Skip to content

පටුනට යන්න

හස්මෝනියන්වරුන්ගේ දායාදය

හස්මෝනියන්වරුන්ගේ දායාදය

හස්මෝනියන්වරුන්ගේ දායාදය

යේසුස් මිහිපිට සිටියදී, යුදෙව් සමාජයේ පැවතුණේ නොසන්සුන් වාතාවරණයකි. යුදෙව් ධර්මය විවිධ කොටස්වලට බෙදී ගොස් තිබූ අතර මේ එක් එක් කණ්ඩායම් තම ආධිපත්‍යය තහවුරු කරගැනීමට එකිනෙකා සමඟ තරඟ වැදුණහ. සුවිශේෂ වාර්තා මෙන්ම පළමුවන සියවසේ යුදෙව් ඉතිහාසඥයෙකු වූ ජොසීෆස්ගේ ලියවිලි මෙය සනාථ කරයි.

පෙනෙන ආකාරයට, ඵරිසිවරුන් හා සද්දුසිවරුන් යනු මහජනයාව පහසුවෙන්ම නම්මවාගැනීමේ හැකියාව තිබූ සමාජයේ යම් වැදගත්කමක් ඉසිලූ පිරිසකි. ඔවුන්ගේ අණසක කොතරම් ප්‍රබලව පැතිරී තිබුණාද කිවහොත්, යේසුස්ව මෙසියස් වශයෙන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට පවා ඔවුහු ජනයාව පෙලඹූහ. (මතෙව් 15:1, 2; 16:1; යොහන් 11:47, 48; 12:42, 43) හෙබ්‍රෙව් ලියවිලිවල නම් මෙම ප්‍රබල කණ්ඩායම් දෙක ගැන කිසිදු සඳහනක් නොමැත.

ජොසීෆස් මුල් වරට සද්දුසිවරුන් සහ ඵරිසිවරුන් ගැන සඳහන් කරන්නේ පො.යු.පෙ. දෙවන සියවස ගැන වාර්තා කරන විටය. මෙම වකවානුවේදී බොහෝ යුදෙව්වරුන් හෙලනිස්තිකවාදයේ ග්‍රහණයට හසු වී තිබිණ. එයින් අදහස් වන්නේ යුදෙව් ජනයා ග්‍රීක් සංස්කෘතිය හා දර්ශනවාදය තමන්ගේ සංස්කෘතියට ක්‍රමක්‍රමයෙන් ඈඳාගනිමින් සිටි බවය. සෙලුසිඩ් පාලකයන් යෙරුසලමේ දේවමාළිගාව මංකොල්ල කා, එය සියුස්ට කැප කළ විට හෙලනිස්තිකයන් හා යුදෙව්වන් අතර පැවති නොසන්සුන් වාතාවරණය උත්සන්න විය. හස්මෝනියන්වරුන් වශයෙන් හැඳින්වූ පවුලකට අයත් කාර්යශූර යුදෙව් නායකයෙකු වූ ජූදාස් මකබි කැරැල්ලක් දියත් කළ අතර ග්‍රීකවරුන් යටතේ පැවති දේවමාළිගාව නැවත අත් පත් කරගැනීමට ඔහු සමත් විය. *

මකබිවරුන් තම කැරැල්ල දියත් කර ජයග්‍රහණය අත් කරගැනීමෙන් අනතුරුව ගත වූ වසර කිහිපය තුළදී එකිනෙකට පරස්පර විරෝධී මත දැරූ විවිධ නිකායන් බිහි විය. යුදෙව් ජනතාවගේ වැඩි මනාපය දිනාගැනීම සඳහා මෙම නිකායිකයෝ එකිනෙකාට විරුද්ධව තරඟ වැදුණහ. මෙවැනි ප්‍රවණතාවක් ඇති වූයේ මන්ද? යුදෙව් ධර්මය තුළ මෙතරම් බෙදීම් ඇතිවීමට හේතු වූයේ කුමක්ද? පිළිතුරු සොයාගැනීම සඳහා අපි හස්මෝනියන්වරුන්ගේ ඉතිහාසය කෙටියෙන් සලකා බලමු.

