Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ලිංගික දූෂණයකට ලක්වීමට සිදු වන විට මොරගැසිය යුතුයි කියා බයිබලයේ පවසන්නේ මන්ද?

ලිංගික දූෂණයකට ලක් වූ කෙනෙකුට මිස වෙන කෙනෙකුට එම දරුණු ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිතයට වන විශාල හානිය ගැන කවදාවත් තේරුම්ගන්න බැහැ. මෙම තැතිගන්වන සිද්ධියට මුහුණ පෑ කෙනෙකුට එය කොතරම් බලපානවාද කියනවා නම් එම අමිහිරි මතකය ජීවිතාන්තය පුරාවටම වද දිය හැකියි. * අවුරුදු කිහිපයකට පෙර අතවර කරන්නෙකුගේ ග්‍රහණයට ලක් වූ ක්‍රිස්තියානි කාන්තාවක් කිව්වේ මෙහෙමයි. “මම එදා රෑ අද්දැකපු ඒ භයෙන් සහ ඒ කම්පනයෙන් මිදෙන්න ඊට පස්සේ මට කොච්චර පොර බැදීමක් කරන්න සිදු වෙලා තියෙනවාද කියා විස්තර කරන්න ඇත්තෙන්ම මට වචන නැහැ.” ගොඩාක් අය මේ බියගන්වන විෂය ගැන හිතන්නවත් කැමති නැත්තේ ඇයි කියා තේරුම්ගත හැකියි. නමුත් ලිංගික දූෂණයට ලක්වීමේ අවදානම මේ දුෂ්ට ලෝකයේ අද්දකින්න සිදු වී තිබෙන සැබෑ තත්වයක්.

අතීතයේදී ලිංගික දූෂණයවලට ලක් වූවන් හා එවැනි අතවර කිරීමට උත්සහ කළ අය ගැන වාර්තා කිරීමට බයිබලය පසුබට වන්නේ නැහැ. (උත්පත්ති 19:4-11, 34:1-7; 2 සාමුවෙල් 13:1-14) කෙනෙක් අතවරයකට ලක් වී සිටින විටදී කළ යුතු දේ සම්බන්ධව උපදෙස්ද එහි සපයා තිබෙනවා. ඊශ්‍රායෙලිතයන්ට දුන් නීතියේ මේ සම්බන්ධව කියන්නේ කුමක්ද කියා ද්විතීය කථාව 22:23-27හි සඳහන් වෙනවා. මෙහි අවස්ථා දෙකක් ගැන කතා කරනවා. පළවෙනි අවස්ථාවේදී නුවරකදී පුරුෂයෙකුට කන්‍යාවක් සම්බ වී ඔහු ඈ සමඟ සයනය කළේය. එනමුත් ඇය මොරගැසුවේවත් උදව් ඉල්ලා කෑගැසුවේවත් නැහැ. “නුවර සිටලාත් මොර නොගැසූ” නිසා ඇය වැරදි බව තීරණය කරනු ලැබුවා. ඇය උපකාර ඉල්ලා කෑගැහැව්වා නම් සමහර විට අහල පහළ අයට ඇයව බේරගන්න තිබුණා. දෙවෙනි අවස්ථාවේදී මනුෂ්‍යයෙකුට කෙතේදී යෞවනියක් මුණගැසුණා. ඔහු “ඈට බලාත්කාර කොට ඈ සමඟ සයනය කළේය.” මෙයින් බේරීමට මේ යෞවනිය “මොරගැසූ නමුත් ඈ ගලවන්ට කිසිවෙක් නොසිටියේය.” පැහැදිලිවම පළමු අවස්ථාවේ යෞවනිය මෙන් නොව මෙම යෞවනිය බලහත්කාරකම් කළ තැනැත්තාගේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඇය තම සම්පූර්ණ ශක්තිය යොදා එයට විරුද්ධ වෙමින් උපකාර ඉල්ලා මොරගැසුවා. නමුත් ඔහුගේ ශක්තිය ඊට වඩා බලවත් වූ නිසා ඇයට මිදෙන්න හැකි වූණේ නැහැ. ඇයට එම තත්වයට මුහුණ දෙන්න සිදු වූයේ අකමැත්තෙන් බවත්, මේ සම්බන්ධව ඇය අත කිසි වරදක් නැති බවත් ඇයගේ එම මොරගැසීමෙන් ඔප්පු වුණා.

