Skip to content

පටුනට යන්න

මට මඟ පෙන්වන්න ශුද්ධාත්මයට මම ඉඩ දෙනවාද?

මට මඟ පෙන්වන්න ශුද්ධාත්මයට මම ඉඩ දෙනවාද?

මට මඟ පෙන්වන්න ශුද්ධාත්මයට මම ඉඩ දෙනවාද?

දේවධර්මාචාරීන් මෙන්ම සාමාන්‍ය ජනයාද දෙවිගේ ශුද්ධාත්මය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් දේවවචනය තුළ අපිට ඒ පිළිබඳව පැහැදිලි විස්තරයක් දී තිබෙන නිසා අපිට ශුද්ධාත්මය කියන්නේ කුමක්ද යන්න ගැන අනුමාන කරන්න අවශ්‍ය නැහැ. ඇතමෙක් පවසන ආකාරයට ශුද්ධාත්මය පුද්ගලයෙක් නෙවෙයි. එය දෙවි තම කැමැත්ත ඉටු කිරීමට යොදාගන්නා තම ක්‍රියාකාරි බලයයි.—ගීතාවලිය 104:30; ක්‍රියා 2:33; 4:31; 2 පේතෘස් 1:21.

දෙවිගේ කැමැත්ත ඉටු කිරීමේදී ශුද්ධාත්මය වැදගත් කාර්යභාරයක් දරන නිසා ඊට එකඟව ජීවත් වීමට අපි දැඩි ලෙස වෑයම් කළ යුතුයි. ඒ සමඟම, අපිට පෞද්ගලිකව උපකාර කිරීමට අපි ශුද්ධාත්මයට ඉඩ දිය යුතුයි. එයින් අදහස් වන්නේ, ශුද්ධාත්මය අපිට මඟ පෙන්වනවාට අපි කැමැත්තක් දක්වන බවයි.

අපිට උපකාර අවශ්‍ය වීමට හේතු

යේසුස් තමා මෙම පොළොව අත්හැර යන බව දැනගෙන සිටි නිසා ගෝලයන්ව ශක්තිමත් කළා. ‘මම පියාගෙන් ඉල්ලන්නෙමි, එවිට ඔහු නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන උපකාරකයෙකු නුඹලාට දෙන්නේය.’ තවත් අවස්ථාවක ඔහු මෙසේ දිරිගැන්වුවා. “මම නුඹලාට සත්‍යය කියමි. මා අහක්ව යන්නේ නුඹලාට ප්‍රයෝජනයක් වන පිණිසය. මක්නිසාද මා අහක්ව නොගියොත්, උපකාරකයා නුඹලා ළඟට එන්නේ නැත. නමුත් මම ගියොත්, ඔහු නුඹලා වෙතට එවන්නෙමි.”—යොහන් 14:16, 17; 16:7NW.

යේසුස් තම ගෝලයන්ට භාරදූර වගකීමක් දුන්නා. එනම්, ‘නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න’ යන්නයි. (මතෙව් 28:19, 20) එම පැවරුම බොහෝ විරුද්ධවාදිකම් මධ්‍යයේ ඉටු කිරීමට සිදු වුණ නිසා එය ලෙහෙසි පහසු එකක් නොවූ බව පැහැදිලියි.—මතෙව් 10:22, 23.

පිටතින් පැමිණෙන විරුද්ධවාදිකම්වලට අමතරව සභාව තුළද ගැටුම් ඇති වුණා. පාවුල් පො.යු. 56දී රෝමයේ ක්‍රිස්තියානීන්ට ඒ පිළිබඳව අනතුරු අඟවමින් මෙසේ ලිව්වා. “සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.” (රෝම 16:17, 18) මෙම තත්වය ප්‍රේරිතයන්ගේ අභාවයෙන් පසුව තව තවත් උග්‍ර වන බව ක්‍රිස්තියානීන් දැනගෙන සිටියා. ඒ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ පවසා තිබුණා. “මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි. නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත.”—ක්‍රියා 20:29, 30.