ස්වාධීන වුවත් බෙදුණු දේශයක්

යෙහෝවාගේ මාළිගාවේ නමස්කාරය යළි ස්ථාපිත කිරීමට ජූදාස් මකබි සමත් විය. කෙසේවෙතත්, එයින් සෑහීමට පත් නොවූ ඔහු දේශපාලනයටද නැඹුරු වෙන්න පටන්ගත්තේය. එමනිසා බොහෝ යුදෙව්වරු ඔහුගේ නායකත්වය ප්‍රතික්ෂේප කළහ. අධෛර්යයට පත් නොවූ ජූදාස්, සෙලුසිඩ් පාලකයන්ට විරුද්ධව දිගටම සටන් කළ අතර රෝමය සමඟ ගිවිසුමකටද එළඹුණේය. මෙලෙස, ඔහු යුදය ස්වාධීන ජනපදයක් කරගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරුවේය. සටන් බිමේදී ජූදාස් මිය ගියත්, ඔහුගේ සහෝදරයන් දෙදෙනෙක් වූ ජොනතන් හා සීමොන් එම අරගලය දිගටම ගෙන ගියහ. අරගලයේ මුල් අවධියේදී සෙලුසිඩ් පාලකයන් මකබිවරුන්ට විරුද්ධව දැඩි සටනක නිරත වුවත්, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ ස්ථාවරය ක්‍රමක්‍රමයෙන් බිඳ වැටිණ. අවසානයේදී ඔවුහු හස්මෝනියන් සහෝදරයන්ට යම් තාක් දුරට දේශපාලනික නිදහස ලබා දුන්නෝය.

පූජක පෙළපතකින් පැමිණියත් හස්මෝනියන්වරු කවදාවත් උත්තම පූජක තනතුර හෙබවූයේ නැත. එම තනතුරට සුදුස්සන් වූයේ ශාදොක්ගේ වංශයෙන් පැමිණෙන අය පමණක් බව යුදෙව්වරුන් බොහෝදෙනෙකුගේ මතය විය. ශාදොක්ව උත්තම පූජකයා ලෙස පත් කළේ සාලමොන් රජයි. (1 රාජාවලිය 2:35; එසකියෙල් 43:19) කෙසේවෙතත්, ජොනතන් උපායශීලී ලෙස තම යුධ බලය යොදාගනිමින් තමාව උත්තම පූජකයා ලෙස පත් කරවාගැනීමට සෙලුසිඩ්වරුන්ව පෙලඹෙව්වේය. ජොනතන්ගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදර සීමොන් ඊට වඩා වැඩි යමක් අත් කරගැනීමට සමත් විය. පොදු යුගයට පෙර 140 සැප්තැම්බර් මාසයේදී, යෙරුසලමේ වැදගත් නියෝගයක් පනවනු ලැබූ අතර එය ග්‍රීකවරුන්ගේ සිරිතට අනුව ලෝකඩ පුවරු මත සටහන් කරනු ලැබුවේය. එහි නියෝග කර තිබුණේ මෙලෙසයි. “[ග්‍රීක් සෙලුසිඩ් පාලක වන] දෙමෙත්‍රියස් රජතෙම, තම නායක පූජක නිලයෙහි ඔහු [සීමොන්ව] ස්ථිර කර ඔහු රාජ මිත්‍රයෙකු බවට පත් කොට උසස් ගරු සම්මාන ඔහුට පිරිනැමී ය. . . . විශ්වාස කටයුතු දිවැසිවරයන් පහළ වන තෙක් සීමොන් ජුදෙව්වරුන්ගේ සහ පූජකයන්ගේ අධිපතියා හා නායක පූජක තැන වශයෙන් පිළිගැනීමට එකඟ වී තිබෙන බව ද . . . සැල වී තිබිණ.”—1 මකබිවරු 14:38-41, නව අනුවාදය (ද්විතීය සම්මතයට අයත් ඓතිහාසික ලියවිල්ලකි).

