Skip to content

පටුනට යන්න

‘සැබෑව කියන තොල සදහටම පවතියි’

‘සැබෑව කියන තොල සදහටම පවතියි’

‘සැබෑව කියන තොල සදහටම පවතියි’

ලැව් ගින්නක් හටගන්වා මුළු වනපෙතක්ම විනාශ කර දැමීමට පුංචි ගිනිසිළුවකට හැකි වන්නා සේම, යමෙකුගේ මුළු ජීවිතයම විනාශ කර දැමීමට මෙයට හැක. විෂ බඳුනක් විය හැකි මෙයට ‘ජීවන වෘක්ෂයක්ද’ විය හැකියි. (හිතෝපදේශ 15:4) මරණය සහ ජීවනය ගෙන දීමට මෙයට බලය ඇත. (හිතෝපදේශ 18:21) අපේ මුළු ශරීරයටම කැලලක් විය හැකි තරම් ශක්තියක් අපේ මේ පුංචි අවයවයක් වන දිවෙහි තිබේ. (යාකොබ් 3:5-9) අපි දිව රැකගන්නවා නම් ඥානවන්තයෝ වන්නෙමු.

ඉපැරණි ඊශ්‍රායෙලයේ විසූ සාලමොන් රජ අප කටින් පිට කරන වචන ගැන පරෙස්සම් වීමට අපට උපකාරවත් වන වටිනා අවවාද, බයිබලයේ හිතෝපදේශ පොතේ 12වන පරිච්ඡේදයේ දෙවන කොටසෙහි සපයයි. සංක්ෂිප්ත නමුත් අර්ථවත් හිතෝපදේශ මගින් නැණවත් රජ පෙන්වා දෙන්නේ මුවින් පිට කරන වචනවලින් යම් බලපෑමක් ඇති කරන බවත් කතා කරන තැනැත්තාගේ ගුණාංග පිළිබඳවද ඉන් සෑහෙන යමක් හෙළි වන බවත්ය. ‘තොල් නමැති දොර රක්ෂා කරගැනීමට’ කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සාලමොන්ගේ ආනුභාව ලත් උපදෙස මිල කළ නොහැක.—ගීතාවලිය 141:3.

‘මලපතකට හසු කරන අපරාධය’

“තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ. එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙන්නේය” කියා සාලමොන් පවසයි. (හිතෝපදේශ 12:13) බොරු කීම තොල්වල අපරාධයක් වන අතර බොරු කියන තැනැත්තා සඳහා එය මාරාන්තික උගුලක් වේ. (එළිදරව් 21:8) දඬුවමෙන් බේරීම සඳහා හෝ අප්‍රසන්න තත්වයක් මඟහැරීම සඳහා පහසුම මාර්ගය වංකකමින් කටයුතු කිරීම බව පෙනිය හැක. එහෙත් එක බොරුවක් බොහෝවිට තවත් බොරු වැළකට මඟ පාදන්නේ නැද්ද? සුළු මුදලකින් සූදුවේ නියැලෙන්න පටන්ගන්නා තැනැත්තෙකු, අහිමි වන මුදල ලබාගැනීමට ඊට වඩා විශාල මුදලකට ඔට්ටු අල්ලන්නට පෙලඹෙන්නාක් මෙන්, බොරුකාරයෙකුද වැඩි කල් යෑමට පෙර තමා කටු අත්තක පැටලී සිටින්නාක් මෙන් දුෂ්ට ක්‍රියාදාමයකට හසු වී සිටින බව දැනගනියි.

අන් අයට බොරු කියන තැනැත්තා අන්තිමේදී තමන්ටම බොරු කියාගන්නා තත්වයකට පත්වීම තොල්වල අපරාධයෙහි තවත් මලපතකි. උදාහරණයක් වශයෙන්, බොරුකාරයෙකු තමා මනා දැනුමක් ඇති අතිදක්ෂයෙකු බව තමාටම ඒත්තුගන්වාගත හැක. එහෙත් යථාර්ථය නම් ඔහු සතු දැනුම අල්පය යන්නයි. මේ නිසා ඔහු බොරුවෙන් ජීවත් වීමට පටන්ගනී. සැබවින්ම, “ස්වකීය අයුතුකම එළිදරව් වන්නේවත් පිළිකුල් වන්නේවත් නැතැයි ඔහු තමාගේ ඇස් හමුයෙහි තමාටම චාටු කරගනියි.” (ගීතාවලිය 36:2) බොරු කීම මොන තරම් භයානක මලපතක්ද! අනික් අතට, ධර්මිෂ්ඨයා එවැනි දුෂ්කර තත්වයකට තමාවම නොදමනු ඇත. චිත්ත පීඩාවෙන් සිටින විට පවා ඔහු බොරු නොකියනු ඇත.

