Skip to content

පටුනට යන්න

“ඔහු ඔබට ළං වන්නේය”

“ඔහු ඔබට ළං වන්නේය”

“ඔහු ඔබට ළං වන්නේය”

“[දෙවි] අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.”—ක්‍රියා 17:27.

1, 2. (අ) තරුවලින් පිරි අහස් කුස දෙස බලන කල, මැවුම්කරු සම්බන්ධව අපට කිනම් ප්‍රශ්න ඇසිය හැකිද? (ආ) මිනිසුන් යෙහෝවාගේ ඇස් හමුවේ ඉතා වටිනා බව බයිබලය අපට සහතික ලෙස කියා සිටින්නේ කෙසේද?

 ඔබ කවදා හෝ දිනක නිසසල රාත්‍රියක තරුවලින් පිරි අහස දෙස ගරු බියෙන් හා පුදුමයෙන් බලං ඉඳලා තියෙනවාද? නිමක් කොනක් පරක් තෙරක් නොපෙනෙන අහස් කුසේ ගිණිය නොහැකි තාරකා ඔබ සිත තුළ පහළ කරන්නේ මහත් ගරු බියක්. මේ නිම් හිම් නැති මේ විශ්වයේ අපේ පෘථිවිය දූවිලි අංශුවක් වගෙයි. ඒ කියන්නේ, ‘මුළු පොළොවේ මහෝත්තමයා’ වන මැවුම්කරුවාණන් මිනිසුන්ව ගණනකටවත් ගන්නට බැරි තරමට අතිශයින් ඉහළින් සිටින කෙනෙක් කියන එකද? එහෙම නැත්නම් කිසිම විදිහකින් මිනිසුන්ට දැනගන්නට බැරි තරම් ඈත දුරක සිටින කෙනෙක් කියන එකද?—ගීතාවලිය 83:17.

2 බයිබලය අපට සහතික ලෙස කියා සිටින්නේ මිනිසුන් යෙහෝවාගේ ඇස් හමුවේ බොහෝ සෙයින් වටිනවා කියලායි. ඇත්තෙන්ම දේවවචනය අපට දිරිගන්වන්නේ ඔහුව සොයන ලෙසටයි. “ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය” කියා එහි කියනවා. (ක්‍රියා 17:27; 1 ලේකම් 28:9) ඇත්තෙන්ම දෙවිට ළංවීමට අපි පියවර ගන්නවා නම්, ඔහු අපගේ ප්‍රයත්නවලට ප්‍රතිචාර දක්වාවි. කිනම් ආකාරයකින්ද? ඔව්, 2003 වසරේ වාර්ෂික පදය අපට මේ ගැන දෙන්නේ හද උණුසුම් කරවන පිළිතුරක්. ‘ඔහු ඔබට ළං වන්නේය.’ (යාකොබ් 4:8) යෙහෝවාට ළංව සිටින අයට ඔහු විසින් වගුරුවන පුදුමාකාර ආශීර්වාද කිහිපයක් ගැන දැන් අපි සාකච්ඡා කරමු.

යෙහෝවාගෙන් ලැබෙන පෞද්ගලික ත්‍යාගයක්

3. තමන්ට ළං වෙන අයට යෙහෝවා දෙන ත්‍යාගය මොකක්ද?

3 පළමුවෙන්ම අපට සලකා බැලිය හැක්කේ මේකයි. යෙහෝවා සිය සේවකයන් උදෙසා වෙන් කර ඇති වටිනා තෑග්ගක් තිබෙනවා. මේ ලෝක ක්‍රමයේ තිබෙන කිසිම බලයකට, ධනයකට හා අධ්‍යාපනයකට මේ ත්‍යාගය ඉදිරිපත් කරන්නට බැහැ. එය පෞද්ගලික ත්‍යාගයක්. එය යෙහෝවා දෙන්නේ තමන්ට ළං වී සිටින අයට පමණයි. ඒ මොකක්ද? දේවවචනය මෙසේ පිළිතුරු දෙනවා. “ඥානයට [විචාර බුද්ධියට, NW] නුඹේ ශබ්දය නඟන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය සොයා, [සැඟවුණු, NW] නිධාන මෙන් ඇය ගැන විභාග කරන්නෙහි නම්, නුඹ යෙහෝවා කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවි හැඳිනගැනීමටද [දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමටද, NW] පැමිණෙන්නෙහිය. මක්නිසාද ප්‍රඥාව දෙන්නේ යෙහෝවාය.” (හිතෝපදේශ 2:3-6) අසම්පූර්ණ මිනිසුන්ට “දෙවි පිළිබඳ දැනුම” සොයාගන්නට හැකිවීම ගැන නිකම් හිතලා බලන්න! ඒ ත්‍යාගය, ඒ කියන්නේ දෙවිගේ වචනයේ සඳහන් දැනුම ‘සැඟවුණු නිධානයකට’ සමානයි. ඒ ඇයි?