මෙසේ, යුදෙව්වරුන්ගේ පාලකයා සහ උත්තම පූජකයා වීමේ අයිතිය සීමොන්ට පමණක් නොව ඔහුගෙන් පැවතෙන්නන්ටද හිමි විය. තවද විදේශික සෙලුසිඩ් පාලකයන් පමණක් නොව, සීමොන්ගේම රට වැසියන්ගෙන් සමන්විත “ජුදෙව් ජාතිය” එයට ඔවුන්ගේ අනුමැතිය ලබා දුන්හ. මෙම සිද්ධිය යුදෙව් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් විය. ඉතිහාසඥ එමිල් ශූර එය පැහැදිලි කළේ මෙලෙසයි. හස්මෝනියන්වරුන් ස්වාධීන රාජ්‍ය පෙළපතක් ස්ථාපිත කරගත් පසු, “ඔවුන්ගේ එකම අභිලාෂය වූයේ ටෝරා [යුදෙව් ව්‍යවස්ථාව] රැකගැනීම නොව, නමුත් ඔවුන් අතට පත් වූ දේශපාලනික බලය රැකගැනීම සහ එය දිගටම පවත්වාගෙන යෑමයි.” කෙසේවෙතත්, සීමොන් උපායශීලීව කටයුතු කළේය. ඔහු යුදෙව්වන්ව කුපිත කර නොගැනීම සඳහා “රජ” යන තනතුරු නාමය භාවිත නොකරමින් “මහජනයාගේ අධිපතියා” යන අර්ථය ඇති “එත්නාක්” යන නාමය යොදාගත්තේය.

හස්මෝනියන්වරුන් දේශපාලනික මෙන්ම ආගමික බලය තමන් අතට පත් කරගැනීම ගැන සියලුදෙනාම සතුටු වූයේ නැත. කුම්රාන්හි විසූ නිකාය බිහි වූයේ මෙම වකවානුවේදී කියා ඇතැම් විශාරදයෝ විශ්වාස කරති. ශාදොක්ගේ පෙළපතට අයත් පූජකයෙක් හස්මෝනියන්වරුන්ට විරුද්ධව කැරැල්ලක් දියත් කළ බවත්, මෙම කැරලිකරුවන් යෙරුසලමේ සිට කාන්තාරයට පලා ගොස් මළ මුහුද ආසන්නයේ විසූ බවත් සඳහන් වේ. කුම්රාන්හි නිකායිකයන්ගේ ලියවිලිවල “ධර්මිෂ්ඨකමේ ගුරුවරයා” වශයෙන් යොමු දක්වන්නේ මෙම කණ්ඩායම සංවිධානය කළ පූජකයාට බව විශ්වාස කෙරේ. මළ මුහුදේ ලියවිලිවලින් එකක් වන හබක්කුක් පිළිබඳ විවරණයෙහි “මුලදී සත්‍යය වෙනුවෙන් කැඳවනු ලැබූ නමුත් ඉශ්‍රායෙල්ගේ පාලනය තම අතට පත් වූ පසු අහංකාර සිතක් ඇති කරගත් දුෂ්ට [පූජකයෙකුව]” දැඩි ලෙස විවේචනය කර ඇත. මෙම නිකායිකයන් විසින් “දුෂ්ට පූජකයා” වශයෙන් හඳුන්වා ඇති පුද්ගලයා ජොනතන් හෝ සීමොන් විය හැකියි කියා බොහෝ විශාරදයෝ විශ්වාස කරති.

