන්ම නැති කිරීමේ හවුල් වන බලවත් ආත්ම මැවිලි දසදහස් ගණනකගේ නායකයා ලෙස කටයුතු කිරීම එම පැවරුමට අයත් වේ. (හිතෝපදේශ 2:21, 22; 2 තෙසලෝනික 1:6-9; එළිදරව් 19:11-21; 20:1-3) ඉන්පසු මුළු පොළොව පුරාම තිබෙන්න යන එකම ආණ්ඩුව වන්නේ ක්‍රිස්තුස් රජු ලෙස ක්‍රියා කරන දෙවිගේ ස්වර්ගික රාජ්‍යයයි.—එළිදරව් 11:15.

6. දේවරාජ්‍යයේ රජුගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ කුමන ආකාරයේ පාලනයක්ද?

6 ඉදිරියේදී පොළොව පාලනය කිරීමට නියමිත නව පාලකයා ගැන දේවවචනයේ මෙසේ සඳහන් වේ. “සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද [ඔහුට] සේවයකරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද [ඔහුට] දෙනලද්දේය.” (දානියෙල් 7:14) යේසුස් දෙවි විදහාපෙන්වන ප්‍රේමය අනුකරණය කරන නිසා ඔහුගේ පාලන සමයේදී සාමය හා සතුට පොළොව පුරාම පවතිනු ඇත. (මතෙව් 5:5; යොහන් 3:16; 1 යොහන් 4:7-10) ‘ඔහුගේ රාජ්‍ය බලය වැඩිවර්ධනය වන්නේය. එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේය. ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස ඔහු යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරන්නේය.’ (යෙසායා 9:7, නව අනුවාදය) ප්‍රේමයෙන්ද යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද පාලනය කරනු ලබන පාලකයෙකු සිටීම මොනතරම් ආශීර්වාදයක් වේවිද! දෙවන පේතෘස් 3:13හි මෙසේ පුරෝකථනය කර තිබේ. ‘ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද [දෙවිගේ ස්වර්ගික රාජ්‍යය] අලුත් පොළොවක්ද [පොළොව මත නව සමාජයක්] ඔහුගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටින්නෙමු.’

7. මතෙව් 24:14හි සඳහන් දෙය අදදින ඉටු වෙමින් පවතින්නේ කෙසේද?

7 යුක්තියට ප්‍රිය කරන සෑමදෙනාටම තිබෙන එකම ශුභාරංචිය වන්නේ දෙවිගේ රාජ්‍යය පිළිබඳව දැනගැනීම බව නිසැකයි. අප දැන් ජීවත් වන මේ දුෂ්ට ක්‍රමයේ “අන්තිම දවස්” හා සම්බන්ධ ලකුණේ එක් අංගයක් පිළිබඳව යේසුස් මෙසේ පුරෝකථනය කළේය. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” යේසුස් එසේ පුරෝකථනය කළේ දෙවිගේ රාජ්‍යය නිසැකවම ශුභාරංචියක් වන නිසාය. (2 තිමෝති 3:1-5; මතෙව් 24:14) අදදින එම අනාවැකිය ඉටු වෙමින් තිබේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන හයකට ආසන්න සංඛ්‍යාවක් රටවල් 234ක දෙවිගේ රාජ්‍යය ගැන අන් අය සමඟ කතා කිරීම සඳහා වසරකට පැය බිලියනයකට වඩා යොදවමින් සිටිති. එමෙන්ම ලොව පුරා සභාවන් 90,000ක පමණ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නමස්කාරය සඳහා රාජ්‍ය ශාලා ලෙස හඳුන්වන ස්ථානවලට එක්රැස් වෙති. මිනිසුන් එම රාජ්‍ය ශාලාවලට පැමිණෙන්නේ ඉදිරියේදී පැමිණීමට නියමිත නව ආණ්ඩුව ගැන ඉගෙනගැනීමටය. මේ නිසා එම ස්ථාන රාජ්‍ය ශාලා කියා හැඳින්වීම යෝග්‍ය වේ.

