Skip to content

පටුනට යන්න

මෙලොව පාරාදීසයක් වේයැයි විශ්වාස කළ හැක

මෙලොව පාරාදීසයක් වේයැයි විශ්වාස කළ හැක

මෙලොව පාරාදීසයක් වේයැයි විශ්වාස කළ හැක

ඉතිහාසය පුරාම මිලියන සංඛ්‍යාතයකගේ විශ්වාසය වී තිබෙන්නේ තමන් කවදා හෝ මෙලොව අතැර සුර ලොවට යන බවය. සමහරෙකුට හැඟී තිබෙන්නේ මෙලොව අපේ ස්ථිර නිවහන විය යුතු බව අපේ මැවුම්කරු කිසිදා අදහස් නොකරන්න ඇත කියාය. මුනිවරයන් ඊටත් ඔබ්බට ගොස් තිබේ. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු මෙලොව හා මෙහි තිබෙන භෞතික සියල්ල සලකන්නේ නියම ආත්මිකත්වයක් ලබාගෙන දෙවිට සමීප වීම වළක්වන නරක දේවල් ලෙසය.

ඉහත අදහස් දැරූ අය, එක්කෝ පාරාදීස පොළොවක් පිළිබඳව දෙවි පවසා තිබෙන දේ නොදැන සිටින්න ඇති එසේ නැතහොත් වුවමනාවෙන්ම ඒ ගැන තැකීමක් නොකරන්න ඇති. ඇත්තවශයෙන්ම දේවානුභාවය ලැබූ මිනිසුන් විසින් දෙවිගේ වචනය වන බයිබලයෙහි මෙම විෂය ගැන වාර්තා කරනු ලැබ ඇති දේ සෝදිසි කිරීමට අද දින බොහෝදෙනෙක් කිසි උනන්දුවක් නොදක්වති. (2 තිමෝති 3:16) එහෙත් මිනිසුන්ගේ න්‍යායන් විශ්වාස කරනවාට වඩා දෙවිගේ වචනය විශ්වාස කිරීම ඥානවන්ත දෙයක් නොවන්නේද? (රෝම 3:4) ඇත්තෙන්ම, අප එසේ කිරීම අත්‍යවශ්‍යය. මන්ද බලවත් අදෘශ්‍යමාන දුෂ්ට කෙනෙකු මිනිසුන්ව ආත්මිකව අන්ධ කර තිබෙන අතර දැන් ‘මුළු පොළොවම නොමඟ යවමින්’ සිටියි කියා බයිබලයෙහි අපට අවවාද කර තිබේ.—එළිදරව් 12:9, NW; 2 කොරින්ති 4:4.

මන්ද මෙවන් වියවුලක්?

ජීවිතය හා මරණය පිළිබඳව තිබෙන ගැටෙනසුලු අදහස් නිසා මේ ලෝකය සඳහා දෙවිගේ අරමුණ කුමක්ද යන්න ගැන මිනිසුන් වියවුල් වී ඇත. මිය යත්ම මිනිස් සිරුරෙන් වෙන් වී ගොස් ජීවත් වන අදෘශ්‍යමාන යමක් අප තුළ තිබේයයි බොහෝදෙනෙක් විශ්වාස කරති. තවත් අය විශ්වාස කරන්නේ මිනිස් සිරුර නිර්මාණය කිරීමට පෙර මිනිසාගේ මෙම අදෘශ්‍යමාන කොටස පැවති බවය. එක් ආශ්‍රේය ග්‍රන්ථයක පවසන පරිදි ග්‍රීක් දාර්ශනිකයෙකු වූ ප්ලේටෝට හැඟුණේ මිනිසාගේ මෙම අදෘශ්‍යමාන කොටස “සුර ලොවේ සිටියදී කළ පාපවලට දඬුවමක් වශයෙන් සිරුර තුළ සිර කර ඇති” බවය. එලෙසම, තුන්වන සියවසේ දේවධර්මාචාර්ය ඔරිගන් පැවසුවේ “කෙනෙකුගේ අදෘශ්‍යමාන කොටස සිරුරට එක්වීමට පෙර, [සුර ලොවේදී] පව් කර තිබෙන අතර “ඔවුන් කළ එම පාපවලට දඬුවමක් වශයෙන් එය [මෙලොවේ ඇති එම සිරුරෙහි] සිර කරනු ලැබූ” බවය. එමෙන්ම මිලියන සංඛ්‍යාතයකගේ විශ්වාසය වී තිබෙන්නේ, මිනිසා සුර ලොවට යන ගමනේදී හමු වන මේ පොළොව යම් ආකාරයක පරීක්ෂණ භූමියක් පමණක් කියාය.

