Skip to content

පටුනට යන්න

සත්‍ය නමස්කාරය මිනිසුන්ව එක්සත් කරයි

සත්‍ය නමස්කාරය මිනිසුන්ව එක්සත් කරයි

සත්‍ය නමස්කාරය මිනිසුන්ව එක්සත් කරයි

සමස්තයක් වශයෙන් බලද්දී මිනිසුන්ව බෙදීමට ආගම නැඹුරු වී තිබුණත්, එකම සැබෑ දෙවිට කරන නමස්කාරයට මිනිසුන්ව එක්සත් කිරීමට බලයක් තිබෙනවා. ඉශ්‍රායෙල් ජාතිය දේවජනතාව වී සිටි වකවානුවේ, අන්‍ය ජාතිකයන් අතර සිටි අවංක අය බොහෝදෙනෙක් සත්‍ය නමස්කාරයට ආකර්ෂණය වුණා. උදාහරණයක් වශයෙන්, මෝවබීය ජාතියට අයත් දෙවිවරුන්ව අත්හළ රූත් නායොමිට කීවේ, ‘නුඹේ සෙනග මාගේ සෙනග වන්නේය, නුඹේ දෙවි මාගේ දෙවි වන්නේය’ කියායි. (රූත් 1:16) පොදු යුගයේ පළමු සියවස වන විට, අන්‍ය ජාතීන්ගෙන් විශාල සංඛ්‍යාවක් සැබෑ දෙවිට නමස්කාර කරන්ට පටන්ගෙන තිබුණා. (ක්‍රියා 13:48; 17:4) පසුව යේසුස්ගේ ප්‍රේරිතයන් ඈත එපිට දේශවල ඇවිදිමින් ශුභාරංචිය දේශනා කළ විට, තවත් අවංක ජනයා සැබෑ දෙවිගේ නමස්කාරය තුළ එක්සත් වුණා. ‘ඔවුන් ජීවමාන වූ සත්‍යය වූ දෙවිට සේවය කරන පිණිස . . . දේවතා වන්දනාවෙන් දෙවි වෙතට හැරුණු අන්දම ගැන’ ප්‍රේරිත පාවුල් ලිව්වා. (1 තෙසලෝනික 1:9, නව අනුවාදය) සැබෑ දෙවිට කරන නමස්කාරයට මිනිසුන්ව එක්සත් කිරීමේ එවන් බලයක් අදත් තිබෙනවාද?

“සැබෑ නමස්කාරකයන්” හෝ “සැබෑ දෙවියන්” කියා කතා කිරීම වැරදිය යන මතයක විවේචකයන් තදින් එල්බගෙන සිටිනවා. ඔවුන්ට එහෙම හැඟෙන්නේ සත්‍යය ඉගෙනගත හැකි යම් උල්පතක් තිබෙන බව ඔවුන් නොදන්න නිසා වන්ට පුළුවන්. එහෙත්, විවිධ පසුබිම්වල සිටින සත්‍ය සොයන්නන් වටහාගෙන තිබෙන කාරණයක් තමයි, නමස්කාරය කියන දේ තමන්ගේ පෞද්ගලික මනාපයට කළ හැකි දෙයක් නොවන බව. අපේ නමස්කාරය ලබන්ට වටින එකම තැනැත්තා සියලු දේ මැවූ යෙහෝවා දෙවිය. (එළිදරව් 4:11) ඔහු සැබෑ දෙවිය. තමාට නමස්කාර කළ යුතු ආකාරය තීරණය කිරීමට අයිතිය තිබෙන්නේ ඔහුට පමණයි.

යෙහෝවා තම වචනය වන බයිබලය මගින් අපෙන් බලාපොරොත්තු වන දේ ගැන අපට දැනුම් දී තිබෙනවා. අද ලෝකයේ වෙසෙන සෑම කෙනෙකුටම පාහේ සම්පූර්ණ බයිබලයම හෝ එහි කොටසක්වත් ලබාගන්ට පිළිවන්. දෙවිගේ පුත්‍රයා පැවසුවේ, “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, . . . නුඹලා සැබෑව දැනගන්නවා ඇත” කියායි. (යොහන් 8:31, 32) එබැවින්, සත්‍යය යනු දැනගත හැකි දෙයක්. ඒ වගේම, විවිධ ආගමික පසුබිම්වල සිටින මිලියන සංඛ්‍යාත මිනිසුන් මහත් ධෛර්යයකින් යුතුව මෙම සත්‍යය වැලඳගෙන සැබෑ නමස්කාරය තුළ එක්සත් වී සිටිනවා.—මතෙව් 28:19, 20; එළිදරව් 7:9, 10.