4, 5. “දෙවි පිළිබඳ දැනුම” ‘සැඟවුණු නිධානවලට’ සමාන කළ හැක්කේ මන්ද? පැහැදිලි කරන්න.

4 එක දෙයක් තමයි, දෙවි පිළිබඳ දැනුම ඉතා වටිනා එකක් වීම. ඉන් ලැබෙන වටිනාම ආශීර්වාදයක් නම් සදාකාල ජීවනයේ අපේක්ෂාවයි. (යොහන් 17:3) නමුත් ඒ දැනුම දැන් පවා අපේ ජීවිත පෝෂ්‍යය කරනවා. උදාහරණයක් හැටියට, දේවවචනය අපි ඉතා පරෙස්සමින් අධ්‍යයනය කිරීම නිසා බොහෝ සෙයින් වැදගත් වූ ප්‍රශ්නවලට අපට පිළිතුරු ලැබිලා තියෙනවා. ඒ තමයි, දෙවිගේ නම කුමක්ද? (ගීතාවලිය 83:17) මළ අයගේ සැබෑ තත්වය කුමක්ද? (දේශනාකාරයා 9:5, 10) පොළොව සඳහා වූ දෙවිගේ අරමුණ කුමක්ද? (යෙසායා 45:18) ඒ වගේම ජීවිතයේ හොඳම මාර්ගය බයිබලයේ සඳහන් ප්‍රඥාවන්ත උපදෙස් අදාළ කරගැනීම බව අපි දැනගෙන සිටිනවා. (යෙසායා 30:20, 21; 48:17, 18) මේ නිසා ජීවිතයේ කනස්සලුභාවයන්ට මුහුණ දෙන්නටත්, නියම සන්තෝෂය මෙන්ම තෘප්තිය ගෙන දෙන ජීවිත මාර්ගයක් ඔස්සේ ඉදිරියට යන්නටත් උපකාරවත් වෙන හොඳ මඟ පෙන්වීමක් අපට තිබෙනවා. මේ සියල්ලටම වඩා, දේවවචනය ගැන අප කර තිබෙන අධ්‍යයනය නිසා යෙහෝවාගේ පුදුමාකාර ගුණාංග ඉගෙනගෙන තිබෙනවා විතරක් නෙමේ ඔහුට ළං වෙන්නටත් අපට පුළුවන් වෙලා තියෙනවා. මේ අනුව බලද්දී, “දෙවි පිළිබඳ දැනුම” මත පදනම් වූ යෙහෝවා සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇතුව සිටීම තරම් වටින්නේ වෙන මොනවාද?

5 දෙවි පිළිබඳ දැනුම ‘සැඟවුණු නිධානවලට’ සංසන්දනය කරන්න තවත් හේතුවක් අපට තිබෙනවා. වෙනත් බොහෝ නිධාන වගේ මෙම නිධානයද ලෝකයේ ඉතා විරලව පවතින එකක්. මේ ලෝකයේ ජනගහනය බිලියන හයක් පමණ වෙනවා. ඒ අතුරින් යෙහෝවාගේ නමස්කාරකයන් සිටින්නේ මිලියන හයක් පමණයි. ඒ කියන්නේ 1,000කින් එක් කෙනෙක් පමණයි “දෙවි පිළිබඳ දැනුම” සොයාගෙන තිබෙන්නේ. දෙවිගේ වචනයේ තිබෙන සත්‍යය දැනගැනීමට ලැබීම කොතරම් කලාතුරකින් ලැබෙන වරප්‍රසාදයක්ද කියන එක තේරුම්ගැනීම සඳහා බයිබලයේ අඩංගු එක් ප්‍රශ්නයක් ගැන සලකා බලන්න. එය නම්, මිනිස්සු මැරෙනකොට සිද්ධ වන්නේ මොකක්ද? මිනිසා මැරෙනවා කියලාත් මළ අයට කිසිම සිහියක් නැහැ කියලාත් ශුද්ධ ලියවිල්ලේ පවසන බව අපි දන්නවා. (යෙසායා 38:18) එහෙත්, කෙනෙක් මැරුණායින් පස්සේ දිගටම ජීවත් වන බව මේ ලෝකයේ ආගම් වැඩි ප්‍රමාණයකට අයත් අය විශ්වාස කරනවා. මේ ඉගැන්වීම ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වල ප්‍රධානතම ඉගැන්වීමක්. ඒ විතරක් නෙවේ, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ජෛන ආගම, යුදෙව් ආගම, ෂින්ටෝ, සීක්වාදය සහ ටාඕවාදය නමැති චීන ආගම වැනි ආගම් අතරත් මේ මූලික ඉගැන්වීම පැතිර පවතිනවා. බලන්න, බිලියන ගණනක් ජනයා එකම බොරු ඉගැන්වීමකට රැවටිලා!

