Skip to content

පටුනට යන්න

ලෙවී කථාව පොතෙන් විශේෂාංග

ලෙවී කථාව පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානය

ලෙවී කථාව පොතෙන් විශේෂාංග

ඊශ්‍රායෙලිතයන් ඊජිප්තුවේ වහල් මෙහෙකාරකමෙන් මිදී වසරක්වත් ගත වී නැත. එනමුත් නව ජාතියක් ලෙස සංවිධානය වී ඇති ඔවුහු, කානාන් දේශය බලා ගමන් කරමින් සිටිති. යෙහෝවාගේ අරමුණ වන්නේ එහි ශුද්ධ වූ ජාතියක් පදිංචි කරවීමය. එනමුත් අවට වාසය කරන කානාන් ජාතිකයන් ජීවත් වූ අයුරු හා ඔවුන්ගේ ආගමික වත් පිළිවෙත් ඉතා පිළිකුල්ය. එබැවින් සැබෑ දෙවි ඔහුගේ සේවය වෙනුවෙන්ම කැප වී සිටීම සඳහා ඊශ්‍රායෙල් සභාවට අණ පනත් දුන්නේය. මේවා වාර්තා වී ඇත්තේ බයිබලයේ ලෙවී කථාව නමැති පොතෙහිය. මෙම පොත ලියන ලද්දේ අනාගතවක්තෘ මෝසෙස් විසිනි. එය ලීවේ සීනයි පාළුකරයෙහිය, පෙනෙන විදිහට ක්‍රි.පූ. 1512දීය. ඇත්තටම එම පොතෙහි අන්තර්ගත වී ඇත්තේ එක චන්ද්‍ර මාසයක සිදුවීම් පමණි. (නික්මයාම 40:17; ගණන් කථාව 1:1-3) එහිදී යෙහෝවා නැවත නැවතත් තම නමස්කාරකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ශුද්ධව සිටින්නටයි.—ලෙවී කථාව 11:44; 19:2; 20:7, 26.

අද දින සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දෙවි විසින් මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය යටතේ නොසිටිති. එම නීතිය අවලංගු වූයේ යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයත් සමඟිනි. (රෝම 6:14; එපීස 2:11-16) කෙසේවෙතත්, ලෙවී කථාව පොතේ දක්නට ලැබෙන අණ පණත් අපට ප්‍රයෝජනවත් විය හැකිය. ඒවා මගින් අපේ දෙවි යෙහෝවාට නමස්කාර කළ යුතු අයුරු ගැන බොහෝ දෑ උගත හැකිය.

ස්වේච්ඡාවෙන් කැප කළ හැකි වූ හා අනිවාර්යයෙන් කැප කළ යුතු වූ ශුද්ධ දේවල්

(ලෙවී කථාව 1:1–7:38)

නීතියට අනුව ඉදිරිපත් කළ යුතු වූ සමහරක් යාග හා පූජා ස්වේච්ඡා ඒවා විය. තවත් සමහරක් අනිවාර්යයෙන්ම ඔප්පු කළ යුතු වූ ඒවා විය. නිදසුනකට දවන පූජාව ස්වේච්ඡාවෙන් ඔප්පු කරන ලද්දකි. එහි කිසිදු කොටසක් ඉතිරි නොකරමින් පූර්ණ ලෙස දෙවිට ඔප්පු කරනු ලැබීය. යේසුස් ක්‍රිස්තුස් කැමැත්තෙන් තම මුළු ජීවිතය මිදීමේ මිලයක් ලෙස සම්පූර්ණයෙන්ම පූජා කළ අන්දමට එය සමාන වේ. ස්වේච්ඡාවෙන් පුදන ලද හවුල් පූජාව පාර්ශ්වයන් කිහිපයක් අතර බෙදාගන්නා ලදි. එක් කොටසක් පූජාසනය පිට දෙවිට පුදනු ලැබූ අතර, තවත් කොටසක් පූජකයා අනුභව කළේය. තවද තවත් කොටසක් එම පූජාව ඉදිරිපත් කළ තැනැත්තා අනුභව කළේය. ඒ හා සමානව ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම අභිෂේක ලත් අය සලකන්නේ හවුලේ අනුභව කරන භෝජනයක් ලෙසටයි.—1 කොරින්ති 10:16-22.

