Skip to content

පටුනට යන්න

උත්පත්ති පොතෙන් විශේෂාංග—I

උත්පත්ති පොතෙන් විශේෂාංග—I

යෙහෝවාගේ වචනය ජීවමානය

උත්පත්ති පොතෙන් විශේෂාංග—I

“උත්පත්ති” යන වචනයෙන් අදහස් කරන්නේ “පටන්ගැන්ම” නැතහොත් “ජන්මය” යන්නයි. විශ්වය බිහි වූ සැටි, මිනිස් වාසය සඳහා පොළොව සැකසූ සැටි මෙන්ම එහි විසීමට මිනිසා පැමිණි ආකාරය විස්තර කරන පොතකට සුදුසුම නම එයයි. සීනයි පාළුකරයේදී මෙම පොත ලියූ මෝසෙස් ක්‍රි.පූ. 1513දී එය ලියා අවසන් කළා විය හැකියි.

ජලගැල්මට පෙර ලෝකය ගැන, ජලගැල්මෙන් පසුව නව යුගයට පා තැබූ විට සිදු වූ දේ ගැන මෙන්ම ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ යෝසෙප් සමඟ යෙහෝවා දෙවි කටයුතු කළ ආකාරය ගැන උත්පත්ති පොතේ අපට පවසයි. මෙම ලිපියෙන් උත්පත්ති 1: 1-11:9හි සඳහන් විශේෂාංග සලකා බැලෙන අතර මූලිකවම කුලදෙටු ආබ්‍රහම් සමඟ යෙහෝවා කටයුතු කිරීමට පටන්ගත් කාලය වන තෙක් එහි සඳහන් වේ.

ජලගැල්මට පෙර ලෝකය

(උත්පත්ති 1:1-7:24)

උත්පත්ති පොතේ “පටන්ගැන්මෙහිදී” කියා පැවසෙන ආරම්භක වදන් වසර බිලියන ගණන් ඈත අතීතයකට අපව ගෙන යයි. මැවීමේ “දවස්” හයේදී සිදු වූ දේවල් හෝ මැවීමේ විශේෂ ක්‍රියා ඇතුළත් කාල පරිච්ඡේදයන් එහි විස්තර කර තිබෙන්නේ එදා කවරෙකු හෝ පොළොවේ සිටියේ නම් ඒ දෙස ඔහු බලා සිටියාක් මෙනි. හයවන දින අවසාන භාගයේදී දෙවි මිනිසාව මැව්වේය. මිනිසාගේ අකීකරුකම හේතුවෙන් අප්‍රමාදව පාරාදීසය අහිමි වුවත් යෙහෝවා බලාපොරොත්තුවක් දෙයි. බයිබලයේ මුල්ම අනාවැකිය පාපයේ බලපෑම් ඉවත් කරන හා සාතන්ගේ හිස පොඩි කර දමන “වංශය” සම්බන්ධයෙන් කතා කරයි.

ඊළඟ සියවස් 16 පුරා ආබෙල්, ඒනොක් සහ නෝවා වැනි ඇදහිලිවන්ත කීපදෙනෙකු හැර අන් සියලුදෙනාවම දෙවිගෙන් ඉවතට හැරවීමට සාතන් සමත් වෙයි. උදාහරණයක් වශයෙන් කායින් තම ධර්මිෂ්ඨ සහෝදරයා වූ ආබෙල්ව මරා දමයි. “මනුෂ්‍යයෝ යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කරන්ට [පටන්ගන්නා]” නමුත් පෙනෙන විදිහට ඒ අගෞරවනීය ආකාරයකටයි. ලාමෙක් එම වකවානුවේදී පැවති ප්‍රචණ්ඩත්වය හොඳින් පිළිබිඹු වන කාව්‍යයක් තනයි. එහි ඔහු තමා තරුණයෙකු මැරූ ආකාරය විස්තර කරන්නේ එය තම ආත්ම ආරක්ෂාවට සිදු කළායයි පවසමිනි. දෙවිගේ අකීකරු දේවදූත පුත්‍රයන් ස්ත්‍රීන්ව භාර්යාවන් ලෙස පාවාගෙන නෙෆිලිම් නම් ලත් ප්‍රචණ්ඩකාරී යෝධයන්ව බිහි කරන විට තත්වයන් තවත් පිරිහෙයි. එහෙත්, ඇදහිලිවන්ත නෝවා නැව ගොඩනඟමින් සිටින්නේ පැමිණීමට නියමිත ජලගැල්ම ගැන අන්‍යයන්ට නිර්භීතව අනතුරු අඟවමිනි. ඉන් අනතුරුව ඔහුද ඔහුගේ පවුලද මහා විපත්තියෙන් බේරෙති.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