6, 7. (අ) “දෙවි පිළිබඳ දැනුම” සොයාගත හැක්කේ කාට පමණක්ද? (ආ) ‘ප්‍රඥාවන්තයන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන්’ සැඟවී තිබෙන තීක්ෂ්ණ බුද්ධියක් ලබා දීමෙන් යෙහෝවා අපට ආශීර්වාද කර තිබෙන බව පෙන්වන්නේ කිනම් උදාහරණයෙන්ද?

6 තවත් විශාල ජන සමූහයක් “දෙවි පිළිබඳ දැනුම” සොයාගෙන නැත්තේ ඇයි? ඒකට හේතුව තමයි, ඔහුගේ උපකාරය නැතිව දේවවචනයේ අරුත මුළුමනින්ම වටහාගැනීමට යමෙකුට බැරිවීම. මෙය මතක තබාගන්න. මේ දැනුම ත්‍යාගයක්. යෙහෝවා මේ දැනුම දෙන්නේ අවංකකමින් සහ යටහත් පහත්කමින් සිය වචනය සොයා බැලීමට කැමති අයට පමණයි. එවන් අය “මාංසික ලෙස ප්‍රඥාවන්ත” නොවෙනවා විය හැකියි. (1 කොරින්ති 1:26, NW) මේ ලෝකයේ මිමිවලට අනුව ඔවුන් අතරින් බොහෝදෙනෙකුව “නූගත් සාමාන්‍ය මිනිසුන්” ලෙස සලකනු ලබනවා වෙන්නට පුළුවනි. (ක්‍රියා 4:13, NW) එහෙත්, ඒක වැදගත් කාරණයක් නෙවේ. යෙහෝවා අපට “දෙවි පිළිබඳ දැනුම” දෙන්නේ ඔහු අපේ හදවත් තුළ දකින ගුණාංග නිසායි.

7 නිදසුනක් සලකා බලන්න. ක්‍රිස්තියානි ලෝකයේ විශාරදයන් බොහෝදෙනෙක් බයිබලය ගැන මහා හුඟාක් විස්තර ලියලා තිබෙනවා. එවැනි පොත් පත්වල බයිබලයේ ඓතිහාසික පසුබිම, හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචනවල අරුත සහ තවත් එවැනි දේවල් ලියා තිබෙනවා වෙන්නට පුළුවනි. මෙවැනි විශාරදයන්ට මෙවන් දැනුමක් තිබෙනවා වුවත්, ඔවුන් ඇත්තටම “දෙවි පිළිබඳ දැනුම” සොයාගෙන තිබෙනවාද? නිකම් සිතා බලන්න! බයිබලයේ තේමාව ඔවුන්ට පැහැදිලිව තේරුම්ගන්න පුළුවන්ද? යෙහෝවාගේ ස්වර්ගික රාජ්‍යය මගින් ඔහුගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව තහවුරු කිරීම යන තේමාව ඔවුන්ට පැහැදිලිව වැටහෙනවාද? යෙහෝවා දෙවි ත්‍රිත්වයක කොටසක් නොවන බව ඔවුන් දන්නවාද? එවන් කාරණා පිළිබඳව නිවැරදි අවබෝධයක් අපටයි තිබෙන්නේ. ඒ ඇයි? ‘ප්‍රඥාවන්තයන් සහ බුද්ධිමතුන්’ [NW] බොහෝදෙනෙකුගෙන් සැඟවී තිබෙන ආත්මික සත්‍යතාවන් ගණනාවක් ගැඹුරින් පැහැදිලිව අවබෝධ කරගන්නට යෙහෝවා අපට අවශ්‍ය තීක්ෂ්ණ බුද්ධියක් දී ආශීර්වාද කර තිබෙන නිසායි. (මතෙව් 11:25) යෙහෝවා තමන්ට ළංව සිටින අයට කොතරම් ආශීර්වාද කරනවාද!

“යෙහෝවා තමන්ට ප්‍රේම කරන සියල්ලන් ආරක්ෂා කරන්නේය”

8, 9. (අ) යෙහෝවාට ළං වී සිටින අයට ලැබෙන තවත් ආශීර්වාදයක් දාවිත් විස්තර කළේ කොහොමද? (ආ) සැබෑ ක්‍රිස්තියානීන්ට දිව්‍ය ආරක්ෂාව අවශ්‍ය වන්නේ ඇයි?

8 යෙහෝවාට ළංව සිටින අය භුක්ති විඳින තවත් ආශීර්වාදයක් නම්, දිව්‍ය ආරක්ෂාවයි. මහත් විපත්තිවලට මුහුණ දුන් ගීතිකාකාර දාවිත් මෙසේ ලීවා. “යෙහෝවා තමන්ට යාච්ඤා කරන සියල්ලන්ට, එනම් සැබවින් ඔහුට යාච්ඤා කරන සියල්ලන්ට ළංව සිටියි. ඔහු තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ට කර දෙන්නේය. ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගලවයි. යෙහෝවා තමන්ට ප්‍රේම කරන සියල්ලන් ආරක්ෂා කරන්නේය.” (ගීතාවලිය 145:18-20) ඔව්, යෙහෝවා තමන්ට ප්‍රේම කරන අයට ළංව සිටිනවා. ඒ නිසා, උපකාරය පතා ඔවුන් කරන මොරගැසීම්වලට ඔහු කන් දෙන්නේ ඉතා විගසින්.