පාප පූජා සහ අපරාධ පූජා අනිවාර්යයෙන්ම ඔප්පු කළ යුතු වූ ඒවා විය. අත්වැරැද්දකින් හෝ නොසිතූ ලෙස කළ පාපවලට සමාව ලැබීම සඳහා පාප පූජා ඔප්පු කරන ලදි. යම් අයිතිවාසිකමක් උල්ලංගනය කළ විට අපරාධ පූජාවක් ඉදිරිපත් කිරීමෙන් සිදු වූයේ ඉන් දෙවිව සෑහීමට පත් කිරීමයි. එසේ නැතහොත් පසුතැවිලි වූ වරදකරුට අහිමි වූ යම් අයිතිවාසිකම් එමගින් යළිත් ලබා දෙන ලදි. එසේ නැතහොත් ඒ දෙකම සිදු විණ. යෙහෝවාගේ බහුල සැපයුම් පිළිගනිමින් ඉදිරිපත් කළ තවත් පූජාවක් වූයේ ධාන්‍ය පූජායි. මෙම කාරණා සියල්ල අපගේ උනන්දුවට හේතුවක් වේ. මන්දයත් මෝසෙස්ගේ නීතික ගිවිසුම යටතේ ඉදිරිපත් කිරීමට අණ කරන ලද පූජා යේසුස් ක්‍රිස්තුස්ට හා ඔහු ඉදිරිපත් කළ ජීවිත පූජාවට හෝ එයින් ලැබෙන ප්‍රයෝජනවලට යොමු දැක්වූ බැවිනි.—හෙබ්‍රෙව් 8:3-6; 9:9-14; 10:5-10.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

2:11, 12“පූජාවක් වශයෙන්” පැණි දැවීම යෙහෝවාට අප්‍රසන්න දෙයක් වූයේ මන්ද? මෙම පදයේ “මීපැණි” යන්න සිංහල බයිබලයේ යොදා තිබුණද, අවට පාඨ සම්බන්ධයට අනුව එතැන සඳහන් වන්නේ මීපැණි ගැන නොවේ. (ඉංග්‍රීසි New World Translation of the Holy ScripturesWith References, පාදසටහන බලන්න.) ‘පූජාවක් වශයෙන් දවනු ලැබීම’ සඳහා අවසර නොතිබුණද, ‘භූමියේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලවලට’ එය ඇතුළත් කර තිබිණ. (2 ලේකම් 31:5) එම නිසා, මෙහි සඳහන් පැණි පලතුරුවල යුෂ හෝ පැණි විය යුතුය. පලතුරු යුෂ හෝ පැණි පැසෙන්නට ඉඩ කඩ තිබුණු නිසා පූජාසනය පිට යාගයක් ලෙස එවන් යමක් ඔප්පු කළ නොහැකි විය.

2:13—‘සියලුම පූජාවල් සමඟ’ ලුණු ඔප්පු කළ යුතු වූයේ මන්ද? මෙය පූජාව තවත් රසගැන්වීමට කරන ලද්දක් නොවේ. ලොව පුරාම ලුණු ආහාර සංරක්ෂකයක් ලෙසද භාවිත කෙරේ. පූජා සමඟ ලුණු ඔප්පු කළේ නරක් වීමෙන් හෝ කුණුවීමෙන් වළක්වා ගැනීමක් ඉන් නියෝජනය වන නිසා විය හැකිය.