අද ක්‍රිස්තියානීන් මෝසෙස්ට දුන් නීතිය යටතේ නොසිටියත්, ඔවුන්ට තවමත් එහි ප්‍රතිපත්තිවලින් ප්‍රයෝජන ලබාගත හැකියි. එම වාර්තාවෙන් කාවද්දනු ලබන්නේ එවැනි දෙයකට විරුද්ධ වීමේ හා උපකාරය ඉල්ලා මොරගැසීමේ අවශ්‍යතාවයි. ලිංගික දූෂණයකට ලක්වීමේ අවදානම් තත්වයක සිටින විට කෑගැසීම ප්‍රඥාවන්ත ක්‍රියාමාර්ගයක් බව අද පවා පිළිගන්නවා. අපරාධ මර්දනය කිරීම පිළිබඳ ප්‍රවීණයෙක් පැවසුවේ “ගැහැනියක් කරදරයටක මුහුණ පාන විට ඇයට තියෙන හොඳම ආයුධය ඇගේ කටහඬයි.” ගැහැනියකගේ මොරගැසීමකට අනික් අයගේ අවධානය පහසුවෙන් ලබාගන්න පුළුවන් නිසා එමගින් උපකාරයක් ලබාගත හැකි වෙනවා. එසේත් නැත්නම් අපරාධකරු භය වෙලා පලා යන්න පුළුවන්. ස්ත්‍රී දූෂකයෙකුගේ ග්‍රහණයට අසු වූ එක් ක්‍රිස්තියානි කාන්තාවක් කිව්වේ “මම මගේ මුළු ශක්තියම යොදලා කෑගැහැව්වා, එතකොට ඔහු පස්සට ගියා. ඔහු ආයෙත් මං ළඟට ආවාම මම කෑගහලා දිව්වා. ඉස්සර නම් මම හිතුවේ ‘ඔය වගේ අරමුණක් හිතේ තියාගෙන මාව අල්ලගන්න හදන ශක්තිමත් මිනිහෙක් ඉස්සරහ කොච්චර කෑගැහැව්වත් වැඩක් වෙන එකක් නැහැ’ කියලායි. නමුත් දැන් මම දන්නවා ඒකෙන් අනිවාර්යයෙන්ම ප්‍රයෝජන තියෙනවා කියලා!”

සමහර අවස්ථාවලදී, ගැහැනු කෙනෙක් දුර්වල නිසා ශක්තිමත් කෙනෙක් ඇයව බලහත්කාරයෙන් දූෂණය කළද ඇය කළ පොරබැදීම සහ මොරගැසීම අපතේ යන්නේ නැහැ. මන්ද ඇය ඒ අපරාධකාරයාට විරුද්ධ වෙන්න කළ හැකි සියල්ලම කළා කියා සෑහීමකට පත් විය හැකියි. (ද්විතීය කථාව 22:26) එවැනි කුරිරු දෙයක් අද්දකින්න සිදු වුවද ඇයට පලුදු නොවූ හෘදය සාක්ෂියක්, ආත්ම ගෞරවයක් හා දෙවි ඉදිරියේ පිරිසිදු කෙනෙක් ලෙස පෙනී සිටිය හැකිය යන නිසැකකමක් තියෙනවා. ඇය අද්දුටු මේ දරුණු අද්දැකීම නිසා යම් චිත්තවේගීය තුවාල ඇතිවීමට පුළුවන්. නමුත් ඇය එම ප්‍රහාරයෙන් මිදෙන්න ඇයට කළ හැකි උපරිමය කළා යන හැඟීම එම චිත්තවේගීය තුවාල ක්‍රම ක්‍රමයෙන් සුව කරන්න දායක වෙයි.