9 අපට දිව්‍ය ආරක්ෂාව අවශ්‍ය වන්නේ ඇයි? ‘කටයුතු කිරීමට අසීරු අර්බුදකාරී කාලවල’ බලපෑම් දැනෙනවාට අමතරව, සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවාගේ ප්‍රධාන සතුරා වන සාතන් නමැති යක්ෂයාගේ විශේෂ ඉලක්කයක් බවටද පත්ව සිටිනවා. (2 තිමෝති 3:1, NW) ඒ සටකපට සතුරා මාන බලන්නේ අපව ‘ගිලගැනීමටයි.’ (1 පේතෘස් 5:8) සාතන් අපට පීඩා කරනවා, පීඩනයට ලක් කරනවා, ඒ විතරක් නෙමේ අපව වරදට පොලඹනවා. තමාට වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අටියෙන් ඔහු අපගේ මනසේ හා හදවතේ තිබෙන ආකල්ප දෙස බලා සිටින්නේ හරිම කපටි විදිහට. ඔහුගේ කල්පනාවේ තිබෙන්නේ එකම එක දෙයක්. ඒ තමයි, අපගේ ඇදහිල්ල දුර්වල කර අපව ආත්මිකව ගිල දැමීම. (එළිදරව් 12:12, 16) එවන් ප්‍රබල සතුරු බලවේගයක් සමඟ සටන් කරන්නට අපට සිද්ධ වෙලා තියෙන නිසා, ‘යෙහෝවා තමන්ට ප්‍රේම කරන සියල්ලන්ව ආරක්ෂා කරන’ බව දැන සිටීම මහත් අස්වැසිල්ලක් හා සහනයක් නොවෙයිද?

10. (අ) යෙහෝවා තම ජනයාව ආරක්ෂා කරන්නේ කොහොමද? (ආ) වඩාත් වැදගත්ම ආරක්ෂාව මොකක්ද? ඒ ඇයි?

10 එහෙත්, යෙහෝවා සිය ජනයාව ආරක්ෂා කරන්නේ කොහොමද? ඔහු අපව ආරක්ෂා කරන බවට පොරොන්දු වී තිබෙනවා කියන්නේ අපට මේ ක්‍රමය තුළ කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව ජීවත් වෙන්න ලැබෙනවා කියන එක නම් නෙමේ. අනික අප වෙනුවෙන් ප්‍රාතිහාර්යයන් කිරීමට දෙවි බැඳී සිටිනවා කියන එකත් නෙමේ. කොහොමවුණත් යෙහෝවා තමන්ගේ ජනයාට ශාරීරික ආරක්ෂාව දෙන්නේ කණ්ඩායමක් හැටියටයි. සැබෑ නමස්කාරකයන්ව පොළොවෙන් අතුගා දාන්න නම් ඔහු යක්ෂයාට කවදාවක්වත් ඉඩ දෙන්නේ නැහැ! (2 පේතෘස් 2:9අ, 10අ) මේ සියල්ලටම වඩා යෙහෝවා අපව ආත්මික වශයෙන් ආරක්ෂා කරනවා. පරීක්ෂා විඳදරාගන්නට අවශ්‍ය දේවලින් අපව සන්නද්ධ කරන ඔහු, තමා සමඟ අපට තිබෙන සම්බන්ධය රැකගන්නට අපට පිහිට වෙනවා. දීර්ඝ කාලීනව සලකා බලද්දී, වඩාත් වැදගත්ම ආරක්ෂාව තමයි ආත්මික ආරක්ෂාව. ඒ ඇයි? අපට යෙහෝවා සමඟ හොඳ සම්බන්ධයක් තියෙනවා නම්, කිසිම දෙයකට, ඔව් මරණයටවත් බැහැ අපට සදාකාලික හානියක් කරන්නට.—මතෙව් 10:28.

11. යෙහෝවා සිය ජනයාගේ ආත්මික ආරක්ෂාව සඳහා දී තිබෙන්නේ මොන වගේ සැපයුම්ද?