‘තෘප්තිය ගෙන දෙන පල’

“නොරැවටෙන්න. දෙවිට සරදම් කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය” කියා ප්‍රේරිත පාවුල් අනතුරු අඟවයි. (ගලාති 6:7) මෙම ප්‍රතිපත්තිය ඇත්තෙන්ම අපේ කතාවට මෙන්ම අපේ ක්‍රියාවලට අදාළ වේ. සාලමොන් මෙසේ පවසයි. “මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ පලය නිසා යහපතෙන් තෘප්තිමත් වන්නේය. මනුෂ්‍යයෙකුගේ දෑතේ ක්‍රියාවල පලයද ඔහුට දෙනු ලැබේ.”හිතෝපදේශ 12:14.

‘ඥානය කතා කරන’ මුඛය තෘප්තිමත් පල නිපදවයි. (ගීතාවලිය 37:30) ඥානයට දැනුම අවශ්‍ය වන අතර කිසි මනුෂ්‍යයෙකු සියල්ල දත් කෙනෙකු නොවේ. සෑම කෙනෙකුම හොඳ අවවාදවලට සවන් දී ඒවා පිළිපැදිය යුතුය. “මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය. එහෙත් ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය” කියා ඊශ්‍රායෙලයේ රජ පවසයි.—හිතෝපදේශ 12:15.

යෙහෝවා තම වචනය මගින්ද, “විශ්වාසවන්ත නුවණැති දාසයා” සපයා ඇති ප්‍රකාශන යොදාගනිමින් තම සංවිධානය මගින්ද අපට අගනා අවවාද දෙයි. (මතෙව් 24:45; 2 තිමෝති 3:16) හොඳ උපදෙස් ප්‍රතික්ෂේප කරමින් අපේම ක්‍රමයට දේවල් කිරීම මොන තරම් අනුවණ ක්‍රියාවක්ද! “මනුෂ්‍යයාට ඥානය උගන්වන්නාවූ තැනැත්තා” වන යෙහෝවා, ඔහුගේ අදහස් හුවමාරු කිරීමේ මාධ්‍යය මගින් අපට අවවාද කරන විට අප “ඇසීමට ඉක්මන් විය යුතුය.”—ගීතාවලිය 94:10; යාකොබ් 1:19, NW.

නින්දා අපහාසවලට හෝ අසාධාරණ විවේචනයන්ට නැණවතුන් හා අනුවණයන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? සාලමොන් මෙසේ පිළිතුරු දෙයි. “මෝඩයාගේ කෝපවීම එවෙලේම එළිදරව් වන්නේය. එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය.”හිතෝපදේශ 12:16.

අනුවණ තැනැත්තෙකුට ඇනුම් පදයක් කියූ විට ඔහු හෝ ඇය ඉක්මන් වී “එවෙලේම” කේන්තියෙන් ප්‍රතිචාරය දක්වයි. එහෙත් දූරදර්ශී තැනැත්තෙක් ආත්ම දමනයෙන් යුතුව ක්‍රියා කිරීමට හැකි වන සේ දෙවිගේ ආත්මය ඉල්ලා යාච්ඤා කරයි. දෙවිගේ වචනයේ ඇති උපදෙස් මෙනෙහි කිරීමටත්, කෘතඥපූර්වකව යේසුස්ගේ මෙම වචන ගැන සිතා බැලීමටත් ඔහු කාලය ගත කරයි. “යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.” (මතෙව් 5:39) ‘කාටවත් නපුරට නපුර නොකිරීමට’ කැමති බුද්ධිමත් තැනැත්තා කටවාචාලකමට කතා නොකරමින් තම තොල් රැකගනී. (රෝම 12:17) එලෙසම අපට කරන ඕනෑම ලජ්ජාවක්, අගෞරවයක් අප ගණන් නොගෙන සිටිනවා නම්, ඉන් එහාට සිදු වන වාද විවාදවලින් වැළකී සිටීමටද අපට හැකි වේ.

