Skip to content

පටුනට යන්න

සෝතැවුල් මැද තෘප්තිමත් ජීවිතයක්

සෝතැවුල් මැද තෘප්තිමත් ජීවිතයක්

ජීවිත කතාව

සෝතැවුල් මැද තෘප්තිමත් ජීවිතයක්

පැවසුවේ ඕඩ්‍රි හයිඩ්

අවුරුදු 59ක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ කළ සේවය සමඟින් පූර්ණ කාලීන සේවයේ මා ගත කළ අවුරුදු 63කට වඩා වැඩි කාලය දෙස ආපසු හැරී බලන විට, මගේ ජීවිතය තෘප්තිමත් එකක් කියලා කියන්න පුළුවන්. මගේ පළමු ස්වාමිපුරුෂයා පිළිකාවකින් ටිකෙන් ටික මරණය කරා ළං වෙන ආකාරයත් මගේ දෙවෙනි ස්වාමිපුරුෂයා ඇල්සයිමස් රෝගයේ ඉතාමත් දරුණු ප්‍රතිඵල අද්දැක්ක ආකාරයත් බලාගෙන ඉන්න සිදු වූ විට මට දැනුණ දුක කියන්න වචන නැහැ. මෙවන් විපත්තිවලට මුහුණ දුන්නත් මම දිගටම ප්‍රීතිමත්ව හිටියේ කොහොමද කියලා කියන්න මට ඉඩ දෙන්න.

මම හැදී වැඩුණේ නබ්‍රැස්කාහි මායිම අසල පිහිටි කොලරාඩෝවේ ඊසානදිග තැනිතලා බිම්වල පිහිටි හැක්ස්ටන් නම් කුඩා ගම්මානයේ ගොවිපොළක. ඔරිල් සහ නිනා මොක්ට සිටිය දරුවන් හයදෙනාගෙන් මම තමයි පස්වෙනි දරුවා. වර්ෂ 1913ත් 1920ත් අතර කාලය තුළ රසල්, වේන්, ක්ලාරා සහ ආඩිස් ඉපදුණා. මම ඉපදුණේ 1921දී. කර්ටිස් ඉපදුණේ 1925දී.

වර්ෂ 1913දී මගේ අම්මා බයිබල් ශිෂ්‍යයාවක් වුණා. ඒ දවස්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්වූයේ ඒ විදිහටයි. පස්සේ පවුලේ අනිත් අයත් සාක්ෂිකරුවන් වුණා.

තැනිතලා බිම්වල ගත කළ සුන්දර ජීවිතය

තාත්තා අලුත් අදහස්වලට සහ අලුත් දේවල්වලට කැමති කෙනෙක්. අපේ ගොවිපොළේ තිබුණ හැම ගොඩනැඟිල්ලකටම විදුලි ආලෝකය තිබුණා. ඒ දවස්වල හැමෝටම ඒ පහසුකම තිබුණේ නැහැ. අපේම කිකිළියන්ගෙන් ලබාගත් බිත්තර, අපේම එළදෙනුන්ගෙන් දොවාගත් කිරි සහ ඒවායින් හැදූ ක්‍රීම් සහ බටර් වැනි සාමාන්‍යයෙන් ගොවිපොළකින් ලැබෙන වාසි ප්‍රයෝජන අපි භුක්ති වින්දා. අපි බිම් අස්වැද්දීම සඳහා අශ්වයන්ව යොදාගත්තා. ස්ට්‍රෝබෙරි, අල, ඒ වගේම තිරිඟු සහ ඉරිඟුත් වගා කළා.

