Skip to content

පටුනට යන්න

විශ්වාසවන්ත මෙන්ම නුවණ ඇති ‘දාසයෙක්’

විශ්වාසවන්ත මෙන්ම නුවණ ඇති ‘දාසයෙක්’

විශ්වාසවන්ත මෙන්ම නුවණ ඇති ‘දාසයෙක්’

“ස්වාමියා විසින් තම ගෙයි වැසියන් . . . කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?”—මතෙව් 24:45, NW.

1, 2. අද දින අප නිතිපතා ආත්මික ආහාර ලබාගැනීම අත්‍යවශ්‍ය දෙයක් වන්නේ මන්ද?

යේසුස්ගේ ගෝලයෝ ක්‍රි.ව. 33 නීසාන් මාසයේ 11වන අඟහරුවාදා දහවල් භාගයේදී අපගේ කාලයට අතිශය වැදගත්කමක් තිබෙන ප්‍රශ්නයක් ඇසුවෝය. ඔවුන් ඔහුගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ මෙයයි. “ඔබේ පැමිණ සිටීමටද, සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද?” යේසුස් මෙයට පිළිතුරු දෙමින් සුවිශේෂ අනාවැකියක් ගැන පැවසුවේය. මෙම අනාවැකියේදී යුද්ධ, සාගත, භූමිකම්පා හා ලෙඩ රෝග යනාදියෙන් පිරි කැලඹිලි සහිත කාල පරිච්ඡේදයක් ගැන ඔහු සඳහන් කළේය. එහෙත් මෙය ‘විපත්ති නිසා ඇති වන වේදනාවල පටන්ගැන්මක්’ පමණි. තත්වය වඩාත් දරුණු අතට හැරීමට නියමිතව තිබිණ. මෙය මොන තරම් තැතිගන්වනසුලු අපේක්ෂාවක්ද!—මතෙව් 24:3, 7, 8, 15-22, NW; ලූක් 21:10, 11.

2 යේසුස් පැවසූ අනාවැකියේ බොහෝ කොටස් 1914 සිට ඉටු වී තිබේ. අද මිනිසා “විපත්ති නිසා ඇති වන වේදනා” අතිවිශාල ලෙස අද්දකිමින් සිටී. කෙසේවෙතත් මේ ගැන සැබෑ ක්‍රිස්තියානීන් බියට පත් විය යුතු නැත. ඔවුන්ට පෝෂ්‍යදායී ආත්මික ආහාර අඛණ්ඩව ලබා දෙමින් ඔවුන්ව උසුලන බවට යේසුස් පොරොන්දු වූයේය. යේසුස් දැන් ස්වර්ගයෙහි සිටින නිසා පොළොව මත සිටින අපට ආත්මික ආහාර සැපයීම සඳහා ඔහු කටයුතු පිළියෙළ කර තිබෙන්නේ කෙසේද?

3. අපට “නියම වේලාවට ආහාර” සැපයීම සඳහා යේසුස් පිළියෙළ කර තිබෙන විධිවිධාන කුමක්ද?

3 යේසුස්ම එම ප්‍රශ්නයට පිළිතුරු සැපයුවේය. ඔහු තම සුවිශේෂ වූ අනාවැකිය ගැන පැවසීමේදී මෙසේ ඇසුවේය. “ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර දෙන පිණිස, ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?” මෙම ප්‍රශ්නය නැඟීමෙන් පසු ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය. “ඔහුගේ ස්වාමියා ආ කල, ඔහු එසේ කරනවා දකී නම්, ඒ දාසයා සන්තෝෂවත්ය! සැබවින්ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමන් සන්තක සියල්ල කෙරෙහි ඔහුව පත් කරන්නේය.” (මතෙව් 24:45-47, NW) මෙයින් පැහැදිලි වන්නේ ආත්මික ආහාර සැපයීමේ කාර්යය පවරා තිබෙන ‘දාසයෙක්’ සිටිනු ඇති බවයි. මේ “දාසයා” විශ්වාසවන්ත මෙන්ම නුවණ ඇති අයෙකි. මෙම දාසයා එක් පුද්ගලයෙක්ද නැත්නම් කලින් කලට අනුපිළිවෙළකින් පත් වන විවිධ පුද්ගලයන්ද? එසේත් නැත්නම් වෙනත් යමක්ද? විශ්වාසවන්ත දාසයා සපයන්නේ ජීවිතයට නැතුවම බැරි ආත්මික ආහාර නිසා එම ප්‍රශ්නවලට උත්තර සොයා බැලීමට අපි උනන්දු වන්නෙමු.