ඒ සෑම බාධකයක්ම ජයගැනීමට දෙවිගේ උපකාරය අවශ්‍ය වුණා. ඔහු යේසුස් මාර්ගයෙන් එම උපකාරය ලබා දුන් බවට සාක්ෂියක් වශයෙන් යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසුව, එනම් පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී ගෝලයන් 120දෙනෙක් පමණ “ශුද්ධාත්මයෙන් පූර්ණ” වුණා.—ක්‍රියා 1:15; 2:4.

එම අවස්ථාවේදී වැගිරෙවූ ශුද්ධාත්මය යේසුස් පොරොන්දු වූ උපකාරකයා බව ගෝලයන් වටහාගත්තා. එවිට යේසුස් කලින් පැවසූ මෙම වදන් ගැන ඔවුන්ට වඩාත් පුළුල් අවබෝධයක් ලැබුණ බවට නිසැකයි. “පියා මාගේ නාමයෙන් එවන ලද උපකාරකයා, එනම් ශුද්ධාත්මය, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහිගන්වයි.” (යොහන් 14:26NW) ඔහු එය ‘සත්‍යතාවේ ආත්මය, එනම් උපකාරකයා’ වශයෙන්ද හැඳින්වුවා.—යොහන් 15:26.

ශුද්ධාත්මය උපකාර සපයන ආකාරය

ශුද්ධාත්මය ක්‍රම කිහිපයකින්ම උපකාරකයෙක් ලෙස ක්‍රියා කළා. යේසුස් තම ගෝලයන්ට කලින් පවසා තිබූ දේවල් ශුද්ධාත්මයේ උපකාරයෙන් ඔවුන්ට යළි සිහිගැන්වෙන බවට ඔහු පොරොන්දු වී තිබුණා. ශුද්ධාත්මය උපකාරකයෙක් වශයෙන් ක්‍රියා කළ පළමුවන ක්‍රමය මෙයයි. ශුද්ධාත්මය යේසුස්ගේ ගෝලයන්ට සිහිගැන්වූයේ ඔහුගේ වචන පමණක් නෙවෙයි. ඔහුගේ ඉගැන්වීම්වල ගැඹුරු අර්ථය හා වැදගත්කම තේරුම්ගැනීමටත් එය උපකාරවත් වුණා. (යොහන් 16:12-14) කෙටියෙන් පැවසුවොත්, යේසුස්ගේ ගෝලයන්ට සත්‍යය වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට ශුද්ධාත්මය උපකාරවත් වුණා. ප්‍රේරිත පාවුල්ට පසු කලෙක මෙසේ පැවසීමට පුළුවන් වුණා. ‘දෙවි ස්වකීය ආත්මය කරණකොටගෙන අපට ඒ දේ එළිදරව් කළේය. මක්නිසාද ආත්මය සියලු දේ, එසේය, දෙවිගේ ගැඹුරු දේවල් පවා විමසන්නේය.’ (1 කොරින්ති 2:10) අන්‍යයන්ට නිවැරදි දැනුම ලබා දෙන්න කලින් ඔවුන්ගේ දැනුම හා අවබෝධය පුළුල් කරගන්න යේසුස්ගේ ආලේප ලත් ගෝලයන්ට අවශ්‍ය වුණා. ඒ වගේම උගන්වන දේවල් පිළිබඳව ස්ථිර විශ්වාසයක් ගොඩනඟාගැනීමටද ඔවුන්ට අවශ්‍ය වුණා.