හවුල් පාලකයන්

8, 9. (අ) ක්‍රිස්තුස්ගේ හවුල් පාලකයන්ව තෝරගනු ලබන්නේ කොතැනකින්ද? (ආ) රජු සහ ඔහුගේ හවුල් පාලකයන් පාලනය කරන ආකාරය ගැන අපට තබාගත හැකි නිසැකකම කුමක්ද?

8 දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ ක්‍රිස්තුස් යේසුස් සමඟ පාලනයට හවුල් වන අය සිටිනු ඇත. ගණනින් 1,44,000ක් වන එම හවුල් පාලකයන්ව ‘මනුෂ්‍යයන් අතරෙන් මිලයට’ ගෙන ඇති අතර ඔවුන් මිය යෑමෙන් පසු ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටුවනු ලබන බව එළිදරව් 14:1-4හි පුරෝකථනය කර තිබේ. එම පාලනයට හවුල් වන අය අතර පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද සිටින්න යන අතර, මොවුහු පොළොව මත සිටි විට සේවය ලැබූ අය නොව, නමුත් දෙවිට සහ මිනිසුන්ට නිහතමානිව සේවය කළ අය වෙති. ‘ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝව, ඔහු සමඟ අවුරුදු දහසක් රජකම් කරන්නෝය.’ (එළිදරව් 20:6) මොවුන්ගේ ගණන, මෙම පවතින ක්‍රමයේ අවසානයෙන් බේරී ජීවත් වීමට නියමිත “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් [සමූහයට]” වඩා ඉතා කුඩාය. මහත් සමූහයත් දෙවිට ‘රෑ දහවල් සේවය’ කරති. එහෙත් ඔවුන්ට ස්වර්ගික බලාපොරොත්තුවක් ලබා දී නැත. (එළිදරව් 7:9, 15) දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ යටත් වැසියන් වන ඔවුන්ගෙන් අලුත් පොළොවේ අත්තිවාරම සකස් වේ.—ගීතාවලිය 37:29; යොහන් 10:16.

9 යේසුස් සමඟ හවුල් පාලකයන් ලෙස ස්වර්ගයේ සිට පාලනය කිරීමට යෙහෝවා තෝරාගෙන තිබෙන්නේ ජීවිතයේ සෑම ගැටලුවක්ම පාහේ අද්දැක තිබෙන ඇදහිලිවන්ත මිනිසුන්වය. ඇත්තෙන්ම, රජවරුන් මෙන්ම පූජකයන් ලෙස කටයුතු කිරීමට නියමිත එම ඇදහිලිවන්තයන් අද්දැක නැති ගැටලුවක් නොමැති තරම්ය. ඔවුන් පොළොව මත ජීවත් වූ කාලයේදී ලබා තිබෙන අද්දැකීම් නිසා මිනිසුන්ව පාලනය කිරීමට ඔවුන්ට හොඳ හැකියාවක් තිබේ. යේසුස් පවා ‘ඔහු වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්තේය.’ (හෙබ්‍රෙව් 5:8) ප්‍රේරිත පාවුල් යේසුස් ගැන මෙසේ පැවසුවේය. “අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.” (හෙබ්‍රෙව් 4:15) දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොවේදී මිනිසුන්ව පාලනය කරනු ලබන්නේ ප්‍රේමනීය මෙන්ම සානුකම්පිත හැඟීම්වලින් යුත් රජවරුන් හා පූජකයන් බව දැනගන්න ලැබීම මොනතරම් සැනසීමක්ද!

රාජ්‍යය දෙවිගේ මුල් අරමුණට ඇතුළත් වීද?

10. දේවරාජ්‍යය දෙවිගේ මුල් අරමුණට ඇතුළත් නොවූයේ මන්ද?