පුද්ගලයෙක්ද නැත්නම් කණ්ඩායමක්ද?

4. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” එක් පුද්ගලයෙකු විය නොහැකි බව අප දන්නේ කෙසේද?

4 “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” එක් පුද්ගලයෙකු විය නොහැකියි. මෙසේ පැවසීමට හේතුව වන්නේ මේ දාසයා ආත්මික ආහාර බෙදා දීමේ කාර්යය ආරම්භ කළේ මුල් සියවස තරම් ඈත අතීතයේදී වීමත් යේසුස් පැවසූ ලෙස ස්වාමියා පැමිණි වර්ෂය වූ 1914 වන විටත් දාසයා එසේ ආත්මික ආහාර බෙදාහරිමින් සිටීමත් නිසාය. විශ්වාසවන්තව කළ එම සේවය වසර 1900ක පමණ කාලයක් පුරා සිදු කෙරුණු අතර එක් පුද්ගලයෙකු විසින් එවැන්නක් කළායයි සිතිය නොහැකියි. මෙතුසෙලා පවා ඒ තරම් කාලයක් ජීවත් වූයේ නැත!—උත්පත්ති 5:27.

5. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” යන ප්‍රකාශය එක් එක් ක්‍රිස්තියානියෙකුට අදාළ නොවීමට හේතු පැහැදිලි කරන්න.

5 එසේනම් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” යන ප්‍රකාශය පොදුවේ ගත් කල එක් එක් ක්‍රිස්තියානියෙකුට අදාළ විය හැකිද? සියලුම ක්‍රිස්තියානීන් විශ්වාසවන්ත මෙන්ම නුවණ ඇති අය විය යුතුයි. කෙසේවෙතත් යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැන කතා කළ අවස්ථාවේදී ඊට වඩා වැඩි යමක් ඔහුගේ මනසේ තිබූ බව පැහැදිලියි. අප මේ ගැන දන්නේ කෙසේද? “ස්වාමියා ආ කල . . . තමන් සන්තක සියල්ල කෙරෙහි” ඔහුව පත් කරනු ලබන බව යේසුස් පැවසූ නිසාය. ස්වාමීන් සන්තක “සියල්ල” කෙරෙහි එක් එක් ක්‍රිස්තියානීන්ව පත් කළ හැක්කේ කෙසේද? මෙය කළ නොහැකි දෙයක්!

6. ඊශ්‍රායෙල් ජාතිය දෙවිගේ “මෙහෙකරුවා” නොහොත් “දාසයා” ලෙස ක්‍රියා කිරීම අපේක්ෂා කළේ කෙසේද?

6 එසේනම් තර්කානුකූල නිගමනය වන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” යන ප්‍රකාශයෙන් යේසුස් අදහස් කළේ ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත කණ්ඩායමක් බවයි. කණ්ඩායමකින් යුත් දාසයෙක් සිටිය හැකිද? ඔව්. ක්‍රිස්තුස් පොළොවෙහි ජීවත් වීමට අවුරුදු හත්සියයකට කලින් යෙහෝවා මුළු ඊශ්‍රායෙල් ජාතියම හැඳින්වූයේ “මාගේ සාක්ෂිකරුවෝ” හා “මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවා” ලෙසය. (යෙසායා 43:10, අකුරු ඇල කළේ අපය.) මෝසෙස්ගේ නීතිය දෙනු ලැබූ කාලය වූ ක්‍රි.පූ. 1513 සිට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනය දක්වා වූ කාල පරිච්ඡේදය පුරා ඊශ්‍රායෙල් ජාතියේ සෑම සාමාජිකයෙකුම එම මෙහෙකරු පන්තියට අයත් අයෙකු විය. ඊශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝදෙනෙකු ජාතියේ පරිපාලන කටයුතුවලට හෝ ආත්මික ආහාර සැපයීමේ කාර්යයට ඍජුවම හවුල් වූයේ නැත. මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා යෙහෝවා යොදාගත්තේ රජවරුන්, විනිශ්චයකරුවන්, අනාගතවක්තෘවරුන්, පූජකයන් හා ලෙවීවරුන් යන අයවයි. කෙසේවෙතත් යෙහෝවාගේ පරමාධිපත්‍යය නියෝජනය කිරීමටත් ජාතීන් අතර ඔහුව පැසසුමට ලක් කිරීමටත් ඊශ්‍රායෙල් ජාතිය බැඳී සිටියේය. එක් එක් ඊශ්‍රායෙල් ජාතිකයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු විය යුතු වූයේය.—ද්විතීය කථාව 26:19; යෙසායා 43:21; මලාකී 2:7; රෝම 3:1, 2.