අදදින ලෝක ව්‍යාප්ත එක්සත්කම!

විවිධ පසුබිම්වලට අයත් ජනයාව එකට එක්සත් කිරීමක් ගැන බයිබලයේ ශෙපනියා නමැති පොතේ කැපීපෙනෙන අනාවැකියක කියැවෙනවා. ‘එකල සියලු ජනයන් යෙහෝවාගේ නාමයට යාච්ඤා කොට [උරෙන් උර ගැටී, NW] එක්සිත්ව ඔහුට සේවය කරන පිණිස, [යෙහෝවා දෙවි වන මම] ඔවුන්ට පවිත්‍ර භාෂාවක් දෙන්නෙමි.’ (ශෙපනියා 3:9) මුළුමනින්ම වෙනස් වූ මිනිසුන් එකට එකතු වී එක්සත්කමින් දෙවිට සේවය කිරීම සම්බන්ධයෙන් මොනතරම් අලංකාර චිත්‍රයක්ද එය!

මෙය ඉටුවීමට තිබුණේ කවදාද? ශෙපනියා 3:8හි කියන්නේ මෙයයි. “එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලා සිටින්නැයි [යෙහෝවා කියයි]. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතුකොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය; එසේය, මාගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශවන්නේය.” ඔව්, යෙහෝවා ජාතීන්ව එකතු කරන කාලයේදී, එනම් තම ඇවිළෙන උදහස වැගිරවීමට පෙරාතුව, පොළොවේ වෙසෙන මොළොක් ගුණැත්තන්ට වෙනස් වීමට මඟ පාදන නිර්මල භාෂාවක් දෙනවා. එය සිදු වන කාලය දැනුයි. ඒ මන්දයත්, අර්මගෙදොන්හි සර්වබලධාරි දෙවිගේ මහත් දවසේ යුද්ධයට සියලු ජාතීන්ව එකතු කිරීම දැන් සිදු වෙමින් පවතින නිසායි.—එළිදරව් 16:14, 16.

යෙහෝවා නිර්මල භාෂාවක් තම සෙනඟට දෙන්නේ ඔවුන්ව එක්සත් කිරීමටයි. දෙවි සහ දේව අරමුණ සම්බන්ධ බයිබල් සත්‍යය පිළිබඳ නිසි අවබෝධයක් මෙම භාෂාවට ඇතුළත් වෙනවා. නිර්මල නමස්කාරයට ඇතුළත් වන දේවල් තමයි, සත්‍යය විශ්වාස කිරීම, එය අන්‍යයන්ට ඉගැන්වීම මෙන්ම දේව නීති සහ ප්‍රතිපත්ති අනුව ජීවත් වීම. මිනිසුන් අතර බෙදීම් ඇති කිරීමට පාදක වන මේ ලෝකයේ සුලභව දකින්ට තිබෙන ජාතිවාදය සහ වාර්ගිකවාදය වැනි ආත්මාර්ථකාමී ආකල්ප හදවත්වලින් මුලිනුපුටා දැමීම වගේම දේශපාලන මතිමතාන්තරවලින් වැළකී සිටීම මීට අයත් වෙනවා. (යොහන් 17:14; ක්‍රියා 10:34, 35) සත්‍යයට ඇලුම් කරන ඕනෑම කෙනෙකුට මේ භාෂාව ඉගෙනගන්න පුළුවන්. කලෙක ආගමික වශයෙන් බෙදී සිටියත්, දැන් එක්සත්ව එකම සැබෑ දෙවිට නමස්කාර කරන, ඉහත ලිපියේ සඳහන් වූ පුද්ගලයන් පස්දෙනා ගැන සලකා බලන්න.