තාත්තා හිතුවේ ඔහුගේ හැම දරුවෙක්ම වැඩ කරන්න ඉගෙනගන්න ඕනේ කියලා. මම ඉස්කෝලේට ඇතුල් වෙන්නත් කලින්ම වගා ඉඩම්වල වැඩ කරන්න ඉගෙනගත්තා. මට මතකයි ගිම්හාන කාලයේදී තද අව්වේ අපේ වත්තේ වල් පැල මම උදලු ගාපු හැටි. ‘මට ඉවර කරන්න පුළුවන් වෙයිද?’ කියලා මම කල්පනා කළා. දහඩිය බින්දු මගේ ඇඟ දිගේ ගලා ගියා. ඒ වගේම මීමැස්සොත් විද්දා. සමහර වේලාවල මට මං ගැනම දුක හිතුණා. මොකද අනිත් ළමයින්ට අපිට වගේ මහන්සි වෙලා වැඩ කරන්න තිබුණේ නැහැ. ඒත් මගේ බාල කාලය දිහා ආපසු හැරී බලනකොට අපිට වැඩ කරන්න ඉගැන්නුව එක ගැන ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා.

අපි හැමෝටම වැඩ කොටස් පැවරිලා තිබුණා. ආඩිස්ට මට වඩා හොඳට කිරි දොවන්න පුළුවන්. ඉතින් අශ්ව ගාලේ කුටි සුද්ද පවිත්‍ර කිරීමේ වැඩේ තමයි මට පැවරුණේ. අපි කොච්චර වැඩ කළත් විනෝද වෙන්නත් ක්‍රීඩා කරන්නත් කාලයක් තිබුණා. ආඩිස්සුයි මමයි ගමේ බේස් බෝල් කණ්ඩායමට සෙල්ලම් කළා. මම තුන්වන කට්ටි රකින්නා ලෙසත් ආඩිස් පළමුවන කට්ටි රකින්නා ලෙසත් ක්‍රීඩා කළා.

තැනිතලා බිම්වල ඉඳන් පැහැදිලි රාත්‍රි අහස දිහා බලනකොට හරිම ලස්සනයි. දහස් ගණන් තරු දැක්කහම අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවිව මට මතක් වුණා. කුඩා වුණත් ගීතාවලිය 147:4හි කියන දේ මම කල්පනා කළා. ඒ පදයේ කියන්නේ “ඔහු [යෙහෝවා] තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබන්නේය” කියලා. මේ විදිහට අහස දිහා බලා ඉන්න බොහෝ රෑ යාම්වලදී අපේ බල්ලා ජජ් මගේ ඔඩොක්කුවට ඔළුව තියාගෙන මගේ තනි නොතනියට හිටියා. මම හුඟාක් වේලාවට අපේ ඉස්තෝප්පුවට වෙලා ඉඳගෙන තිරිඟු යාය හරහා සුළඟ හමාගෙන යන ආකාරය ආසාවෙන් බලාගෙන ඉන්නවා. සුළඟට ලෙළ දෙන තිරිඟු ගස් මතට හිරු එළිය වැටෙද්දී ඒවා රිදී පැහැයෙන් බැබළුණා.

අම්මාගේ හොඳ ආදර්ශය

මගේ අම්මා කැපවීමකින් වැඩ කළ ආදරණීය භාර්යාවක්. හැමවිටම තාත්තා තමයි ගෙදර මූලිකත්වය අරගෙන කටයුතු කළේ. ඔහුට ගරු කරන්න අම්මා අපිට ඉගැන්නුවා. වර්ෂ 1939දී ඔහුත් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වුණා. තාත්තා අපිව හුරතල් නොකර අපෙන් වැඩ ගත්තත් ඔහු අපිට ආදරෙයි කියලා අපි දැනගෙන හිටියා. හිම වැටෙන කාලයේදී තාත්තා අශ්වයන් දෙන්නෙක්ව හිම කරත්තයකට බැඳලා අපිව රවුමක් අරගෙන යනවා. දිලිසි දිලිසි තිබුණ හිම දැක්කාම අපිට ලොකු සතුටක් දැනුණා!