‘මෙහෙකරුවෙකුව’ පහ කරයි

7. දෙවිගේ “මෙහෙකරුවා” වීමට පුරාණ ඊශ්‍රායෙල් ජාතිය නුසුදුසු බව තීරණය වූයේ මන්ද?

7 ඊශ්‍රායෙල් ජාතිය සියවස් ගණනාවකට පෙර දෙවිගේ “මෙහෙකරුවා” ලෙස සිටි නිසා යේසුස් කතා කළ දාසයා වූයේ ඔවුන්ද? නැත. මන්ද කනගාටුදායක ලෙස පුරාණ ඊශ්‍රායෙලිතයන් විශ්වාසවන්ත වූයේවත් නුවණින් කටයුතු කළේවත් නැත. යෙහෝවා එම ජාතියට පැවසූ වදන් උපුටා දැක්වූ අවස්ථාවේදී, පාවුල් ඔවුන්ගේ එම තත්වය ගැන කෙටියෙන් මෙසේ පැවසුවේය. “ඔබ නිසා ජාතීන් අතරේ දෙවිගේ නාමයට අපහාස පැමිණ ඇත.” (රෝම 2:24, NW) ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය පුරා කැරලිගැසීම් තිබූ අතර, ඒවා එහි උච්චාවස්ථාව කරා පැමිණියේ යේසුස්ව එපා කළ අවස්ථාවේදීයි. මේ හේතුව නිසා යෙහෝවා ඔවුන්වද එපා කළේය.—මතෙව් 21:42, 43.

8. ඊශ්‍රායෙල් ජාතිය වෙනුවට අලුත් ‘මෙහෙකරුවෙකුව’ පත් කළේ කවදාද? මෙය සිදු වූයේ කුමන තත්වයන් මධ්‍යයෙහිද?

8 දෙවිගේ “මෙහෙකරුවා” වූ ඊශ්‍රායෙල් ජාතිය එසේ අවිශ්වාසවන්ත වූවද, විශ්වාසවන්ත නමස්කාරකයන්ට ආත්මික ආහාර සැපයීම සදහටම ඇනහිටියේ නැත. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයේදී, එනම් යේසුස්ගේ මරණින් දවස් පනහකට පසු ගෝලයන් 120දෙනෙකු පමණ යෙරුසලමෙහි පිහිටි ඉහළ මහලක රැස්ව සිටි අවස්ථාවේදී ඔවුන් කෙරෙහි ශුද්ධාත්මය වගුරුවන ලදි. ඒ අවස්ථාවේදී අලුත් ජාතියක් බිහි විය. මෙම ජාතියේ සාමාජිකයන් යෙරුසලමෙහි වැසියන්ට “දෙවිගේ මහිමාන්විත දේවල් ගැන” නිර්භීතව කතා කරන්න පටන්ගත් අවස්ථාවේදී, එම උපත ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා කියා යෝග්‍ය ලෙස පැවසිය හැකියි. (ක්‍රියා 2:11, NW) මෙසේ එම අලුත් ආත්මික ජාතිය, ජාතීන්ට යෙහෝවාගේ මහිමය ගැන ප්‍රකාශ කරන හා නියම වේලාවට ආත්මික ආහාර සපයන “මෙහෙකරුවා” බවට පත් විය. (1 පේතෘස් 2:9) පසුව මෙම ජාතිය “දෙවිගේ ඊශ්‍රායෙල්” කියා යෝග්‍ය ලෙස හඳුන්වන ලදි.—ගලාති 6:16, NW.

9. (අ) “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සමන්විත වන්නේ කාගෙන්ද? (ආ) “ගෙයි වැසියන්” වන්නේ කවුද?

