Skip to content

පටුනට යන්න

සැබෑ නමස්කාරයට අත හිත දෙන්නෝ එදා සහ අද

සැබෑ නමස්කාරයට අත හිත දෙන්නෝ එදා සහ අද

සැබෑ නමස්කාරයට අත හිත දෙන්නෝ එදා සහ අද

පුරාණ යෙරුසලම් නගරය ගැන වැලපුණු මිනිසෙකුගේ නම ඔබට මතකද? ‘යේසුස්’ කියා ඔබ පිළිතුරු දිය හැකියි. ඇත්තෙන්ම යේසුස් එසේ වැලපුණු කෙනෙකි. (ලූක් 19:28, 41) කෙසේවෙතත්, යේසුස් මේ පොළොවේ ජීවත් වීමට සියවස් ගණනාවකට කලින් සිටි දෙවිගේ තවත් විශ්වාසවන්ත සේවකයෙක් යෙරුසලම ගැන වැලපුණේය. ඔහුගේ නම නෙහෙමියාය.—නෙහෙමියා 1:3, 4.

යෙරුසලම ගැන වැලපෙන්න තරම් ශෝකයක් නෙහෙමියාට ඇති වූයේ මන්ද? යෙරුසලම් නගරයේ හා එහි වැසියන්ගේ ශුභසිද්ධිය සඳහා ඔහු කළේ මොනවාද? ඔහුගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම සඳහා ඔහුගේ කාලයේ සිදු වූ සිද්ධීන් කිහිපයක් අපි දැන් සලකා බලමු.

නොසැලී ක්‍රියා කරන සංවේදී මිනිසෙක්

යෙරුසලමේ අධිපතියා වශයෙන් නෙහෙමියාව පත් කරන ලදි. නමුත් ඊට කලින් ඔහු ෂූෂන් නුවර පිහිටි පර්සියානු රජ මාළිගාවේ ඉහළ තනතුරක සේවය කර තිබිණ. එම තනතුර දරන කාලයේ ඔහු සැප පහසු ජීවිතයක් ගත කළද, දුර ඈත පිහිටි යෙරුසලමේ වාසය කරමින් සිටි ඔහුගේ යුදෙව් සහෝදරයන්ව ඔහු අමතක කර දැමුවේ නැත. ඔවුන්ගේ ශුභසිද්ධිය ගැන ඔහු නිතර සැලකිලිමත් විය. යෙරුසලමේ සිට යුදෙව්වන් පිරිසක් ෂූෂන් මාළිගාවට පැමිණි අවස්ථාවේදී නෙහෙමියා මුලින්ම කළේ ‘වහල්කමින් ගැලවී ඉතුරු වූ යුදෙව්වරුන් ගැනද යෙරුසලම ගැනද ඔවුන්ගෙන් විචාරීමයි.’ (නෙහෙමියා 1:2) යෙරුසලමේ වැසියන් “මහත් විපත්ති” අද්දකින බවත් නගරයේ පවුර “කඩා දමා” තිබෙන බවත් අමුත්තන් පැවසූ අවස්ථාවේදී, නෙහෙමියා “හිඳගෙන අඬා, කීප දවසක් [වැලපුණේය].” ඉන් අනතුරුව තම ශෝකයේ හැඟීම් ප්‍රකාශ කරමින් ඔහු යෙහෝවාට හෘදයාංගම යාච්ඤාවක් කළේය. (නෙහෙමියා 1:3-11) නෙහෙමියා එතරම් ශෝක වූයේ මන්ද? පොළොව මත පිහිටි යෙහෝවාගේ නමස්කාරයේ මධ්‍යස්ථානය වූ යෙරුසලම පාළුවීමට ඉඩහැර තිබූ නිසාය. (1 රාජාවලිය 11:36) එපමණක්ද නොව, කඩා බිඳ දමා තිබූ නගරය පාළුවීමට ඉඩහැරීමෙන් පැහැදිලි වූයේ එහි වැසියන්ගේ ආත්මික තත්වය දුර්වලව තිබූ බවයි.—නෙහෙමියා 1:6, 7.