තමාගේ බලය යටතේ තිබූ ප්‍රදේශය තවත් පුළුල් කරගැනීම සඳහා සීමොන් දිගටම යුධ ව්‍යාපාර සංවිධානය කළේය. කෙසේවෙතත්, යෙරිකෝව අසළ පිහිටි ස්ථානයක සීමොන් භෝජන සංග්‍රාහයකට සහභාගි වෙමින් සිටියදී ඔහුගේ බෑනා වූ ටොලමි ඔහුව මෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනෙකුව ඝාතනය කළේය. සීමොන්ට ජොහන් හිර්කැනස් නම් වූ තවත් පුතෙකු සිටි අතර, බලය තම අතට පත් කරගැනීමේ අරමුණින් ටොලමි ඔහුවද ඝාතනය කිරීමට සැලසුම් කළේය. එහෙත්, හිර්කැනස්ට මේ පිළිබඳව යම් හෝඩුවාවක් ලැබුණු හෙයින් ටොලමිගේ උත්සාහය ව්‍යර්ථ විය. හිර්කැනස් තමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගනිමින් හස්මෝනියන්වරුන්ගේ නායකයා මෙන්ම උත්තම පූජකයා බවට පත් විය.

කෲර ලෙස බලය ව්‍යාප්ත කරගැනීම

මුලදී, ජොහන් හිර්කැනස්ට සිරියානු හමුදාවෙන් විශාල තර්ජනයක් එල්ල විය. කෙසේවෙතත්, පො.යු.පෙ. 129දී පාතියන්වරුන් සමඟ කළ තීරණාත්මක සටනකදී සෙලුසිඩ් රාජවංශය අන්ත පරාජයකට ලක් විය. මෙම යුද්ධය සෙලුසිඩ්වරුන්ට බලපෑවේ කෙසේද කියා පැහැදිලි කරමින් යුදෙව් ඉතිහාසඥ මෙනාහෙම් ස්ටර්න් මෙසේ ලීවේය. “රාජධානිය මුළුමනින්ම බිඳවැටුණායයි කිව හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන් යූදා දේශයට පූර්ණ ස්වාධීනත්වය අත් කර දීමට සහ රාජධානිය තවත් ව්‍යාප්ත කරගැනීමට [හිර්කැනස්ට] ප්‍රස්තාව උදා විය.” ඔහු එම ප්‍රස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේය.

සිරියාවේ තර්ජනවලින් නිදහස් වූ හිර්කැනස්, යුදය අවට ප්‍රදේශ ආක්‍රමණය කරමින් ඒවා තම යටත්විජිත බවට පත් කරගත්තේය. ඔහු එම දේශවල වැසියන්ව බලෙන් යුදෙව් ධර්මයට හරවාගත්තේය. තවද මෙම ව්‍යාපාරයට විරුද්ධ වූ ජනයාගේ නගර ඔහු මුළුමනින්ම විනාශ කර දැමුවේය. ඉඩූමියන්වරුන්ට (ඒදොම්වරුන්ට) විරුද්ධව දියත් කළ යුධ ව්‍යාපාරය මෙයට උදාහරණයකි. මෙම ව්‍යාපාරය ගැන අදහස් දක්වමින් ස්ටර්න් මෙසේ පැවසීය. “ඉඩූමියන්වරුන්ව හරවාගැනීම ඉතිහාසයේ පෙර කවරදාකවත් සිදු නොවූ ආකාරයේ එකකි. මන්ද එහිදී එක්කෙනෙකුගේ දෙදෙනෙකුගේ පමණක් නොව මුළු ජාතියකගේම ආගම වෙනස් වූ නිසාය.” හිර්කැනස් සමාරියද යටත් කරගත්තේය. ඔහු ගෙරිසීම් කන්දේ පිහිටි සමාරිය දේවමාළිගාව මුළුමනින්ම විනාශ කළේය. හස්මෝනියන්වරු මෙලෙස තම යටත්වැසියන්ව යුදෙව් ධර්මයට බලෙන් හරවාගැනීම කොතරම් උපහාසාත්මක ක්‍රියාවක්ද යන්න පැහැදිලි කරමින් ඉතිහාසඥ සොලමන් ග්‍රේසෙල් මෙසේ පැවසීය. “මතතියස් [ජූදාස් මකබිගේ පියා] ඉතා ගෞරවාන්විත ලෙස ආගමික නිදහස වෙනුවෙන් සටන් කළේය. එහෙත් ඔහුගේම මුනුබුරා එම ප්‍රතිපත්තිය උල්ලංගනය කළේය.”