11 තමන්ට ළංව සිටින අයගේ ආත්මික ආරක්ෂාව සඳහා යෙහෝවා දී තිබෙන්නේ මහත් බහුල වූ සැපයුම්. විවිධ පරීක්ෂාවන්ට මුහුණ දෙන්නට අවශ්‍ය ප්‍රඥාව තම වචනය වන බයිබලය තුළින් ඔහු අපට දී තිබෙනවා. (යාකොබ් 1:2-5) ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී ඇති ප්‍රායෝගික උපදෙස් අදාළ කරගැනීමම මහත් ආරක්ෂාවක්. ඒ විතරක් නෙමේ, යෙහෝවා “තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය” දෙනවා. (ලූක් 11:13) ඒ ආත්මය තමයි, විශ්වයේ තිබෙන වඩාත් ප්‍රබලතම බලවේගය. ඉතින් අප හමුවට එන ඕනෑම පරීක්ෂාවකින් හෝ වරදට පොලඹවන අවස්ථාවන්වලින් සාර්ථකව ජය අත් කර දෙන්නට එම බලවේගයට පුළුවන් බව අමුතුවෙන් කියන්න ඕනද! ක්‍රිස්තුස් තුළින්, යෙහෝවා “දීමනා වශයෙන් පුරුෂයන්” සපයා තිබෙනවා. (එපීස 4:8, NW) ආත්මිකව සුදුසුකම් ලැබ සිටින මෙම පුරුෂයන් උත්සාහ කරන්නේ සෙසු නමස්කාරකයන්ට උපකාර කිරීමේදී යෙහෝවා දක්වන එම දයානුකම්පාවම පිළිබිඹු කරන්නටයි.—යාකොබ් 5:14, 15.

12, 13. (අ) යෙහෝවා අපට නියමිත වේලාවට ආත්මික ආහාර සපයන්නේ කිනම් මාර්ගවලින්ද? (ආ) අපගේම ආත්මික ශුභසිද්ධිය උදෙසා යෙහෝවා සපයන සැපයුම් ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

12 යෙහෝවා අපට ආරක්ෂාව ලබාගැනීමට තවත් දෙයක්ද සපයනවා. ඒ තමයි, නියමිත වේලාවට ලැබෙන ආත්මික ආහාර. (මතෙව් 24:45) මුරටැඹ හා පිබිදෙව්! ඇතුළු මුද්‍රිත ප්‍රකාශන ඇසුරෙනුත්, රැස්වීම්, එක්රැස්වීම් වගේම සමුළු මාර්ගයෙනුත් යෙහෝවා අපට අවශ්‍ය දේ අපට අවශ්‍ය වේලාවටම ලබා දෙනවා. ක්‍රිස්තියානි රැස්වීමකදී හරි, එක්රැස්වීමකදී හරි, එහෙම නැත්නම් සමුළුවකදී හරි ඔබේ හදවත ස්පර්ශ කරපු, ඔබව ශක්තිමත් කරපු හෝ ඔබට සැනසීමක් ලබා දීපු දෙයක් ඔබට මතකද? ඉහත සඳහන් ප්‍රකාශනයක පළ වූ යම් ලිපියක් කියවද්දී, එය ඔබටම ලියූ දෙයක් කියා ඔබට කවදා හරි හැඟී ගොස් තියෙනවාද?

13 සාතන්ගේ වඩාත් ප්‍රබලතම අවියක් තමයි, අධෛර්යය කිරීම. මේකට අපි කිසිම කෙනෙක් අහු නොවී ඉඳියි කියලා කියන්න බැහැ. දිගු කලක් තිස්සේ පවතින කලකිරුණු ස්වභාවය නිසා අපේ ශක්තිය හීන වෙලා යෑමට විතරක් නෙමේ, ඔහුගේ දරුණු පහරවලින් තදබල ලෙස අපිව තුවාල වෙන්නටත් පුළුවන්. (හිතෝපදේශ 24:10) අප තුළ ඇති වෙන අශුභවාදී හැඟීම් දැකලා ඉන් අනිසි ප්‍රයෝජන ගන්න ඔහු දත කන නිසා, අපිට උදව් උපකාර අවශ්‍යයි. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල විටින් විට ලිපි පළ වී තිබෙනවා අධෛර්යය වෙන අවස්ථාවලදී ඉන් ගොඩ එන්න අවශ්‍ය උදව් ලබාගන්න. එක් ක්‍රිස්තියානි සහෝදරියක් ඒ වගේ ලිපියක් ගැන කිව්වේ මෙහෙමයි. “ඒ ලිපිය මම හැමදාම වගේ කියවනවා. එතකොට මගේ ඇස්වලින් කඳුළු ගලා හැළෙනවා. මගේ ඇඳ ළඟම මං ඒක තියාගෙනයි ඉන්නේ. එතකොට මම මානසිකව වැටිලා ඉන්න වේලාවලදී මට ඒක කියවන්න පුළුවන්. මේ වගේ ලිපිවලින් මට දැනෙනවා යෙහෝවා ඔහුගේ ආරක්ෂක හස්තයෙන් මාව වැලඳගන්නවා වගේ.” a යෙහෝවා නියමිත වේලාවේදී අපට ආත්මික ආහාර සපයන එක ගැන අපි ඔහුට කෘතඥ වෙන්නේ නැද්ද? මෙය මතක තබාගන්න. අපගේ ආත්මික ශුභසාධනය උදෙසා ඔහු සපයන මේ සැපයුම් ඔහු අපට ළංව සිටින බවටත්, ඔහු අපව ඔහුගේ රැකවරණය යටතේ තබාගෙන සිටින බවටත් සාක්ෂියක්.