9 ‘දෙවිගේ ඊශ්‍රායෙල්ට’ අයත් සෑම සාමාජිකයෙකුම කැප වූ බව්තීස්ම ලත්, ශුද්ධාත්මයෙන් අභිෂේක ලැබූ ක්‍රිස්තියානියෙකු වේ. මෙවැනි කෙනෙකුට තිබෙන්නේ ස්වර්ගික බලාපොරොත්තුවකි. මේ අනුව, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කියා පවසද්දී, ඉන් අදහස් වන්නේ ක්‍රි.ව. 33 සිට අද දක්වා වූ ඕනෑම නිශ්චිත කාල පරිච්ඡේදයකදී පොළොව මත ජීවත් වූ හෝ ජීවත් වන අභිෂේක ලත් ආත්මික ජාතියේ සියලුම සාමාජිකයන්ගෙන් යුත් කණ්ඩායමයි. මෙය ක්‍රි.පූ. 1513 සිට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනය දක්වා වූ කාල පරිච්ඡේදයට අයත් ඕනෑම වකවානුවක ජීවත් වූ සෑම ඊශ්‍රායෙලිතයෙක්ම ක්‍රිස්තියානි යුගයට පෙර සිටි මෙහෙකාර පන්තියේ සාමාජිකයන් වූවා හා සමානයි. කෙසේවෙතත්, මේ දාසයාගෙන් ආත්මික පෝෂණය ලබන “ගෙයි වැසියන්” වන්නේ කවුද? ක්‍රිස්තු වර්ෂ මුල් සියවසේදී සෑම ක්‍රිස්තියානියෙකුටම තිබුණේ ස්වර්ගික බලාපොරොත්තුවයි. මේ නිසා ගෙයි වැසියන් වූයේද අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ය. මොවුන්ව සලකන්නේ කණ්ඩායමක් හැටියට නොව, එක් එක් පුද්ගලයා වශයෙනි. ක්‍රිස්තියානි සභාවේ වගකීම් ඉසුලූ අය ඇතුළුව සියලුදෙනාටම දාසයාගෙන් ආත්මික ආහාර අවශ්‍ය විය.—1 කොරින්ති 12:12, 19-27; හෙබ්‍රෙව් 5:11-13; 2 පේතෘස් 3:15, 16.

“එකිනෙකාට තම තමාගේ වැඩ කොටස”

10, 11. දාස පන්තියේ සියලුම සාමාජිකයන්ට එක හා සමාන පැවරුමක් නොලැබී තිබෙන බව අප දන්නේ කෙසේද?

10 යම් කාර්යයක් පවරා තිබෙන විශ්වාසවන්ත නුවණ ඇති දාස පන්තිය වන්නේ “දෙවිගේ ඊශ්‍රායෙල්” වුවද, එහි සෑම සාමාජිකයෙකුටම පෞද්ගලිකව වගකීම් පවරා තිබේ. මාක් 13:34හි [NW] සඳහන් යේසුස් පැවසූ මෙම වදන්වලින් එය පැහැදිලි වේ. “තම දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩ කොටසද පවරා, සෝදිසියෙන් සිටින්නැයි දොරටු පාලයාට අණ දී, තම නිවස අත්හැර පිටරට ගිය මිනිසෙකුට එය සමානය.” මේ අනුව දාස පන්තියේ සෑම සාමාජිකයෙකුටම පැවරුමක් ලැබී තිබේ. මේ පැවරුම වන්නේ පොළොවෙහි ක්‍රිස්තුස් සන්තක දේවල් වැඩි කිරීමයි. මේ එක් එක් සාමාජිකයා මේ කාර්යයේ හවුල් වන්නේ තම තමාගේ හැකියාව හා තමන්ට ලැබෙන ප්‍රස්තාවන් අනුවයි.—මතෙව් 25:14, 15.