යෙරුසලමට ගොස් එය ප්‍රතිසංස්කරණය කිරීමට නෙහෙමියා තුළ පෙලඹීමක් ඇති කළේ නගරය කෙරෙහි ඔහුට තිබූ කැක්කුම හා එහි විසූ යුදෙව්වන් කෙරෙහි ඔහු දැක්වූ දයානුකම්පාවයි. පර්සියානු රජ නිවාඩු දුන් විගස නෙහෙමියා දුර ඈත පිහිටි යෙරුසලමට යන ගමන සැලසුම් කරන්න පටන්ගත්තේය. (නෙහෙමියා 2:5, 6) කළ යුතුව තිබූ අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා තමන්ගේ කාලය, ශ්‍රමය හා හැකියාවන් ලබා දීමට ඔහුට ඕනෑ විය. ඔහු යෙරුසලමට පැමිණ දින කිහිපයක් ඇතුළත එහි පවුර අලුත්වැඩියා කිරීමේ සැලැස්ම සකස් කළේය.—නෙහෙමියා 2:11-18.

නෙහෙමියා පවුර අලුත්වැඩියා කිරීමේ දැවැන්ත වැඩය පවුල් රාශියකට පැවරුවේය. ඔවුහු උරෙන් උර ගැටී එකට වැඩ කළහ. * පවුර මැන කොටස්වලට වෙන් කර, එක් එක් “කොටස” අලුත්වැඩියා කිරීම කණ්ඩායම් 40කට පවරන ලදි. මෙහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? තම දරුවන්ද සමඟ වැඩයට හවුල් වූ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ඔවුන්ගේ කාලය හා ශ්‍රමය වැය කරමින් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩයේ නිරත වීම නිසා දැඩි වෙහෙසක් දැරිය යුතු වූ වැඩක් අතිසාර්ථකව නිම කිරීමට හැකි විය. (නෙහෙමියා 3:11, 12, 19, 20) සෙනඟ කඩියන් මෙන් වැඩ කළ මාස දෙකක කාලය ඇතුළතදී මුළු පවුරම අලුත්වැඩියා කරන ලදි. “මේ වැඩ ඉෂ්ට වුණේ අපේ දෙවි කරණකොටගෙන” බව මෙම වැඩයට විරුද්ධවාදීකම් එල්ල කළ අයට පවා පිළිගැනීමට සිදු වූ බව නෙහෙමියා ලීවේය.—නෙහෙමියා 6:15, 16.

මතකයේ තබාගත යුතු ආදර්ශයක්

නෙහෙමියා දේවමාළිගාව අලුත්වැඩියා කිරීමේ කාර්යයට දායක වූයේ තමන්ගේ කාලය වැය කිරීමෙන් හා කටයුතු සංවිධානය කිරීමේ හැකියාව සැපයීමෙන් පමණක් නොවේ. ඔහු සැබෑ නමස්කාරය සඳහා ඔහු සතුව තිබූ ද්‍රව්‍යමය දේවල්ද යෙදව්වේය. තම යුදෙව් සහෝදරයන්ව වහල්භාවයෙන් මුදවාගැනීම සඳහා තමාගේම මුදල් වැය කළේය. ඔහු මුදල් ණයට දුන්නේ සතයක්වත් පොලී අය නොකරයි. දිශාපති වශයෙන් යම් දීමනාවක් ඉල්ලා සිටීමට හැකි වූවත්, එසේ කිරීමෙන් ඔහු කවදාවත් යුදෙව්වන්ට “බරක්” පැටවීමට තැත් කළේ නැත. ඒ වෙනුවට ඔහු මිනිසුන් ‘එකසිය පනස්දෙනෙකුටද අවට සිටි ජාතීන් වෙතින් පැමිණි අයටද’ ආහාර ගැනීමට ඔහුගේ නිවස විවෘත කර තැබීය. සෑම දවසකම ඔහු සිය නිවසට පැමිණි ආගන්තුකයන්ට ‘ගොනෙකුත් තර බැටළුවන් හයදෙනෙකුත් පක්ෂීනුත් පිළියෙළ කළේය.’ මීට අමතරව, ඔහු දවස් දහයකට වරක් ඔහුගේම වියදමින් ඔවුන්ට “සියලු වර්ගවල මුද්‍රිකපානය” දුන්නේය.—නෙහෙමියා 5:8, 10, 14-18.