ඔවුන් සැබෑ නමස්කාරය තුළ එක්සත්ව සිටිනවා

භක්තිමත් කතෝලික කාන්තාවක්ව සිටි ෆිඩෙලියා තම දියණියගේ පාසැල් අධ්‍යාපන කටයුතු සඳහා බයිබලයක් මිලට ගත් විට, ඇගේ පල්ලියේ පූජකයා වෙතට ගොස් මිය ගිය තම දරුවන් පස්දෙනාට සිදු වූයේ කුමක්දැයි ඔහුගෙන් ඇසුවා. “මගේ බලාපොරොත්තු සුන් වුණා!” යැයි ඇය පවසනවා. පසුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇගේ නිවසට පැමිණි අවස්ථාවේ, ඇය ඔවුන්ගෙන් ඇසුවෙත් ඒ හා සමාන ප්‍රශ්නයක්මයි. ඇගේම බයිබලයෙන් මළවුන් පිළිබඳ සත්‍යය දැනගත් විට පල්ලිය තමාව කොතරම් රවටා තිබෙනවාද කියා ඈ වටහාගත්තා. මළවුන්ට කිසිවක් ගැන සිහි කල්පනාවක් නැති බවත් ඒ නිසා ඔවුන් ලිම්බෝහි හෝ වෙනත් කිසිම තැනක දුක් විඳින්නේ නැති බවත් ඈ දැනගත්තා. (ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5) තමා ළඟ තිබූ සියලු ආගමික ප්‍රතිමා ඉවත් කර දැමූ ෆිඩෙලියා පල්ලියෙන් ඉවත් වී, බයිබලය පාඩම් කරන්ට පටන්ගත්තා. (1 යොහන් 5:21) ඇය පසුගිය වසර දහය පුරාම ශුද්ධ ලියවිල්ලේ සඳහන් සත්‍යයන් අනික් අයට කියා දී ඇත්තේ මහත් ප්‍රීතියකින්.

කත්මන්ඩුහි විසූ ටාරා, හින්දු කෝවිල් ස්වල්පයක් තිබූ රටක පදිංචියට ගියා. එහිදී තමාගේ ආත්මික අවශ්‍යතා පිරිමසාගැනීමේ අරමුණින් ඇය ගියේ මෙතෝදිස්ත පල්ලියකටයි. මිනිස්සු දුක් විඳින්නේ ඇයිද යන්න ගැන ඈට එහිදීත් පිළිතුරක් ලැබුණේ නැහැ. පසුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇයව හමු වී ඇය සමඟ බයිබලය පාඩම් කරන්ට ඉදිරිපත් වුණා. “ලෝකයේ තිබෙන දුක් වේදනාවලට ප්‍රේමනීය දෙවි කෙනෙක් වගකිය යුතු නැති බව මම වටහාගත්තා. සාමය සහ එක්සත්කම රජයන අලුත් ලෝකයක් පිළිබඳ වූ බලාපොරොත්තුවෙන් මම අමානන්දයට පත් වුණා.” (එළිදරව් 21:3, 4) හින්දු ප්‍රතිමා ඉවත් කළ ටාරා, තමන්ගේ මව් බිමේ ආගමික සිරිත් විරිත් පිළිපැදීම නතර කළා. දැන් යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන ඇය, අනුන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාගැනීමට උපකාර කිරීමෙන් අද්දකින්නේ ඉමහත් සතුටක්.

බෞද්ධයෙකු වූ පාන්යාව බැංකොක් නුවරදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් පළමු වතාවට හමු වෙද්දී ඔහු සාස්තර කියන කෙනෙක්. එමනිසාදෝ බයිබලයේ සඳහන් අනාවැකි වෙත ඔහුගේ සිත ඇදී ගියා. පාන්යා මෙහෙම කිව්වා. “දැන් පවතින තත්වයන් මැවුම්කරු මුලින් අරමුණු කළ තත්වයන්ට වඩා වෙනස් වී ඇත්තේ ඇයිද කියාත්, ඔහුගේ අරමුණ එපා කළ අය විසින් කරන ලද හානි නැවත සකස් කරන්නේ කෙසේද කියාත් මම දැනගත්තහම මගේ ඇස් වසාගෙන තිබූ අඳුරු පටලයක් ඉවත් වුණා වගේ මට දැනුණා. බයිබල් පණිවුඩයේ තිබෙන හැම දෙයක්ම එතරම්ම එකිනෙකට සම්බන්ධයි. මම යෙහෝවාට පුද්ගලයෙකු හැටියට ඇලුම් කරන්න පටන්ගත්තා. හරියයි මා දැනගත් දෙය පිළිපැදීමට මෙය මට හුඟක් උදව් වුණා. මිනිස් ප්‍රඥාව සහ දිව්‍ය ප්‍රඥාව අතර වෙනස දැකීමට මම අන්‍යයන්ට උදව් කළේ ඉමහත් ආශාවකින්. සැබෑ ප්‍රඥාව හැබවින්ම මගේ ජීවිතය වෙනස් කළා.”