10 දෙවි ආදම් සහ ඒවව මැවූ අවස්ථාවේදී, ස්වර්ගික රාජ්‍යය පිළිබඳ අදහස ඔහුගේ මුල් අරමුණට ඇතුළත් වී තිබුණාද? මනුෂ්‍යවර්ගයාව පාලනය කරනු ලබන රාජ්‍යයක් ගැන උත්පත්ති පොතේ මැවීමේ වාර්තාවේ කොතැනකවත් සඳහන් වී නොමැත. යෙහෝවා ආරම්භයේ සිටම මිනිසුන්ගේ පාලකයා වූ අතර, ඔවුන් ඔහුට කීකරුව ජීවත් වන තාක් කල් වෙනත් කිසිම පාලනයක අවශ්‍යතාවක් නොතිබිණ. උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ සඳහන් “දෙවි ඔවුන්ට මෙසේ පැවසුවේය” සහ “දෙවි තවදුරටත් [ඔවුන්ට] මෙසේ පැවසුවේය” යන ප්‍රකාශ සලකා බලන කල, යෙහෝවා ඔහුගේ කුලුඳුල් පුත්‍රයාව ‘වාක්‍යය’ හැටියට යොදාගනිමින් ආදම් සහ ඒව සමඟ කටයුතු කළ බව පැවසිය හැක.—උත්පත්ති 1:28, 29NW; යොහන් 1:1.

11. මනුෂ්‍යවර්ගයාට තිබුණේ කෙබඳු ආකාරයේ පරිපූර්ණ ආරම්භයක්ද?

11 ‘දෙවි තමන් සෑදූ සියල්ලම දුටුවේය. බලව, එය ඉතා යහපත්ව තිබුණේය’ කියා බයිබලයේ සඳහන් වේ. (උත්පත්ති 1:31) ඒදන් උයනෙහි තිබූ සෑම දෙයක්ම පරිපූර්ණ තත්වයක තිබිණ. ආදම් සහ ඒව ජීවත් වූයේ පාරාදීසයකයි. ඔවුහු මානසිකව මෙන්ම ශාරීරිකවද පරිපූර්ණව සිටියහ. එපමණක්ද නොව, තම මැවුම්කරු සමඟ අදහස් හුවමාරු කරගැනීමටද ඔවුන්ට හැකි විය. දිගටම ඇදහිලිවන්තව සිටීමෙන් පරිපූර්ණ දරුවන් බිහි කිරීමටද ඔවුන්ට හැකියාව තිබිණ. මේ නිසා ස්වර්ගික ආණ්ඩුවක අවශ්‍යතාවක් ඔවුන්ට නොතිබිණ.

12, 13. පරිපූර්ණ මිනිසුන් වැඩි වන විට ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීම දෙවිට අමාරු දෙයක් නොවීමට ඉඩ තිබුණේ මන්ද?

12 මිනිස් පවුල වර්ධනය වන විට දෙවි ඔවුන් සියලුදෙනා සමඟම අදහස් හුවමාරු කරගන්නේ කෙසේද? අහසේ තිබෙන තරු ගැන සිතන්න. මෙම තරු විශ්ව දූපත් ලෙස කාණ්ඩවලට බෙදී පවතින අතර, මන්දාකිනි කියා ඒවා හඳුන්වයි. ඇතැම් මන්දාකිනි තරු බිලියන ගණනකින් සමන්විතය. තවත් මන්දාකිනිවල තරු ට්‍රිලියනයක් පමණ තිබේ. දැනට නිරීක්ෂණය කළ හැකි විශ්වයේ මන්දාකිනි බිලියන සියයක් පමණ තිබෙන බව විද්‍යාඥයන් විසින් ගණන් බලා ඇත. එහෙත් මැවුම්කරු මෙසේ පවසයි. ‘නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න. මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? ඔහු මේ සියල්ලට නම් කියා හඬ ගසයි. ඔහුගේ බලයේ මහත්කම නිසාද ඔහු ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.’—යෙසායා 40:26.

