Skip to content

පටුනට යන්න

දෙවිගේ රාජ්‍යය මගින් ඉටු වන දේ

දෙවිගේ රාජ්‍යය මගින් ඉටු වන දේ

“ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.”—මතෙව් 6:9ආ, 10.

1. දෙවිගේ රාජ්‍යය පැමිණීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

දෙවිගේ රාජ්‍යය පැමිණේවා කියා යාච්ඤා කිරීමට යේසුස් සිය අනුගාමිකයන්ට ඉගැන්වූයේය. එය ඉගැන්වූ අවස්ථාවේදී, වසර දහස් ගණනක් පුරා දෙවිගෙන් ස්වාධීනව පාලනය කර තිබෙන මිනිස් ආණ්ඩු එමගින් නැති කරනු ලබන බව ඔහු දැන සිටියේය. එම කාලය තුළ බොහෝදුරට දෙවිගේ කැමැත්ත පොළොව මත සිදු වී නැත. (ගීතාවලිය 147:19, 20) එහෙත් ස්වර්ගයේ සිට දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන විට දෙවිගේ කැමැත්ත පොළොවේ සෑම තැනකම සිදු වනු ඇත. මිනිසුන් තුළ ගෞරවාන්විත බියක් ජනිත කරවන සිදුවීමක් වන දෙවිගේ ස්වර්ගික රාජ්‍යය මගින් මිනිස් ආණ්ඩුවල පාලන බලය අත් පත් කරගැනීම සිදු වන කාලය ආසන්න වෙමින් පවතී.

2. දේවරාජ්‍යය මගින් මිනිස් පාලන අත් පත් කරගනිමින් සිදු කරන ප්‍රබල වෙනස සනිටුහන් කරන සිදුවීම කුමක්ද?

2 පාලන ක්‍රමයේ එම ප්‍රබල වෙනස සිදු වන්නේ, “මහත් පීඩාව” කියා යේසුස් හැඳින්වූ කාලපරිච්ඡේදයේදීය. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවේය. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය.” (මතෙව් 24:21) එම කාලපරිච්ඡේදය කොපමණ කාලයක් පුරා දිව යාවිද කියා බයිබලයේ සඳහන් නොවේ. නමුත් එම කාලපරිච්ඡේදයේදී ලෝකයේ පෙර නොවූ විරූ ආකාරයේ දරුණු විපත්ති සිදු වනවා ඇත. මහත් පීඩාව ආරම්භයේදී, පොළොවේ සිටින බොහෝදෙනෙකුව තැතිගන්වමින් බොරු ආගම්වල විනාශය සිදු වනු ඇත. යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝ කාලයක සිට එම විනාශය අපේක්ෂාවෙන් සිටින නිසා, එම විනාශය ගැන ඔවුන් පුදුම වන්නේ නැත. (එළිදරව් 17:1, 15-17; 18:1-24) දෙවිගේ රාජ්‍යය මගින් සාතන්ගේ ආධිපත්‍යය යටතේ පවතින මුළු ක්‍රමයම සුනුවිසුනු කර දමනු ලබන කාලය වන අර්මගෙදොන්හිදී මහත් පීඩාව නිමාවට පත් වේ.—දානියෙල් 2:44, 45; එළිදරව් 16:14, 16.

3. අකීකරු මිනිසුන්ට අත් වන ඉරණම යෙරෙමියා විස්තර කරන්නේ කෙසේද?

3 ‘දෙවිව නාඳුනන්නන්ටත්,’ ක්‍රිස්තුස් පාලකයා වන දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ “ශුභාරංචියට කීකරු නොවන්නන්ටත්” අර්මගෙදොන්හිදී කුමක් සිදු වනු ඇද්ද? (2 තෙසලෝනික 1:6-9) බයිබලයේ සඳහන් අනාවැකියක ඒ ගැන මෙසේ සඳහන් වේ. “බලව, විපත්තිය ජාතියෙන් ජාතියට යන්නේය, මහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නගින්නේය. [යෙහෝවාගෙන්] මැරුම්කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් පොළොවේ අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාපකියන්ටවත් ඔවුන් එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, ඔවුන් භූමිය මතුපිට කසළ වෙනවා ඇත.”—යෙරෙමියා 25:32, 33.