ඵරිසිවරුන්ගේ හා සද්දුසිවරුන්ගේ අවතීර්ණ වීම

ඵරිසිවරුන් හා සද්දුසිවරුන් යුදෙව් සමාජය මත වැඩි වැඩියෙන් බලපෑම් කිරීමට පටන්ගත් ආකාරය ගැන ජොසීෆස් මුල්ම වරට සඳහන් කරන්නේ හිර්කැනස්ගේ පාලනය පිළිබඳව වාර්තා කරන විටයි. (ජොනතන්ගේ පාලන සමයේදී විසූ ඵරිසිවරුන් ගැන ජොසීෆස් කලින් සඳහන් කර තිබිණ.) මෙම නිකායන් දෙක බිහි වූයේ කෙසේද කියා ඔහු පැහැදිලි නොකරයි. ඇතැම් විශාරදයන් සිතන්නේ ඔවුන් මුලදී, ව්‍යවස්ථාවට ඉතා තදින් ඇලී සිටි හැසිඩිම්වරුන්ගේ නිකායට අයත්ව සිටි බවයි. හැසිඩිම්වරු ආගමික නිදහස ස්ථාපිත කිරීම සඳහා ජූදාස් මකබිට සහයෝගය දුන්නත්, ඔහු දේශපාලනයට නැඹුරු වූ විට ඔහුව අත්හැර ගියහ.

ඵරිසිවරුන් යන හෙබ්‍රෙව් නාමයෙහි “වෙන් වූ අය” යන අර්ථය ගැබ් වී තිබේ. ඒත් ඇතමෙකු සිතන්නේ, එය “අර්ථය තෝරා දෙන්නන්” යන වචනයට සමානකමක් දක්වනවා කියාය. ඵරිසිවරුන් විශේෂ පෙළපතකින් පැමිණි අය නොවේ. ඔවුහු සාමාන්‍ය ජනයා අතරේ සිටි උගතුන් වූහ. චාරිත්‍රානුකූල අපවිත්‍රකම් කෙරෙන් වැළකී සිටීමට වගබලා ගත් ඔවුහු ශුද්ධකම රැකගැනීම ගැන විශේෂ සැලකිල්ලක් දැක්වූ දර්ශනයකට අනුව ජීවත් වූහ. මෙසේ, ඔවුහු ශුද්ධකම රැකගැනීම සඳහා දේවමාළිගාවේ පූජකයන්ට අදාළ වූ නීති එදිනෙදා ජීවිතයේ පොදු කාරණාවලදීත් අදාළ කරගත්හ. සාමාන්‍ය ජනයාටත් ශුද්ධ වූ තත්වයකට පත් විය හැකි බව ඔවුන්ගේ මතය විය. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් ශුද්ධ ලියවිලි අලුත් ආකාරයකට අර්ථකථනය කිරීමට පටන්ගත් අතර එම පැහැදිලි කිරීම් පසු කලෙක වාචික ව්‍යවස්ථාව ලෙස හැඳින්වීමට පටන්ගත්තේය. සීමොන්ගේ පාලන සමයේදී ඵරිසිවරුන් කිහිපදෙනෙකුට, පසු කලෙක සැන්හීඩ්‍රින් යන්නෙන් හැඳින්වූ ගෙරූසියා සභාවේ (වැඩිමහල්ලන්ගේ සභාවේ) සාමාජිකයන් වීමට ප්‍රස්තාවක් ලැබිණ. මෙනිසා පොදු ජනයා කෙරෙහි වඩාත් ප්‍රබල බලපෑමක් ඇති කරන්න ඔවුන්ට පුළුවන් විය.