13 මේ ආකාශ වස්තූන් සෑම එකක්ම දෙවිට වෙන වෙනම හඳුනාගත හැකි නිසා, ඒවා සමඟ සසඳන කල ගණනින් ඉතා සුළු සංඛ්‍යාවක් වන මිනිසුන් එක් එක්කෙනා ගැන දැනගැනීම ඔහුට ගැටලුවක් නොවන බව නිසැකයි. අදදින සිටින දශලක්ෂ ගණනක් වන ඔහුගේ සේවකයෝ දිනපතාම ඔහුට යාච්ඤා කරති. ඔවුන්ගේ යාච්ඤාවලට එකවිට සවන් දීමට ඔහුට හැක. මේ අනුව, පරිපූර්ණ මිනිසුන් සියලුදෙනා සමඟමත් අදහස් හුවමාරු කරගැනීම ඔහුට එතරම් ගැටලුවක් නොවෙන්න ඉඩ තිබිණ. ඔවුන් ගැන තොරතුරු ලබාගැනීම සඳහා ස්වර්ගික රාජ්‍යයක අවශ්‍යතාවක් ඔහුට නොතිබිණ. පාලකයා වන යෙහෝවා සමඟ කෙළින්ම කතා කිරීමේ හා පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුළත් විධිවිධානය, ඇත්තෙන්ම මොනතරම් අපූර්ව එකක්ද!

‘මිනිසාට එය අයිති නැත’

14. මිනිසුන්ට සෑමදාම යෙහෝවාගේ පාලනය අවශ්‍ය වනු ඇත්තේ මන්ද?

14 පරිපූර්ණ මිනිසුන්ට පවා සැමදා යෙහෝවාගේ පාලනය අවශ්‍ය වේ. ඒ මන්ද? යෙහෝවා ඔහුගේ පාලනයෙන් ස්වාධීන වී තමන්වම සාර්ථකව පාලනය කරගැනීමේ හැකියාව ඇතුව මිනිසාව මවා නොතිබීමයි. මෙම සත්‍යතාව මනුෂ්‍යවර්ගයා කෙරෙහි නීතියක් සේ බලපවත්වයි. මෙම නීතිය පිළිගත් යෙරෙමියා මෙසේ පැවසුවේය. “[යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත. [යෙහෝවා, මා නිවැරදි කරන්න, NW].” (යෙරෙමියා 10:23, 24) යෙහෝවාගේ මඟ පෙන්වීම නොමැතිව තමන්වම සාර්ථකව පාලනය කළ හැකි බව මිනිසුන් සිතනවා නම්, එය මහත් මෝඩකමකි. එසේ කරන්න යෑම ඔවුන්ව මවා තිබෙන ආකාරයට සම්පූර්ණයෙන්ම පටහැනිව කටයුතු කිරීමකි. යෙහෝවාගෙන් ස්වාධීනව පාලනය කිරීමට යෑමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ ආත්මාර්ථකාමීත්වය, වෛරය, කුරිරුකම්, ප්‍රචණ්ඩත්වය, යුද්ධ හා මරණය වැනි දේවල්ය. ඇත්තෙන්ම, ‘මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන්ව ආණ්ඩු කර තිබේ.’—දේශනාකාරයා 8:9ආ.

15. අපේ මුල් දෙමාපියන් කළ වැරදි තේරීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද?