දුෂ්ටකම්වලට නිමාවක්

4. පවතින දුෂ්ට ක්‍රමයට අවසානයක් ගෙන ඒමෙන් යෙහෝවා යුක්තිසහගත බව තහවුරු වන්නේ කෙසේද?

4 යෙහෝවා දෙවි දුෂ්ටකම් පැවතීමට අවුරුදු දහස් ගණනාවක් පුරා ඉඩ දී තිබේ. මිනිස් පාලන ක්‍රම විනාශකාරි බව තේරුම්ගැනීමට අවංක අයට එම කාලය හොඳටම සෑහේ. විසිවන සියවසේදී පමණක් යුද්ධ, විප්ලව හා සිවිල් ගැටුම් නිසා මිනිසුන් දශලක්ෂ 150කට වැඩි පිරිසක් මරුමුවට පත් වී තිබෙන බව එක් වාර්තාවක සඳහන් වේ. මිනිස් පාලන විනාශකාරි බවට එය එක් උදාහරණයක් පමණි. මිනිසුන් මොනතරම් දුෂ්ටද කියා විශේෂයෙන්ම දැකගත හැකි වූයේ දෙවන ලෝක මහ යුද්ධ සමයේදීය. එම කාලයේදී මිනිසුන් දශලක්ෂ 50ක් පමණ මරා දමනු ලැබූ අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙකුව නාට්සි ගාල් කඳවුරුවලදී කුරිරු ලෙස ඝාතනය කරන ලදි. බයිබලයෙහි පුරෝකථනය කර තිබෙන්නාක් මෙන් අපේ කාලයේදී “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.” (2 තිමෝති 3:1-5, 13) දුරාචාරය, අපරාධ, ප්‍රචණ්ඩකාරි ක්‍රියා, දූෂණය හා දෙවිගේ ප්‍රමිති සුළු කොට සැලකීම අද සමාජයේ සාමාන්‍ය දෙයක් වී තිබේ. මේ නිසා අද පවතින දුෂ්ට ක්‍රමය නැති කර දැමීමෙන් යෙහෝවා යුක්තිසහගත බව තහවුරු කරයි.

5, 6. පුරාණයේ කානාන්හි පැවති දුෂ්ටකම විස්තර කරන්න.

5 අද පවතින තත්වය මීට අවුරුදු 3,500කට පමණ පෙර කානාන්හි පැවති තත්වයට සමානය. එදා පැවති තත්වය ගැන බයිබලයෙහි මෙසේ සඳහන් වේ. “[යෙහෝවා] ද්වේෂකරන්නාවූ පිළිකුල්කරන්නාවූ සියලු දේවල් ඔව්හු තමුන්ගේ දෙවිවරුන් සඳහා කළෝය; ඔවුන්ගේ පුත්‍රයන්ද ඔවුන්ගේ දූවරුන්ද පවා ඔවුන්ගේ දෙවිවරුන්ට ගින්නේ දවා පූජාකරති.” (ද්විතීය කථාව 12:31) යෙහෝවා ඉශ්‍රායෙල් ජාතියට මෙසේ දැන්වුවේය. “නුඹේ දෙවිවූ [යෙහෝවා] ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම [නිසාය].” (ද්විතීය කථාව 9:5) බයිබල් ඉතිහාසඥ හෙන්රි එච්. හැලී මෙසේ සඳහන් කළේය. “බාල්, අෂ්ටාරොත් හා වෙනත් කානානීය දෙවිවරුන්ට කරන නමස්කාරවලට සල්ලාලකම්වලින් පිරුණු උත්සව ඇතුළත් විය. එමෙන්ම ඔවුන්ගේ දේවාල දුරාචාරයේ මධ්‍යස්ථාන විය.”