ජොසීෆස් පවසන ආකාරයට, ජොහන් හිර්කැනස් මුලදී ඵරිසිවරුන්ගේ ශිෂ්‍යයෙක් සහ අනුගාමිකයෙක් විය. කෙසේවෙතත්, හිර්කැනස් උත්තම පූජක තනතුර අත් නොහැරිය නිසා ඵරිසිවරු ඔහුට තරවටු කළ බව සඳහන් වේ. හිර්කැනස්ගේ ප්‍රතිචාරය කුමක් වූවාද? ඔහු ඔවුන් සමඟ තිබූ සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම නතර කළ අතර ඵරිසිවරුන්ගේ ආගමික පිළිවෙත් නීති විරෝධී බව ප්‍රකාශයට පත් කළේය. පසුව ඔහු ඵරිසිවරුන්ගේ ආගමික එදිරිවාදීන් වූ සද්දුසිවරුන් සමඟ එක් විය.

සද්දුසිවරුන් පැමිණියේ උත්තම පූජක ශාදොක්ගේ පෙළපතින් කියා බොහෝදුරට විශ්වාස කෙරේ. ශාදොක්ගෙන් පැවතෙන්නෝ සාලමොන්ගේ කාලයේ සිටම මෙම පූජක තනතුර දැරූහ. කෙසේවෙතත්, සද්දුසිවරුන් සියලුදෙනාම පැමිණියේ ශාදොක්ගේ පෙළපතින් නොවේ. ඔවුන් රටේ ධනවත් මෙන්ම වංශවත් පවුල්වලට අයත් වූ, සාමාන්‍ය ජනතාවගේ අනුමැතිය නොලද සෙනඟක් බව ජොසීෆස් වාර්තා කරයි. ‘ඔවුන්ගෙන් බහුතරයක්ම පූජකයන් වූහ. ඇතමෙකු උත්තම පූජකයන්ගේ පවුල් සාමාජිකයන් සමඟ විවාහ වූ අයයි’ කියා මහාචාර්ය ෂිෆ්මන් පවසයි. මින් පැහැදිලි වන්නේ ඔවුන් බලගතු පුද්ගලයන් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වූ බවය. ඵරිසිවරුන් වඩ වඩා ප්‍රසිද්ධියට පත්වීම මෙන්ම පොදු ජනයාව පූජකයන් හා සමාන තත්වයකට පත් කිරීමට ඔවුන් දැරූ උත්සාහය සද්දුසිවරුන් සැලකුවේ තමන්ගේ අධිකාරියට එල්ල වූ තර්ජනයක් ලෙසයි. කෙසේවෙතත්, හිර්කැනස්ගේ පාලන සමයේ අවසාන අදියර වන විට තම බලය නැවතත් තහවුරු කරගැනීමට සද්දුසිවරුන්ට හැකි විය.

භක්තිවන්තකම වෙනුවට දේශපාලනය

හිර්කැනස්ට පසුව ඔහුගේ වැඩිමහල් පුත් ඇරිස්ටොබූලස් අවුරුද්දක් පාලනය කර මිය ගියේය. ඔහුද ඉටූරිවරුන්ව බලෙන් යුදෙව් ධර්මයට හරවාගැනීමේ ව්‍යාපාරය දිගටම ගෙන ගිය අතර උතුරු ගලීලය හස්මෝනියන් ආධිපත්‍යය යටතටද ගෙනාවේය. එහෙත් හස්මෝනියන් රාජවංශය වඩාත්ම බලවත් වූයේ පො.යු.පෙ. 103 සිට 76 දක්වා පැවති තම බාල සහෝදර ඇලෙක්සැන්ඩර් ජැන්නස්ගේ පාලන සමයේදීය.