යේසුස්ගේ ගෝලයන්ට ශුද්ධාත්මය උපකාරය සැපයූ දෙවෙනි ක්‍රමය සලකා බලමු. යේසුස් තම ගෝලයන්ට යාච්ඤා කරන්න ඉගැන්වුවා. ඒ වගේම නොකඩවාම යාච්ඤා කරන්නත් ඔහු දිරිගැන්වුවා. ඇතැම් අවස්ථාවලදී යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද කියා ගෝලයන්ට සැකයක් ඇති විය හැකි බවත් යේසුස් දැනගෙන සිටියා. එවැනි අවස්ථාවලදී ශුද්ධාත්මය මැදිහත්කාරයෙක් වශයෙන් ක්‍රියා කරමින් ඔවුන්ට උපකාර සපයන බවට යේසුස් සහතික කළා. ඇත්තෙන්ම එය ඔවුන් වෙනුවෙන් කතා කළා කියා පැවසිය හැකියි. බයිබලය අපිට එය මෙසේ පැහැදිලි කර දෙනවා. ‘එලෙසම ශුද්ධාත්මයත් අපගේ දුර්වලකමේදී අපට ආධාර දෙන්නේය. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයම වචනවලින් කිව නොහැකි අපේ සුසුම්ලෑම්වලදී දෙවි වෙත අප වෙනුවෙන් අයදින්නේය.’—රෝම 8:26, නව අනුවාදය.

සත්‍යයට විරුද්ධව එල්ල කළ බොරු චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීමට සිදු වූ අවස්ථාවලදීත් ශුද්ධාත්මය යේසුස්ගේ ගෝලයන්ට උපකාර කළා. යේසුස් තම ගෝලයන්ට මෙසේ අනතුරු අඟවා තිබුණා. “ඔවුන් නුඹලා මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත; ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත. නුමුත් ඔවුන් නුඹලා පාවාදෙන කල, නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ [පියාගේ ආත්මයය].”—මතෙව් 10:17-20.

ක්‍රිස්තියානි සභාව හඳුනාගැනීමට හා එහි සාමාජිකයන්ට නැණවත් තීරණ ගැනීමට ශුද්ධාත්මය උපකාර සැපයුවා. අපි දැන් ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්න යන අතර එය අපේ කාලයට වැදගත් වන්නේ කොහොමද කියාත් සලකා බලන්න යනවා.

හඳුනාගැනීමේ ලක්ෂණයක්

ශතවර්ෂ ගණනාවක් පුරාම දෙවිගේ තෝරාගත් සෙනඟ වූයේ යුදෙව් ජාතියයි. ඔවුන් යෙහෝවාට සේවය කළේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතෙයි. නමුත් ඔවුන් යේසුස්ව මෙසියස් වශයෙන් පිළිගැනීමට අසමත් වූ නිසා ඔවුන්ව ජාතියක් වශයෙන් ප්‍රතික්ෂේප කරන්න යන බවට යේසුස් අනාවැකියක් පළ කළා. එය අපිට මෙසේ කියවීමට තිබෙනවා. “ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය. මෙය [යෙහෝවා] කෙරෙන් විය, අපේ ඇස්වලට ඒක ආශ්චර්යයක්ය  . . එබැවින් නුඹලාට මම කියමි [දෙවිගේ] රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.” (මතෙව් 21:42, 43) එම අනාවැකිය පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී ඉටු වුණා. එදින ක්‍රිස්තියානි සභාව ස්ථාපිත කළ අතර ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ‘ඵල උපදවන ජාතියක්’ බවට පත් වුණා. එතැන් පටන් දෙවි අදහස් හුවමාරු කරන මාධ්‍යය වූයේ ක්‍රිස්තියානි සභාවයි. මෙලෙස යුදෙව් ජාතියේ සිට ක්‍රිස්තියානි සභාව වෙතට ඔහුගේ අනුමැතිය මාරු වී තිබුණ බව හඳුනාගැනීමට දෙවි ලකුණක් දුන්නා.

පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මයේ උපකාරය ඇතුව තමන් කිසිකලෙක නොදැන සිටි භාෂාවලින් කතා කිරීමට ගෝලයන් සමත් වුණා. ඒ දේවල් දුටු ජනයා පුදුමයට පත් වී මෙසේ ප්‍රකාශ කළා. ‘අප උපන් දේශවල අපි එකිනෙකාගේම භාෂාවලින් ඔවුන් කතා කරන්නේ කෙසේද?’ (ක්‍රියා 2:7, 8) අන්‍ය භාෂාවලින් කතා කිරීමත් සමඟම ‘ප්‍රේරිතයන් බොහෝ පුදුමද හාස්කම්ද සිදු කළ’ බව වාර්තා වෙනවා. ඒ සෑම දෙයක්ම දෙවිගේ ශුද්ධාත්මය ක්‍රිස්තියානි සභාව මත ක්‍රියාත්මක වන බවට සාක්ෂි සැපයූ අතර තුන්දහසකට සත්‍යය වැලඳගැනීමටද මඟ පෑදුවා.—ක්‍රියා 2:41, 43.

ඒ සමඟම ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ-ඉවසිලිවන්තකම, කරුණාව, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම හා ආත්ම-දමනය වැනි ‘ආත්මයේ ඵල’ විදහාපෙන්වුවා. එයින් ඔවුන් දෙවිගේ සේවකයන් වූ බවට කදිම සාක්ෂියක් ලැබුණා. (ගලාති 5:22, 23NW) ඇත්තෙන්ම ක්‍රිස්තියානි සභාව හඳුනාගැනීමේ ප්‍රධාන ලක්ෂණය වූයේ ශුද්ධාත්මයේ ඵලයක් වන ප්‍රේමයයි. යේසුස් ඒ පිළිබඳව මෙසේ පැවසුවා. “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.”—යොහන් 13:34, 35.

මුල් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් සැමවිටම දෙවිගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම හා උපකාරය පිළිගැනීමට උත්සාහ කළා. දෙවි පළමුවන ශතවර්ෂයේ කළාක් මෙන් අදදින මළවුන් නැඟිටුවන්නේවත් ආශ්චර්යයන් සිදු කරන්නේවත් නැති බව ඇත්තයි. නමුත් අදදිනත් සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැකියි. එය කළ හැකි වන්නේ ඔවුන් ශුද්ධාත්මයේ ඵල විදහාපෙන්වමින් යේසුස් ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයන් බවට සාක්ෂි සපයන නිසයි.—1 කොරින්ති 13:8.

පෞද්ගලික තීරණ ගැනීමේදී

බයිබලය ශුද්ධාත්මය මගින් සපයා තිබෙන නිසා, එහි පවසා ඇති දේවල්වලට අනුව අපේ ජීවිතය සකස් කරගැනීමට වෑයම් කරද්දී අපි ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට අවනත වෙනවා කියා පැවසිය හැකියි. (2 තිමෝති 3:16) ඇත්තෙන්ම ශුද්ධාත්මය අපිට නැණවත් තීරණ ගැනීමට උපකාරවත් වෙනවා. නමුත් ප්‍රශ්නය වන්නේ, අපිට උපකාර කිරීමට අපි එයට ඉඩ දෙනවාද යන්නයි.

උදාහරණයක් වශයෙන්, අපි රැකියාවක් තෝරාගනිද්දී ක්‍රියා කරන්නේ කෙසේද? අපි ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට අවනත වෙනවාද? අපි එසේ කරනවා නම් නිතරම යෙහෝවාගේ දෘෂ්ටියෙන් දේවල් දිහා බැලීමට අපි වෑයම් කරනවා. රැකියාව බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි එකක්ද? එය අපේ ආත්මික ඉලක්ක ලුහුබැඳීමට බාධාවක් වෙයිද? වැනි කාරණා අපි සැලකිල්ලට ගන්න යනවා. රැකියාවකින් ලැබෙන ද්‍රව්‍යමය ප්‍රතිලාභවලට හෝ උසස් තනතුරුවලට වඩා මෙවැනි දේවල් වැදගත් කියා අපි වටහාගන්නවා. ඔව්, වඩා වැදගත් වන්නේ එම රැකියාව අපේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සපුරනවාද හා එය අපේ ක්‍රිස්තියානි වගකීම් ඉටු කිරීමට ඉඩ සලසා දෙනවාද වැනි කාරණායි.