6 පුරාවිද්‍යාඥයන් කානානිවරුන් වාසය කළ එක් ප්‍රදේශයක සිදු කළ කැණීම්වලදී, “බාල්ට පූජා කළ දරුවන්ගේ ඇට කටු අඩංගු මැටි බඳුන් බොහොමයක් සොයාගෙන තිබේ.” ඔවුන් මොනතරම් දරුණු ලෙස දුෂ්ටකම් කර තිබෙනවාද කියා එයින් පැහැදිලි වෙන බව හැලී පෙන්වා දුන්නේය. ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය. “මුළු ප්‍රදේශයම අලුත උපන් බිළිඳුන්ගේ සුසාන භූමියක්ව තිබූ බව කැණීම්වලින් සොයාගත් දේවලින් තහවුරු විය. . . . කානානිවරුන් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළේ දුරාචාරයේ හවුල් වීමෙනි. එය ආගමික චාරිත්‍රයක් ලෙස සලකන ලදි. දුරාචාර ක්‍රියාවල නියැලීමෙන් පසු ඔවුහු තමන්ගේ කුලුඳුල් දරුවන්ව මරා එම දෙවිවරුන්ට පූජා කළහ. කානාන් දේශය පුරාම පැවති තත්වය සොදොම් සහ ගොමොරා නගරවල පැවති තත්වයට සමාන වූ බව පෙනෙන්න තිබේ. . . . එතරම්ම පිළිකුල්සහගත අපවිත්‍රකම්වලින් හා කෲරකම්වලින් පිරුණු ශිෂ්ටාචාරයකට දිගටම පැවතීමට අයිතියක් තිබුණාද? . . . ඊටත් වඩා කලින්ම දෙවි ඔවුන්ව විනාශ නොකිරීම ගැන, කානාන් දේශයේ පිහිටි නගරවල කැණීම් කටයුතු කරන පුරාවිද්‍යාඥයෝ විස්මයට පත් වෙති.”

පොළොව උරුම කරගැනීම

7, 8. දෙවි මේ පොළොව පිරිසිදු කරන්නේ කෙසේද?

7 දෙවි කානාන් දේශයේ පැවති දුෂ්ටකම් නැති කර එය පිරිසිදු කළාක් මෙන්, වැඩිකල් නොගොස් මේ පොළොවද පිරිසිදු කර, ඔහුගේ කැමැත්ත කරන අයට එය භාර දෙනු ඇත. ඒ ගැන අපට මෙසේ කියවීමට තිබේ. “අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය.” (හිතෝපදේශ 2:21, 22) ගීතිකාකරු මෙසේ පවසයි. “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. . . . නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:10, 11) සාතන්ව ක්‍රියා විරහිත කරනු ලබන නිසා ‘අවුරුදු දහස කෙළවර වන තුරු ඔහුට ජාතීන්ව තවත් රැවටිය නොහැක.’ (එළිදරව් 20:1-3) “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17.

8 පොළොව මත සදහටම ජීවත් වීමට ආශාවෙන් සිටින අය සඳහා තිබෙන මවිතකර බලාපොරොත්තුව කැටි කර දක්වමින් යේසුස් මෙසේ පැවසුවේය. “මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය.” (මතෙව් 5:5) පෙනෙන විදිහට, ඔහු ගීතාවලිය 37:29හි සඳහන් මෙම වදන්වලට යොමු දක්වමින් සිටියා විය හැක. “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” අවංක හදවත් ඇති අයට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට ඉඩ සලසා දීම දෙවිගේ අරමුණ වී තිබෙන බව යේසුස් දැන සිටියේය. පොළොව ගැන යෙහෝවා මෙසේ පවසයි. “මමම මාගේ මහත් බලයෙන් . . . පොළොව සහ පොළොව මතුපිට සිටින මනුෂ්‍යයාත් තිරිසනාත් මැවුවෙමි; මට හරිව පෙනෙන ලෙස මම කැමති අයට එය දෙමි.”—යෙරෙමියා 27:5.

මවිතකර නව ලොවක්

9. දෙවිගේ රාජ්‍යය මගින් බිහි කරන්නේ කුමන ආකාරයේ ලෝකයක්ද?

9 අර්මගෙදොනයෙන් පසු, දෙවිගේ රාජ්‍යය මගින් “ධර්මිෂ්ඨකම වාසයකරන” මවිතකර “අලුත් පොළොවක්” පිහිටුවීමට කටයුතු කරනු ඇත. (2 පේතෘස් 3:13) හිංසා පීඩාවලින් පිරුණු අද පවතින ක්‍රමයෙන් නිදහස් වීම, අර්මගෙදොනයෙන් බේරී ජීවත්වන්නන්ට මොනතරම් සහනයක් වනු ඇද්ද! මවිතකර ආශීර්වාද හා සදාකල් ජීවත් වීමේ අපේක්ෂාවද ඇතුව, දෙවිගේ ස්වර්ගික ආණ්ඩුව යටතේ පවතින ධර්මිෂ්ඨ නව ලොවට ඇතුල් වීමට ඉඩ ලැබීම ගැන ඔවුන් මොනතරම් ආනන්දයට පත් වනු ඇද්ද!—එළිදරව් 7:9-17.