‘සුවය හටගන්වන දිව’

විනිශ්චය දිය යුතු අවස්ථාවකදී තොල්වල අපරාධය මහත් හානියක් සිදු කළ හැක. ඊශ්‍රායෙල් රජ මෙසේ පවසයි. “සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය.” (හිතෝපදේශ 12:17) සැබෑ සාක්ෂියක් දෙන්නෙකු සත්‍ය මෙන්ම විශ්වසනීය සාක්ෂියක් දෙන බැවින් විශ්වාසවන්තභාවය පෙන්වන්නේය. ඔහුගේ වදන් යුක්තිය ඉටු කිරීමට දායක වෙයි. අනික් අතට, බොරු සාක්ෂිය මුළාවෙන් පිරී පවතින අතර යුක්තිය පෙරළීමටද එය හේතු සාධකයක් වේ.

“කඩුවෙන් අනින්නාක් මෙන් රළු බස් කීමක් තිබේ. එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය” කියා සාලමොන් තවදුරටත් පවසයි. (හිතෝපදේශ 12:18) කඩුවෙන් අනින්නාක් මෙන් භාවිත කරන වචනවලට මිත්‍රත්වයන් පලුදු කිරීමට හා දබර හටගැන්වීමට පුළුවනි. එසේ නැතහොත් ලස්සන, ප්‍රසන්න වචනවලට හැකියි මිත්‍රත්වයන් රැකීමට. නම් පටබැඳීම, බැණවැදීම, තොරතෝංචියක් නැතුව විවේචනය කිරීම හා පහත් ලෙස නින්දා කිරීම යනාදිය සිතේ ගැඹුරු තුවාල ඇති කරන කඩු පහරවල් මෙන් නොවන්නේද? අවංකව සමාව ඉල්ලීමේ සුවදායි වචන භාවිත කරමින් එම පැතිවලින් අප සිදු කරන අත්වැරදි නිවැරදි කිරීම මොන තරම් ප්‍රසන්න දෙයක්ද!

අප ජීවත් වන මෙම දුෂ්කර කාල පරිච්ඡේදය තුළ “බිඳුණු සිත්” සහ “තැළුණු ආත්ම” ඇති බොහෝදෙනෙකු සිටීම අරුමයක් නොවේ. (ගීතාවලිය 34:18) “අධෛර්යයට පත්ව සිටින අයට සහනයක් ගෙන දෙන ආකාරයෙන් කතා කරන” විට හා “දුර්වලයන්ට උපකාර කරන” විට අපේ වචනවල සුවය ගෙන දෙන බලය ක්‍රියාත්මක වීමට ඉඩ දෙමින් සිටිනවා නොවේද? (1 තෙසලෝනික 5:14, NW) හානිදායක තුල්‍ය පීඩනය සමඟ පොරබදන නහඹරයන්ව දිරිගැන්වීමට දයානුකම්පිත වචනවලට ඇත්තෙන්ම හැකියි. කල්පනාකාරීව කතා කිරීමෙන් මහලු අයව අවශ්‍ය බවත් ඔවුන්ට ප්‍රේම කරන බවත් තහවුරු කිරීමට පුළුවනි. අසනීප වී සිටින්නන්ගේ දවස් ස්ථිර වශයෙන්ම දීප්තිමත් කිරීමට කරුණාවන්ත වචනවලට හැකියි. “මෘදුකමේ ආත්මයෙන් යුක්තව” තරවටුවක් දෙනවා නම්, එය පිළිගැනීමට වඩා පහසුයි. (ගලාති 6:1) එමෙන්ම සවන් දෙන අය සමඟ දේවරාජ්‍යයේ ශුභාරංචිය බෙදාගැනීමට පාවිච්චි කරන දිව මොන තරම් සුවදායකද!

