Skip to content

පටුනට යන්න

කලට සුදුසු ඔවදන්වලින් යෞවන අයට උපකාර කිරීම

කලට සුදුසු ඔවදන්වලින් යෞවන අයට උපකාර කිරීම

සම්පූර්ණවද, ස්ථිරවිශ්වාසයෙන්ද සිටින්න

කලට සුදුසු ඔවදන්වලින් යෞවන අයට උපකාර කිරීම

එපප්‍රස් පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානියෙකි. ඔහු යම් යහපත් කටයුත්තක් සඳහා රෝමයට ගියත් ඔහුගේ සිත කුඩා ආසියාවේ නගරයක් වූ කොලොස්සියේ නතර විය. ඔහු කොලොස්සියේ ශුභාරංචිය දේශනා කර තිබූ අතර එහි සිටි සමහරදෙනෙකුට යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීමටද උපකාර කර තිබුණි. (කොලොස්සි 1:7) ඇත්තෙන්ම එපප්‍රස් කොලොස්සියේ සිටි සෙසු ඇදහිලිවන්තයන් ගැන අවංක සැලකිල්ලක් දැක්වීය. ඒ පිළිබඳව ප්‍රේරිත පාවුල් රෝමයේ සිට එම සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ ලිවීය. “එපප්‍රස් නුඹලාට ආචාර කරන්නේය. සම්පූර්ණවද, දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්ද සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යය කරන්නේය.”—කොලොස්සි 4:12, NW.

ඒ හා සමානව වර්තමානයේ ක්‍රිස්තියානි මවුවරු සහ පියවරු තම දරුවන්ගේ ආත්මික ශුභසිද්ධිය සඳහා මහත් ඕනෑකමකින් යාච්ඤා කරති. තම දරුවන් ඇදහිල්ලේ ස්ථිරව සිටීම සඳහා ඔවුන්ගේ හදවත් තුළ දෙවි සඳහා ප්‍රේමයක් ඇති කිරීමට මෙම දෙමාපියෝ වෙහෙසෙති.

බොහෝ යෞවනයන් පාසැලේදි හෝ වෙනයම් තැනකදී හෝ තමන්ට එල්ල වන අභියෝගයන්ට මුහුණ දීම සඳහා උපකාරය ඉල්ලා සිටියි. එක් 15වන වියේ පසු වන දැරියක් මෙසේ පැවසුවාය. “අපිට තියෙන ප්‍රශ්න දවසින් දවස වැඩි වෙනවා. ජීවිතය ගැන හිතනකොටත් භයයි. අපිට උපකාරය අවශ්‍යයි!” එවැනි යෞවන අයගේ ඉල්ලීම්වලට සහ දේවභයැති දෙමාපියන්ගේ යාච්ඤාවලට පිළිතුරු ලැබී තිබේද? ඇත්තෙන්ම ලැබී තිබේ. බයිබලය මත පදනම් වූ උපදෙස් තම “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් යෙහෝවා දෙවි ඔවුන්ට සපයයි. (මතෙව් 24:45) මෙම ලිපියෙහි සඳහන් ආකාරයට යෞවන යෞවනියන් දහස් ගණනකට ‘සම්පූර්ණවද, ස්ථිර විශ්වාසයෙන්ද’ සිටීම සඳහා පොත් පත් මගින් අවශ්‍ය උපකාරය සපයා දී ඇත. අපි දැන් එම ප්‍රකාශන කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමු.

‘බලන්න . . . අලුත් රාජ්‍ය ප්‍රචාරකයන් 15,000ක්!’

වර්ෂ 1941 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදයේ මිසූරිවල ශාන්ත ලුවී නගරයට 1,15,000දෙනෙක් එක්රැස් වූහ. ඔවුන් එසේ එක්රැස් වූයේ, එම කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පැවැත්වූ විශාලතම සමුළුවට සහභාගි වීම සඳහාය. එම සමුළුවේ අවසන් දිනය “දරුවන්ගේ දිනය” විය. සහෝදර ජෝසෆ් එෆ්. රදෆ’ඩ් විසින් ඉදිරිපත් කළ “රජුගේ දරුවෝ” යන මාතෘකාවෙන් යුත් කතාවට ඇහුම්කන් දීම සඳහා දරුවන් 15,000ක් පමණ වේදිකාව අසල අසුන්ගෙන සිටියහ. කතාව අවසන් කිරීමට පෙර 71වන වියේ පසු වූ සහෝදර රදෆ’ඩ් පියෙකු මෙන් දරුවන්ගෙන් මෙසේ ඇසීය:

“දරුවෙනි, ඔබ දෙවිට සහ ඔහුගේ රජුට කීකරු වීමට කැමති නම් කරුණාකර නැඟිටින්න.” ළමයි සියලුදෙනාම එකා මෙන් නැඟී සිටියහ. සහෝදර රදෆ’ඩ් මහත් හඬින් මෙසේ පැවසීය. “බලන්න, අලුත් රාජ්‍ය ප්‍රකාශකයන් 15,000කට වඩා වැඩි සංඛ්‍යාවක් එකතු වී සිටිනවා!” එවිට, ඇහුම්කන් දෙමින් සිටි සියල්ලෝ කන් අඩි පැළෙන තරම් මහත් හඬින් අත්පොළසන් දුන්නෝය. ඉන්පසු කථිකයා මෙසේ ඉල්ලා සිටියේය. “දෙවිගේ රාජ්‍යය ගැන අන් අයට පැවසීම සඳහා ඔබේ උපරිමය කිරීමට කැමති සියලුදෙනාම ‘එසේය’ කියා පවසන්න.” ළමයින් මහත් හඬින් “එසේය!” කියා පවසමින් ඊට ප්‍රතිචාරය දැක්වීය. පසුව ඔහු නව මුදාහැරීමක් වූ දරුවන් (සිංහලෙන් පළ වී නොමැත) නමැති පොත ඉදිරිපත් කළ විට දීර්ඝ අත්පොළසන් හඬක් පැවතුණි.

හද දනවන මෙම කතාවෙන් පසු වේදිකාව වෙතට පෙළින් පෙළට පැමිණි යෞවන යෞවනියන් සහෝදර රදෆ’ඩ්ගෙන් එම පොතේ පිටපතක් ත්‍යාගයක් වශයෙන් ලබාගත්තේය. එම දර්ශනය දුටු අයගේ දෙනෙත් කඳුළෙන් තෙත් විය. මෙය ඇසින් දුටුවෙක් ඒ ගැන මෙසේ පැවසුවේය. “යෞවන යෞවනියන් තමන්ගේ දෙවි, යෙහෝවා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබද්දී හදවත සතුටින් ඉපිල නොයා තිබෙන්නේ හදවත ගලක් නම් පමණයි.”

මතකයෙන් ගිලිහී නොයන එම සමුළුවේදී යෞවනයන් 1,300දෙනෙක් යෙහෝවා දෙවිට වූ තම කැපවීම බව්තීස්මයෙන් සංකේතවත් කළෝය. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් අදදින දක්වා ඇදහිල්ලේ ස්ථිරව සිටිති. ඒ අය අතුරින් සමහරෙකු තම සභාවලට උපකාරය පිරිනමමින්ද, තවත් සමහරෙකු ස්වේච්ඡා බෙතෙල් සේවකයන් ලෙස හෝ විදේශ රටවල මිෂනාරීන් ලෙසද සේවය කරමින් සිටියි. ඇත්තෙන්ම, එම දරුවන් නමැති පොතත් ‘දරුවන්ගේ දිනයත්’ බොහෝ යෞවනයන්ගේ හදවත් තුළ ඇති කළේ නොමැකෙන සටහනකි!

“ඒවා එන්නේ නියම වෙලාවට”

යෞවනයන් දහස් ගණනකගේ සිත්ගත් තවත් පොත් තුනක් 1970 ගණන්වලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි. එම පොත් තුන නම්, උතුම් ගුරුවරයාට සවන් දෙන්න, ඔබේ යෞවනය—ඉන් උපරිමය නෙළාගන්න (මෙම පොත් දෙක සිංහලෙන් පළ වී නොමැත) සහ මගේ බයිබල් කතන්දර පොතයි. වර්ෂ 1982දී “යෞවන අය අසති . . .” නමැති ලිපි මාලාව පිබිදෙව්! සඟරාවේ පළවීමට පටන්ගත්තේය. මෙම ලිපි බාල මහලු කාගෙත් ප්‍රශංසාවට ලක් විය. “එම ලිපි ප්‍රකාශයට පත් කිරීම ගැන මම හැම රැයකම යෙහෝවාට ස්තුති කරනවා” කියා 14 හැවිරිදි යෞවනයෙක් පැවසුවේය. තවත් 13 හැවිරිදි යෞවනියක් ඒ ගැන පැවසුවේ මෙසේයි. “මම ඒ ලිපිවලට හුඟාක් කැමතියි. ඒවා එන්නේ නියම වෙලාවට.” මෙම ලිපි කලට සුදුසු උපදෙස් සපයන බවත් ප්‍රයෝජනදායක බවත් දෙමාපියෝ සහ පත් කරන ලද ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ පිළිගනිති.