10. දේවරාජ්‍යය පාලනය කරන කාලයේදී තවදුරටත් දැකිය නොහැකි අයහපත් දේවල් මොනවාද?

10 තවදුරටත් යුද්ධ, අපරාධ, කුසගින්න හා දරුණු සතුන්ගෙන් පවා මිනිසුන්ට තර්ජනයක් නොවනු ඇත. “මම [මාගේ සෙනඟ] සමඟ සමාදාන ගිවිසුමක් කරන්නෙමි. . . . මම චණ්ඩ මෘගයන් දේශයෙන් පහකරන්නෙමි; . . . කෙතේ ගස්වල ඵල හටගන්නේය, දේශය ඒකේ අස්වැන්න දෙන්නේය, ඔව්හු උපද්‍රව රහිතව තමුන්ගේ රටෙහි සිටින්නෝය.” “ඔවුන් තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධය ඉගෙනගන්නේවත් නැත. තවද ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත.”—එසකියෙල් 34:25-28; මීකා 4:3, 4.

11. ලෙඩ රෝග නැති වන බවට අපට නිසැක විය හැක්කේ මන්ද?

11 අසනීප, දුක් වේදනා හා මරණය පවා පහ කර දමනු ඇත. “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය. එහි වාසයකරන සෙනගගේ අයුතුකම කමාකරනු ලබන්නේය.” (යෙසායා 33:24) “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු [පිසදමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය. . . . බලව, [මම] සියල්ල අලුත්කරමි.” (එළිදරව් 21:4, 5) යේසුස් මේ පොළොව මත සිටි කාලයේදී දෙවි ඔහුට දී තිබූ බලය යොදාගනිමින් ඉහත සඳහන් කළ දේවල් සිදු කිරීමට ඔහු සතු හැකියාව පෙන්නුවේය. තවදුරටත් යේසුස් ශුද්ධාත්මයේ උපකාරය ඇතුව කොරුන්ව හා ලෙඩුන්වද සුව කළේය.—මතෙව් 15:30, 31.

12. මළවුන් සඳහා තිබෙන බලාපොරොත්තුව කුමක්ද?

12 යේසුස් ඊටත් වඩා පුදුම දේවල් කළේය. ඔහු මියගිය අයව නැවත නැඟිටෙව්වේය. නිහතමානි ජනයා එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔහු මිය ගොස් සිටි දොළොස් හැවිරිදි ගැහැනු ළමයෙකුව නැවත නැඟිටෙවූ අවස්ථාවේදී, ඇගේ දෙමාපියෝ “මහත් විස්මයකින් විස්මිත වූවෝය.” (මාර්ක් 5:42) මෙම නැවත නැඟිටීම, යේසුස් ස්වර්ගික රාජ්‍යයේ රජු හැටියට පාලනය කරන කාලයේදී කිරීමට යන දෙයකට තවත් උදාහරණයකි. ඒ කාලයේදී “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය.” (ක්‍රියා 24:15) මියගිය අය කණ්ඩායමෙන් කණ්ඩායම නැවත නැඟිට තමන්ගේ ප්‍රේමනීයයන් හා නැවත එක් වන විට සියල්ලන් ප්‍රීතියෙන් උතුරා යන ආකාරය ගැන සිතා බලන්න. රාජ්‍ය පාලනයේ අධීක්ෂණය යටතේ මහත් අධ්‍යාපනික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට සැකයක් නැත. එහි ප්‍රතිඵලයක් හැටියට “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”—යෙසායා 11:9.

යෙහෝවාගේ පරමාධිපත්‍යය නිදොස් කෙරේ

13. දෙවි තම පාලනයේ ඇති යුක්තිසහගත බව පෙන්වනු ඇත්තේ කෙසේද?