‘යාච්ඤා අසන තැනැත්තාට’ ළංවීම

14, 15. (අ) යෙහෝවාට ළං වී සිටින අයට ඔහු පෞද්ගලිකව ලබා දී ඇති ආශීර්වාදය කුමක්ද? (ආ) යාච්ඤාවෙන් යෙහෝවා වෙතට නිදහසේ ළඟාවීමට හැකිවීම පුදුමාකාර වරප්‍රසාදයක් වන්නේ ඇයි?

14 මිනිස්සුන්ට බලය හා අධිකාරය ලැබෙන්නට ලැබෙන්නට, ඔවුන් යටතේ සිටින අයට ඔවුන්ට ළඟා වෙන්ට බැරි තත්වයක් ඇති වෙනවා ඔබ දැකලා තිබෙනවාද? එහෙත් යෙහෝවා දෙවි නම් එහෙම නෙවේ. නිකම්ම නිකම් මිනිස්සු පළ කරන අදහස් ගැන උනන්දුවක් දක්වන්නට බැරි තරම් ඔහු දුර සිටින කෙනෙක්ද? නැහැ, කොහෙත්ම නැහැ! යාච්ඤාව නමැති දීමනාව යෙහෝවා තමන්ට ළංව සිටින අයට දෙන තවත් ආශීර්වාදවලින් එකක්. ‘යාච්ඤා අසන තැනැත්තාට’ නිදහසේ ළං වෙන්නට ලැබීම සැබවින්ම අතිවැදගත් වරප්‍රසාදවලින් එකක්. (ගීතාවලිය 65:2) ඒ ඇයි?

15 අපි මෙහෙම ගනිමු. විශාල සංස්ථාවක විධායක අධ්‍යක්ෂකවරයෙකුට බොහෝ වගකීම් තිබෙනවා. තමන් විසින් හසුරුවන්නේ කොයි කාරණාද අනුන්හට පවරා දෙන්නේ කොයි කාරණාද කියලා ඔහුයි තීරණය කරන්නේ. මේ වගේ, විශ්වයේ පරමාධිපති පාලකයාණන්ට පුළුවන් තමන් විසින්ම හසුරුවන්නේ මොන වගේ කාරණාද වෙනත් අයට පවරන්නේ මොන වගේ කාරණාද කියා තීරණය කරන්න. යෙහෝවා සිය සෙනෙහෙවන්ත පුත්‍රයා වන යේසුස්ට පවරා දී තිබෙන සියලු දේ ගැන හිතලා බලන්න. පුත්‍රයාට “විනිශ්චය කරන්ට” බලය දී තිබෙනවා. (යොහන් 5:27) දේවදූතයන් පවා “ඔහුට යටත් කරන ලද්දෝ වෙති.” (1 පේතෘස් 3:22) යෙහෝවා තම බලවත් ශුද්ධාත්මය යේසුස්ට බොහෝ සෙයින් ලබා දී තිබෙනවා. ඒ පොළොව මත සිය ගෝලයන්ට මඟ පෙන්වීම ලබා දීමට හැකි වන විදිහට. (යොහන් 15:26; 16:7) ඒ නිසා යේසුස්ට හැකි වුණා මෙහෙම කියන්න. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.” (මතෙව් 28:18) එහෙත්, අපගේ යාච්ඤා ගැන කල්පනා කර බලද්දී, යෙහෝවා ඒක කිසි කෙනෙකුට පවරන්නේ නැතුව තමන් විසින්ම පෞද්ගලිකව ඒවාට සවන් දෙන්නට තීරණය කර තිබෙන බව පේනවා. අප කරන යාච්ඤා යේසුස්ගේ නාමයෙන් යෙහෝවා වෙතටම ඔප්පු කරන්න කියා බයිබලයේ අපට උනන්දු කරන්නේ ඒ නිසායි.—ගීතාවලිය 69:13; යොහන් 14:6, 13.

16. යෙහෝවා අපගේ යාච්ඤාවලට ඇත්තටම සවන් දෙනවාය කියා කීමට අපට හැක්කේ ඇයි?