කෙනෙකු මිය යන විට සිදු වන දේ සම්බන්ධයෙන්ද විවිධ අදහස් පවතී. බටහිර දර්ශනවාදයේ ඉතිහාසය (සිංහලෙන් නැත) නමැති පොතට අනුව “මළවුන් පාතාල ලෝකයට බැස යනවා” යන අදහස ඊජිප්තුවරුන් ඇති කරගෙන තිබුණි. මළවුන් අන්ධකාර පාතාලයකට බසිනවා නොව, ඇත්තෙන්ම ඔවුන් ඉහළ තිබෙන ආත්ම ලෝකයක් කරා නඟිනවා කියමින් පසු කලෙක දාර්ශනිකයෝ වාද කළහ. ග්‍රීක් දාර්ශනික සොක්‍රටීස්ගේ මතය වී තිබෙන්නේ, මරණයේදී කෙනෙකු “අදෘශ්‍යමාන ලෝකයක් තුළට පිවිස . . . ඉතිරි කාලය පුරා දෙවිවරුන් සමඟ එහි වෙසෙන බවය.”

බයිබලයේ පවසන්නේ කුමක්ද?

මිනිසුන් තුළ අදෘශ්‍යමාන අමරණීය දෙයක් තිබෙනවා කියා බයිබලයෙහි දේවානුභාවය ලත් වචනයේ කොතැනකවත් පවසන්නේ නැත. උත්පත්ති 2:7හි සඳහන් වාර්තාව ඔබම කියවා බලන්න. එහි පවසන්නේ “ස්වාමි වූ දෙවි භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස් පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය” කියාය. එය පැහැදිලියි; තේරුම්ගත හැකියි. දෙවි මුල් මිනිසා වූ ආදම්ව මැවූ විට ඔහු තුළට අදෘශ්‍යමාන දෙයක් දැමුවේ නැත. බයිබලයේ පවසන්නේ “මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය” කියාය. ඔහු ජීවමාන පුද්ගලයෙකු වූවා මිසක ඔහු තුළට අමරණීය දෙයක් දමා තිබුණේ නැති බව මෙයින් පැහැදිලි වේ.

මේ ලෝකය සහ මිනිස් පවුල මවද්දී යෙහෝවාගේ අරමුණ වූයේ මිනිසා මිය යනවා දැකීම නොවේ. දෙවිගේ අරමුණ වූයේ පාරාදීසමය තත්වයක් අතරේ මිනිසුන් සැමදා මෙලොවෙහි ජීවත් වනවා දැකීමය. ආදම් මිය ගියේ දෙවිගේ නීතියට ඔහු අකීකරු වූ නිසාවෙනි. (උත්පත්ති 2:8, 15-17; 3:1-6; යෙසායා 45:18) මුල් මිනිසා මිය ගිය විට ඔහු ආත්මයන් සැරිසරන ලොවකට ගියාද? නැත! ආදම් නමැති මිනිසාව සාදා තිබුණේ අජීවි තත්වයක පවතින දූවිල්ලෙනි. එබැවින්, ඔහු මිය ගිය විට යළි දූවිල්ලටම හැරී ගියේය.—උත්පත්ති 3:17-19.

අපි සියලුදෙනාම අපේ ආදි පියා වූ ආදම්ගෙන් පාපය හා මරණය උරුම කරගෙන සිටින්නෙමු. (රෝම 5:12) එබැවින් ආදම් මෙන් අපිද මිය යෑමේදී පැවැත්මෙන් තොර වන්නෙමු. (ගීතාවලිය 146:3, 4) ඇත්තවශයෙන්ම, බයිබලයේ පොත් 66න් එක පොතකවත් මිනිසා මිය යන විට ඔහු තුළ තිබෙන අමරණීය දෙයක් ඉතිරි වන බව කොයිම විදිහකින්වත් අඟවන්නේ නැත. ඒ වෙනුවට, ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව පවසන්නේ කෙනෙකු මිය යන විට එතැනින් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම නිම වන බවයි.—දේශනාකාරයා 9:5, 10.

භෞතික දේවල් නරක දේවල්ද?

මෙලොව ඇතුළු භෞතික දේවල් සියල්ල නරකයි යන අදහස ගැන කුමක් කිව හැකිද? ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේදී මානි නමැත්තා විසින් පර්සියාවේ පිහිටෙවූ ආගමික නිකායක් වූ මානිවාදයට පක්ෂව සිටි අය දැරුවේ එවැනි දෘෂ්ටියකි. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා මෙසේ පවසයි. “මිනිසා උරුම කරගෙන ඇති කටුක වේදනාව හේතුවෙන් බිහි වූවකි මානිවාදය. මානිගේ අදහස වූයේ මිනිසත්බව ලැබී තිබීම “අස්වාභාවික, දැරිය නොහැකි මෙන්ම මුළුමනින්ම නරක දෙයක්” බවය. මෙම ‘කටුක වේදනාවෙන්’ මිදීමට නම් මිනිසා තුළ පවතින අදෘශ්‍යමාන කොටස සිරුරෙන් ගැලවී මෙලොව අතැර, ආත්ම ජීවියෙකු බවට පත් වී ආත්මයන් සැරිසරන ලොවක ජීවත් විය යුතු බවද ඔහු විශ්වාස කළේය.