13 රාජ්‍ය පාලනය පවතින අවුරුදු දහස අවසානයේදී මිනිස් පවුලේ සියල්ලන්වම ශාරීරිකව හා මානසිකව පරිපූර්ණත්වයට ගෙනැවිත් තිබෙනු ඇත. මුළු පොළොවම මුලින් තිබූ ඒදන් උයන මෙන් පාරාදීස තත්වයකට පත් වනු ඇත. සාමය, සතුට, සුරක්ෂිතභාවය හා ප්‍රේමය රජයන මිනිස් සමාජයක් පවතී. දේවරාජ්‍යය මේ පොළොව පාලනය කිරීමට කලින් එවන් තත්වයක් කිසිදාක මිනිස් ඉතිහාසය තුළ දක්නට නොතිබිණ. මිනිසුන්ට දුක්ඛිත තත්වයක් උදා කළ අවුරුදු දහස් ගණනක් පුරා පැවති මිනිස් පාලන සහ අවුරුදු දහසක් පාලනය කරන දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ ශ්‍රේෂ්ඨ පාලනය අතර මොනතරම් කැපීපෙනෙනසුලු වෙනසක් පවතිනු ඇද්ද! දෙවි ඔහුගේ රාජ්‍යය මගින් කරනු ලබන පාලනය මිනිස් පාලනවලට වඩා සෑම අතින්ම උසස් වනු ඇත. පාලනය කිරීමට දෙවි සතු අයිතිය, නැතහොත් ඔහුගේ පරමාධිපත්‍යය මුළුමනින්ම නිදොස් වී තිබෙනු ඇත.

14. දහස් අවුරුදු පාලනය අවසානයේදී කැරලිකරුවන්ට සිදු වන්නේ කුමක්ද?

14 යෙහෝවා අවුරුදු දහස අවසානයේදී, තමන් සේවය කිරීමට කැමති කාටද කියා තෝරාගැනීම සඳහා පරිපූර්ණ මිනිසුන්ට ඔවුන්ගේ නිදහස් කැමැත්ත පාවිච්චි කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇත. ඒ කාලයේදී ‘සාතන්ව ඔහුගේ සිරගෙයින් මුදනු ලබන’ බව බයිබලයේ සඳහන් වේ. ඔහු නැවතත් මිනිසුන්ව නොමඟ යැවීමට වෑයම් කරන්න යන අතර, සමහර අය දෙවිගෙන් ස්වාධීනව ක්‍රියා කිරීමට තෝරාගනු ඇත. ‘විපත්තිය දෙවරක් පැමිණීම’ වළක්වාගැනීම සඳහා යෙහෝවා සාතන්ව හා ඔහුගේ භූතයන්වද තමන්ගේ පරමාධිපත්‍යයට එරෙහි වන සියලුදෙනාවද සම්පූර්ණයෙන්ම නැති කර දමනු ඇත. ඒ කාලයේදී සදාකාලයටම විනාශ කර දමනු ලබන මිනිසුන්ට, දෙවිට සේවය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අවස්ථාවක් නොලැබුණා කියා හෝ යම් වැරදි දේවල් කළේ අසම්පූර්ණකම නිසා කියා හෝ පවසමින් දෙවිගේ තීන්දුවට විරෝධය පෑමට කිසිවෙකුට නොහැකි වේ. මන්ද ඔවුන් හිතාමතාම යෙහෝවාගේ ධර්මිෂ්ඨ පාලනයට එරෙහිව කැරලිගැසීමට තෝරාගත් පරිපූර්ණව සිටි ආදම් සහ ඒවට සමානු වනු ඇති නිසාය.—එළිදරව් 20:7-10; නාහුම් 1:9.

15. පක්ෂපාත අය යෙහෝවා සමඟ කෙබඳු සබඳතාවක් භුක්ති විඳිනු ඇද්ද?

