Skip to content

පටුනට යන්න

යේසුස්ගේ උපත සිදු වූ අන්දම හා ඊට හේතුව

යේසුස්ගේ උපත සිදු වූ අන්දම හා ඊට හේතුව

යේසුස්ගේ උපත සිදු වූ අන්දම හා ඊට හේතුව

“කොහෙත්ම වෙන්න බැරි දෙයක්!” යේසුස්ගේ උපත පිළිබඳ කතාව අසන ක්‍රිස්තියානි නොවන බොහෝදෙනෙකු මෙසේ පවසනු ඇත. ඔවුන්ගේ අදහස, මනුෂ්‍ය පියෙකුගේ හවුල්කාරත්වයක් නොමැතිව කන්‍යාවක දරුවෙකු පිළිසිඳ පුතෙකු වැදීම විශ්වාස කළ නොහැකි දෙයක් බවය. ඔබේ අදහස කුමක්ද?

මේ කාරණය සම්බන්ධයෙන් හේතු දැක්වූ ලිපියක් ලන්ඩන් ද ටයිම්ස්හි 1984දී මෙසේ පළ විය. “ප්‍රාතිහාර්යයන් වැරදියි කියා ඔප්පු කිරීමට විද්‍යාව තර්කයක් වශයෙන් භාවිත කිරීම වලංගු නොවෙයි. ප්‍රාතිහාර්යයන් සිදු වන්නේ නැතැයි විශ්වාස කිරීම, ඒවා සිදු වන්නට පුළුවන්යයි ඇදහීම හා සමානයි.” බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල විද්‍යා මහාචාර්යවරයන් 14දෙනෙකුගේ පන්හිඳෙන් ලිපියට අත්සන් තැබිණ. “කන්‍යා උපත, සුවිශේෂවල අඩංගු ප්‍රාතිහාර්යයන් හා ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ඓතිහාසික සිද්ධීන් ලෙස අපි සතුටින් පිළිගන්නෙමු” යයි ඔවුහු පැවසූහ.

එහෙත්, යේසුස් කන්‍යාවකගෙන් උපන් බවට වූ කතා පුවත පළමු වතාවට අසන ඕනෑම කෙනෙකු ව්‍යාකූලත්වයට පත්වීම අරුමයක් නොවේ. යේසුස්ගේ මව පවා දේවදූතයෙකු පැවසූ දෙයින් ව්‍යාකූලත්වයට පත් විණ. “බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහි කරන්නීය, ඔහුට යේසුස් යන නාමය තබන්න.” එවිට මරියා මෙසේ පැවසුවාය. “මා පුරුෂයෙකු නෑඳින සිටින බැවින්, මේක වෙන්නේ කෙසේද?” ශුද්ධාත්මය යොදාගෙන දෙවි මෙම ප්‍රාතිහාර්ය සිදු කරනු ඇතැයි පැහැදිලි කළ දේවදූතයා මෙසේද පැවසුවේය. “දෙවිගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේය.” (ලූක් 1:31, 34-37) නිසැකවම, පුදුමාකාර මිනිස් ප්‍රජනන ක්‍රියාවලිය නිර්මාණය කළ තැනැත්තාට නිර්මල කන්‍යාවකගේ කුස තුළ යේසුස්ව පිළිසිඳීමට සැලැස්වීමට හා ඔහුගේ උපත සිදු කිරීමට හැකියාව තිබේ. දෙවි විශ්වය මවා එහි නූලටම ක්‍රියාත්මක වන නීතිත් පිහිටෙව්වා නම්, මරියාගේ ගර්භයෙන් බීජාණු සෛලයක් යොදාගෙන පරිපූර්ණ මනුෂ්‍ය පුත්‍රයෙකු බිහි හැකියාවද ඔහුට තිබිය යුතුමය.