ජීවිතය සතුටින් ගෙවන්න අපි කවුරුත් කැමතියි. එහි කිසි වරදක් නැහැ. (දේශනාකාරයා 2:24; 11:9) ඇත්තෙන්ම සමබර ක්‍රිස්තියානියෙක්ට යම් විනෝදාංශයක යෙදීමෙන් තම ජීවිතයට නැවුම්බවක් හා සතුටක් එක් කරගන්න පුළුවන්. නමුත් ‘මාංශයේ තෘෂ්ණාවලට’ පෙලඹීමක් ඇති නොකරන හා ශුද්ධාත්මයේ ඵල වර්ධනය කිරීමට දායක වන විනෝදාංශයක් තෝරාගැනීමට ඔහු වග බලාගත යුතුයි. අපි වැළකී සිටිය යුතු ඇතැම් ක්‍රියා පිළිබඳව පාවුල් නිසි මඟ පෙන්වීමක් සැපයුවා. එය මෙසේ කියවීමට තිබෙනවා. “මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම; රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද; වෛර, බීමත්කම, මංගල්‍යඝෝෂා සහ තවත් එවැනි දේවල්ය.” එමෙන්ම ‘නිෂ්ඵල පාරට්ටු කරගැනීමෙන්ද, එකිනෙකා කෝප කිරීමෙන්ද, එකිනෙකාට ඊර්ෂ්‍යා කිරීමෙන්ද’ වැළකී සිටිය යුතු බව පාවුල් පැහැදිලි කරනවා.—ගලාති 5:16-25.

මිත්‍රයන් තෝරාගැනීමේදීත් අපි ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට අවනත විය යුතුයි. අපි කෙනෙක් සමඟ මිත්‍රත්වයක් වර්ධනය කරගන්නේ ඔහුට සිත් ඇදගන්නාසුලු ස්වභාවයක් තිබෙන නිසා හෝ වත්කමක් තිබෙන නිසාද? එහෙමත් නැත්නම් ඔහුට තිබෙන ආත්මික ගුණාංග නිසාද? ඇත්තෙන්ම හොඳ ආත්මිකත්වයක් කල්පවතින මිත්‍රත්වයකට කදිම පදනමක් සපයනවා. උදාහරණයක් වශයෙන් දෙවි දාවිත්ව මිත්‍රයෙක් වශයෙන් තෝරාගත්තේ ඇයි කියා සලකා බලන්න. දෙවි දාවිත්ව විස්තර කළේ ඔහුට “ප්‍රියමනාප මිනිසෙකු” වශයෙනුයි. (ක්‍රියා 13:22, නව අනුවාදය) ඒ විතරක් නොවෙයි, ඔහු දාවිත්ට ඉශ්‍රායෙල් දේශයේ රජකම පවා භාර දුන්නා. එසේ කළේ දාවිත්ගේ හැඩි දැඩි පෙනුම නිසාද? නැහැ. දෙවි තමාගේ තීරණයට පදනම පැහැදිලි කරමින් මෙසේ පැවසුවා. ‘යෙහෝවා මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලන්නේය. මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනුම බලන්නේය, නමුත් යෙහෝවා සිත බලන්නේය.’—1 සාමුවෙල් 16:7.