1:16—හතරවන දවස වන තුරු ආලෝකයන් සාදා නොතිබුණා නම් දෙවි පළමු දිනයේදී එළිය හටගන්වන්නේ කෙසේද? උත්පත්ති 1වන පරිච්ඡේදයේ 16වන පදයෙහි සඳහන් “සෑදුවේය” යන වචනය උත්. 1:1, 21 සහ 27 යන පදවල භාවිත කර තිබෙන “මැව්වේය” යන වචනය හා සමාන නැත. ‘අහස’ ඇතුළු එහි තිබෙන ආලෝකයන් මවා තිබුණේ ‘පළමු දවස’ පටන්ගැනීමට බොහෝ කලකට පෙර සිටය. එහෙත් ඒවායෙහි ආලෝකය භූමිය මතුපිට පතිත වූයේ නැත. පළමු දවසේදී ‘එළිය වූයේ’ විසිරී තිබූ ආලෝකය වලාකුළු අතරින් පොළොවට විහිදී පොළොව තුළ ආලෝකය දක්නට ලැබීම හේතුවෙනි. මේ නිසා භ්‍රමණය වන පෘථිවියෙහි දිවා රෑ හටගත්තේය. (උත්පත්ති 1:1-3, 5) එහෙත් ආලෝක ප්‍රභවයන් මේ වන විටද පොළොවේ දක්නට නොලැබුණි. කෙසේවුවද මැවීමේ හතරවන දවසේදී සැලකිය යුතු වෙනසක් සිදු විය. මේ අවස්ථාවේදී “පොළොවට එළිය දෙන” හිරු, සඳු හා තරු මතුවීමට සැලැස්විය. (උත්පත්ති 1:17) ‘දෙවි ඒවා සාදා’ තිබුණායයි කීමෙන් අදහස් කරන්නේ පොළොවේ සිට ඒවා දැකීමට සැලැස්වූ බවය.

3:8, 9—යෙහෝවා දෙවි ආදම්ට කෙළින්ම කතා කළාද? දෙවි බොහෝවිට මිනිසුන්ට කතා කළේ දේවදූතයෙකු මාර්ගයෙන්යයි බයිබලයේ හෙළි කරයි. (උත්පත්ති 16:7-11; 18:1-3, 22-26; 19:1; විනිශ්චයකාරයන් 2:1-4; 6:11-16, 22; 13:15-22) දෙවි වෙනුවෙන් කතා කරන ප්‍රධාන තැනැත්තාව සිටියේ “වචනය” ලෙසින් හැඳින්වූ ඔහුගේ ඒකජාතක පුත්‍රයාය. (යොහන් 1:1, NW) පෙනෙනාකාරයට ආදම් හා ඒවට දෙවි කතා කළේ “වචනය” මාර්ගයෙනි.—උත්පත්ති 1:26-28; 2:16; 3:8-13.

3:17—භූමිය ශාප ලද්දේ කෙලෙසද? කොපමණ කලකටද? භූමියට කළ ශාපය නිසා එය වගා කිරීම ඒ අවස්ථාවේ සිට ඉතා අසීරු කාර්යයක් විය. කටුද ගොකටුද උපදවන ශාප ලත් භූමියේ ප්‍රතිඵල ආදම්ගේ ජනිතයන්ට මොන තරම් තදින් දැනුණාද කිවහොත් නෝවාගේ පියා වූ ලාමෙක් “යෙහෝවා ශාප කළ භූමිය කරණකොටගෙන වූ අපගේ වැඩද අත්වල වෙහෙසද” පිළිබඳව කතා කළේය. (උත්පත්ති 5:29) ජලගැල්මෙන් පසු නෝවා සහ ඔහුගේ පුත්‍රයන්ට ආශීර්වාද කළ යෙහෝවා, තම අරමුණ වන්නේ ඔවුන් විසින් පොළොව පූර්ණ කරනු ලැබීම බව පැවසුවේය. (උත්පත්ති 9:1) පෙනෙනාකාරයට දෙවි භූමිය මතට ගෙනැවිත් තිබූ ශාපය එවිට ඉවත් කර තිබුණි.—උත්පත්ති 13:10.