15 දෙවි තමන්ගේ පාලකයා වෙන්න අවශ්‍ය නැහැයි කියා අපේ මුල් දෙමාපියන් තීරණය කර, ස්වාධීනව ජීවත් වීමට තෝරාගැනීම කනගාටුවට කරුණකි. මෙහි ප්‍රතිඵලයක් හැටියට දෙවි පරිපූර්ණව ජීවත් වීමේ හැකියාව ඔවුන්ට අහිමි කළේය. මේ නිසා ඔවුන් විදුලි සැපයුම විසන්ධි කළ ඉලෙක්ට්‍රෝනික භාණ්ඩයක තත්වයට පත් විය. මෙසේ, කාලයාගේ ඇවෑමෙන් ඔවුහු කෙමෙන් කෙමෙන් දුර්වල වී මිය ගියහ. දෝෂ සහිත අච්චුවක් හා සමාන වූ ඔවුන්ට සිය පැවතෙන්නන්ට උරුම කර දීමට හැකි වූයේද දෝෂ සහිත තත්වයකි. (රෝම 5:12) ‘යෙහෝවා පර්වතයය. ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය. මක්නිසාද ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. ඔවුහු ඔහුට විරුද්ධව දුෂ්ටකම් කළෝය. ඔවුහු ඔහුගේ දරුවෝ නොවෙති. ඔවුහු කැළැල් ඇත්තෝය.’ (ද්විතීය කථාව 32:4, 5) සාතන් බවට පත් වූ කැරලිකාර ආත්ම මැවිල්ලකගේ බලපෑමට ආදම් සහ ඒව හසු වූ බව සැබෑවකි. එහෙත් ඔවුන්ට පරිපූර්ණ මනසක් තිබූ නිසා, එම තැනැත්තාගේ වැරදි යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට හැකියාව තිබිණ.—උත්පත්ති 3:1-19; යාකොබ් 4:7.

16. දෙවිගෙන් ස්වාධීනව කටයුතු කිරීමේ ප්‍රතිඵල කනගාටුදායක බව ඉතිහාසයෙන් ඔප්පු වී තිබෙන්නේ කෙසේද?

16 මිනිසා දෙවිගෙන් ස්වාධීනව කටයුතු කිරීමේ කනගාටුදායක ප්‍රතිඵල ඉතිහාසය පුරා බහුල ලෙස දැකගත හැක. මිනිසුන් අවුරුදු දහස් ගණනක සිට විවිධ ආණ්ඩු ක්‍රම, ආර්ථික ක්‍රම හා සමාජ ක්‍රම අත්හදා බලා තිබේ. එහෙත් තවමත් දුෂ්ටකම වැඩි වෙමින් පවතින අතර, මිනිසුන්ගේ තත්වය ‘වඩ වඩා නරක් වෙයි.’ (2 තිමෝති 3:13) මෙම වදන් විසිවන සියවස තුළ සත්‍යයක් වී තිබේ. වෙන කිසිම සියවසක තිබුණාට වඩා එම සියවස, වෛරයෙන් පිරුණු කුරිරුකම්, දරුණු ප්‍රචණ්ඩකාරි ක්‍රියා, යුද්ධ, සාගින්න, දිළිඳුකම හා දුක් වේදනා වැනි දේවලින් පිරී තිබේ. වෛද්‍ය විද්‍යාව මොනතරම් දියුණුවක් ලබා තිබුණත් මිනිසුන් මිය යයි. (දේශනාකාරයා 9:5, 10) මිනිසුන් තමන්ගේ ගමන් මඟ තමන් විසින්ම නියම කරගැනීමට යෑමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ “මේ ලෝකයේ දෙවියා” ලෙස බයිබලයේ හඳුන්වා තිබෙන සාතන්ගේ හා ඔහුගේ භූතයන්ගේ ග්‍රහණයට ඔවුන්ව හසුවීමය.—2 කොරින්ති 4:4.

නිදහස් කැමැත්ත නමැති දීමනාව

17. දෙවි විසින් දානය කරන ලද නිදහස් කැමැත්ත නමැති දීමනාව භාවිත කළ යුතුව තිබුණේ කෙසේද?