16 යෙහෝවා ඇත්තටම අපේ යාච්ඤාවලට කන් දෙනවාද? ඔහු අපේ යාච්ඤාවලට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැත්නම්, “නොකඩවා යාච්ඤා කරන්න” කියා හෝ අපගේ කරදර සහ සිත්තැවුල් තමන් වෙතට විසි කරන්න කියා හෝ ඔහු කවදාවක්වත් අපෙන් ඉල්ලා සිටින්නේ නැහැ. (රෝම 12:12; ගීතාවලිය 55:22; 1 පේතෘස් 5:7; NW) බයිබල් කාලවල විසූ ඇදහිලිවන්ත සේවකයන්ට තිබුණා යෙහෝවා තමන්ගේ යාච්ඤාවලට සවන් දෙන බවට ස්ථිර විශ්වාසයක්. (1 යොහන් 5:14) මේ නිසායි, ගීතිකාකාර දාවිත් මෙහෙම ලිව්වේ. “[යෙහෝවා] මාගේ බස් අසන්නේය.” (ගීතාවලිය 55:17) යෙහෝවා අපට ළංව සිටින බවටත් අපේ හැම සිතිවිල්ලක්ම ඔහු දන්නා බවටත් අපේ කාංසාවන් ඇසීමට ඔහු සූදානමින් සිටින බවටත් නිසැකව සිටීමට අපට හුඟාක් හේතු තිබෙනවා.

යෙහෝවා සිය සේවකයන්ට විපාක දෙයි

17, 18. (අ) සිය බුද්ධිමත් මැවිලි විසින් තමන්ට විශ්වාසවන්තව කරනු ලබන සේවය ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද? (ආ) අප කරන දයාවේ ක්‍රියාවන් යෙහෝවාට හොඳින් පෙනෙන බව හිතෝපදේශ 19:17න් විස්තර කෙරෙන ආකාරය පැහැදිලි කරන්න.

17 මිනිස්සු කුමක් කළත් නොකළත් ඒ මගින් විශ්වනීය පරමාධිපති හැටියට යෙහෝවාගේ තත්වයට කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ. කොහොමවුණත්, යෙහෝවා බොහෝ සෙයින් අප කරන දේවල් අගය කරන දෙවි කෙනෙක්. ඔහු තම බුද්ධිමත් මැවිලි සිදු කරන විශ්වාසවන්ත සේවය අගය කරනවා. ඇත්තටම කියනවා නම්, ඒක යෙහෝවාට හරියට වටිනවා. (ගීතාවලිය 147:11) එහෙමනම්, යෙහෝවාට ළංව සිටින අය විසින් භුක්ති විඳින තවත් ප්‍රයෝජනයක් තිබෙනවා. ඒ තමයි ඔහු සිය සේවකයන්ට මහත් විපාක ගෙන දීම.—හෙබ්‍රෙව් 11:6.

18 තවත් බයිබලය පැහැදිලිව පෙන්වන දෙයක් තමයි, තම නමස්කාරකයන් කරන හැම දෙයක්ම යෙහෝවා අගය කරන බව. උදාහරණයක් හැටියට අපිට මෙහෙම කියවන්නට තිබෙනවා. “දුප්පතුන්ට අනුකම්පා කරන්නා යෙහෝවාට ණයට දෙන්නේය. ඔහුගේ හොඳ ක්‍රියාවට ඔහු ඔහුට ප්‍රතිඵල දෙන්නේය.” (හිතෝපදේශ 19:17) දිලිඳුන් කෙරෙහි යෙහෝවා දැක්වූ දයාන්විත සැලකිල්ල මෝසෙස්ගේ නීතිය තුළ පැහැදිලිව පිළිබිඹු වුණා. (ලෙවී කථාව 14:21; 19:15) ඉතින් දිලිඳු අය සමඟ කටයුතු කරද්දී අපි යෙහෝවාගේ දයාව අනුකරණය කරනකොට යෙහෝවාට කොහොම හැඟෙයිද? අපි කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු නොවී දිලිඳු අයට දෙනකොට යෙහෝවා එය සලකන්නේ ඔහුට දුන් ණයක් හැටියටයි. එම ණය තම අනුග්‍රහයෙන් හා ආශීර්වාදයෙන් ගෙවීමට යෙහෝවා පොරොන්දු වෙනවා. (හිතෝපදේශ 10:22; මතෙව් 6:3, 4; ලූක් 14:12-14) ඔව්, අප සමඟ හවුලේ නමස්කාරයේ යෙදෙන කෙනෙකුට අපි දයානුකම්පාව පෙන්වද්දී, එය යෙහෝවාගේ හදවත ස්පර්ශ කරනවා. අප කරන දයාවේ ක්‍රියාවන් අපගේ ස්වර්ගික පියාණන්ට හොඳට පෙනෙන බව දැනගන්නට ලැබීම ගැන මොනතරම් කෘතඥපූර්වක විය යුතු දෙයක්ද!—මතෙව් 5:7.

19. (අ) දේශනා කිරීමේදී හා ගෝලයන් සෑදීමේදී අප දරන ප්‍රයත්නයන් යෙහෝවා අගය කරන බවට අපට සහතික වෙන්න පුළුවන් මන්ද? (ආ) සිය රාජ්‍යයට අනුබල දෙමින් පිරිනමන ක්‍රියාවන්ට යෙහෝවා විපාක දෙන්නේ කෙසේද?