දෙවිට ප්‍රේම කරන්නත් බයිබලයට ගරු කරන්නත් අපිට ඉගැන්නුවේ අම්මා. දෙවිගේ නම යෙහෝවා බවත් ජීවනයේ උල්පත ඔහු බවත් අපි ඉගෙනගත්තා. (ගීතාවලිය 36:9; 83:17) දෙවි අපිට මඟ පෙන්වීම දීලා තියෙන්නේ අපේම යහපතට මිසක් අපේ සතුට උදුරාගන්න නෙමෙයි කියන එකත් අපි ඉගෙනගත්තා. (යෙසායා 48:17) අපිට විශේෂ වැඩක් කරන්න තියෙනවා කියලා අම්මා නිතරම අපට මතක් කරලා දුන්නා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය” කියා යේසුස් තම ගෝලයන්ට පැවසූ බව අපි ඉගෙනගත්තා.—මතෙව් 24:14, NW.

මම පුංචි කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට අම්මා ගෙදර හිටියේ නැත්නම් මම අම්මා කොහෙද ඉන්නේ කියලා හොයනවා. එක දවසක් ඇය ධාන්‍ය ගබඩාවේ ඉන්නවා මට හම්බ වුණා. එතකොට මට වයස අවුරුදු හයක් හතක් විතර ඇති. එදා මොරසූරන වැස්සක් වැස්සා. අපි හිටියේ ගබඩාවේ පිදුරු දමා තිබූ තට්ටුවේ. මම අම්මාගෙන් ඇහැව්වා දෙවි ආයෙත් ජලගැල්මක් ගේන්න යනවද කියලා. එතකොට ඇය මට ස්ථිරයෙන්ම කිව්වා දෙවි ආයෙත් ජලගැල්මකින් පොළොව විනාශ කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තියෙන බව. ගොඩක් අවස්ථාවල සැර කුණාටුවලින් ආරක්ෂා වෙන්න පොළොව යට හදලා තිබුණ කාමරයට අපි දුවගෙන ගිය හැටිත් මට මතකයි. මොකද සැර කුණාටු අපිට සාමාන්‍ය දෙයක් වුණා.

මම ඉපදෙන්නත් කලින් ඉඳන්ම අම්මා දේශනා සේවයේ හවුල් වුණා. දේශනා සේවයේ යන කණ්ඩායමක් අපේ ගෙදර එකතු වුණා. ඒ හැම කෙනෙකුටම තිබුණේ ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ ජීවත් වීමේ බලාපොරොත්තුවයි. ගෙයින් ගෙට දේශනා සේවයේ යෑම අම්මාට අභියෝගයක් වුණත් දෙවිට තිබුණ ප්‍රේමය, ඇගේ බිය පරාජය කළා. ඇය 1969 නොවැම්බර් 24වන දින මිය යන තෙක්ම විශ්වාසවන්තව සිටියා. ඇය මිය යන විට ඇගේ වයස අවුරුදු 84යි. “අම්මේ, ඔයා ස්වර්ගයට ගියාම ඔයා හඳුනන අයව ඔයාට මුණ ගැසේවි” කියලා මම ඇගේ කනට කොඳුරා කිව්වා. ඇය මැරෙන අවස්ථාවේදී ඇයත් සමඟ ඉන්න ලැබුණු එක ගැනත්, ඒ බලාපොරොත්තුව ගැන මට තිබුණ නිසැකකම ගැන ඇයට කියන්න ලැබුණු එක ගැනත් මට ලොකු සතුටක් දැනුණා! එතකොට ඇය හෙමිහිට මෙහෙම කිව්වා. “ඔයා මට ආදරයෙන් සැලකුවා.”

අපි දේශනා සේවය ඇරඹුවා

වර්ෂ 1939දී රසල් පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න පටන්ගත්තා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන්ව හඳුන්වන්නේ ඒ නමින්. ඔහු 1944දී (බෙතෙල් යනුවෙන් හඳුන්වනු ලබන) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කිරීම සඳහා ඇරයුම් කරන තුරු ඔහු ඔක්ලහෝමා සහ නබ්‍රැස්කා යන නගරවල පුරෝගාමි සේවය කළා. මම පුරෝගාමි සේවය පටන්ගත්තේ 1941 සැප්තැම්බර් 20වන දායි. මම කොලරාඩෝ, කන්සාස් සහ නබ්‍රැස්කා යන නගරවල විවිධ ස්ථානවල සේවය කළා. ඒ කාලය හරිම ප්‍රීතිමත් කාලයක්. ඒ මම අනිත් අයට යෙහෝවා ගැන ඉගෙනගන්න උදව් කළ නිසාම නෙමෙයි. මමත් ඔහු මත මුළුමනින්ම රඳා සිටින්න ඉගෙනගත් නිසයි.