‘සැබෑව කියන තොල සදහටම පවතියි’

‘දිවට’ සමාන අර්ථයක් ඇතුව “තොල” යන වචනය යොදාගනිමින් සාලමොන් මෙසේ පවසයි. “සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි. එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.” (හිතෝපදේශ 12:19) හෙබ්‍රෙව්වලින් ඒකවචනයක් ලෙස යොදා ඇති “සැබෑව කියන තොල” යන ප්‍රකාශයෙහි නිකම් සත්‍යය කතා කරනවාට වඩා ගැඹුරු අර්ථයක් තිබේ. “කල් පවතින, ස්ථිර හා විශ්වසනීය වැනි ගුණාංග ඉන් අඟවන” බව එක් මූලාශ්‍රයක පවසයි. “මෙම ගුණාංග සහිත කතාව . . . සදහටම පවතිනු ඇත්තේ මන්දයත් එය බොරුකාර දිවට වෙනස්ව විශ්වාසදායක වන නිසාය. . . . බොරුකාර දිව රැවටී මොහොතකට පැවතිය හැකි මුත් පරීක්ෂණයට භාජන කළ විට වැඩි කල් පැවතීමට එයට නොහැක.”

“නපුර යොදන්නන්ගේ සිත්වල වංචාව තිබේ. එහෙත් සමාදානය පිණිස මන්ත්‍රණය කරන්නන්ට ප්‍රීතිය ඇත්තේය” කියා ඥානවන්ත රජ පවසයි. “ධර්මිෂ්ඨයන්ට කිසි අනතුරක් නොවන්නේය. එහෙත් දුෂ්ටයෝ විපතෙන් පිරී යන්නෝය” කියාද ඔහු තවදුරටත් පවසයි.—හිතෝපදේශ 12:20, 21.

නපුරු ලෙස කුමන්ත්‍රණ කරන්නන්ට අත් විය හැක්කේ වේදනාව හා දුක් විඳීම පමණයි. අනික් අතට, සමාදානය පිණිස මන්ත්‍රණය කරන්නෝ හරි දේ කිරීමෙන් තෘප්තියට පත් වෙති. හොඳ ප්‍රතිඵල දැකීමෙන් ඔවුහු ප්‍රීතියද ලබති. ඊටත් වඩා වැදගත් ලෙස ඔවුහු දෙවිගේ අනුමැතිය භුක්ති විඳින්නේ මන්දයත් “බොරුකාර තොල් යෙහෝවාට පිළිකුලක්ය. එහෙත් සැබෑ ලෙස හැසිරෙන්නන්ට ඔහු ප්‍රසන්නය” යන හේතුව නිසාය.—හිතෝපදේශ 12:22.

‘දැනගැන්ම සඟවන කතාව’

තම වචන ගැන පරෙස්සම් වන හා පරෙස්සම් නොවන තැනැත්තා අතර ඇති තවත් වෙනසක් විස්තර කරමින් ඊශ්‍රායෙලයේ රජ මෙසේ පවසයි. “බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය. එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශ කරන්නේය.”හිතෝපදේශ 12:23.

නැණවත් හෝ දූරදර්ශී මනුෂ්‍යයා කතා කළ යුතු හා නොකළ යුතු අවස්ථාව දනී. ඔහු තමන් දන්නා දේ උජාරුවට පෙන්වීමෙන් වැළකී තම දැනුම සඟවාගනී. ඔහු සැමවිටම සිය දැනුම සඟවන බවක් මින් අදහස් නොකෙරේ. ඒ වෙනුවට, ඔහු නුවණක්කාර ලෙස එය භාවිත කරයි. ඊට වෙනස්ව, අනුවණ තැනැත්තා කතා කිරීමට ඉක්මන් වන අතර ඔහුගේ මෝඩකම විදහා දක්වයි. එබැවින්, අපේ වචන ස්වල්ප කරගෙන, පුරසාරම් නොදොඩා දිව රැකවල් කරගනිමු.