17 ඔවුන්ට කැමති විදිහට කටයුතු කිරීමට යෙහෝවා මිනිසුන්ට ඉඩහැර තිබෙන්නේ මන්ද? නිදහස් කැමැත්ත, එනම් තෝරාගැනීමේ නිදහස භුක්ති විඳීමේ හැකියාව නමැති මවිතකර දීමනාව ඇතුව ඔහු මිනිසාව මවා තිබෙන නිසාය. ‘යෙහෝවාගේ ආත්මය ඇති තැන නිදහස ඇත්තේය’ කියා ප්‍රේරිත පාවුල් පැවසුවේය. (2 කොරින්ති 3:17) තමන් කරන කියන දේවල් දවසේ සෑම තත්පරයකදීම වෙනත් කෙනෙකු විසින් තීරණය කරනු ලබන රොබෝ කෙනෙකු වීමට කිසිවෙකු කැමති නැත. මිනිසුන් වගකීමෙන් යුතුව තම නිදහස් කැමැත්ත භාවිත කිරීම, දෙවිගේ කැමැත්ත කිරීම හා ඔහුට යටත්ව සිටීම ප්‍රඥාවන්ත ක්‍රියාමාර්ගය බව ඔවුන් දැනගන්නවා දැකීමට යෙහෝවාට වුවමනා විය. (ගලාති 5:13) මිනිසාට පරිපූර්ණ නිදහසක් හිමි වී තිබුණා නම්, එහි ප්‍රතිඵලය අවුල්සහගත තත්වයක් ඇතිවීමයි. එමනිසා එවැනි නිදහසක් මිනිසාට කිසිදාක නොලැබිණ. සැමට යහපත සලසන දෙවිගේ නීතිවලින් එම නිදහස පාලනය විය යුතුව තිබිණ.

18. දෙවි මිනිසාට තෝරාගැනීමේ නිදහස ඇතුව කටයුතු කිරීමට ඉඩහැරීමෙන් පෙන්වා දී තිබෙන්නේ කුමක්ද?

18 ඔවුන් කැමති මාර්ගයක ගමන් කිරීමට දෙවි මිනිස් පවුලට ඉඩහැරීමෙන් සැමදාටම ඔහුගේ පාලනයේ තිබෙන අවශ්‍යතාව අපට පෙන්වා දී තිබේ. ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ඔහුගේ පාලනයට හා පරමාධිපත්‍යයට යටත් වීමය. මෙහි ප්‍රතිඵලය වන්නේ කියා නිම කළ නොහැකි සතුට, තෘප්තිය හා සමෘද්ධිය භුක්ති විඳීමට හැකිවීමය. මෙයට හේතුව වන්නේ, ඔහුගේ නීතිවලට එකඟව කටයුතු කරන විට අපේ මනස් හා ශරීර හොඳම විදිහට ක්‍රියාත්මක වන අයුරින් යෙහෝවා ඒවා මවා තිබීමය. “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මමය.” (යෙසායා 48:17) දෙවිගේ නීතිවලින් සීමා වන තෝරාගැනීමේ නිදහස පීඩාකාරි දෙයක් නොවෙයි. ඒ වෙනුවට සිත ප්‍රීති කරවන විවිධත්වයකින් යුත් ආහාර, කලාව හා සංගීතය රස විඳිමින් අලංකාර නිවාසවල සතුටින් ජීවත් වීමේ හැකියාව එමගින් උදා කරගැනීමේ ප්‍රස්තාව තිබිණ. නිදහස් කැමැත්ත නමැති දීමනාව නිසි ලෙස පාවිච්චි කළා නම්, පාරාදීස පොළොවක් මත සිත්ගන්නාසුලු මවිතකර ජීවිතයකට මඟ සලසාගැනීමට ඉඩ තිබිණ.

19. මිනිසුන්ට තමන් සමඟ සමඟි වීම සඳහා දෙවි යොදාගනු ලබන මාධ්‍යයන් මොනවාද?