ඊට පටහැනිව, බයිබලයේ අපට පවසන්නේ, පොළොව සහ මිනිස් වර්ගයා යන “තමන් සෑදූ සියල්ලම” මැවූ අවස්ථාවේ දෙවිගේ දෘෂ්ටියට අනුව ඒවා “ඉතා යහපත්ව” තිබූ බවය. (උත්පත්ති 1:31) ඒ අවස්ථාවේ මිනිසුන් හා දෙවි අතර තිබූ සම්බන්ධයට කිසිම බාධකයක් තිබුණේ නැත. පරිපූර්ණ මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස් තම ස්වර්ගික පියා සමඟ කුලුපග සබඳතාවක් භුක්ති වින්දා සේම ආදම් සහ ඒවද යෙහෝවා සමඟ සමීප සබඳතාවක් භුක්ති වින්දෝය.—මතෙව් 3:17.

අපේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒව පව්කාර ක්‍රියාමාර්ගයක් අනුව නොගියා නම් පාරාදීස පොළොවක සදහටම සිටිමින් යෙහෝවා දෙවි සමඟ සමීප සබඳතාවක් පවත්වාගන්න ඔවුන්ට හැකිකම තිබිණ. ඔවුන්ගේ ජීවිතය ඇරඹුණේ පාරාදීසයේදීය. මන්ද ශුද්ධ ලියවිල්ලේ අපට මෙසේ පවසයි. “ස්වාමි වූ දෙවි නැඟෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටෙවුවේය.” (උත්පත්ති 2:8) ඒවව මැව්වේ පාරාදීසයක්ව තිබූ ඒදන් උයනෙහිදීය. ආදම් හා ඒව පව් නොකර සිටියා නම්, ඔවුන්ටත්, ඔවුන්ගේ පරිපූර්ණ ජනිතයන්ටත් ප්‍රීතියෙන් එකට වැඩ කරමින් මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කිරීමට හැකිකම තිබිණ. (උත්පත්ති 2:21; 3:23, 24) භූමික පාරාදීසය මිනිස් වර්ගයාගේ සදාතනික නිවහන වන්නට තිබිණ.

සමහරු ස්වර්ගයට යන්නේ මන්ද?

‘එහෙත් මිනිසුන් ස්වර්ගයට යන බව බයිබලයේ පවසනවානේ. එහෙම නේද?’ යනුවෙන් ඔබ පැවසිය හැක. ඔව්. ආදම් පව් කළ පසු ස්වර්ගික රාජ්‍යයක් ස්ථාපිත කිරීමට යෙහෝවා අරමුණු කළේය. ආදම්ගෙන් පැවත එන සමහරුන් යේසුස් ක්‍රිස්තුස් සමඟ එහි සිට “පොළොව කෙරෙහි රජකම් කිරීමට නියමිතය.” (එළිදරව් 5:10, NW; රෝම 8:17) ඔවුන්ව ස්වර්ගයේ අමරණීය ජීවිතයක් සඳහා නැවත නැඟිටුවීමට නියමිතය. ඔවුන්ගේ මුළු සංඛ්‍යාව 1,44,000ක් වන අතර ඔවුන්ගෙන් පළමුවැන්නන් වූයේ පළමු සියවසේ සිටි යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයන්ය.—ලූක් 12:32; 1 කොරින්ති 15:42-44; එළිදරව් 14:1-5.

කෙසේවෙතත්, අවංක, ධර්මිෂ්ඨ මිනිසුන් පොළොව අතැර ස්වර්ගයට යෑම දෙවිගේ මුල් අරමුණ නොවීය. ඇත්තවශයෙන්ම, යේසුස් මෙලොවෙහි සිටියදී මෙසේ පැවසුවේය. “ස්වර්ගයෙන් බැස ආ මනුෂ්‍ය පුත්‍රයා හැර අන් කිසි මිනිසෙක් ස්වර්ගයට නැංගේ නැත.” (යොහන් 3:13, NW) යේසුස්ගේ පූජාව කෙරෙහි අදහන්නන්ට සදාකාල ජීවනය ලැබීමට හැකි වන සේ දෙවි “මනුෂ්‍ය පුත්‍රයා” වන යේසුස් ක්‍රිස්තුස් තුළින් මිදීමේ මිලයක් සැපයුවේය. (රෝම 5:8) එහෙත් මිලියන සංඛ්‍යාතදෙනෙක් සදහටම කොතැනක ජීවත් වනු ඇද්ද?