15 අනිත් අතට, විශාල පිරිසක් යෙහෝවාගේ පරමාධිපත්‍යයට තමන්ගේ පක්ෂපාතීත්වය පෙන්වීමට තෝරාගනු ඇතැයි කියා සිතිය හැක. කැරලිගැසීමට තෝරාගන්නා සියලුදෙනාව සදහටම විනාශ කර දැමීමෙන් පසු, පක්ෂපාතකම සම්බන්ධයෙන් පවත්වන අවසන් පරීක්ෂණයෙන් සමත් වූ ධර්මිෂ්ඨයන් යෙහෝවා ඉදිරියෙහි සිටිනු ඇත. එවිට යෙහෝවා එම පක්ෂපාත අයව තමන්ගේ දූ පුතුන් ලෙස පිළිගනු ඇත. ආදම් සහ ඒව කැරලිගැසීමට කලින් දෙවි සමඟ භුක්ති විඳිමින් සිටි සම්බන්ධතාව ඔවුහු භුක්ති විඳින්නෝය. මෙසේ රෝම 8:20, 21හි සඳහන් මෙම වදන් ඉටු වේ. “මැවිල්ලම [මනුෂ්‍යවර්ගයා] ජරාවේ වහල්කමින් නිදහස්වී, [දෙවිගේ] දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිනෙන්නේය.” එම කාලය ගැන යෙසායා මෙසේ පුරෝකථනය කරයි. ‘දෙවි මරණය සදාකාලයටම ගිල දැමුවේය. පරමාධිපති ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය.’—යෙසායා 25:8.

සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව

16. සදාකාල ජීවනය නමැති විපාකය දෙස ආශාවෙන් බලා සිටීම සුදුසු දෙයක් වන්නේ මන්ද?

16 දෙවි තමන්ට බහුල ලෙස ආත්මික හා ද්‍රව්‍යමය ආශීර්වාද වගුරුවන්න යන බව දැන සිටින ඇදහිලිවන්තයන්ට තිබෙන්නේ මොනතරම් මවිතකර අපේක්ෂාවක්ද! ගීතිකාකරු යෝග්‍ය ලෙස මෙසේ පැවසුවේය. ‘ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ [සුදුසු] ආශාවන් පූර්ණ කරන්නේය.’ (ගීතාවලිය 145:16) පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටින අයට, තමන් කෙරෙහි ඇදහිල්ල තැබීමට එම බලාපොරොත්තුව හේතුවක් කරගන්න කියා යෙහෝවා උනන්දු කරයි. මෙහිදී වැදගත්ම දෙය වන්නේ යෙහෝවාගේ පරමාධිපත්‍යය නිදොස් කිරීම වුවත්, යහපත් විපාකයක් බලාපොරොත්තු නොවී තමන්ට සේවය කරන්න කියා ඔහු මිනිසුන්ගෙන් ඉල්ලා නොසිටියි. දෙවිට පක්ෂපාතව සිටීම සහ සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව අතර වෙන් කළ නොහැකි සම්බන්ධයක් තිබෙන බවට සාක්ෂි බයිබලය පුරා දැකිය හැක. ක්‍රිස්තියානියෙකු දෙවි කෙරෙහි තබන ඇදහිල්ලේ අත්‍යවශ්‍ය අංගයකි එම බලාපොරොත්තුව. මේ සම්බන්ධයෙන් අපට මෙසේ කියවීමට තිබේ. “[දෙවි] වෙතට ළඟාවෙන්නා විසින් [ඔහු] විද්‍යමාන බවත්, [ඔහුව] සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.”—හෙබ්‍රෙව් 11:6.

17. අපේ බලාපොරොත්තුවෙන් ශක්තියක් ලබාගැනීම සුදුසු දෙයක් බව යේසුස් පෙන්වා දුන්නේ කෙසේද?

17 යේසුස් මෙසේ පැවසුවේය. “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය, එනම් එකම සැබෑ දෙවි වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3NW) මෙහිදී දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් දැනගැනීම සහ එයින් අත් වන විපාකය අතර සම්බන්ධතාවක් ඇති බව යේසුස් පෙන්වා දුන්නේය. උදාහරණයක් හැටියට, යේසුස් රාජ්‍ය පාලනය ආරම්භ කළ පසුව තමන්ව සිහි කරන්න කියා අපරාධකරුවෙකු ඔහුගෙන් ඉල්ලා සිටි විට, “නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය” කියා යේසුස් ඔහුට පැවසුවේය. (ලූක් 23:43) යම් විපාකයක් නොලැබුණත් තමා කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න කියා යේසුස් ඒ අපරාධකරුවාට පැවසුවේ නැත. මේ ලෝකයේදී මුහුණ දීමට සිදු වන නොයෙකුත් පරීක්ෂණ සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා තම සේවකයන් පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවෙන් ශක්තියක් ලබාගන්නවා දැකීමට යෙහෝවා කැමති බව යේසුස් දැනසිටියේය. මෙම විපාකය දෙස බැලීම, ක්‍රිස්තියානියෙකුට දිගටම විඳදරාගැනීමට ඉමහත් උපකාරයක් වේ.