අදදින බොහෝ මිත්‍රත්වයන් අසාර්ථක වන්නේ බොහෝදෙනෙක් සිත් ඇදගන්නාසුලු ස්වභාවයක් තිබෙන එහෙමත් නැත්නම් විශාල වත්කමක් තිබෙන අයව තම මිත්‍රයන් වශයෙන් තෝරාගන්නා නිසයි. එවැනි දේවල් කල්පවතින මිත්‍රත්වයකට දායක වන්නේ නැහැ. ඇත්තෙන්ම ද්‍රව්‍යමය වාසි තකා ගොඩනඟන මිත්‍රත්වයන් ක්ෂණයකින් නැති වී යා හැකියි! (හිතෝපදේශ 14:20) ශුද්ධාත්මයේ මඟ පෙන්වීම යටතේ ලියා තිබෙන දේවවචනයේ අපිට අවවාද කරන්නේ යෙහෝවාට සේවය කිරීමට අත හිත දෙන මිත්‍රයන්ව තෝරාගන්න කියායි. ඒ වගේම, ගැනීමට වඩා දීමෙන් ප්‍රීතියක් ලැබෙන නිසා අනිත් අයගෙන් ලබාගත හැකි දේවලට වඩා ඔවුන්ට දිය හැකි දේවල් ගැන කල්පනා කරන්න කියාත් එහි අපිට උනන්දු කර තිබෙනවා. (ක්‍රියා 20:35) ඇත්තෙන්ම අපේ මිත්‍රයන්ට ලබා දිය හැකි වටිනාම දේවල් අතර කාලය හා ආදරය ප්‍රධාන තැනක් ගනියි.

විවාහ කලත්‍රයෙක් තෝරාගැනීම සඳහාද බයිබලය අපිට ශුද්ධාත්මයේ මඟ පෙන්වීම සපයයි. එහි මේ හා සමාන උපදේශයක් දී තිබෙනවා. ‘පුද්ගලයාගේ මුහුණ හා ඇඟපත දිහා බලන්නේ නැතුව ඔහුගේ පාද දිහා බලන්න.’ පාද දිහා බලන්න? එයින් අදහස් වන්නේ කුමක්ද? ‘ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශ කරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශ කරන්නාවූ, නුඹේ දෙවි රජකම් කරන්නේයයි සියොන්ට කියන්නාවූ තැනැත්තාගේ පාද කඳු පිට කොපමණ අලංකාරද’ කියා බයිබලයේ පැහැදිලි කර තිබෙනවා. ඔව්, ශුභාරංචිය දේශනා කිරීමේ තම වැඩය ඉටු කිරීමට යොදාගන්නා පාද යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි ඇත්තෙන්ම අලංකාරයි! එසේ නම්, එවැනි අලංකාර පාද තිබෙන කෙනෙක්වද ඔබේ කලත්‍රයා වශයෙන් තෝරාගන්නේ? ඔහු හෝ ඇය සත්‍යයේ පණිවිඩය හා සමාදානයේ ශුභාරංචිය නමැති වහන් පැළඳගෙන සිටිනවාද?—යෙසායා 52:7; එපීස 6:15.

මෙම “කටයුතු කිරීමට අසීරු අර්බූදකාරි කාලවල” ජීවත් වන අපිට දෙවිගේ කැමැත්ත කිරීම සම්බන්ධයෙන් උපකාරය අත්‍යවශ්‍යයි. (2 තිමෝති 3:1, NW) පළවන ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට තම ක්‍රියාකාරකම් නිසි ආකාරයෙන් ඉටු කිරීම සඳහා ශුද්ධාත්මය උපකාරවත් වුණා. එය පෞද්ගලික කාරණා සම්බන්ධයෙන්ද ඔවුන්ට මඟ පෙන්වීම සැපයුවා. ඔබටත් ශුද්ධාත්මයෙන් පෞද්ගලික උපකාරය ලබාගත හැකියි. එය කළ හැකි ප්‍රධාන ක්‍රමයක් වන්නේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම යටතේ ලියන ලද දේවවචනය ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කිරීමෙනුයි. ඔබ එසේ කරනවාද?

[23වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]