වර්ජිල්ට කල් යත්ම තම ආගමික විශ්වාසයන් ගැන බලවත් සැකයන් ඇති වුණා. කළු මිනිසුන්ට උදව් කළ හෝ සුදු මිනිසුන් කෙරෙහි වෛරයක් ඇති කළ බවක් පෙනෙන්ට තිබූ ජාතිවාදී සංවිධානයක් වෙනුවෙන් යාච්ඤා කරනවා වෙනුවට, මොකක් වුවත් කොහේ තිබුණත් සත්‍යය සොයා දෙන ලෙස ඔහු යාච්ඤා කළා. “මා දෙවිට කන්නලව් කළදාට පසුවදා, මගේ නිවසේ තිබී මුරටැඹ සඟරාවක් මට හමු වුණා. . . . ඒක යම් කෙනෙක් මගේ ගෙදර දොරට යටින් දමා ගොස් තිබුණා විය හැකියි.” වැඩි කල් යන්නට මත්තෙන් ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්ට පටන්ගත්තා. “මගේ ජීවිතයේ පළමු වතාවට මට මහත් සෑහීමක් දැනුණා. . . . මගේ ඇතුළාන්තයේ බලාපොරොත්තුවේ ආලෝකයක් දැල්වෙන්ට පටන්ගත්තා” කියා ඔහු පවසනවා. වැඩි කල් නොගොස්ම, දේවවචනය වන බයිබලයේ සඳහන්ව ඇති එකම සැබෑ බලාපොරොත්තුව ජනයාට ඉදිරිපත් කරන අය හා වර්ජිල්ද එක්සත් වුණා.

ග්ලැඩිස් නමැති සාක්ෂිකාරිය තමාගේ දරුවන් සමඟ තමන් මුහුණ දෙන අසීරු තත්වයට උපකාර කරන්ටත්, වෙළඳපළට යෑමට තමාට උදව් වන්ටත් පටන්ගත් විට, ලතින් අමෙරිකාවේ වෙසෙන චාරෝට දැනුණේ මහත් විමතියක්. කලක් ගත වෙත්ම, ග්ලැඩිස් විසින් ඉදිරිපත් කළ දේට චාරෝ කැමති වුණා. ඇය ඉදිරිපත් කළේ නොමිලයේ පවත්වන බයිබල් පාඩමක්. සියලුම යහපත් මිනිසුන් ස්වර්ගයට නොයන බවත්, යෙහෝවා පොළොව මත සදාකාල ජීවිතයක් දී මිනිසුන්ට ආශීර්වාද කරන බවත් තමන්ගේම බයිබලයේ ඇති බව දැනගත් ඇය මවිතයට පත් වුණා. (ගීතාවලිය 37:11, 29) චාරෝ මෙම බලාපොරොත්තුව පසුගිය අවුරුදු 15 මුළුල්ලේම අන්‍යයන් සමඟ බෙදාගනිමින් සිටිනවා.

එකම සැබෑ දෙවි වන යෙහෝවාගේ නමස්කාරය තුළ එක්සත් වී සිටින අවංක ජනයාගෙන් පොළොව පිරී යන කාලය ගැන සිතා බලන්න! මෙය හුදු මනඃකල්පිතයක් නෙවේ. යෙහෝවා පොරොන්දු වී ඇත්තේ මෙයයි. තම දිවැස්වර ශෙපනියා තුළින් දෙවි ප්‍රකාශ කරන්නේ මෙසේය. “මම නුඹ තුළ යටහත්වූ . . . සෙනඟක් ඉතිරි කරන්නෙමි, ඔවුහු [යෙහෝවාගේ] නාමය කෙරෙහි විශ්වාසය තබන්නෝය. . . . [ඔවුහු] අයුතුකමක් නොකරන්නෝය, බොරු නොකියන්නෝය; වංචා දිවක් ඔවුන්ගේ මුඛවල සම්බ නොවන්නේය, මක්නිසාද ඔව්හු කිසිවෙකු විසින් භයගන්වනු [නොලබන්නෝය].” (ශෙපනියා 3:12, 13) මෙම පොරොන්දුව ඔබේ සිත් ගනී නම්, බයිබලයේ සඳහන් මෙම අවවාදයට ඔබේ හද විවර කරන්න. “[යෙහෝවාගේ] විනිශ්චය ඉෂ්ටකළාවූ දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, [ඔහු] සොයන්න; ධර්මිෂ්ඨකම සොයන්න, මොළොක් ගුණය සොයන්න. සමහරවිට නුඹලා [යෙහෝවාගේ] උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.”—ශෙපනියා 2:3.