19 යෙහෝවාගේ රාජ්‍යය වෙනුවෙන් අප කරන දෙය යෙහෝවා විශේෂයෙන්ම අගය කරනවා. අප යෙහෝවාට ළං වෙද්දී, රාජ්‍ය දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයට හැකි තාක් උපරිමයෙන් අපගේ කාලය, ශක්තිය හා ධනය වැය කිරීමට ආශාවක් ඇතිවීම ස්වාභාවිකයි. (මතෙව් 28:19, 20) ඇතැම් අවස්ථාවල අපට හිතෙන්න පුළුවන් අප සේවය තුළ ඉටු කරන්නේ බොහොම ටිකයි කියලා. යෙහෝවා අපගේ ප්‍රයත්න සම්බන්ධයෙන් සතුටු වෙනවාද කියලාත් අපේ අසම්පූර්ණ සිත තුළ යම් සැකයක් පහළ වෙන්න පුළුවන්. (1 යොහන් 3:19, 20) එහෙත්, ප්‍රේමයෙන් පෙලඹී මුළු හදවතින්ම කරන ලොකු කුඩා ඕනෑම ත්‍යාගයක් යෙහෝවා ඉතා ඉහළින් අගය කරනවා. (මාර්ක් 12:41-44) බයිබලය අපට සහතික කරන්නේ මෙහෙමයි. ‘ඔබේ වැඩද ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත.’ (හෙබ්‍රෙව් 6:10) ඇත්ත වශයෙන්ම, යෙහෝවාගේ රාජ්‍යයට අනුබල දෙමින් අප කරන පුංචිම ක්‍රියාවක් වුවත් යෙහෝවාට මතක තිබෙනවා විතරක් නෙමේ ඔහු ඒවාට විපාකත් දෙනවා. දැනටත් ආත්මික ආශීර්වාද භුක්ති විඳින අතරේදී, පැමිණීමට තිබෙන යෙහෝවාගේ නව ලෝකයේ ප්‍රීතියෙන් ජීවත් වීමේ අපේක්ෂාවද ඇතුව කල් යවමු. එහිදී යෙහෝවා තම හස්තය විදහා තමන්ට ළංව සිටින සියල්ලන්ගේ ධර්මිෂ්ඨ ආශාවන් සපුරාලනවා ඇති.—ගීතාවලිය 145:16; 2 පේතෘස් 3:13.

20. වසර 2003 පුරාම අපගේ වාර්ෂික පදයේ වචන මතකයේ තබාගැනීමට අපට හැක්කේ කොහොමද? ඉන් අත් වන ප්‍රතිඵල මොනවාද?

20 වසර 2003 පුරාම අපගේ ස්වර්ගික පියාණන්ට ළංව සිටීම සඳහා දිගින් දිගටම යත්න දරනවාද කියා අපි අපගෙන්ම අසාගනිමු. අප එසේ කරමින් සිටිනවා නම්, ඔහු පොරොන්දු වෙලා තියෙන දේ ඒ විදිහටම කරයි කියලා අපිට සහතික වෙන්න පුළුවන්. මන්ද, ‘දෙවිට බොරු කිව නොහැක.’ (තීතස් 1:1) ඔබ ඔහුට ළං වන්නේ නම්, ඔහුද ඔබට ළං වෙනවා නිසැකයි. (යාකොබ් 4:8 NW) ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? දැන් මහඟු ආශීර්වාද භුක්ති විඳීමට ලැබීමත් සදාකාලයටම යෙහෝවාට තව තවත් ළංවීමේ අපේක්ෂාවත්!

[පාදසටහන]

a මෙය 2000 මැයි 1 මුරටැඹ කලාපයේ 28-31 දක්වා පිටුවල පළ වූ “යෙහෝවා අපේ සිත අභිභවා යයි” නමැති ලිපියට දක්වන ලද ප්‍රතිචාරයකි.

ඔබට මතකද?

• යෙහෝවාට ළංව සිටින අයට ඔහු දෙන ත්‍යාගය කුමක්ද?

• තම ජනයාගේ ආත්මික ආරක්ෂාව උදෙසා යෙහෝවා සපයන සැපයුම් මොනවාද?

• යෙහෝවා වෙතට යාච්ඤාව තුළින් නිදහසේ ළඟාවීමට හැකිවීම අපූරු වරප්‍රසාදයක් වෙන්නේ මන්ද?

• යෙහෝවා සිය බුද්ධිමත් මැවිලි විසින් කරන විශ්වාසවන්ත සේවය අගය කරන බව බයිබලය අපට පෙන්වා දෙන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

යෙහෝවා අපට ආත්මික කාරණා අවබෝධ කරගැනීමට තීක්ෂ්ණ බුද්ධියක් ලබා දී තිබෙනවා

[16, 17වන පිටුවේ පින්තූර]

යෙහෝවා ආත්මික ආරක්ෂාව සපයනවා

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවා අපට ළංව සිටිනවා, අපගේ සෑම යාච්ඤාවක්ම ඇසීමට සූදානම්