11 තවදුරටත් ප්‍රේරිත පේතෘස් ඔහුගේ කාලයේ සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවේය. “විවිධ ආකාරවලින් පෙන්වන ලද දෙවිගේ මහත් කරුණාවේ යහපත් භාරකරුවන් මෙන්, එකිනෙකාට ලැබී තිබෙන දීමනාවේ හැටියට එකිනෙකාට සේවය කරන්න.” (1 පේතෘස් 4:10, NW) මේ නිසා දෙවි ඔවුන්ට දී තිබෙන දීමනා යොදාගනිමින් එකිනෙකාට සේවය කිරීමේ වගකීම අභිෂේක ලත් අයට තිබේ. එපමණක්ද නොව, සියලුම ක්‍රිස්තියානීන්ට එක හා සමාන හැකියාවන්, වගකීම් හෝ සේවා ප්‍රස්තා නොමැති බවත් පේතෘස්ගේ එම වදන්වලින් පෙනී යයි. කෙසේවෙතත් දාස පන්තියේ සෑම සාමාජිකයෙකුටම ආත්මික ජාතියේ වර්ධනයට යම් ආකාරවලින් දායක විය හැකියි. ඒ කෙසේද?

12. පුරුෂයෙකු හෝ වේවා ස්ත්‍රියක් හෝ වේවා දාස පන්තියේ එක් එක් සාමාජිකයා දාසයාගේ වැඩි වර්ධනයට දායක වූයේ කෙසේද?

12 මුලින්ම, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වීම දාස පන්තියේ සෑම සාමාජිකයෙකුගේම වගකීම විය. (යෙසායා 43:10-12; මතෙව් 24:14) යේසුස් ස්වර්ගයට යෑමට කලින් පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද ඇතුළත් වූ ඔහුගේ සියලුම විශ්වාසවන්ත ගෝලයන්ට අණ කළේ ගුරුවරුන් වීමටයි. ඔහු පැවසුවේ මෙසේය. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න. බලන්න! සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.”—මතෙව් 28:19, 20, NW.

13. සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් භුක්ති විඳි වරප්‍රසාදය කුමක්ද?

13 අලුත් ගෝලයන්ව සොයාගත් පසු යේසුස් ඔහුගේ ගෝලයන්ට අණ කළ සියලුම දේවල් පැවැත්වීම සඳහා ඔවුන්ට හොඳින් ඉගැන්විය යුතු විය. පසු කලකදී, හොඳ ප්‍රතිචාරයක් දැක්වූ අයද අන් අයට ඉගැන්වීම සඳහා සුදුසුකම් ලැබූහ. බොහෝ ජාතීන්ගෙන් පැමිණෙන දාස පන්තියේ අනාගත සාමාජිකයන්ට පෝෂ්‍යදායී ආත්මික ආහාර සපයන ලදි. පුරුෂයන් හා ස්ත්‍රීන් ඇතුළු සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීහු ගෝලයන් සෑදීමේ කාර්යයෙහි හවුල් වූහ. (ක්‍රියා 2:17, 18) මෙම කාර්යය, දාසයා මුලින්ම පටන්ගත් කාලයේ සිට මෙම සමාජ ක්‍රමයේ අවසානය දක්වා දිගටම කළ යුතු කාර්යයකි.

14. සභාවේ ඉගැන්වීමේ කාර්යය සීමා වී තිබුණේ කාටද? විශ්වාසවන්ත අභිෂේක ලත් ස්ත්‍රීන්ට ඒ ගැන හැඟුණේ කෙසේද?

14 අලුතින් බව්තීස්ම වූ අභිෂේක ලත් අය දාස පන්තියේ සාමාජිකයන් වූහ. ඔවුන්ට මුලින්ම ඉගැන්වූ අය කවුරුන් වුවත්, වැඩිමහල්ලන් ලෙස සේවය කිරීම සඳහා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් සුදුසුකම් සපුරාලනු ලැබූ සභාවේ සාමාජිකයන් ඉගැන්වූ දේවලටද ඔවුහු දිගටම සවන් දුන්හ. (1 තිමෝති 3:1-7; තීතස් 1:6-9) එසේ වැඩිමහල්ලන් ලෙස පත් කරන ලද පුරුෂයන්ට ආත්මික ජාතියේ වර්ධනයට විශේෂ ආකාරයකින් හවුල් වීමේ වරප්‍රසාදය තිබිණ. සභාවේ ඉගැන්වීමේ කාර්යය ක්‍රිස්තියානි පුරුෂයන්ට පමණක් පවරා තිබීම ගැන විශ්වාසවන්ත ක්‍රිස්තියානි ස්ත්‍රීන් අමනාපයකින් පසු වූයේ නැත. (1 කොරින්ති 14:34, 35) සභාවේ සාමාජිකයන් වූ පුරුෂයන් වෙහෙස මහන්සිය නොබලා කළ සේවයෙන් ප්‍රයෝජන ලැබීම ගැන එම ස්ත්‍රීහු ප්‍රීති වූහ. එමෙන්ම ශුභාරංචිය අන් අය වෙතට ගෙන යෑම ඇතුළු ස්ත්‍රීන්ට තිබූ සේවා වරප්‍රසාද ගැන ඔවුහු ස්තුතිවන්ත වූහ. පත් කර සිටින වැඩිමහල්ලන් අභිෂේක ලත් අය වුවත් නැතත්, වර්තමානයේ සිටින ජ්වලිත අභිෂේක ලත් සහෝදරියෝද එම නිහතමානි ආකල්පයම විදහා පෙන්වති.