රසල් පුරෝගාමි සේවය ආරම්භ කළ කාලයේම වගේ වේන් ටික කලකට රැකියාවක් කිරීමෙන් පසුව අමෙරිකාවේ ඊසානදිග පළාතේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් හිටියා. පසුව ඔහුට බෙතෙල් සේවය සඳහා ආරාධනයක් ලැබුණා. ඔහු කාලයක් නිව් යෝර්ක්වල ඉතාකා නගරයට ආසන්නයේ පිහිටි බෙතෙල් ගොවිපොළේ වැඩ කළා. එම ගොවිපොළේ සිටි අයටත් බෘක්ලින් බෙතෙල්හි සේවය කළ 200කට ආසන්න පිරිසකටත් අවශ්‍ය ආහාර පාන නිෂ්පාදනය කළේ මෙම කුඩා ගොවිපොළෙයි. වේන් 1988දී තමන්ගේ ජීවිතයෙන් සමුගන්න තුරු ඔහුගේ කුසලතා හා දැනුම යෙහෝවාගේ සේවය වෙනුවෙන් යෙදෙව්වා.

මගේ අක්කා ආඩිස්, ජේම්ස් කර්න් සමඟ විවාහ වුණ අතර එයාලට දරුවෝ පස්දෙනෙක් හිටියා. ඇය 1997දී මිය ගියා. මගේ අනිත් අක්කා ක්ලාරා අද වෙන තුරුත් යෙහෝවාට විශ්වාසවන්තව සිටිනවා. මගේ නිවාඩු කාලේට මම තවමත් කොලරාඩෝවල තිබෙන ඇගේ නිවසට ඇයව බලන්න යනවා. අපේ මල්ලි කර්ටිස් 1940 ගණන්වල මැදභාගයේදී විතර බෘක්ලින්හි බෙතෙල් නිවසට ආවා. ඔහුගේ වැඩය වුණේ ට්‍රක් රථයකින් බඩු බාහිරාදිය ගොවිපොළේ සිට බෘක්ලින් බෙතෙල් නිවසට ගෙන යෑමයි. ඔහු 1971දී මිය යන තුරුම ගත කළේ තනිකඩ ජීවිතයක්.

මගේ ආශාවත් බෙතෙල් සේවය

මගේ අයියලා තමයි කලින්ම බෙතෙල් සේවයට ගියේ. මගේ ආශාව වෙලා තිබුණේත් බෙතෙල් නිවසේ සේවය කරන්න. එයාලා ආදර්ශවත්ව සිටි නිසා තමයි මටත් එහි සේවය කරන්න ආරාධනාවක් ලැබුණේ කියන එක මට විශ්වාසයි. මගේ අම්මා දෙවිගේ සංවිධානයේ ඉතිහාසය ගැන පැවසූ දේට ඇහුම්කන් දීමෙනුත් අන්තිම දවස් සම්බන්ධයෙන් තිබෙන බයිබල් අනාවැකි ඉටු වන ආකාරය දැකීමෙනුත් මගේ හිතේ ආශාවක් ඇති වුණා බෙතෙල් එකේ සේවය කරන්න. මම යාච්ඤාවෙන් යෙහෝවාට පොරොන්දු වුණා, ඔහු මට බෙතෙල් නිවසේ සේවය කරන්න අවස්ථාවක් ලබා දුන්නොත් වෙනත් ක්‍රිස්තියානි වගකීමක් නිසා මිසක එම සේවය අත් නොහරින බවට.