අපට ගත හැකි පාඩම්:

3:17. තෙල හොඳම හෙවත් අනර්ඝතම කොටස ලෙස සැලකූ නිසා, එය අනුභව කිරීම තහනම් කිරීමෙන් ඊශ්‍රායෙලිතයන්ට ඒත්තුගැන්වූයේ හොඳම කොටස යෙහෝවාට අයිතිය යන කාරණයයි. (උත්පත්ති 45:18) මින් අපට සිහිගන්වන්නේ අප යෙහෝවාට අපට තිබෙන හොඳම දේ දිය යුතු බවයි.—හිතෝපදේශ 3:9, 10; කොලොස්සි 3:23, 24.

7:26, 27. ඊශ්‍රායෙලිතයන්ට ලේ අනුභව කිරීම තහනම් කර තිබිණ. දෙවි ලේ සලකන්නේ ජීවිතය නියෝජනය කරන්නක් ලෙසයි. ලෙවී කථාව 17:11හි පවසන්නාක් මෙන් “මාංසයේ පණ [ජීවිතය] තිබෙන්නේ ලෙයෙහිය.” ලෙයින් වැළකී සිටීම අද දින පවා සැබෑ නමස්කාරකයන් අනුගමනය කළ යුතු ප්‍රමිතිය වේ.—ක්‍රියා 15:28, 29.

ශුද්ධ වූ පූජක පංතියක් පිහිටුවනු ලැබේ

(ලෙවී කථාව 8:1–10:20)

පූජා හා යාග හා සම්බන්ධ රාජකාරී බලා කියා ගැනීමේ වගකීම දෙන ලද්දේ කවුරුන්ටද? එම වගකීම භාර දෙන ලද්දේ පූජකයන්ටය. දෙවිගේ අණ පරිදි මෝසෙස් උත්තම පූජකයා වන ආරොන් සහ ඔහු යටතේ සේවය කරන පූජකයන් ලෙස ඔහුගේ පුතුන් සිව්දෙනා එම තනතුරුවල පිහිටුවීම සඳහා උත්සවයක් පැවැත්වීය. පෙනෙන විදිහට මෙම උත්සවය සඳහා දින සතක කාලයක් ගත වූ අතර, ඊළඟ දිනයේ සිට පූජක පංතිය තම වැඩකටයුතුවල නිරත වීමට පටන්ගත්තේය.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

9:9පූජාසනය මුල ලේ වත් කිරීම සහ එය විවිධ දේවල් මත වත් කිරීම හා බැඳී ඇති වැදගත්කම කුමක්ද? පව්වලින් පසු සමඟි කිරීමක් ඇති කිරීම සඳහා යෙහෝවා ලේ භාරගත් බව ඉන් කියා පෑවේය. මුළු සමඟි කිරීමේ විධිවිධානය පදනම් වී තිබුණේ ලේ මතය. ඒ සම්බන්ධයෙන් පාවුල් ලීවේ මෙලෙසය. “නීතියට අනුව, සෑම දෙයක්ම වාගේ ලෙයින් පවිත්‍ර කරනු ලැබේ. ලේ වැගිරීමක් නැතිව කමා කිරීමක්ද සිදු වන්නේ නැත.”—හෙබ්‍රෙව් 9:22, NW.

10:1, 2ආරොන්ගේ පුතුන් වූ නාදාබ් සහ අබිහු කළ පාපයට ඇතැම්විට කුමක් සම්බන්ධ වන්නට ඇද්ද? මණ්ඩපයෙහි සේවය කරන අතරතුරේදී පූජකයන් විසින් වයින් හෝ මත් කරවනසුලු බීම පානය කරනු ලැබීම යෙහෝවා තහනම් කළේ නාදාබ් සහ අබිහු පූජකයන් වශයෙන් තමන් සතු කාර්යයන් කරන විට නුසුදුසු ලෙස ක්‍රියා කිරීමෙන් අනතුරුවය. (ලෙවී කථාව 10:9) මෙහි සඳහන් සිද්ධියේදී ආරොන්ගේ පුතුන් දෙදෙනා ඇතැම්විට මත්පැන් පානය කර තිබූ බව මින් ඇඟවේ. කෙසේවෙතත්, ඇත්තෙන්ම ඔවුන්ගේ මරණයට හේතුව වූයේ “යෙහෝවා ඔවුන්ට අණ නොකළාවූ අන් ගින්නක්” ඔප්පු කිරීමයි.