කලින් අනුගමනය කර තිබූ ප්‍රතිපත්ති නොසලකා හරිමින් ඇලෙක්සැන්ඩර් ජැන්නස් කිසිදු පැකිලීමකින් තොරව තමා උත්තම පූජකයා හා රජුයයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව හස්මෝනියන්වරුන් හා ඵරිසිවරුන් අතර තිබූ අරගලය තවත් උග්‍ර වූ අතර එය සිවිල් යුද්ධයකට පවා මඟ පෑදුවේය. මෙම යුද්ධයෙන් යුදෙව්වරු 50,000ක් මිය ගියහ. කැරැල්ල මැඩපැවැත්වීමෙන් අනතුරුව මිථ්‍යාදෘෂ්ටික පාලකයන් හා සමානව කැරලිකරුවන් 800දෙනෙකුව ජැන්නස් වධ කනුවල එල්ලා මරා දැමීය. මෙම කැරලිකරුවන් ජීවිතයේ අවසාන හුස්ම හෙළන මොහොතේදී ඔවුන්ගේ ඇස් පනාපිටම ඔවුන්ගේ භාර්යාවන්ව හා දරුවන්ව ඝාතනය කළා පමණක් නොව, ජැන්නස් ඔවුන් ඉදිරියේ තම උපභාර්යාවන් සමඟ කා බී විනෝද වෙමින් සිටියේය. *

ඵරිසිවරුන් හා ජැන්නස් අතර නොහොඳ නෝක්කඩු වීම් පැවතියත් දක්ෂ දේශපාලනඥයෙක් වූ ජැන්නස් ඔවුන් සමඟ උපායශීලී ලෙස කටයුතු කළේය. ඵරිසිවරුන්ට මහජනයාගේ ප්‍රසාදය හිමි වී තිබූ බව ඔහු දැන සිටියේය. එබැවින් ජැන්නස් මරණාසන්නව සිටියදී තම බිරිඳ වූ සැලෝමි ඇලෙක්සැන්ඩ්‍රාගෙන් ඉල්ලා සිටියේ ඵරිසිවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසයි. ඇත්තෙන්ම ජැන්නස් ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් තම පුත්‍රයෙකු වෙනුවට තෝරාගත්තේ තම බිරිඳවයි. ඇය ඉතා දක්ෂ පාලිකාවක් වූ අතර, ඇය පාලනය කළ වකවානුව හස්මෝනියන් පාලන සමයේ (පො.යු.පෙ. 76-67) වඩාත්ම සාමකාමී යුගය වශයෙන් නම් කළ හැක. සමාජයේ තමන් කලින් ඉසිලූ නිලතල ඵරිසිවරුන්ට නැවතත් හිමි වූ අතර ඔවුන්ට විරුද්ධව පනවා තිබූ නීතිය අහෝසි කරනු ලැබීය.

සැලෝමි මිය යද්දී උත්තම පූජකයන් වශයෙන් සේවය කර තිබූ ඇගේ පුතුන් දෙදෙනෙකු වූ IIවන හිර්කැනස් සහ IIවන ඇරිස්ටොබූලස් අතර බල අරගලයක් ඇති විය. තම මුතුන්මිත්තන්ට දේශපාලනික හා හමුදාමය අතින් තිබූ දූරදර්ශීභාවය මොවුන් දෙදෙනාට නොතිබිණ. තවද, සෙලුසිඩ් රාජවංශය බිඳවැටීමත් සමඟම තමන් අවට රෝම ආධිපත්‍යය ක්‍රමක්‍රමයෙන් වැඩි වන බව ඔවුන්ට අවබෝධ නොවීය. පොදු යුගයට පෙර 63දී, මෙම සහෝදරයන් දෙදෙනා තමන් අතර පැවති අරගලය නිරාකරණය කරගැනීමට දමස්කයේ සිටි රෝම පාලක පොම්පේගෙන් උපකාර පැතූහ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පොම්පේ එම වසරේදීම තම හමුදාව සමඟ යෙරුසලමට ඇතුල් වී එය යටත් කරගත්තේය. හස්මෝනියන් රාජධානියේ අභාවය සනිටුහන් කළේ එම සිද්ධියයි. පොදු යුගයට පෙර 37දී, ඉඩූමියන් රජෙක් වූ මහා හෙරොද් යෙරුසලම අත් පත් කරගත් අතර රෝම සෙනට් සභාව ඔහුව “යුදයේ රජ මෙන්ම රෝමයේ මිත්‍ර පාක්ෂිකයෙක් හා රෝම ජනතාවගේ හිතවතා” යනුවෙන් නම් කළේය. හස්මෝනියන් රාජධානිය අවසන් හුස්ම හෙළුවේය.