මම 1945 ජූනි 20වන දා බෙතෙල් නිවසට ආවා. ගෘහ පාලිකාවක් ලෙස සේවය කිරීම තමයි මගේ පැවරුම වුණේ. මට කාමර 13ක් පිරිසිදු කරන්න තිබුණා. හැමදාම ඇඳවල් 26ක් සකස් කරන්න තිබුණා. කොරිඩෝරය, තරප්පු පේළි සහ ජනේල පිරිසිදු කිරීමත් මගේ වැඩ කොටසට අයිති වුණා. වෙහෙසකර වැඩ කොටසක් කරන්න තිබුණේ. හැමදාම වැඩ කරනකොට මම මටම මෙහෙම කියාගන්නවා. ‘ඔයාට මහන්සියි තමයි. ඒත් ඔයා ඉන්නේ බෙතෙල් එකේ. ඒ කියන්නේ දෙවිගේ නිවසේ!’

මම බෙතෙල් නිවසට ආව අලුත ලජ්ජා හිතෙන දෙයක් මට සිදු වුණා. මම ගමේ හැදුණ වැඩුණ කෙනෙක් නිසා, බඩු එක් මහලක සිට තවත් මහලකට යවන කුඩා විදුලි සෝපානයට කියන්නේ ඩම්වෙටර් (dumbwaiter) කියලා මම දැනගෙන හිටියේ නැහැ. එක දවසක් මම වැඩ කරමින් ඉන්නකොට මට දූරකථන ඇමතුමක් ලැබුණා. “කරුණාකරලා ඩම්වෙටර්ව එවන්න පුළුවන්ද?” කතා කරපු කෙනා පණිවිඩය කියපු ගමන්ම දූරකථනය තිබ්බා. මොනවද දැන් මම කරන්නේ කියලා මට හිතාගන්න බැරුවයි හිටියේ. මොකද ඒ වචනය දෙකට වෙන් කළොත් අදහස් වෙන්නේ “මෝඩ වේටර්වරයා” කියලා. පස්සේ මට මතක් වුණා මම වැඩ කළ මහලේ එක් සහෝදරයෙක් වේටර්වරයෙක් කියලා. ඉතින් මම ඔහුගේ කාමරයේ දොරට තට්ටු කරලා ඔහුට මෙහෙම කිව්වා. “කුස්සියේ අය ඔයාට එන්න කිව්වා.”

නේදන් නෝර් සමඟ විවාහය

වර්ෂ 1920 ගණන්වලදී විවාහ වීමට කැමති බෙතෙල් සේවකයන්ට බෙතෙල් සේවයෙන් ඉවත් වී වෙනත් රාජ්‍ය කටයුත්තක නිරත වෙන්න සිදු වුණා. නමුත් 1950 ගණන්වල මුල්භාගයේදී බෙතෙල් නිවසේ සේවය කරමින් සිටි යුවළයන් කිහිපදෙනකුට විවාහ වී බෙතෙල් නිවසේ දිගටම සේවය කරන්න අවසර ලැබුණා. ඒ නිසා ඒ දවස්වල ලෝක ව්‍යාප්ත රාජ්‍ය වැඩකටයුතු සම්බන්ධයෙන් පෙරමුණ ගත් නේදන් එච්. නෝර් මා ගැන උනන්දුවක් දැක්වුවහම, මම හිතුවා, “මෙයා නම් අනිවාර්යයෙන්ම බෙතෙල් නිවසෙන් යන එකක් නැහැ!” කියලා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩකටයුතු අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් නේදන්ට ගොඩක් වගකීම් උසුලන්න සිදු වුණා. එනිසා ඔහු මාත් සමඟ අවංකව ඒ ගැන කතා කළා. ඔහු මට පැහැදිලි කළා මම ඔහුගේ යෝජනාව පිළිගන්න කලින් ඒ ගැන හොඳට හිතලා බලන්න අවශ්‍ය ඇයි කියලා. ඒ දවස්වල ඔහු ලෝ වටා තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවල වැඩ කළ අයව හමු වෙන්න ගියා. සමහර අවස්ථාවල සති ගණන් එසේ සංචාරය කළා. ඒ නිසා අපට යම් දීර්ඝ කාලයකට පවා වෙන් වෙලා ඉන්න සිදු වෙයි කියලා ඔහු මට කිව්වා.