අපට ගත හැකි පාඩම්:

10:1, 2. අද දින වගකීම් දරමින් යෙහෝවාට සේවය කරන අය දෙවි බලාපොරොත්තු වන දේවලට අනුකූල විය යුතුය. එමෙන්ම තම වගකීම් ඉටු කිරීමේදී ඔවුන් උඩඟු හා හිතුවක්කාර ලෙස ක්‍රියා නොකළ යුතුය.

10:9. මත්පැන් පානය කිරීමෙන් අනතුරුව අප දෙවි විසින් දෙන ලද පැවරුම් ඉටු නොකළ යුතුය.

ශුද්ධ නමස්කාරය සඳහා පවිත්‍රකම අත්‍යවශ්‍යය

(ලෙවී කථාව 11:1–15:33)

පවිත්‍ර හා අපවිත්‍ර සතුන් සම්බන්ධයෙන් පනවා තිබුණු ආහාර රෙගුලාසි ඊශ්‍රායෙලිතයන්ට දෙවැදෑරුම් අයුරකින් ප්‍රයෝජන ගෙන දුන්නේය. මෙම රෙගුලාසි හානිකර ජීවීන්ගෙන් ආසාදනය වීමේ අන්තරාවෙන් ඔවුන්ව ආරක්ෂා කළ අතර, ඔවුන් හා අවට ජාතීන් අතර තිබුණු වෙනස වඩාත් කැපීපෙනෙන්නටද සැලැස්වීය. වෙනත් රෙගුලාසි මළ සිරුරු ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වීම, ස්ත්‍රියක දරුවෙකු ප්‍රසූත කළ විට පිරිසිදු වීම, ලාදුරු රෝගය හා සම්බන්ධ ක්‍රියා පිළිවෙත් සහ පුරුෂ හා ස්ත්‍රී ලිංගික අවයවවලින් පිට වූ දේවලින් ඇති වූ අපවිත්‍රකම හා සම්බන්ධ විය. අපවිත්‍ර තත්වයකට පත් වූ පුද්ගලයන් හා බැඳි කාරණා හැසිරවීමට සිටියේ පූජකයන්ය.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

12:2, 5—දරු ප්‍රසූතියක් නිසා ස්ත්‍රියක් “අපවිත්‍ර” වූයේ මන්ද? ප්‍රජනේන්ද්‍රියයන් නිර්මාණය කරන ලද්දේ පරිපූර්ණ මිනිස් ජීවිතයක් බිහි කිරීමටයි. කෙසේවෙතත්, උරුම වූ පාපයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ දරුවන්ට ලැබුණේ අසම්පූර්ණකම සහ පව්කාරකමින් යුත් ජීවිතයක් පමණි. දරු ප්‍රසූතිය මෙන්ම ඔසප් වීම හා ශුක්‍ර මෝචනය වැනි වෙනත් කාරණා හා බැඳි තාවකාලික ‘අපවිත්‍ර’ කාල සීමාවන් මගින් සිහිගන්වන ලද්දේ උරුමයෙන් ලද මෙම පව්කාර ස්වභාවයයි. (ලෙවී කථාව 15:16-24; ගීතාවලිය 51:5; රෝම 5:12) මිනිස් වර්ගයාගේ පව්කාර තත්වය ඉවත් කිරීමටත්, මිනිසාට පරිපූර්ණත්වය යළිත් ලබා දීමටත් මිදීමේ පූජාවක් අවශ්‍යය යන්න හොඳින් තේරුම්ගැනීමට පවිත්‍ර වීම හා සම්බන්ධ රෙගුලාසි ඊශ්‍රායෙලිතයන්ට උපකාරවත් වනු ඇත. මේ අනුව නීතිය ඔවුන්ව “ක්‍රිස්තුස් ළඟට ගෙන යන” ඔවුන්ගේ “උපදේශකයා” බවට පත් විය.—ගලාති 3:24, NW.