15. මුල් සියවසේදී ආත්මික ආහාර ලැබුණු ප්‍රධාන ක්‍රමයක් වූයේ කුමක්ද? මේ ආහාර සැපයීමේදී මූලිකත්වය ගෙන ක්‍රියා කළේ කවුද?

15 මුල් සියවසේදී බෙදාහරින ලද ප්‍රධාන ආත්මික ආහාර ප්‍රේරිතයන්ගේ හා මූලිකත්වය ගෙන සේවය කළ සෙසු ගෝලයන්ගේ අතින්ම පිළියෙළ කරන ලදි. ඔවුන් ලියූ ලිපි සභා අතර බෙදාහරින ලදි. ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලට අයත් දේවානුභාවයෙන් ලියන ලද පොත් 27 අතර දක්නට ලැබෙන ලිපි විශේෂයෙන්ම ඒ සඳහා යොදාගනු ලැබීය. මේවා ඒ ඒ ප්‍රදේශවල සිටි වැඩිමහල්ලන්, ඉගැන්වීමේදී පදනමක් ලෙස යොදාගත් බවට සැකයක් නැත. මේ ආකාරයට දාසයාගේ නියෝජිතයෝ විශ්වාසවන්ත ලෙස පෝෂ්‍යදායී ආත්මික ආහාර අවංක ක්‍රිස්තියානීන්ට බෙදාහැරියහ. මෙසේ මුල් සියවසේ සිටි දාස පන්තිය ඔවුන්ට ලැබුණු පැවරුම විශ්වාසවන්තව ඉටු කරමින් සිටියහ.

සියවස් 19කට පසු “දාසයා”

16, 17. වර්ෂ 1914 දක්වා වූ කාලය පුරාම ඔවුන්ට පැවරී තිබූ කාර්යය විශ්වාසවන්තව ඉටු කළ බව දාස පන්තිය ඔප්පු කළේ කෙසේද?

16 අපේ කාලය ගැන කුමක් කිව හැකිද? වර්ෂ 1914දී යේසුස්ගේ පැමිණ සිටීම ආරම්භ වූ කාලයේදී, විශ්වාසවන්ත ලෙස නියම වේලාවට ආත්මික ආහාර බෙදාහරිමින් සිටිය අභිෂේක ලත් ක්‍රිස්තියානි කණ්ඩායමක් ඔහුට සොයාගැනීමට හැකි වූවාද? ඔව්, ඇත්තෙන්ම ඔහුට සොයාගත හැකි විය. මෙම කණ්ඩායම පැහැදිලිව හඳුනාගත හැකි වූයේ ඔවුන් නිපදවමින් සිටිය කදිම පලදාව නිසාය. (මතෙව් 7:20) එදා පටන් අද දක්වා ගෙවී ගොස් තිබෙන කාලය පුරා ඔප්පු වී තිබෙන්නේ මෙම හඳුනාගැනීම නිවැරදි බවයි.