එදා පමණක් නොවෙයි අද සිටින දෙවිගේ සියලුම සේවකයන්ටද ත්‍යාගශීලිත්වය පිළිබඳව නෙහෙමියා තැබුවේ මොනතරම් විශිෂ්ට ආදර්ශයක්ද! දෙවිගේ ධෛර්ය සම්පන්න මෙම සේවකයා සැබෑ නමස්කාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ද්‍රව්‍යමය සම්පත් නොමසුරුව කැමැත්තෙන්ම පරිත්‍යාග කළේය. ඔහුට හොඳ හේතු ඇතුව යෙහෝවාගෙන් මෙසේ ඇසීමට හැකි විය. “මාගේ දෙවි, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මට යහපත පිණිස සිහි කළ මැනව.” (නෙහෙමියා 5:19) යෙහෝවා එසේ ඔහුව සිහි කරන බව නිසැකයි.—හෙබ්‍රෙව් 6:10.

නෙහෙමියාගේ ආදර්ශය අද අනුගමනය කෙරේ

අදදින සිටින යෙහෝවාගේ සේවකයන්ද නෙහෙමියා මෙන් සැබෑ නමස්කාරය වෙනුවෙන් ඇල්මක් හා ආත්ම පරිත්‍යාගශීලී ආකල්පයක් විදහාපාමින් එහි අභිවෘද්ධිය උදෙසා සිය කැමැත්තෙන්ම දේවල් කිරීමට ඉදිරිපත් වන ආකාරය දැකීමෙන් අපේ හදවත්වලට දැනෙන්නේ ඉමහත් ප්‍රීතියකි. අපේ සෙසු ඇදහිලිවන්තයන් විවිධ දුෂ්කරතාවලින් පීඩා විඳින බව අපේ සවනට වැටෙන විට ඔවුන්ගේ ශුභසිද්ධිය වෙනුවෙන් කළ හැකි දේවල් ගැන අපි ඉමහත් සැලකිල්ලක් දක්වන්නෙමු. (රෝම 12:15) නෙහෙමියා කළාක් මෙන් අපිද දුක් පීඩා විඳින, එකම ඇදහිල්ලේ සිටින අපේ සහෝදරයන් වෙනුවෙන් යෙහෝවාගෙන් මෙම ඉල්ලීම කරමින් යාච්ඤා කරන්නෙමු. “යෙහෝවා ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රිය වෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් [යොමු කරන්න].”—නෙහෙමියා 1:11; කොලොස්සි 4:2.

කෙසේවෙතත්, අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ ආත්මික, ශාරීරික හා මානසික ශුභසිද්ධිය ගැනත් සැබෑ නමස්කාරයේ අභිවෘද්ධිය ගැනත් අප දක්වන සැලකිල්ල නිකම්ම හැඟීම්වලට පමණක් සීමා නොවේ. අවශ්‍ය පියවර ගැනීමටද එම සැලකිල්ල අපව පොලඹවයි. උපකාර අවශ්‍ය අයට සහය වීම සඳහා තරමක් සැප පහසුකම් සහිත තමන්ගේ නිවෙස් අත්හැර වෙනත් ප්‍රදේශවලට යා හැකි අය එසේ කිරීමට පෙලඹෙන්නේ ප්‍රේමය නිසාය. ඔවුන් කරන මේ දෙය නෙහෙමියා කළ දෙයට බොහෝදුරට සමානය. එසේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අයට ලෝකයේ ඇතැම් රටවලදී ලැබෙන පහසුකම් අඩු වුණත්, එයින් අධෛර්යයට පත් නොවී සෙසු ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ උරෙන් උර ගැටී ඔවුන්ට සේවය කරන්නේ සැබෑ නමස්කාරයේ උන්නතියට අත හිත දීම සඳහාය. ඔවුන් අතර දක්නට තිබෙන ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි!

