Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙහෝවාට “ආත්මයෙන්” නමස්කාර කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

වරෙක යේසුස් ක්‍රිස්තුස් සිඛාර් නුවරට ගමන් කළේය. නුවර සමීපයෙහි පිහිටි යාකොබ්ගේ ළිඳ අසල ඔහු ගිමන් හරිමින් සිටි අවස්ථාවක, වතුර අදිනු පිණිස සමාරිය ස්ත්‍රියක් පැමිණියාය. ඇයට සාක්ෂි දරන්නට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් යේසුස් මෙසේ පැවසීය. ‘දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුය.’ (යොහන් 4:24) සැබෑ නමස්කාරය “සැබෑකමෙන්” කළ යුතුය යන්නෙන් අදහස් කරන්නේ, යෙහෝවා දෙවි තමා සම්බන්ධයෙන් සහ තම අරමුණු සම්බන්ධයෙන් බයිබලය තුළින් හෙළි කර ඇති දේවලට එකඟව නමස්කාර කළ යුතු බවය. දෙවිට අප කරන සේවය ප්‍රාණවත්ව, එනම් ජ්වලිතව පිරිනැමිය යුතුය. වෙනත් වචනවලින් කිවහොත්, ප්‍රේමයෙන් සහ ඇදහිල්ලෙන් පිරුණු හෘදයකින් නමස්කාරය සඳහා පෙලඹීම අවශ්‍යය. (තීතස් 2:14) කෙසේ නමුත් ‘දෙවිට ආත්මයෙන් නමස්කාර කිරීම’ හා සම්බන්ධ යේසුස්ගේ ප්‍රකාශයේ අවට පාඨ සම්බන්ධය සලකා බැලීම වටී. ඉන් පැහැදිලි වන්නේ, යෙහෝවාට සේවය කරන විට අප තුළ තිබෙන මානසික නැඹුරුවාව ගැන පමණක් අදහස් නොවන බවයි. ඊටත් වඩා වැඩි යමක් ඉන් අදහස් වේ.

යේසුස් ළිඳ අසල සිටි මෙම ස්ත්‍රිය සමඟ සාකච්ඡා කරමින් සිටියේ නමස්කාරය සඳහා තිබෙන හෝ නොතිබෙන ජ්වලිතය ගැන නොවේ. ඉමහත් ජ්වලිතයකින් සහ භක්තියකින් බොරු නමස්කාරයෙහි වුවත් නියැළිය හැක. යේසුස් පැවසුවේ, පියාණන්ට නමස්කාර කිරීමේදී පොළොවෙහි භෞතික වශයෙන් පිහිටා ඇති ස්ථාන දෙකක් වන සමාරියේ කන්දවත්, යෙරුසලමෙහි දේවමාළිගාවවත් වැදගත් නොවන බවයි. ඒ වෙනුවට, යේසුස් නමස්කාරය සඳහා අලුත් ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එය පදනම් වූයේ සැබවින්ම දෙවි කවුරුන්ද යන කාරණය මතය. (යොහන් 4:21) ඔහු පැවසුවේ “දෙවි අදෘශ්‍යමාන පුද්ගලයෙක්” කියාය. (යොහන් 4:24, චාර්ල්ස් බී. විලියම්ස්) සැබෑ දෙවිට භෞතික ස්වභාවයක් නොමැත. ඔහුව දැකීමට හෝ ස්පර්ශ කිරීමට හෝ නුපුළුවන. එමනිසා ඔහුට කරන නමස්කාරය යම් භෞතික දේවමාළිගාවක් හෝ කන්දක් වටා කේන්ද්‍රගත වී නැත. මේ අනුව, දකින දේට වඩා ඔබ්බට යන නමස්කාරයේ එක් අංගයකටයි යේසුස් යොමු දක්වමින් සිටියේ.

දෙවිට පිළිගත හැකි නමස්කාරයක් සැබෑකමින් පිරිනැමීමට අමතරව, එය ශුද්ධාත්මයේ එනම් දෙවිගේ අදෘශ්‍යමාන ක්‍රියාකාරි බලයේ මඟ පෙන්වීමට එකඟවද ඉදිරිපත් කළ යුතුය. ‘[ශුද්ධාත්මය] සියලු දේ, එසේය, දෙවිගේ ගැඹුරු දේවල් විමසන්නේය’ කියා ප්‍රේරිත පාවුල් ලීවේය. මීට අමතරව, ඔහු මෙසේ පැවසීය. ‘දෙවි විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවිගෙන් වූ ආත්මය ලැබීමු.’ (1 කොරින්ති 2:8-12) එසේ නම්, දෙවිට පිළිගත හැකි ආකාරයේ නමස්කාරයක් ඉදිරිපත් කිරීමට අපට ඔහුගේ ආත්මය තිබිය යුතු අතර, එහි මඟ පෙන්වීමටද අප යටත් විය යුතුය. මීට අමතරව, අපගේ ආත්මය, එනම් මානසික නැඹුරුවාව, ඔහුගේ ආත්මයට එකඟව සකස් කරගැනීමද අවශ්‍යය. ඒ සඳහා දේවවචනය අධ්‍යයනය කිරීමත් අදාළ කරගැනීමත් අත්‍යවශ්‍යය.

[28වන පිටුවේ පින්තූරය]

දෙවිට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කරමු