15:16-18මෙම පදවල සඳහන් “ශුක්‍රධාතුව වැගිරීම” කතා කරන්නේ කුමක් ගැනද? පෙනෙන විදිහට මින් අදහස් කරන්නේ රාත්‍රියේ සිදු වන ශුක්‍ර මෝචනයට හා විවාහයේ ලිංගික සබඳකම් පවත්වද්දී වහනය වන ශුක්‍රානුවලටය.

අපට ගත හැකි පාඩම්:

11:45. යෙහෝවා දෙවි ශුද්ධය. ඔහුට පරිශුද්ධ සේවය පිරිනමන අයද ශුද්ධ විය යුතු බවට ඔහු බලාපොරොත්තු වෙයි. ඔවුන් ශුද්ධකමින් සිටීමට වෑයම් දැරිය යුතු අතර, ශාරීරිකව හා ආත්මිකව පවිත්‍රව සිටිය යුතුය.—2 කොරින්ති 7:1; 1 පේතෘස් 1:15, 16.

12:8. පූජාවක් ලෙස මිල අධික බැටළුවෙකු වෙනුවට කුරුල්ලන් පූජා කිරීමට යෙහෝවා දිලිඳු අයට අවකාශ සැලසීය. ඔහු දිලිඳු අය ගැන සැලකිල්ලෙන් සිටියි.

ශුද්ධකම දිගටම පවත්වාගත යුතුය

(ලෙවී කථාව 16:1–27:34)

පව් වෙනුවෙන් ඉතාමත් වැදගත් වූ පූජා ඔප්පු කරන ලද්දේ වාර්ෂිකව පැමිණි සමඟිකමක් කිරීමේ දවසේදීය. පූජකයන් හා ලෙවී ගෝත්‍රය වෙනුවෙන් ගවයෙකු පුදන ලදි. පූජකයන් නොවූ ඊශ්‍රායෙලයේ වෙනත් ගෝත්‍රයන් සඳහා එළුවෙකු පූජා කරනු ලැබීය. තවත් එළුවෙකු පිට ජනයාගේ පව් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඌව පණපිටින් පාළුකරයට යවන ලදි. මෙම එළුවන් දෙදෙනාගෙන්ම එක පාප පූජාවක් නියෝජනය කරන ලදි. මෙයින් යොමු දැක්වූයේ යේසුස් ක්‍රිස්තුස්ව පූජා කරනු ලබන බවත්, පව් තමන් පිට ගෙන ඉවත් කරන බවත්ය.

මස් අනුභව කිරීම හා වෙනත් කාරණා සම්බන්ධයෙන් පනවා තිබූ රෙගුලාසිවලින් අපහට අවධාරණය කරන්නේ යෙහෝවාට නමස්කාර කරන විට ශුද්ධකම පවත්වාගැනීම කොතරම් වැදගත්ද යන්න ගැනයි. මීට එකඟව පූජකයන් ශුද්ධව සිටිය යුතු විය. වාර්ෂිකව පැවැත්වූ උත්සව තුන ඉමහත් ප්‍රීතියක් සඳහාද මැවුම්කරුට ස්තුතිය පුද කිරීම සඳහාද අවස්ථා විය. එමෙන්ම යෙහෝවා තම ශුද්ධ නාමය අනිසි ලෙස භාවිත කිරීම, සබත් සහ ජුබිලිය පැවැත්වීම, දිලිඳු අය සමඟ කටයුතු කිරීම සහ දාසයන්ව සලකන ආකාරය සම්බන්ධව තම ජනයාට රෙගුලාසි දුන්නේය. දෙවිට කීකරු වීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන ආශීර්වාද හා අකීකරුකමේ ප්‍රතිඵලයක් ලෙස අද්දකින ශාප අතර වෙනස හුවා දක්වන ලදි. භාර, ගණන් නියම කිරීම, කුලුඳුල් සතුන්, “යෙහෝවාට ශුද්ධ කොට” යමක් ලෙස සෑම දසයෙන් කොටසක් දීම හා සම්බන්ධව දෙන යාග ගැනද රෙගුලාසි පනවන ලදි.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