අපේ බලප්‍රදේශයේ අපට කළ හැකි දෑ කරමු

අපගෙන් බොහෝදෙනෙකුට දුර බැහැර ප්‍රදේශයකට යෑම දුෂ්කර බව සැබෑය. එනමුත් අපේම නිවසේ සිට සැබෑ නමස්කාරයට අත දීමට අපට හැක. මෙයද නෙහෙමියාගේ පොතේ පෙන්වා දී තිබේ. අලුත්වැඩියා කිරීමේ කාර්යයට හවුල් වූ සමහර ඇදහිලිවන්ත පවුල් ගැන නෙහෙමියා සැපයූ විස්තර සලකා බලන්න. ඔවුන් ගැන ඔහු මෙසේ ලීවේය. “හරුමප්ගේ පුත්‍ර වූ යෙදායා තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කළේය. . . . බෙන්යමින්ද හෂ්ෂූබ්ද තමුන්ගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කළෝය. ඔවුන් ගාව අනනියාගේ පුත්‍රයා වන මයසේයාගේ පුත්‍ර වූ අසරියා තමාගේ ගෙය ළඟ අලුත්වැඩියා කළේය.” (නෙහෙමියා 3:10, 23, 28-30, අකුරු ඇල කළේ අපය.) මෙම මිනිස්සු හා ඔවුන්ගේ පවුල්වල අය තමන්ගේ නිවස අසල සිදු වූ අලුත්වැඩියා කටයුතුවලට හවුල් වෙමින් සැබෑ නමස්කාරයේ අභිවෘද්ධියට ඉමහත් සේ දායක වූහ.

අදදින අපගෙන් බොහෝදෙනෙක් තමන්ගේම ප්‍රදේශයේ සිට සැබෑ නමස්කාරයට විවිධ ආකාරවලින් අත හිත දෙති. රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ ව්‍යාපෘතිවලද, විපත්වලට ගොදුරු වූවන්ට සහන සේවා සැපයීමෙහිද අපි හවුල් වන්නෙමු. අපට හවුල් විය හැකි වඩාත් වැදගත්ම කාර්යය වන්නේ රාජ්‍යය ගැන දේශනා කිරීමයි. මීට අමතරව, ගොඩනැඟීමේ හා සහන සේවා සැපයීමේ කටයුතුවලට හවුල් වීමට හැකි වූවත් නැතත්, එදා නෙහෙමියා කළාක් මෙන් පරිත්‍යාගශීලී ලෙස අප සතු ද්‍රව්‍යමය දෑ සැබෑ නමස්කාරයේ වර්ධනය සඳහා දීමට අප සියලුදෙනාටම තිබෙන්නේ හෘදයාංගම ආශාවකි.—“සිය කැමැත්තෙන්ම දීමේ ලක්ෂණ” නමැති කොටුව බලන්න.

දවසින් දවස වැඩි වන මුද්‍රණ කටයුතු හා සහන සේවා සඳහාද ලොව පුරා සිදු කෙරෙන වෙනත් බොහෝ සේවාවන් සඳහාද අවශ්‍ය අරමුදල් සොයාගැනීම සමහර අවස්ථාවලදී එතරම් ලෙහෙසි දෙයක් නොවිය හැකියි. කෙසේවෙතත්, යෙරුසලමේ දැවැන්ත පවුර අලුත්වැඩියා කිරීමද ලෙහෙසි කාර්යයක් මෙන් පෙනෙන්න නොතිබූ බවද මතක් කරගන්න. (නෙහෙමියා 4:10) එහෙත් කැමැත්තෙන්ම වැඩට ඉදිරිපත් වීමට කැමති වූ පවුල් බොහොමයක් අතරේ එම කාර්යය බෙදා වෙන් කළ නිසා එය සම්පූර්ණ කිරීමට හැකි විය. ඒ හා සමානව අදදිනත් අපේ ලෝක ව්‍යාප්ත වැඩකටයුතු කරගෙන යෑමට අවශ්‍ය විශාල සම්පත් ප්‍රමාණය සොයාගැනීම සඳහා අප එක් එක්කෙනා එම වැඩකටයුතුවල යම් කොටසකට දිගටම දායක වෙනවා නම් ඒවා කළ හැකි වනු ඇත.

