Skip to content

පටුනට යන්න

මතක තබාගත යුතුම දවස

මතක තබාගත යුතුම දවස

මතක තබාගත යුතුම දවස

එය මිනිසාට සදාකාලික ආශීර්වාද භූක්ති විඳීමේ ප්‍රස්තාව උදා කර දෙමින් ඔවුන්ගේ අනාගතය මුළුමනින්ම වෙනස් කළ දවසයි. ඉතිහාසයේ වෙන කිසිම දවසක් මිනිසාගේ අනාගතය කෙරෙහි එතරම් ප්‍රබල බලපෑමක් ඇති කිරීමට සමත් වී නැහැ. යේසුස් තමා පොළොවට පැමිණි අරමුණ මුළුමනින්ම ඉටු කළේ එදායි. වධකණුවක ඇණ ගසා සිටි ඔහු තම අවසන් හුස්ම හෙළුවේ, “එය ඉටු වී තිබේ!” යයි මොරගසමිනුයි. (යොහන් 19:30, NW) ඇත්තෙන්ම, යේසුස් පොළොවට පැමිණ සිටියේ කුමන අරමුණක් උදෙසාද?

“මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොව, සේවය කරන්නත් බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමටත්ය” යනුවෙන් බයිබලය පිළිතුරු සපයනවා. (මතෙව් 20:28, NW) යේසුස් තම ප්‍රාණය නැතහොත් ජීවිතය දුන්නේ මිනිසා උරුම කරගත් පාපයෙන් සහ මරණයෙන් ඔවුන්ව බේරාගැනීමටයි. ඒ ගැන නම් කිසිම සැකයක් නැහැ. මන්ද “දෙවි ලෝකයට මොනතරම් ප්‍රේම කළාදයත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16, NW) යේසුස්ගේ මිදීමේ පූජාව මොනතරම් අනර්ඝ දීමනාවක්ද!

යේසුස් මිය ගිය දවස මතක තබාගත යුතු වීමට තවත් හේතුවක් තිබෙනවා. ඇදහිල්ල දිගටම පවත්වාගැනීමට උපකාරවත් වන වටිනා පාඩම් කිහිපයක් එම දවසේදී දෙවිගේ පුත්‍රයා තම ප්‍රේරිතයන්ට ඉගැන්වුවා. එම අවසාන පැය කිහිපයේදී ඔහු ඉගැන්වූ වදන් ගෝලයන්ගේ හදවත්වලට කොයිතරම් කාවදින්න ඇද්ද කියා සිතා බලන්න! යේසුස් ඒ අවස්ථාවේදී ඉගැන්වූයේ මොනවාද? ඔහු ඉගැන්වූ ඒ දේවලින් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද? එම ප්‍රශ්න ඊළඟ ලිපියේදී සාකච්ඡා කෙරේ.