16:29ඊශ්‍රායෙලිතයන් තම “ප්‍රාණවලට පීඩා කරගත” යුතු වූයේ කවර අන්දමකින්ද? සමඟිකමක් කිරීමේ දවසේදී අනුගමනය කළ මෙම පිළිවෙත පව් සඳහා සමාවක් ලැබීම හා බැඳුණු දෙයකි. පෙනෙන විදිහට එම අවස්ථාවේදී නිරාහාරව සිටීම කෙනෙකු තම පව්කාරකම පිළිගැනීම හා බැඳුණු ක්‍රියාවක් ලෙසට සලකන ලදි. මේ අනුව, ‘ප්‍රාණවලට පීඩා කිරීමෙන්’ බොහෝදුරට අදහස් වූයේ නිරාහාරව සිටීමේ පිළිවෙතටයි.

19:27—“නළල් කෙළවරවල් වට නොකළ යුතු” බවටත් රැවුලේ “කොන් නොකැපිය” යුතු බවටත් දුන් ආඥාවෙන් අදහස් වූයේ කුමක්ද? පෙනෙන විදිහට මෙම නීතිය දෙන ලද්දේ ඇතැම් මිථ්‍යාදෘෂ්ටික පිළිවෙත් අනුකරණය කරන අයුරකින් රැවුල හෝ කෙස් කැපීමෙන් යුදෙව්වන්ව වැළැක්වීමටය. (යෙරෙමියා 9:25, 26; 25:23; 49:32) කෙසේවෙතත්, යුදෙව්වන්ට තම රැවුල හෝ මුහුණේ වැවෙන කෙස් කිසිසේත් කොට කිරීම තහනම් වූ බව දෙවිගේ ආඥාවෙන් අදහස් කළේ නැත.—2 සාමුවෙල් 19:24.

25:35-37—ඊශ්‍රායෙලිතයන් පොළියක් අය කිරීම සැලකුවේ වැරදි දෙයක් ලෙසටද? මුදල් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ණයට දෙනු ලැබුවා නම්, මුදල දුන් තැනැත්තාට පොළියක් අය කළ හැකි විය. එනමුත් දුප්පතෙකු දුගීකමින් මිදීම සඳහා ගත් ණයකට පොළි අය කිරීම නීතියෙන් තහනම් කරන ලදි. අසල්වැසියෙකුගේ ආර්ථිකය කඩා වැටීම නිසා ඉන් වාසි ප්‍රයෝජන ලැබීම වැරදි දෙයක් විය.—නික්මයාම 22:25.

26:19—‘අහස යකඩ මෙන්ද භූමිය පිත්තල මෙන්ද’ විය හැක්කේ කෙලෙසද? වර්ෂාපතනයක් නොමැති නිසා කානාන් දේශයට ඉහළින් පිහිටි අහස්තලය යකඩ මෙන් දැඩි හා තෙතමනයකින් තොර පෙනුමක් ගනු ඇත. වර්ෂාපතනයක් නොමැති නිසා, පොළෝතලයද පිත්තලවලට සමාන ලෝහමය දීප්තියකින් යුක්ත වනු ඇත.