පැති දෙකේ වෙනස තවදුරටත් ගෙනහැර දැක්වීමට සාලමොන් කඩිසර වීම සහ අලසකම සම්බන්ධයෙන් විචිත්‍රවත් කරුණක් සඳහන් කරයි. ඔහු මෙසේ පවසයි. “කඩිසර අයගේ අත ආණ්ඩු කරන්නේය. එහෙත් අලසයෝ දාස වැඩට යටත් වන්නෝය.” (හිතෝපදේශ 12:24) වෙහෙසී වැඩ කිරීම දියුණුවට මඟ පෑදිය හැකි අතර එය මූල්‍යමය වශයෙන් ස්වාධීනව සිටීමටද දායක වෙයි. එහෙත් අලසකම බලෙන් වැඩ ගැනීමට හා දාසභාවයට හේතු වේ. එක් විශාරදයෙකු පවසන්නේ “කාලයක් ගත වෙත්ම අලස තැනැත්තා කඩිසර තැනැත්තාගේ දාසයෙකු බවට පත්” වන බවය.

‘සන්තෝෂය ගෙන දෙන වචනය’

මිනිස් ස්වභාවය පිළිබඳ පැහැදිලි නිරීක්ෂණයක් කරමින් සාලමොන් රජ කතා කරන අන්දම ගැන යළිත් යමක් පවසයි. “මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව [කනස්සල්ල, NW] නිසා එය නැමී යයි. එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂ කරයි” කියා ඔහු පවසයි.—හිතෝපදේශ 12:25.

දොම්නසින් සිත බරවීමට සැලැස්විය හැකි කාන්සාවන් හා වෙනත් කාරණා බොහොමයක් තිබේ. බර සැහැල්ලු කිරීමට හා සිත ප්‍රීතිමත් කිරීමට අවශ්‍ය වන්නේ තේරුම්ගන්නාසුලු පුද්ගලයෙකුගෙන් ලැබෙන දිරිගැන්වීමේ හොඳ වචනයකි. එහෙත් අපේ හදවත විවෘත කර අපේ කාන්සාවන් ගැන නොකිවහොත් කොතරම් කාන්සාවකින් පෙළෙනවාද කියා අන් අය දැනගන්නේ කෙසේද? ඔව්, චිත්ත පීඩාව හෝ කනස්සලුභාවය අද්දකින විට උපකාර කළ හැකි දයානුකම්පිත තැනැත්තෙකුට අප සිතේ තිබෙන දේ පැවසිය යුතුයි. එපමණක්ද නොව, හැඟීම් වචනවලට පෙරළීමෙන් හදවත යම් දුරකට හෝ සැහැල්ලු කරගත හැකි වේ. එබැවින්, විවාහ කලත්‍රයෙකු, දෙමාපියෙකු හෝ දයානුකම්පිත හා ආත්මිකව සුදුසුකම් ලබා ඇති මිතුරෙකු සමඟ කතා කිරීම සුදුසුයි.

බයිබලයේ තිබෙන වචනවලට වඩා වැඩි දිරිගැන්වීමක් දෙන වචන තිබෙන්නේ වෙන කොතැනකද? එසේනම්, ඔහුගේ ආනුභාවය ලත් වචනය අගයෙන් යුතුව මෙනෙහි කරමින් අප දෙවිට සමීප විය යුතුය. එලෙස මෙනෙහි කිරීමෙන් කරදරවලින් පිරි හදවතකට ප්‍රීතිය ගෙන දීමටත් දුක්මුසු දෙනෙත්වලට එළියක් දීමටත් ඇත්තෙන්ම හැකියි. ගීතිකාකරු මීට එකඟව මෙසේ පවසයි. “යෙහෝවාගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත් කරන්නේය. යෙහෝවාගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත් කරන්නේය. යෙහෝවාගේ පනත් සාධාරණය, සිත ප්‍රීති කරවන්නේය. යෙහෝවාගේ ආඥාව පවිත්‍රය, ඇස් එළිය කරන්නේය.”—ගීතාවලිය 19:7, 8.