රාජ්‍යය හා බැඳි වැඩකටයුතුවලට මූල්‍යමය වශයෙන් සහයෝගය දිය හැකි ආකාර කිහිපයක් “දීමට සමහරුන් තෝරාගන්නා ක්‍රම” නමැති කොටසේ දැකිය හැක. පසුගිය වසරේදී දෙවිගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙක් එසේ සහයෝගය දී තිබේ. සිය කැමැත්තෙන්ම දීමෙහි හවුල් වීම සඳහා සිත් පොලඹවනු ලැබුවාවූ සියලුදෙනාටම මේ අවස්ථාවේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය අපරිමිත ස්තුතිය ප්‍රකාශ කර සිටියි. සියල්ලටම වඩා වැඩියෙන් අපි යෙහෝවාට ස්තුති කරමු. මන්ද ලොව පුරා සැබෑ නමස්කාරය ඉදිරියට ගෙන යෑමේදී සිය සේවකයන් මුළු හදින්ම දරන වෑයම්වලට ඔහුගේ ආශීර්වාද ලැබී තිබේ. පසුගිය වසර ගණනාව පුරා යෙහෝවාගේ හස්තය අපට මඟ පෙන්වීම සපයා තිබෙන ආකාරය ගැන අප ගැඹුරින් සිතා බලද්දී නෙහෙමියා ස්තුතිපූර්වකව පැවසූ මෙම වදන් ප්‍රතිනාද කිරීමට අපද පෙලඹෙනු ඇත. ‘මාගේ දෙවිගේ යහපත් හස්තය මා කෙරෙහිය.’—නෙහෙමියා 2:18.

[පාදසටහන]

^ 7 ඡේ. “උත්තමයෝ” ලෙස කටයුතු කළ ප්‍රමුඛ පෙළේ ඇතැම් යුදෙව්වන් මේ වැඩයට හවුල් වීම ප්‍රතික්ෂේප කළ බව නෙහෙමියා 3:5හි සඳහන් වේ. ඔවුන්ගේ හැර අන් සියලුදෙනාගේම සහයෝගය ඊට ලැබුණි. විවිධ පසුබිම්වලට අයත් ජනයා මේ වැඩයට හවුල් වූහ. ඔවුන් අතර පුජකයෝද, රන්කරුවෝද, සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍ර කරන්නෝද, අධිපතියෝද, වෙළෙන්දෝද වූහ.—1, 8, 9, 32 වගන්ති.

[28, 29වන පිටුවේ කොටුව⁄පින්තූර]

දීමට සමහරුන් තෝරාගන්නා ක්‍රම

ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම්

“ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් සඳහන් කර ඇති පෙට්ටිවලට සම්මාදම් දැමීම සඳහා බොහෝදෙනෙක් යම් මුදලක් ඉතිරි කරති, නැතහොත් වෙන් කරති.

සෑම මසකම සභාවන් මෙම මුදල නිව් යෝක් බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට හෝ දේශීය ශාඛා කාර්යාලයට යවයි. ස්වේච්ඡා සම්මාදම් ලෙස ලැබෙන මුදල් කෙළින්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ ඔබේ රටේ පිහිටි ශාඛා කාර්යාලයට එවිය හැක. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැක. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුයි.

කොන්දේසි සහිතව ප්‍රදානය කිරීමේ විධිවිධානය

පෞද්ගලික අවශ්‍යතාවක් ඇති වුවහොත් එය දායකයාට ආපසු ලබාගත හැකි වන පරිදි විශේෂ කොන්දේසියක් මත මුදල් පරිත්‍යාග කළ හැක. තවත් තොරතුරු සඳහා ඉහත සඳහන් ලිපිනයට ලියා සමිතියේ භාණ්ඩාගාරයෙන් විමසන්න.

සැලසුම් කරන ලද පරිත්‍යාග

සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ කොන්දේසි සහිතව මුදල් ප්‍රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත රාජ්‍ය සේවයට ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රමද තිබේ. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත් වේ.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කළ හැක.

බැංකු ගිණුම්: රටේ පවතින බැංකු නීතිය අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච් ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරිත්වය වොච් ටවර් සමිතියට ලැබෙන සේ ඒවා පවරා දිය හැක.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ ලාභය දිගටම දායකයාට ලැබෙන විධිවිධානයක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට ප්‍රදානය කළ හැක.