26:26—‘ස්ත්‍රීන් දසදෙනෙකු එක උදුනක රොටි පිලිස්සීමෙන්’ අදහස් වන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් රොටි පිලිස්සීම සඳහා ස්ත්‍රියකට එක උදුනක් බැගින් අවශ්‍ය වනු ඇත. එනමුත් මෙම වචනවලින් පෙන්නුම් කළේ එතරම් ආහාර හිඟයක් පවතින නිසා රොටි පුලුස්සන ස්ත්‍රීන් දසදෙනෙකුගේ වැඩකටයුතු එක උදුනකින් කරගත හැකි බවයි. එය ශුද්ධකම රැකගැනීමට අපොහොසත් වීමෙන් පුරෝකථනය කළ ප්‍රතිවිපාකවලින් එකකි.

අපට ගත හැකි පාඩම්:

20:9. වෛරයෙන් පිරුණු කුරිරු ස්වභාවයක් යෙහෝවා සැලකුවේ මිනී මැරුම තරම් බරපතළ දෙයක් ලෙසය. එම නිසා දෙමාපියන්ව මරා දැමීමට නියම වන දඬුවමම ඔවුන්ට නින්දා කිරීම සඳහාද ඔහු නියම කළේය. අපගේ සෙසු ඇදහිලිවන්තයන්ට ප්‍රේමය දැක්වීමට මෙය අපට පෙලඹීමක් විය යුතු නොවේද?—1 යොහන් 3:14, 15.

22:32; 24:10-16, 23. යෙහෝවාගේ නාමයට නින්දා නොකළ යුතුය. ඊට වෙනස්ව අප ඔහුගේ නාමයට ප්‍රශංසා කරමින් එය විශුද්ධවත් වීම වෙනුවෙන් යාච්ඤා කළ යුතුය.—ගීතාවලිය 7:17; මතෙව් 6:9.

ලෙවී කථාව අපගේ නමස්කාරයට බලපාන අයුරු

අද දින වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එම නීතිය යටතේ ජීවත් නොවෙති. (ගලාති 3:23-25) කෙසේවෙතත්, ලෙවී කතාවෙහි සඳහන්ව ඇති තොරතුරු තුළින් විවිධ කාරණා සම්බන්ධයෙන් යෙහෝවා දරන දෘෂ්ටිය ගැන ගැඹුරු අවබෝධයක් ලබාගත හැකි නිසා, එම තොරතුරු අපගේ නමස්කාරයට බලපෑ හැකිය.

දිව්‍යාණ්ඩු සේවා පාසැලට සූදානමක් වශයෙන් ඔබේ සතිපතා බයිබල් කියවීම කරගෙන යද්දී, අපගේ දෙවි තම සේවකයෙන්ගෙන් ශුද්ධකම බලාපොරොත්තු වන බවට වූ කාරණය ඔබට කාවැදී ඇතැයි නිසැකය. මහෝත්තමයාණන්ට ඔබේ උපරිමය දීමටත්, ඔහුගේ ප්‍රශංසාව පිණිස නිතරම ශුද්ධකම රැකගැනීමටත් මෙම බයිබල් පොත ඔබට පෙලඹීමක් විය හැක.

[21වන පිටුවේ පින්තූරය]

මෝසෙස්ගේ නීතිය යටතේ පුදන ලද පූජා යේසුස් ක්‍රිස්තුස් සහ ඔහුගේ පූජාවට යොමු දැක්වීය

[22වන පිටුවේ පින්තූරය]

මුහුන් නුමුසු රොටි මංගල්‍යය ඉතා ප්‍රීතිමත් අවස්ථාවක් විය

[23වන පිටුවේ පින්තූරය]

කූඩාරම් මංගල්‍යය වැනි වාර්ෂික උත්සව යෙහෝවාට ස්තුතිය පුද කිරීම සඳහා අවස්ථාවන් විය