17 යේසුස් පැමිණි කාලයේදී 5,000ක් පමණ ගෙයි වැසියෝ බයිබල් සත්‍යය අන් අයට දැන්වීමේ කාර්යයෙහි කඩිසරව යෙදී සිටියහ. සේවකයෝ සිටියේ ටිකදෙනෙකි. එහෙත් ශුභාරංචිය ව්‍යාප්ත කිරීම සඳහා දාසයා අලුත් ක්‍රම ගණනාවක් යොදාගත්තේය. (මතෙව් 9:38) නිදසුනක් වශයෙන් බයිබල් මාතෘකා පදනම් කරගත් දේශන, පුවත්පත් 2,000කට ආසන්න ගණනක පළ කිරීමට කටයුතු පිළියෙළ කරන ලදි. මේ ආකාරයට දේවවචනයේ සත්‍යය එක විට පාඨකයන් දසදහස් ගණනක් කරා ළඟා විය. ඊට අමතරව, වර්ණ කාච දර්ශන හා චලන රූප ඇතුළත් පැය අටකින් යුත් වැඩසටහනක් සකස් කරන ලදි. මේ නව ක්‍රම නිසා මැවීම ආරම්භයේ සිට ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය අවසානය දක්වා කරුණු ආශ්‍රිතව ගොඩනඟා තිබූ බයිබලය මත පදනම් පණිවිඩය මහාද්වීප තුනක සිටි දශලක්ෂ නවයකට වැඩි පිරිසකට බෙදාහැරීමට හැකි විය. මුද්‍රිත පොත් පත් යොදාගත් තවත් ක්‍රමයක් විය. නිදසුනක් වශයෙන්, 1914දී මේ සඟරාවේ පිටපත් 50,000ක් පමණ ප්‍රකාශයට පත් කරන ලදි.

18. යේසුස් ඔහු සන්තක සියල්ල කෙරෙහි දාසයාව පත් කළේ කවදාද? එසේ කළේ මන්ද?

18 ස්වාමියා පැමිණි කල ඔහුගේ විශ්වාසවන්ත දාසයා ඉතාමත් සැලකිලිමත් ලෙස ගෙයි වැසියන්ව පෝෂණය කිරීමේ කාර්යය මෙන්ම ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයද ඉටු කරමින් සිටි බව දුටුවේය. එම දාසයාට වඩා මහත් වගකීම් භාර දීමට කාලය උදා වී තිබිණ. යේසුස් මෙසේ පැවසුවේය. “සැබවින්ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමන් සන්තක සියල්ල කෙරෙහි ඔහුව පත් කරන්නේය.” (මතෙව් 24:47, NW) යේසුස් මෙය කළේ 1919දී, දාසයා පරීක්ෂණාත්මක කාල පරිච්ඡේදයක් පසු කිරීමෙන් අනතුරුවයි. ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ වඩා මහත් වගකීම් ලැබුණේ මන්ද? එසේ කළේ ස්වාමියා සන්තක දේවල් වැඩි වී තිබූ නිසාය. වර්ෂ 1914දී යේසුස්ව රජකමට පත් කරන ලදි.

19. ‘මහත් සමූහයේ’ ආත්මික අවශ්‍යතා සපුරා තිබෙන ආකාරය පැහැදිලි කරන්න.

19 සිංහාසනාරූඪ කරන ලද ස්වාමියා ඔහුගේ විශ්වාසවන්ත දාසයාට බාර දුන් ඔහු සන්තක දේවල් මොනවාද? මේ පොළොව මත ඔහු සතු සියලුම ආත්මික දේවල් ඔහු සන්තක දේවලට අයත් වේ. නිදසුනක් වශයෙන්, 1914දී ක්‍රිස්තුස් සිංහාසනාරුඪ වී දශක දෙකක් ගතවීමෙන් පසු ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් ‘මහත් සමූහයක්ව’ හඳුනාගන්නා ලදි. (එළිදරව් 7:9; යොහන් 10:16) මොවුන් ‘දෙවිගේ ඊශ්‍රායෙල්ට’ අයත් සාමාජිකයන් නොවීය. එහෙත් මොවුහු පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුවක් තිබෙන අවංක පුරුෂයන් හා ස්ත්‍රීන් වූහ. යෙහෝවා කෙරෙහි ප්‍රේමයක් ඔවුන්ට තිබූ අතර අභිෂේක ලත් අය කළාක් මෙන් ඔහුට සේවය කිරීමට ඔවුන්ටද වුවමනා විය. මොවුහු ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ මෙසේ පැවසුවායයි කිව හැක. “අපි ඔබ සමඟ යන්නෙමුව. මක්නිසාද දෙවි ඔබ සමඟ සිටින බව අප විසින් අසා තිබේ.” (සෙකරියා 8:23) අලුතින් බව්තීස්ම වූ මෙම ක්‍රිස්තියානීන්ටද ලැබුණේ අභිෂේක ලත් ගෙයි වැසියන්ට ලැබුණු පෝෂ්‍යදායී ආත්මික ආහාරමයි. මේ කණ්ඩායම් දෙකම එවක් පටන් එම ආත්මික ආහාරවලට පංගුකාරයන් වී තිබේ. ‘මහත් සමූහයේ’ සාමාජිකයන්ට එය මොන තරම් ආශීර්වාදයක්ද!