ජීවනය ගෙන දෙන මාවත

අවංක හා දුෂ්ට මාර්ගයේ වෙනස දක්වමින් ඊශ්‍රායෙලයේ රජ මෙසේ පවසයි. “ධර්මිෂ්ඨයා තම අසල්වාසියාට මඟ පෙන්වන්නෙක් වේ. එහෙත් දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන්ව මුළා කරයි.” (හිතෝපදේශ 12:26) ධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේම අසල්වාසීන් ගැන, එනම් ඔහු තෝරාගන්නාවූ ආශ්‍රිතයන් හා මිත්‍රයන් ගැන පරෙස්සම් වේ. නැණවත් ලෙස ඔවුන්ව තෝරාගන්නාවූ ඔහු හානිදායක සම්බන්ධකම්වලින් වැළකීමට වෑයම් කරයි. අවවාද ප්‍රතික්ෂේප කරමින් තමාගේම මතයට අනුව වැඩ කරන දුෂ්ටයන් එසේ නොවේ. නොමඟ යන ඔවුහු අතරමං වෙති.

සාලමොන් රජ ඊළඟට අලසකම හා කඩිසරකම අතර වෙනස වෙනත් කෝණයකින් දක්වයි. “අලසයා දඩයමෙන් ගත් දේ පුලුස්සා නොගනියි. එහෙත් කඩිසර වීම මනුෂ්‍යයන්ට අනර්ඝ සම්පතක්ය” කියා ඔහු පවසයි. (හිතෝපදේශ 12:27) “අලස තැනැත්තා දඩයමක් කරන්නේ” හෝ තම ආහාරය “පුලුස්සාගන්නේ” හෝ නැත. (නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්) ඇත්තෙන්ම, පටන්ගන්නා දේ අවසන් කිරීමටවත් ඔහුට නොහැකි වේ. අනික් අතට, කඩිසරකම යනු ධන සම්පතකි.

අලසකම මොන තරම් හානිකරද කියතොත් තෙසලෝනිකයේ සෙසු ක්‍රිස්තියානීන්ට ඒ ගැන ලිවිය යුතුයි කියා පාවුල්ට හැඟුණේ ‘නොහික්මුණු ආකාරයකින් හැසිරෙමින්’ සිටි ඇතැම් අයව නිවැරදි කිරීමට අවශ්‍ය වූ නිසාය. තමන්ට අයිති නැති කාරණාවලට ඇඟිලිගසමින් සිටි ඔවුහු කිසිම වැඩක් පළක් නොකළහ. එවැනි අය අන් අයට මහත් බරක් වී තිබිණ. එබැවින් පාවුල් ප්‍රසිද්ධියේ ඔවුන්ට අවවාද කරමින් ‘සන්සුන්ව වැඩ කරමින්, තමුන්ම උපයාගත් කෑම කන්න’ කියා උපදෙස් දුන්නේය. එමෙන්ම මෙම ස්ථිර අවවාදයට ඔවුන් ප්‍රතිචාරය නොදක්වනවා නම්, සභාවේ සිටින අන් අයට පාවුල් උපදෙස් දුන්නේ ඔවුන්ගෙන් “වෙන්ව” සිටින්න කියාය. පැහැදිලිවම ඔහු අදහස් කළේ සාමාජීය කාරණාවලදී ඔවුන්ව මඟහැරීමයි.—2 තෙසලෝනික 3:6-12, NW.

කඩිසර වීම පිළිබඳව සාලමොන් දුන් අවවාදය පමණක් නොව අපේ දිව සුදුසු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු දුන් උපදෙස්ද අප සිතට ගත යුතුයි. තොල්වල අපරාධයෙන් වැළකී, අවංක ක්‍රියාවල යෙදෙමින් අපේ පුංචි අවයවයෙන් සුවය හටගැන්වීමට හා ප්‍රීතිය ගෙන දීමට අපි වෙර දරමු. “ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය ඇත. එම ගමන් මඟෙහි මරණය නැත” කියා සාලමොන් අපේ බිය සැක දුරු කරයි.—හිතෝපදේශ 12:28, NW.

[27වන පිටුවේ පින්තූර]

“ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය”

[28වන පිටුවේ පින්තූර]

“ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය”

[29වන පිටුවේ පින්තූරය]

විශ්වාසවන්ත මිත්‍රයෙකු සමඟ සිතේ ඇති දේ කීම සහනය ගෙන දෙන්නකි

[30වන පිටුවේ පින්තූරය]

දෙවිගේ වචනය අගයෙන් යුතුව මෙනෙහි කිරීම සිත ප්‍රීති කරවන්නකි