4:15—යෙහෝවා ‘කායින්ට ලකුණක් නියම කළේ’ කෙසේද? කායින්ගේ ශරීරයෙහි ලකුණක් දැමූ බව බයිබලයේ කොතැනකවත් පවසා නැත. ලකුණට ඇතුළත් වන්න ඇත්තේ අන් අය දැන සිටි මෙන්ම අන් අයගේ අවධානයට ලක් වූ ගම්භීර ප්‍රකාශයක් විය හැකියි. එම ලකුණ නියම කළේ පළිගැනීමේ චේතනාවෙන් ඔහුව මරා දැමීම වැළැක්වීමේ අදහසින් විය හැකියි.

4:17—කායින්ට භාර්යාවක් ලැබුණේ කොහෙන්ද? ආදම්ට “දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.” (උත්පත්ති 5:4) එසේනම් කායින් භාර්යාව වශයෙන් පාවාගත්තේ තමාගේම සහෝදරියක හෝ සමහරවිට ඔහුගේම ඥාති දියණියකි. පසු කලෙක, ඊශ්‍රායෙල්ට දුන් දෙවිගේ නීතියෙහි මාංසික සහෝදරයෙකු හා සහෝදරියක විවාහ කරගැනීමට අවසරයක් දී තිබුණේ නැත.—ලෙවී කථාව 18:9.

5:24—දෙවි ‘ඒනොක්ව ගත්තේ’ කුමන ආකාරයෙන්ද? පෙනෙන විදිහට ඒනොක් මාරාන්තික අනතුරක අවදානමෙහි සිටි නමුත් ඔහුගේ සතුරන්ගේ අතින් ඔහුට වේදනා විඳීමට දෙවි ඉඩ දුන්නේ නැත. “ඒනොක් මරණය නොදකින පිණිස ගෙන යන ලදි” කියා ප්‍රේරිත පාවුල් ලීවේය. (හෙබ්‍රෙව් 11:5, NW) දෙවි ඒනොක්ව ස්වර්ගයට ගෙන එහි ජීවත් වෙන්න සැලැස්වූ බවක් මින් අදහස් නොකෙරේ. යේසුස් ස්වර්ගයට ගිය පළමු තැනැත්තාය. (යොහන් 3:13; හෙබ්‍රෙව් 6:19, 20) ඒනොක්ව “මරණය නොදකින පිණිස ගෙන යන ලදි” යන්නෙන් දෙවි ඔහුට අනාවැකිමය දර්ශනයක් දකින්න සලස්වා, එම තත්වයේ සිටියදීම ඔහුගේ දිවි කෙළවර වීමට සැලැස්වූ බව අදහස් විය හැක. එවැනි තත්වයන් යටතේ ඒනොක් සතුරන් අතින් වේදනා වින්දේ හෝ ‘මරණය දැක්කේ’ හෝ නැත.

6:6—මිනිසාව සෑදූ බැවින් යෙහෝවා ‘තැවුණා’ යයි පැවසිය හැක්කේ කුමන අර්ථයෙන්ද? මෙහි ‘තැවුණා’ යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය අදාළ වන්නේ ආකල්පයේ හෝ පරමාර්ථයේ ඇති වන වෙනසකටය. යෙහෝවා පරිපූර්ණ බැවින් මිනිසාව මැවීමේදී ඔහුට අත්වැරදීමක් සිදු වූයේ නැත. කෙසේවුවද, ජලගැල්මට පෙර සිටි දුෂ්ට පරම්පරාව සම්බන්ධයෙන් ඔහුගේ මනසේ ආකල්පය වෙනස් කරගත්තේය. ඔවුන්ගේ දුෂ්ටකම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කිරීමක් වශයෙන් ඔවුන්ව විනාශ කරන්නා බවට පත්වීම සඳහා මිනිසාගේ මැවුම්කරු වූ දෙවි තම ආකල්පය වෙනස් කරගත්තේය. ඔහු ඇතැම් අයව ගලවාගැනීමෙන් පෙන්වන්නේ ඔහුගේ ‘තැවීම’ දුෂ්ටයන් බවට පත් වී සිටි අය වෙනුවෙන් පමණක් සීමා වූ බවය.—2 පේතෘස් 2:5, 9.