20. ස්වාමියා සන්තක දේවල් වැඩි කිරීම සඳහා “මහත් සමූහය” ඉටු කර තිබෙන කාර්යභාර්ය කුමක්ද?

20 ‘මහත් සමූහයේ’ සාමාජිකයෝ ශුභාරංචිය දේශනා කරන්නන්ගේ කාර්යය ඉටු කරමින් අභිෂේක ලත් දාස පන්තිය සමඟ සේවය කිරීමට ප්‍රීතියෙන් එක් වූහ. ඔවුන් අඛණ්ඩව දේශනා කිරීම නිසා පොළොවේ ස්වාමියා සන්තක දේවල් වැඩි විය. මෙහි ප්‍රතිඵලයක් හැටියට ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ තවත් වගකීම් ඉසිලීමට සිදු වී ඇත. සත්‍යය සොයන්නන් දිනෙන් දින වැඩිවීමේ ප්‍රතිඵලයක් හැටියට බයිබල් පොත් පත් සඳහා ඉල්ලුම වැඩි වූ අතර, එය සපුරාලීම සඳහා මුද්‍රණ පහසුකම් පුළුල් කිරීමද අවශ්‍ය විය. බොහෝ රටවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල පිහිටුවන ලදි. මිෂනාරිවරුන්ව “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා” යවන ලදි. (ක්‍රියා 1:8, NW) වර්ෂ 1914දී අභිෂේක ලත් අය සිටියේ පන්දහසකට ආසන්න ගණනකි. එහෙත් අද වන විට දෙවිව ප්‍රශංසාවට පත් කරන්නන්ගේ ගණන දශලක්ෂ හයක් ඉක්මවා තිබේ. මොවුන්ගෙන් වැඩිදෙනා ‘මහත් සමූහයට’ අයත් සාමාජිකයෝ වෙති. ඇත්තෙන්ම, රජු 1914දී සිංහාසනාරුඪ වූ දා සිට ඔහු සන්තක දේවල් බොහෝ ගුණයකින් වැඩි වී තිබේ.

21. අපේ ඊළඟ පාඩම් ලිපියේදී අප සලකා බලන උපමා දෙක කුමක්ද?

21 අප සලකා බැලූ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ දාසයා ‘විශ්වාසවන්ත මෙන්ම නුවණ ඇති’ දාසයෙකු බවයි. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැන කතා කිරීමෙන් පසු යේසුස් උපමා දෙකක් සඳහන් කළේය. දාසයාගේ එම ගුණාංග දෙක විශේෂකොට දක්වන එම උපමා දෙක වන්නේ නුවණ ඇති හා නුවණ නැති කන්‍යාවෝ පිළිබඳ උපමාව හා තලෙන්ත පිළිබඳ උපමාවයි. (මතෙව් 25:1-30, NW) මේවායේ අර්ථය දැනගැනීමට අප තුළ ඉමහත් උනන්දුවක් ඇති වන්නේ නැද්ද! අද දින සිටින අපට මේ උපමාවලින් අර්ථවත් වන්නේ කුමක්ද? අපි මේ ප්‍රශ්නය ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.

ඔබේ අදහස කුමක්ද?

• “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සමන්විත වන්නේ කාගෙන්ද?

• “ගෙයි වැසියන්” කියන්නේ කාටද?

• ස්වාමියා සන්තක සියල්ල කෙරෙහි විශ්වාසවන්ත දාසයාව පත් කළේ කවදාද? ඒ කාලයේදී පත් කළේ මන්ද?

• පසුගිය දශක කිහිපයේ සිට ස්වාමියා සන්තක දේවල් වැඩි කිරීමට උපකාර කර තිබෙන්නේ කවුද? ඒ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූර

මුල් සියවසේ සිටි දාස පන්තිය, ඔවුන්ට ලැබූ පැවරුම විශ්වාසවන්තව ඉටු කළහ