හස්මෝනියන් දායාදය

ජූදාස් මකබිගේ සිට IIවන ඇරිස්ටොබූලස් දක්වා වූ හස්මෝනියන්වරුන්ගේ පාලන සමය තුළදී, යේසුස් මිහිපිට සිටි කාලයේ යුදෙව්වන් අතර පැවති ආගමික වශයෙන් බෙදුණු වාතාවරණයට වේදිකාව සැකසුණි. හස්මෝනියන්වරු මුලදී දෙවිගේ නමස්කාරය සඳහා දැඩි ජ්වලිතයක් පෙන්වුවත්, පසුව දෙවිගේ නමස්කාරය ඔවුන්ගේ දසුනෙන් බොඳ වී ගිය අතර ඔවුන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් ඒ තැන හිමි කරගත්තේය. එතැන් පටන් ඔවුහු මොනයම් ක්‍රමයකින් හෝ තම ඉලක්ක ඉටු කරගැනීමට මාන බැලූහ. දෙවිගේ ව්‍යවස්ථාවට ඇලී සිටීමට ජනයාව දිරිගැන්වීම මඟින් එක්සත් ජාතියක් බිහි කිරීමට පූජකයන්ට හැකියාව තිබුණත්, ඔවුන් කළේ දේශපාලනික ගැටුම් සමුදායකට ජනයාව හවුල් කරගැනීමයි. මෙම වාතාවරණය, පරස්පර විරෝධී ආගමික මතභේද ගණනාවක් බිහිවීමට තුඩු දුන්නේය. හස්මෝනියන්වරුන්ගේ පාලනය අවසන් වූ අතර යුදෙව්වන් රෝම පාලක හෙරොද් යටතට පත් විය. සද්දුසිවරුන්, ඵරිසිවරුන් හා වෙනත් ආගමික කණ්ඩායම් තමන්ගේ ආධිපත්‍යය තහවුරු කරගැනීමට දිගටම සටන් වැදුණහ.

[පාදසටහන්වල]

^ 4 ඡේ. 1998, නොවැම්බර් 15 මුරටැඹ කලාපයෙහි පළ වූ “මකබිවරුන් කවුරුන් වූවාද?” යන ලිපිය බලන්න.

^ 22 ඡේ. මළ මුහුදේ ලියවිලිවලින් එකක් වන “නාහුම් පිළිබඳව විවරණයක්” නමැති කෘතියෙහි “මිනිසුන්ව පණ පිටින් එල්ලා මැරූ නපුරු සිංහයා” ගැන සඳහන් කරන අතර එය ඉහත දැක්වෙන සිද්ධියට යොමු දැක්වීමක් විය හැකිය.

[30වන පිටුවේ වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

හස්මෝනියන් රාජවංශය

ජූදාස් මකබි ජොනතන් මකබි සීමොන් මකබි

ජොහන් හිර්කැනස්

↓ ↓

සැලෝමි ඇලෙක්සැන්ඩ්‍රාගේ — විවාහක පුරුෂයා — ඇලෙක්සැන්ඩර් ජැන්නස් ඇරිස්ටොබූලස්

↓ ↓

IIවන හිර්කැනස් IIවන ඇරිස්ටොබූලස්

[27වන පිටුවේ පින්තූරය]

ජූදාස් මකබි සටන් වැදුණේ යුදයට ස්වාධීනත්වයක් අත් කර දීම සඳහායි

[හිමිකම් විස්තර]

The Doré Bible Illustrations/​Dover Publications, Inc.

[29වන පිටුවේ පින්තූරය]

හස්මෝනියන්වරුන් සටන් වැදුණේ යුදෙව් නොවන නගර යටත් කරගැනීමටයි

[හිමිකම් විස්තර]

The Doré Bible Illustrations/​Dover Publications, Inc.