7:2—පවිත්‍ර සහ අපවිත්‍ර සත්වයන් අතර වෙනස තීරණය කිරීමට පදනම වශයෙන් යොදාගැණුනේ කුමක්ද? වෙනස තීරණය කිරීමට පදනම වූයේ නමස්කාරය සඳහා භාවිත කළ පූජාවන් මිස ආහාරයට ගත හැකි සතුන් හෝ නොහැකි සතුන් ලෙස නොවේ. ජලගැල්මට පෙර සත්ව මාංස මිනිසාගේ ආහාරයේ කොටසක් වූයේ නැත. ආහාරයට ගත යුතු “පවිත්‍ර” සහ “අපවිත්‍ර” දේ වශයෙන් වෙන් කිරීමක් කර තිබුණේ මෝසෙස්ගේ නීතිය යටතේ පමණක් වන අතර එම නීතිය අවලංගු කිරීමත් සමඟම එයද අහෝසි විය. (ක්‍රියා 10:9-16; එපීස 2:15) පෙනෙනාකාරයට යෙහෝවාට නමස්කාර කිරීම සඳහා පූජා කිරීමට සුදුසු දේ කුමක්ද කියා නෝවා දැන සිට ඇත. ඔහු නැවෙන් පිටතට ගිය වහාම “යෙහෝවාට පූජාසනයක් ගොඩනඟා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය.”—උත්පත්ති 8:20.

7:11—ලොව පුරා ජලගැල්මක් ඇති කිරීමට තරම් ජලය පැමිණියේ කොතැනින්ද? මැවීමේ දෙවන කාල පරිච්ඡේදයේදී හෝ ‘දවසේදී’ පෘථිවියේ වායුගෝලීය “අවකාශය” සෑදූ විට “අවකාශයට යටින්” සහ “අවකාශයට උඩින්” ජලය තිබිණි. (උත්පත්ති 1:6, 7) “යටින්” තිබූ ජලය ඒ වන විටත් පොළොවේ තිබිණි. අවකාශයට “උඩින්” තිබූ ජලය පොළොවෙන් ඉතා ඉහළ වායුගෝලයේ විශාල පරිමාණවලින් රැඳී තිබූ අධික තෙතමනයෙන් යුත් වායුගෝලීය ස්තරයයි. “මහත් ගැඹුර” වන්නේ එයයි. එහි වූ ජලය පොළොවට ඇද හැළුණේ නෝවාගේ කාලයේදීය.

අපට පාඩම්:

1:26. දෙවිගේ ස්වරූපයෙන් සාදනු ලැබූ මිනිසාට දෙවිගේ ගුණාංග පිළිබිඹු කිරීමට හැකියාව තිබේ. අපව මවපු දෙවිව පිළිබිඹු කරමින් ප්‍රේමය, දයාව, කරුණාවන්තකම, යහපත්කම සහ ඉවසිලිවන්තකම වැනි ගුණාංග වර්ධනය කරගැනීමට අප නිසැකවම වෑයම් කළ යුතුය.

2:22-24. විවාහය දෙවිගේ විධිවිධානයකි. පවුලේ හිස වශයෙන් ස්වාමිපුරුෂයා මෙහෙයක් ඉටු කරන විවාහ බැම්ම පරිශුද්ධ ස්ථිර එකකි.

3:1-5, 16-23. සන්තෝෂය රඳා පවතින්නේ අපේ පෞද්ගලික ජීවිතයේදී අප යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළිගැනීම මතය.

3:18, 19; 5:5; 6:7; 7:23. යෙහෝවාගේ වචනය සැමවිටම සැබෑ වේ.

4:3-7. ආබෙල් ඇදහිලිවන්ත ධර්මිෂ්ඨ මිනිසෙකු වූ නිසා යෙහෝවා ඔහු ඔප්පු කළ දේට ප්‍රසන්න විය. (හෙබ්‍රෙව් 11:4) අනික් අතට, කායින්ගේ ක්‍රියාවලින් පෙනී ගියේ ඔහුට ඇදහිල්ල නොතිබූ බවය. ඔහුගේ දුෂ්ට ක්‍රියාවලට ඊර්ෂ්‍යාව, වෛරය සහ මිනී මැරීම ඇතුළත් විය. (1 යොහන් 3:12) එපමණක්ද නොව, ඔහු ඔප්පු කළ දේ කෙරෙහි මතුපිටින් යන්තම් සැලකිල්ලක් දැක්වූවා විය හැකි අතර එය ඔප්පු කළේ කරන්නන් වාලේ කරන්නාක් මෙනි. යෙහෝවාට පුද කරන අපේ ප්‍රශංසාවේ පූජාවන් මුළු හෘදයෙන් හා සුදුසු ආකල්පයක් හා මනා හැසිරීමක්ද ඇතුව ඔප්පු කළ යුතු නොවේද?