ද්විතීය කථාව 22:23-27 දක්වා සඳහන් කෙටි වාර්තාව කියවා තේරුම්ගැනීමේදී, මුහුණ දිය හැකි සියලුම තත්වයන් ඉන් පැහැදිලි නොකෙරෙන බව අප මතක තබාගත යුතුයි. උදාහරණයකට මෙයට මුහුණ දෙන තැනැත්තිය ගොළු කෙනෙක් වීම, සිහි මුර්ඡා වීම හෝ භයවීම හේතුවෙන් යමක් කර කියා ගත නොහැකි තත්වයකට පත්වීම නිසා කෑගහන්න බැරිවීම මෙන්ම කෑගහන්න බැරි විදියට අතින් කට තද කර වැසීම හෝ පටියකින් බැඳීම වැනි තත්වයන් ගැන ඒ බයිබල් පදයේ කතා කරන්නේ නැහැ. කෙසේවෙතත් යෙහෝවා දෙවිට මේ සියලුම තත්වයන් හා චේතනා කිරා මැන බැලීමේ හැකියාව ඇති නිසා ඔහු එවැනි කාරණාවලදී කටයුතු කරන්නේ දැන්ගැන්මෙන් හා ධර්මිෂ්ඨකමින්. මන්ද “ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨ” වන නිසයි. (ද්විතීය කථාව 32:4) ඇත්ත වශයෙන්ම සිදු වූ සියලුම දේවල් හා එයින් මිදෙන්න ඇය විසින් ගත් සෑම උත්සහයක් ගැනම යෙහෝවා දන්නවා. ඒ නිසා මොරගසන්න බැරි වුවත් එම හිරිහැරයෙන් මිදෙන්න සෑම උත්සහයක්ම දැරූ තැනැත්තියකට කාරණය දෙවිගේ අතට භාර දෙන්න පුළුවන්.—ගීතාවලිය 55:22; 1 පේතෘස් 5:7.

කොහොම නමුත්, ලිංගික දූෂණයට ලක් වූ සමහර ක්‍රිස්තියානි කාන්තාවන් දිගින් දිගටම වරද සහිත හැඟීමෙන් වේදනා විඳිනවා. සිදු වූ දේ ගැන ආපසු සිතා බලන විට ඔවුන්ට හැඟෙන්නේ ඒ අවස්ථාවෙන් බේරීමට ඊට වඩා දෙයක් කරන්න තිබුණා කියායි. කෙසේවෙතත් තමන් පිට වරද පටවාගෙන දොස් පවරාගන්නවා වෙනුවට උපකාරය ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරන්න ඔවුන්ට හැකියි. ඒ වගේම යෙහෝවාගේ අධිකතර ප්‍රේමණීය කරුණාව ගැන විශ්වාසයෙන් සිටින්නද පුළුවන්.—නික්මයාම 34:6; ගීතාවලිය 86:5.

එමනිසා, ස්ත්‍රී දූෂකයෙකුගේ ග්‍රහණයට හසු වූ ක්‍රිස්තියානි කාන්තාවක් තවමත් චිත්තවේගීය වේදනා අද්දකිමින් සිටිනවා නම්, දෙවි ඇය අද්දකින සියලුම වේදනා හොඳින් තේරුම්ගන්නා බව සහතික වෙන්න ඇයට පුළුවන්. මන්ද දෙවිගේ වචනය ඔවුන්ට පොරොන්දු වෙන්නේ “යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින්නේය. තැළුණු හදවත් ඇත්තන්ට පිහිට වන්නේය” කියායි. (ගීතාවලිය 34:18, නව අනුවාදය) ක්‍රිස්තියානි සභාවේ සෙසු ඇදහිලිවන්තයන් මොවුන්ව අවංකව තේරුම්ගැනීමට සහ ඔවුන්ට කාරුණික උපකාර දීමට වෑයම් කරන විට එය පිළිගැනීමෙන් එම කම්පනයෙන් මිදෙන්න පුළුවන් වේවි. (යෝබ් 29:12; 1 තෙසලෝනික 5:14) තවද මෙවැනි තත්වයකට මුහුණු දුන් අයට ශුභවාදී දේවල් ගැන කල්පනා කිරීමෙන් “කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවිගේ සමාදානය” ලබාගත හැකියි.—පිලිප්පි 4:6-9.

[පාදසටහන]

^ 3 ඡේ. මෙම ලිපියේ මූලිකවම කතා කරන්නේ අතවරවලට ලක් වන කාන්තාවන් ගැන වුවද මෙහි සාකච්ඡාවට භාජනය කර ඇති ප්‍රතිපත්ති අතවරවලට මුහුණ පාන පිරිමින්ටද එක සේ බලපායි.