දෙවිගේ මුල් අරමුණ ඉටු වනු ඇත

ස්වර්ගික රාජ්‍යයේ යේසුස් ක්‍රිස්තුස්ගේ හවුල් පාලකයන් ලෙස සේවය කිරීම සඳහා මිනිස් පවුලෙන් සමහරෙකු ගැනීමට දෙවි අදහස් කළත් යහපත් සියල්ලන්වම ස්වර්ගයට ගන්න බව ඉන් අදහස් නොකෙරේ. යෙහෝවා පොළොව මැව්වේ එය මිනිස් පවුලේ පාරාදීස නිවහන වීමටය. ළඟදීම දෙවි තම මුල් අරමුණ ඉටු කරනු ඇත.—මතෙව් 6:9, 10.

යේසුස් ක්‍රිස්තුස්ගේ හා ඔහුගේ ස්වර්ගික හවුල් පාලකයන්ගේ පාලනය යටතේ මුළු ලොවෙහිම සාමය හා සතුට තිබෙනු ඇත. (ගීතාවලිය 37:9-11) දෙවිගේ මතකයේ සිටින්නන්ව නැවත නැඟිටුවන අතර ඔවුන් පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්ති විඳිනු ඇත. (ක්‍රියා 24:15) කීකරු මිනිස් වර්ගයා දෙවි කෙරෙහි වූ තම විශ්වාසවන්තභාවය රැකීම නිසා, අපේ මුල් දෙමාපියන් අහිමි කරගත් පාරාදීස පොළොවක පරිපූර්ණත්වයෙන් යුතු සදාකාල ජීවනය ඔවුන්ට දානය කරනු ලැබේ.—එළිදරව් 21:3, 4.

තමා අරමුණු කරන දේ ඉටු කිරීමට යෙහෝවා දෙවි අසමත් වන්නේ නැත. තම අනාගතවක්තෘ යෙසායා මගින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා, සශ්‍රීක කර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක් මෙන්, මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදු කොට, මා නියම කළ කාරණය සඵල කරනවා ඇත.”—යෙසායා 55:10, 11.

පාරාදීස පොළොවෙහි ජීවිතය පිළිබඳ යම් චිත්‍රයක් බයිබලයේ යෙසායා පොතෙන් අපට ලබාගත හැකිය. පාරාදීසයේ වෙසෙන කිසිවෙකු “තමා ලෙඩින්” යයි නොකියනු ඇත. (යෙසායා 33:24) සත්වයන්ගෙන් මිනිසාට අනතුරක් නොවනු ඇත. (යෙසායා 11:6-9) ජනයා අලංකාර නිවාස ගොඩනඟා ගෙන එහි වාසය කරමින්, භෝග වගා කර, සිතේ හැටියට ඒවා භුක්ති විඳිමින් සිටිනු ඇත. (යෙසායා 65:21-25) එපමණක්ද නොව, දෙවි “මරණය සදාකාලයටම ගිල [දමන්නේය]; ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය.”—යෙසායා 25:8.

ළඟදීම කීකරු මිනිස් වර්ගයා එවැනි ආශීර්වාද ලත් තත්වයක ජීවත් වනු ඇත. ඔවුන් “දිරාපත් වීමේ වහල්කමින් නිදහස් වී දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස” ලබනු ඇත. (රෝම 8:21, NW) පොරොන්දු වී ඇති ආකාරයට මෙලොවෙහි සදහටම පාරාදීසයක ජීවත් වීමට ලැබීම මොන තරම් චමත්කාරජනක අද්දැකීමක් වනු ඇද්ද! (ලූක් 23:43) ශුද්ධ ලියවිල්ලේ තිබෙන නිවැරදි දැනුමට එකඟව ඔබ ක්‍රියා කරමින්, යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටිනවා නම් ඔබට හැකියි එහි සිටීමට. මෙලොවේ ඇති වන පාරාදීසයක් ගැන විශ්වාසය තැබීම හරවත් දෙයක් බවට නිසැකකමක් තබාගැනීමටද ඔබට හැක.

[5වන පිටුවේ පින්තූරය]

ආදම් සහ ඒවව මවා තිබුණේ මෙලොවෙහි පාරාදීසයේ සදහටම ජීවත් වීමටය

[7වන පිටුවේ පින්තූර]

පාරාදීස පොළොවක . . .

ඔවුන් ගෙවල් ගොඩනඟනු ඇත

මිදිවතු වවනු ඇත

යෙහෝවාගෙන් ආශීර්වාද ලබනු ඇත

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

U.S. Fish & Wildlife Service, Washington, D.C./NASA