6:22. නැව ගොඩනඟන්න වසර ගණනාවක් ගත වුවත් දෙවි අණ කළ ලෙසම නෝවා කළේය. එබැවින් නෝවා සහ ඔහුගේ පවුල ජලගැල්මේදී බේරුණෝය. යෙහෝවා අපට ඔහුගේ ලිඛිත වචනය මාර්ගයෙන් කතා කරන අතර ඔහුගේ සංවිධානය මගින් මඟ පෙන්වීම් දෙයි. සවන් දී කීකරු වීමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපටමය.

7:21-24. යෙහෝවා දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශ කරන්නේ නැත.

මිනිස් වර්ගයා නව යුගයකට පා තබති

(උත්පත්ති 8:1-11:9)

ජලගැල්මට පෙර තිබූ ලෝකය පහව ගිය පසු මිනිස් වර්ගයා නව යුගයකට පා තබති. මස් කෑමට මිනිසාට අවසර දෙන්නේ රුධිරයෙන් වැළකීමේ ආඥාවද සමඟිනි. මිනී මැරුමක් සිදු කළ විට මරණීය දඬුවම දීම සඳහා යෙහෝවා අවසර දෙන අතර යළි කවදාවත් තවත් ජලගැල්මක් නොගෙනෙන බවට පොරොන්දු වෙමින් දේදුන්නේ ගිවිසුම පිහිටුවයි. නෝවාගේ පුතුන් තිදෙනා මුළු මිනිස් සංහතියේම මුතුන්මිත්තන් බවට පත් වන නමුත් ඔහුගේ මුණුබුරෙකුගේ පුතෙකු වූ නිම්රොද් “යෙහෝවා ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක්” බවට පත් වේ. පොළොව පූර්ණ කිරීම සඳහා විසිරී යනවා වෙනුවට ජනයා තමන්ටම උසස් නාමයක් සාදාගැනීමට බාබෙල් නම් නගරයක් සහ කොතක් ගොඩනැඟීමට තීරණය කරති. ඔවුන්ගේ භාෂාව වියවුල් කර, පොළොව පුරා ඔවුන්ව විසුරුවාහරින විට ඔවුන්ගේ අභිප්‍රායන් නිෂ්ඵල වී යයි.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

8:11—ජලගැල්මෙන් ගස් කොළන් විනාශ වී ගියා නම් පරෙවියාට ඔලීව කොළයක් ලැබුණේ කොතැනින්ද? ක්‍රම දෙකක් තිබිය හැකියි. ඔලීව යනු ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන ශක්තිමත් ගසක් වන නිසා ජලගැල්ම සමයේදී ජලය යට එය මාස ගණනක් තිබුණා විය හැකියි. ජලය බැස යනවාත් සමඟම මතු වූ ඔලීව ගසක් නැවතත් වියළි භූමිය මතුපිටට විත් එහි කොළ වැඩුණා විය හැකියි. එසේ නැතහොත් පරෙවියා නෝවාට ගෙනා ඔලීව කොළය ජලගැල්මේ ජලය සිඳී ගිය පසු හටගත් පැළයක දල්ලක් විය හැකියි.

9:20-25—නෝවා කානාන්ට ශාප කළේ මන්ද? කානාන් තම සීයා වූ නෝවාට එරෙහිව යම් දූෂිත දෙයක් කිරීමෙන් වරදකාරයෙක් බවට පත් වී සිටියා විය හැකිය. කානාන්ගේ පියා වූ හාම් එය දුටු නමුත් එම ක්‍රියාව නතර කිරීමට වෑයමක් නොදරා එම සිද්ධිය පැතිරෙවූ බවයි පෙනෙන්න තිබෙන්නේ. කෙසේවුවද නෝවාගේ අනික් පුතුන් දෙදෙනා වූ ෂෙම් හා යඵෙත් තම පියාව රැකගැනීමට ක්‍රියා කළහ. මේ හේතුව නිසා ඔවුන්ට ආශීර්වාද ලැබුණි. එහෙත් කානාන්ට ශාප කරනු ලැබූ අතර හාම් තම ජනිතයන්ව ලජ්ජාවට පත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වේදනා වින්දේය.