එය අත්‍යවශ්‍ය වූ හේතුව

මරියාගේ කුස තුළ පිළිසිඳීම සිදු වූ අවස්ථාව වන විට ඇය භක්තිවන්ත යෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියාය. කන්‍යාවියක වූ තම පෙම්වතිය ගර්භිණී වීමට ඉවහල් වූ පුදුමය දනවන හේතුව කුමක්ද කියා දේවදූතයා සිහිනයක් මගින් යෝසෙප්ට පැහැදිලි කළේය. දේවදූතයා මෙසේ පැවසුවේය. “නුඹේ භාර්යාව වූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුණාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මය කරණකොටගෙනය. ඈ පුත්‍රයෙකු වදන්නීය. ඔහුට යේසුස් යන නාමය තබන්න. මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ ඔහුය.” (මතෙව් 1:20, 21) යේසුස් යන නමේ හෙබ්‍රෙව් අර්ථය “යෙහෝවා ගැලවීම” යන්නය. පාපයෙන් හා මරණයෙන් ගැලවීමේ අවශ්‍යතාවත්, යෙහෝවා දෙවි යේසුස් මගින් එම ගැලවීම සපයන පිළිවෙළත් එය අපට සිහිගන්වයි.

මුල් මිනිසා වූ ආදම් පව් කළ බැවින් ඔහුගෙන් පැවතෙන සියල්ලන් දෙවිගේ නීති කඩ කිරීමේ නැඹුරුවාව ඇතුව අසම්පූර්ණව ඉපදිණ. (රෝම 5:12) ආදම්ගෙන් පැවතෙන්නන්ට පාපයෙන් මිදී, පරිපූර්ණත්වය ලබාගත හැක්කේ කෙසේද? යුක්තියේ තුළාවන් සමබර කිරීම සඳහා ආදම්ගේ පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමට සමාන ජීවිතයක් ගෙවීමට සිදු විය. පරිපූර්ණ මනුෂ්‍යයෙකු ලෙසින් යේසුස්ව ප්‍රාතිහාර්යමය ලෙස ඉපදීමට සලස්වන්න දෙවිට සිදු වූයේත්, තමාව මරණයට පත් කිරීමට තම සතුරන්ට යේසුස් ඉඩහැරියේත් එම හේතුව නිසාය. (යොහන් 10:17, 18; 1 තිමෝති 2:5, 6, NW) තමාව නැවත නැඟිටුවීමෙන් හා තම ස්වර්ගාරෝහණයෙන් පසුව, නිසැකකමින් යුතුව මෙසේ කීමට යේසුස්ට හැකි විය. “මම මැරුණෙමි, නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද [මනුෂ්‍ය වර්ගයාගේ පොදු මිනීවළේ] යතුරු මට ඇත්තේය.”—එළිදරව් 1:18.

ආදම් අහිමි කරගත් දේ යළි හිමි කරගැනීම සඳහා යේසුස් මරණයේ හා පාතාලයේ සංකේතමය යතුරු යොදාගනිමින් පව්කාර මිනිසාට ඉන් නිදහස් වීමට දොර කවුලු හැර දෙන්නේය. යේසුස් මෙසේ පැහැදිලි කළේය. “නැවත-නැඟිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසි කලකත් නොනසින්නේය.” (යොහන් 11:25, 26) මොනතරම් කදිම පොරොන්දුවක්ද! එහෙත්, යේසුස්ගේ උපත සඳහා ඊටත් වඩා වැදගත් හේතුවක් තිබේ.

වඩාත්ම වැදගත් හේතුව

යේසුස්ගේ ජීවිතය ආරම්භ වූයේ මරියාගේ කුස තුළ ඔහු පිළිසිඳගත් දා නොවීය. “මා ස්වර්ගයෙන් බැස [ආවේය]” කියා ඔහු පැහැදිලිව පැවසුවේය. (යොහන් 6:38) මැවිල්ලේ මුල පටන් යේසුස් තම ස්වර්ගික පියා සමඟ ආත්ම විෂයෙහි ජීවත් වී තිබිණ. ඇත්ත වශයෙන්ම, බයිබලයේ ඔහුව විස්තර කරන්නේ “දෙවිගේ මැවිල්ලේ මුල වූ තැනැත්තා” වශයෙනි. (එළිදරව් 3:14) දෙවිගේ පාලනයට එරෙහිව කටයුතු කිරීමට මුල් මනුෂ්‍යයන්ව හරවමින් දුෂ්ට දූතයෙකු කැරලිගසනවා යේසුස් ස්වර්ගයේ සිටියදීම දුටුවේය. මෙමගින්, දෙවිගේ පරිපූර්ණ මනුෂ්‍ය පුත්‍රයෙකු වශයෙන් ඉපදීමේ අවශ්‍යතාව යේසුස්ට ඒත්තු යන්නට විය. එය කුමක්ද?