වර්ෂ 1989 වන විට “යෞවන අය අසති . . .” ලිපි 200ක් පිබිදෙව්! සඟරාවල පළ වී තිබුණි. එම වසරේ “දේව භක්තිය” නමැති දිස්ත්‍රික් සමුළුවේදී යෞවන අය අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන ප්‍රකාශනය මුදාහැරීය. (මෙම පොත සිංහලෙන් මුදාහැරියේ 1993දීය.) එම පොත යෞවනයන්ට තම ඇදහිල්ලේ ස්ථිරව සිටීමට උපකාරවත් වීද? ඒ පිළිබඳව යෞවනයන් තුන්දෙනෙකු මෙසේ අදහස් දැක්වීය. “අපේ ප්‍රශ්න තේරුම්ගන්නත් ඒවා සමඟ කටයුතු කරන්නත් මේ පොත අපිට පිටිවහලක් වෙලා තියෙනවා. අපේ යහපත වෙනුවෙන් සැලකිලිමත් වීම ගැන ඔබට ස්තුතියි.” ලෝ වටා සිටින යෞවනයන් බොහෝදෙනෙකුද මොවුන් සමඟ එකඟ වන බවට නිසැකයි.

“එය අපේ බඩගින්න නිව්වා”

වර්ෂ 1999දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් යෞවනයන් සඳහා තවත් කාලෝචිත උපදෙස් සැපයීමට යෞවන අය අසති—මම නියම මිතුරන් ඇති කරගන්නේ කෙසේද? (සිංහලෙන් පටිගත කර නොමැත) යන වීඩියෝ පටිය නිෂ්පාදනය කළේය. එම වීඩියෝ පටියට හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. “ඒක කෙළින්ම මගේ හිතට වැදුණා” කියා මෙම වීඩියෝ පටිය පිළිබඳව අදහස් දක්වමින් 14 හැවිරිදි යෞවනියක් පැවසුවාය. “මෙම වීඩියෝ පටිය අපේ අධ්‍යයනයේදී නිතර නිතර භාවිතා කරන්න පුළුවන්” කියා තනිකඩ මවක් පැවසුවාය. “අපේ හොඳම මිත්‍රයා වන යෙහෝවා ඔහුගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ සිටින යෞවනයන්ට ප්‍රේම කරන බවත් ඔවුන්ව රැකබලා ගන්න බවත් දැනගන්න ලැබීම හිතට සතුටක්” කියා විවාහක තරුණියක් පැවසුවාය.

වීඩියෝ පටිය මගින් ලැබුණ ප්‍රයෝජන පිළිබඳව යෞවනයන් මෙසේ තම අදහස් දක්වයි. “එය මට උපකාර කළා මගේ ආශ්‍රිතයන් ගැන කල්පනාකාරි වෙන්න. ඒ වගේම සභාව තුළ මගේ ආශ්‍රය පුළුල් කරන්නත් යෙහෝවාව මගේ හොඳම මිතුරා කරගන්නත් ඒ තුළින් මට උපකාර ලැබුණා.” “මගේ මිතුරන් ඉදිරියෙහි මගේ ස්ථාවරය රැකගන්න එම වීඩියෝ පටිය මට උපකාර කළා.” “පුළුවන් උපරිමයෙන් යෙහෝවාට සේවය කිරීමට තිබෙන මගේ අධිෂ්ඨානය එයින් තව තවත් ශක්තිමත් වුණා.” විවාහක යුවළක් මෙසේ පැවසූහ. “මේ වගේ ‘ආහාර’ දීම ගැන අපි හදවතින් ස්තුති කරනවා. එය අපේ බඩගින්න නිව්වා.”

දෙවි දුන් පැවරුමට එකඟව “විශ්වාසවූ නුවණ ඇති දාසයා” කාලයට ඔබින ආත්මික ආහාර ඒවා පිළිගන්න කැමති අයට ලබා දෙයි. එම ආත්මික උපදෙස් යෞවනයන්ට ‘සම්පූර්ණවද, දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්ද සිටින්න’ උපකාර කරන ආකාරය දකින්න ලැබීම මොනතරම් සතුටක්ද!