නිශ්චල දේපොළ: සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට එහි වාසය කළ හැකි වන පරිදි ජීවිත භුක්තිය දායකයා වෙත තබාගෙන, විකිණිය හැකි නිශ්චල දේපොළ වොච් ටවර් සමිතියට පරිත්‍යාග කළ හැක. යම් නිශ්චල දේපොළක් පැවරීමට කලින් ඔබ එසේ කිරීමට අදහස් කරන බව ඔබේ රටේ ශාඛා කාර්යාලයට දැනුම් දිය යුතුය.

පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය යනු යමෙකු තමා සතු මුදල් හෝ සුරැකුම් වොච් ටවර් සමිතිය වෙත පැවරීමට කරන සැලසුමකි. ඒ සඳහා දායකයාට හෝ දායකයා විසින් පත් කරන ලද අයට ජීවිතාන්තය දක්වාම වසරක් වසරක් පාසා යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සමිතිය වෙත දේපොළ හා මුදල් පවරා දීමට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කිරීමට පුළුවන. ආගමික සංවිධානයකට ප්‍රයෝජන ගෙන දෙන විශ්වාස භාරයක් පිරිනැමීම මගින් ඇතැම් බදු සහන සපයා දිය හැක.

කුමන ආකාරයකින් හෝ පරිත්‍යාග කිරීමට සතුටු අයට, ඉහත සඳහන් ලිපිනයට හෝ ඔබේ රටෙහි තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඒ බව දැන්විය හැක. මෙම සැලසුම්වලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.

[30වන පිටුවේ කොටුව]

සිය කැමැත්තෙන්ම දීමේ ලක්ෂණ

ප්‍රේරිත පාවුල් කොරින්තිවරුන්ට ලියූ ලිපියේදී, සිය කැමැත්තෙන්ම දීමෙහි සුවිශේෂ ලක්ෂණ තුනක් ගැන සඳහන් කළේය. (1) මුදල් එකතු කිරීමක් ගැන සඳහන් කිරීමේදී පාවුල් මෙසේ උපදෙස් දුන්නේය. “සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා . . . තම තමා ළඟ යමක් තබාගනීවා.” (1 කොරින්ති 16:2) මින් පැහැදිලි වන්නේ දීම කලින් සැලසුම් කිරීම හා එය විධිමත් ක්‍රමයකට කිරීම අවශ්‍ය බවයි. (2) එක් එක්කෙනා “තමාගේ ආදායමට අනුව” දිය යුතු බවද පාවුල් සඳහන් කළේය. (1 කොරින්ති 16:2, නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්) වෙනත් වචනවලින් කියනවා නම් සිය කැමැත්තෙන්ම දීමෙහි හවුල් වීමට කැමති කෙනෙකුට එය සමානුපාතිකව (තම ආදායමට සරිලන ලෙස) කළ හැකියි. ක්‍රිස්තියානියෙකු උපයන්නේ සුළු මුදලක් වුණත් ඔහු සම්මාදම් කරන කුඩා මුදල පවා යෙහෝවා සලකන්නේ වටිනා යමක් ලෙසයි. (ලූක් 21:1-4) (3) පාවුල් තවදුරටත් මෙසේ ලීවේය. “කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක් කෙනා තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය.” (2 කොරින්ති 9:7) අවංක ක්‍රිස්තියානීන් යම් දේවල් පරිත්‍යාග කරන්නේ මුළු හදින්මයි. ඔවුන් එසේ කිරීමෙන් ලබන්නේ මහත් ප්‍රීතියකි.

[26වන පිටුවේ පින්තූර]

නෙහෙමියා නොසැලී ක්‍රියා කළ සංවේදී මිනිසෙකි

[30වන පිටුවේ පින්තූර]

මුද්‍රණ කටයුතු, සහන සේවා සැපයීම, රාජ්‍ය ශාලා ගොඩනැඟීම හා ලොව පුරා වෙනත් ආකාරවලින් කරන සේවාවන් කරගෙන යනු ලබන්නේ ස්වේච්ඡා සම්මාදම්වලිනි