එම අවශ්‍යතාව වූයේ, විශ්වය පාලනය කිරීමට ඔහුගේ ස්වර්ගික පියාට අයිතියක් තිබෙන බව ඔප්පු කිරීමය. මිහිමතදී තම උත්පත්තියේ පටන් මරණය දක්වා විශ්වාසවන්තව සිටීම මගින් යෙහෝවා සිය මැවිලි පාලනය කරන ක්‍රමයට යටත් වීමට තමා තුළ ඇති කැමැත්ත යේසුස් විදහාපෑවේය. දෙවිගේ සතුරන් අතින් යාගික මරණයක් විඳීමට පවා තමා කැමැත්තෙන් යටත් වීමට හේතුව තම මරණයට පෙර යේසුස් පැහැදිලිව පැවසුවේය. එම හේතුව වූයේ ඔහු පියාට ප්‍රේම කරන බව ලෝකය දැනගන්නා පිණිසය කියා ඔහු පැවසුවේය. (යොහන් 14:31, NW) මුල් මනුෂ්‍යයන් දෙදෙනා වූ ආදම් සහ ඒව එවැනි ප්‍රේමයක් වර්ධනය කරගෙන තිබුණා නම්, එතරම් දුෂ්කර නොවූ පරීක්ෂණයක් යටතේ ඔවුන්ට තම විශ්වාසවන්තභාවය ඔප්පු කිරීමට හැකිකම තිබිණ.—උත්පත්ති 2:15-17.

යේසුස්ගේ විශ්වාසවන්තභාවයෙන් දුෂ්ට දූතයා වූ සාතන් බොරුකාරයෙක් බවද අනාවරණය විය. ස්වර්ගයේ දේවදූතයන් ඉදිරියෙහි සාතන් දෙවිට හා මිනිසාට නිග්‍රහ කර තිබුණේ මෙසේය. “මිනිසා තම ජීවිතය වෙනුවෙන් ඔහු සතු සියල්ල දෙනු ඇත.” (යෝබ් 2:1, 4, ටානාක්ශුද්ධ ලියවිල්ල) මෙසේ සියලු මනුෂ්‍යයන් තම ජීවිත ගලවාගැනීම සඳහා දෙවිට අකීකරු වනු ඇති බවට ඔහු බොරු චෝදනාවක් නැඟීය.

ඉහත සඳහන් වූ කාරණාවලින් දෙවිගේ පාලකත්වයේ ධර්මිෂ්ඨකමට හා නිරවද්‍යතාවට අභියෝගයක් එල්ල විය. ඒවා නිරාකරණය කරනු වස් මනුෂ්‍යයෙකු වශයෙන් ඉපදීමට හා මරණය දක්වාම විශ්වාසවන්තව සිටීමට යේසුස් කැමැත්තක් දැක්වීය.

මෙබැවින්, මිහිමත යේසුස්ගේ උපත සිදුවීම සඳහා ප්‍රධාන හේතුව වූයේ, ඔහුම පැවසූ ආකාරයට “සත්‍යයට සාක්ෂි දෙන පිණිසය.” (යොහන් 18:37) ඔහු එය කළේ, දෙවිගේ පාලකත්වය සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨ බවත්, ඊට යටත් වීම සදා සතුට ලබා දෙන්නක් බවත් තම වචනයෙන් හා ක්‍රියාවෙන් පෙන්වමිනි. තම මනුෂ්‍ය ජීවිතය “බොහෝදෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට” දෙමින් පව්කාර මනුෂ්‍යයන්ට පරිපූර්ණත්වය හා සදාකාල ජීවනය ලැබීමේ දොර විවෘත කර දීමටද තමා ලෝකයට පැමිණි බව යේසුස් පැහැදිලි කළේය. (මාර්ක් 10:45) මනුෂ්‍යවර්ගයාට මෙම වැදගත් කාරණා ග්‍රහණය කරගැනීම සඳහා යේසුස්ගේ උපත පිළිබඳ වාර්තාවක් අත්‍යවශ්‍ය විය. ඊට අමතරව, ඊළඟ ලිපියේ පෙන්වන ආකාරයට යේසුස්ගේ උපත වටා ඇති සිද්ධීන්වල වෙනත් වැදගත් පාඩම්ද ඇතුළත් වේ.

[4වන පිටුවේ පින්තූර]

ආදම්ගෙන් පැවතෙන්නන්ව පාපයෙන් ගලවාගත හැකි වූයේ කෙසේද?