රාජ්‍යයේ අනාගතය

18, 19. දහස් අවුරුදු පාලනය අවසානයේදී රජුට හා රාජ්‍යයට සිදු වන්නේ කුමක්ද?

18 යෙහෝවා පොළොව හා එහි වාසය කරන මිනිසුන්ව පරිපූර්ණත්වයට ගෙන ඒමටත්, ඔවුන් හා තමන් අතර සමඟිකමක් ඇති කරගැනීමටත් යොදාගන්නා උපආණ්ඩුවක් ලෙස රාජ්‍යය කටයුතු කරනු ඇත. එම උපආණ්ඩුවේ අරමුණ ඉටුවීමෙන් පසු, රජු වන යේසුස් ක්‍රිස්තුස්ටත්, හවුල් රජවරුන් හා පූජකයන් ලෙස සේවය කරන 1,44,000දෙනාටත් දහස් අවුරුදු පාලනය අවසානයේදී කිනම් වැඩකොටසක් පැවරෙනු ඇද්ද? ‘යේසුස් සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද නැති කළ කල්හි, රාජ්‍යය පිය වූ දෙවිට භාර දෙන්නේය. මක්නිසාද ඔහු සියලු සතුරන් තමන්ගේ පාද යට දමන තුරු රජකම් කරන්ට ඕනෑය.’—1 කොරින්ති 15:24, 25.

19 ක්‍රිස්තුස් රාජ්‍යය දෙවිට භාර දෙනවා නම්, එම රාජ්‍යය සදාකාලයටම පවතින එකක් කියා ශුද්ධ ලියවිල්ලෙහි පවසා තිබෙන දෙයින් අදහස් කරන්නේ කුමක්ද? රාජ්‍යය මගින් සිදු කර තිබෙන දේවල් සදාකාලයටම පවතින නිසා, ඒ අර්ථයෙන් බලන කල එය සදාකාලයටම පවතිනු ඇත. ක්‍රිස්තුස් දෙවිගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙන නිසා ඔහුව සදාකාලයටම ගෞරවයට පත් කරනු ලබනවා ඇත. නමුත් ඒ කාලයේදී, පාපය සහ මරණය සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබෙන නිසාත්, මනුෂ්‍යවර්ගයාට ගැළවීම ලැබී තිබෙන නිසාත් ඔහු ගැළවුම්කරුවෙකු ලෙස කටයුතු කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ. රාජ්‍යයේ පාලන කාලය වන අවුරුදු දහස තුළ එහි අරමුණ සම්පූර්ණ ලෙස ඉටු වී තිබෙන නිසා, යෙහෝවා සහ කීකරු මනුෂ්‍යවර්ගයා අතර උපආණ්ඩුවක් තිබීමද අවශ්‍ය නොවනු ඇත. මේ අනුව, දෙවි “සියල්ලන් තුළ සියල්ල” වනු ඇත.—1 කොරින්ති 15:28.

20. ක්‍රිස්තුස්ගේ හා 1,44,000දෙනාගේ අනාගතය කෙබඳු එකක්ද කියා අපට දැනගත හැක්කේ කෙසේද?

20 දහස් අවුරුදු පාලනය අවසන් වීමෙන් පසු, ක්‍රිස්තුස්ට හා ඔහුගේ හවුල් පාලකයන්ට තිබෙන වැඩකොටස කුමක් වනු ඇද්ද? මේ ගැන බයිබලයේ කිසිවක් සඳහන් නොවේ. එහෙත් යෙහෝවා ඔවුන්ට සිය මැවිල්ල තුළ තවත් සේවා වරප්‍රසාද බොහොමයක් ලබා දෙන බවට අපට නිසැකය. අපි සියලුදෙනාම දැන් යෙහෝවාගේ පරමාධිපත්‍යයට අපේ පූර්ණ සහයෝගය දක්වමු. මෙසේ කිරීමෙන් යෙහෝවා රාජ්‍යයේ රජු, එහි හවුල් රජවරුන් හා පූජකයන් මෙන්ම මුළු විශ්වය සඳහා අරමුණු කර තිබෙන දෙය කුමක්ද කියා දැනගැනීමට අපත් ජීවතුන් අතර සිටිනු ඇත.