10:25—පෙලෙග්ගේ දවස්වලදී පොළොව ‘බෙදී’ තිබුණේ කෙසේද? ක්‍රිස්තු පූර්ව 2269 සිට 2030 දක්වා පෙලෙග් ජීවත් විය. “ඔහුගේ දවස්වලදී” යෙහෝවා බාබෙල් ගොඩනැඟූවන්ගේ භාෂාව වියවුල් කර පොළොව පුරා ඔවුන්ව විසුරුවාහැරියේය. (උත්පත්ති 11:9) මෙබැවින් “පොළොව [හෝ පොළොවේ ජනගහනය] බෙදන්ට යෙදුණේ” පෙලෙග්ගේ දවස්වලදීය.

අපට පාඩම්:

9:1; 11:9. මිනිසාගේ උපායකට හෝ වෑයමකට යෙහෝවාගේ අරමුණ වෙනස් කළ නොහැක.

10:1-32. ජලගැල්ම පිළිබඳව 5වන පරිච්ඡේදයේ සහ 10වන පරිච්ඡේදයේ සඳහන් පෙළපත් පසුබිම හා බැඳි වාර්තා දෙකෙන් පැහැදිලි වන්නේ නෝවාගේ පුතුන් තිදෙනා මගින් මුළු මිනිස් ජාතියම මුල් මිනිසා වූ ආදම්ට සම්බන්ධ වන බවය. අෂූරිවරු, කල්දිවරු, හෙබ්‍රෙව්වරු, සිරියන්වරු හා ඇතැම් අරාබි ගෝත්‍රිකයෝ ෂෙම්ගෙන් පැවත එන්නෝ වෙති. එතියෝපීයවරුන්, ඊජිප්තුවරුන්, කානානීයවරුන් සහ ඇතැම් අප්‍රිකානු හා අරාබියානු ගෝත්‍රයන් පැවත එන්නේ හාම්ගෙන්ය. ඉන්දු-යුරෝපීයයන් යාඵෙත්ගෙන් පැවත එන්නන්ය. මිනිසුන් සැවොම එකිනෙකාගේ නෑයන් වන අතර දෙවි ඉදිරියේ මොවුන් සියල්ලන්ම ඉපද සිටින්නේ එක සමානවය. (ක්‍රියා 17:26) මෙම සත්‍යය අප අන් අය දෙස බලන ආකාරයට හා අන්‍යයන්ට සලකන ආකාරයට බලපෑ යුතුය.

බලය දීමට දෙවිගේ වචනයට හැකියි

මුල් මිනිස් ඉතිහාසයේ නිවැරදි වාර්තාව අඩංගු වන්නේ උත්පත්ති පොතේ මුල් කොටසේ පමණකි. මෙහි සඳහන් දෙයින්, මිනිසාව පොළොවට බිහි කළේ කුමණ අරමුණක් ඇතුවද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගන්න අපට හැකිය. එය ඉටුවීම වැළැක්වීමට නිම්රොද්ගේ කාලයේ වෙහෙස දැරූ අයට නොහැකි වූ සේම කිසිම මිනිසෙකුටද එවැන්නක් කළ නොහැකි බව දැනගැනීමට ලැබීම මොන තරම් සැනසීමක්ද!

දිව්‍යාණ්ඩු සේවා පාසැලේ සතිපතා බයිබල් කියවීම සඳහා ඔබ සූදානම් වන විට “ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර” යන කොටස යටතේ සඳහන් කර තිබෙන දේ සලකා බැලීම, ශුද්ධ ලියවිලිවල තිබෙන තේරුම්ගැනීමට අමාරු ඇතැම් කොටස් වටහාගැනීමට එය උපකාරයක් වනු ඇත. “අපට පාඩම්” යටතේ ඇති අදහස් මගින් සතියට නියමිත බයිබල් කියවීමෙන් ප්‍රයෝජන ලබාගත හැකි ආකාරය පෙන්වනු ඇත. යෝග්‍ය අවස්ථාවන්වලදී සේවා රැස්වීමෙහි කොටසක් වන සභා අවශ්‍යතාවලටද පදනම සැපයීමට ඒවාට හැක. යෙහෝවාගේ වචනය ඇත්තෙන්ම ජීවමාන වන අතර අපව බලවත් කිරීමටද එයට හැක.—හෙබ්‍රෙව් 4:12.