19 එහෙත් වැරදි තේරීමක් කිරීම නිසා මිනිස්සු දෙවිගෙන් ඈත් වී, අසම්පූර්ණත්වය උරුම කරගෙන දුක් වේදනා විඳ මිය යති. මේ නිසා මෙම කනගාටුදායක තත්වයෙන් මිනිසුන්ව ගළවාගෙන, දෙවිගේ දූදරුවන් ලෙස ඔහු සමඟ කිට්ටු සබඳතාවක් භුක්ති විඳිය හැකි තත්වයකට ඔවුන්ව නැවත ගෙන ඒම අවශ්‍ය විය. මෙය ඉටු කිරීම සඳහා දෙවි තෝරගත් මාධ්‍යයන් වන්නේ දේවරාජ්‍යය සහ ගැළවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ය. (යොහන් 3:16) දෙවිගේ මෙම විධිවිධානය නිසා, යේසුස්ගේ උපමාවක සඳහන් අකීකරු පුත්‍රයාගේ සිද්ධියේදී මෙන්, අවංකව පසුතැවිලි වන අයව දෙවි සමඟ සමඟි කරනු ලබන අතර, ඔහුගේ දරුවන් ලෙස නැවත පිළිගනු ලැබේ.—ලූක් 15:11-24; රෝම 8:20ආ, 21; 2 කොරින්ති 6:18.

20. රාජ්‍යය මගින් දෙවිගේ අරමුණ ඉටු වන්නේ කෙසේද?

20 ඉදිරියේදී යෙහෝවාගේ කැමැත්ත පොළොව මත සිදුවීමට යන අතර, එය වැළැක්වීමට කිසිවෙකුට නොහැක. (යෙසායා 14:24, 27; 55:11) දෙවි ක්‍රිස්තුස් යටතේ තිබෙන ඔහුගේ රාජ්‍යය යොදාගනිමින් අපගේ පරමාධිපති ලෙස කටයුතු කිරීමට තමන් සතු අයිතිය මුළුමනින්ම නිදොස් කරනු (යුක්තිසහගත බව පෙන්වනු) ඇත. දෙවිගේ රාජ්‍යය මගින් පොළොවේ තිබෙන මිනිස් පාලන හා යක්ෂයාගේ බලපෑම නැති කර දමා, අවුරුදු දහසකට පොළොව පාලනය කරනු ඇත. (රෝම 16:20; එළිදරව් 20:1-6) එහෙත් මෙම පාලන කාලය තුළදී යෙහෝවාගේ පාලන ක්‍රමයේ තිබෙන ශ්‍රේෂ්ඨත්වය දැකගත හැක්කේ කෙසේද? අවුරුදු දහසෙන් පසු රාජ්‍යයට හිමි කාර්යභාරය කුමක් වනු ඇද්ද? ඊළඟ ලිපියේදී මෙම ප්‍රශ්න ගැන සලකා බලනු ලැබේ.

පුනරීක්ෂණය

• බයිබලයේ තේමාව කුමක්ද?

• පොළොවේ නව පාලනය සකස් වන්නේ කාගෙන්ද?

• දෙවිගෙන් ස්වාධීන මිනිස් පාලන කෙදිනකවත් සාර්ථක නොවන්නේ මන්ද?

• නිදහස් කැමැත්ත භාවිත කළ යුත්තේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

දෙවි සිය රාජ්‍යය මගින් කරනු ලබන පාලනය ගැන යේසුස් ඔහුගේ ඉගැන්වීම්වලදී අවධාරණය කළේය

[12වන පිටුවේ පින්තූර]

සෑම රටකම පාහේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රධාන ඉගැන්වීම රාජ්‍යය වේ

[14වන පිටුවේ පින්තූර]

දෙවිගෙන් ස්වාධීනව සිටීමේ ප්‍රතිඵල ඛේදනීය බව ඉතිහාසය තහවුරු කරයි

[හිමිකම් විස්තර]

WWI සොල්දාදුවන්: U.S. National Archives photo; ගාල් කඳවුර: Oświęcim Museum; දරුවා: UN PHOTO 186156/​J. Isaac