තරුණියක් හැටියට මම වසන්තයේදී යුග දිවියට පා තබන්නත් ශාන්තිකරයේ තිබෙන හවායි දූපත්වල මධුසමය ගත කරන්නත් සිහින මැව්වා. කොහොමහරි අපි 1953 ශීත ඍතුවේ ජනවාරි 31වෙනි දා විවාහ වෙලා එම සෙනසුරාදා දිනයේ හවස සහ ඉරිදා දවස නිව් ජර්සිවල මධුසමය ගත කළා. සඳුදා අපි වැඩ පටන්ගත්තා. සතියකට පස්සේ නැවතත් මධුසමය ගත කිරීම සඳහා අපි සතියක නිවාඩුවක් ගත්තා.

වෙහෙස මහන්සි වී වැඩ කළ සහකරුවෙක්

නේදන් 1923දී බෙතෙල් නිවසට පැමිණෙනකොට ඔහුට වයස අවුරුදු 18යි. ඒ දවස්වල සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සම්බන්ධයෙන් පෙරමුණ ගෙන වැඩ කළ ජෝසෆ් එෆ්. රදෆඩ් සහ මුද්‍රණ කටයුතු අධීක්ෂණය කළ රොබට් ජේ. මාටින් වැනි අද්දැකීම් ලත් අයගෙන් අගනා පුහුණුවක් ඔහුට ලැබුණා. සහෝදර මාටින් 1932 සැප්තැම්බර් මාසයේදී මිය ගියාම නේදන් මුද්‍රණ වැඩ අධීක්ෂණය කළා. ඊළඟ අවුරුද්දේ සහෝදර රදෆඩ් යුරෝපයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල බලන්න ගිය විට නේදන්වත් අරගෙන ගියා. වර්ෂ 1942 ජනවාරි මාසයේ සහෝදර රදෆඩ් මිය ගියායින් පසුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩකටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම නේදන්ට පැවරුණා.

නේදන් දුර දිග බලලා වැඩ කළ කෙනෙක්. අනාගතයේ සිදු විය හැකි වර්ධනය උදෙසා ඔහු නිතරම සැලසුම් සූදානම් කරමින් සිටියා. සමහරෙක් හිතුවා එහෙම සැලසුම් කිරීම එච්චර ගැළපෙන දෙයක් නෙමෙයි කියලා. මොකද මේ සමාජ ක්‍රමය ඉතාමත් ඉක්මනට අවසන් වෙයි කියලයි ඔවුන් හිතාගෙන හිටියේ. නේදන්ගේ සැලසුම් දැක්ක එක සහෝදරයෙක් ඔහුගෙන් මෙහෙම ඇහැව්වා. “මොකද සහෝදර නෝර් මෙච්චර දේවල් සැලසුම් කරන්නේ? ඔයාට අවසානය ගැන විශ්වාසයක් නැද්ද?” නේදන් මෙහෙම උත්තර දුන්නා. “මට විශ්වාසයක් තියෙනවා. ඒත් අපි බලාපොරොත්තු වන ඉක්මනට අවසානය ආවේ නැතත් ප්‍රශ්නයක් නැහැ, මොකද අපි ලෑස්තියි.”

නේදන්ට තිබුණ එක් විශේෂ අදහසක් තමයි මිෂනාරිවරුන්ට පාසැලක් ආරම්භ කිරීම. ඉතින් වර්ෂ 1943 පෙබරවාරි මාසයේ 1වෙනි දා මගේ අයියා වේන් ඒ වන විට සේවය කරමින් සිටි විශාල ගොවිපොළේ මෙම මිෂනාරි පාසැල ආරම්භ කළා. මාස පහක පමණ කාලයක් පුරා පැවැත්වෙන පුළුල් බයිබල් අධ්‍යයන පාඨමාලාවක් එම පාසැලට ඇතුළත්ව තිබුණත් ශිෂ්‍යයන්ට යම් විනෝදයක් ලබා දීමට නේදන් වැඩකටයුතු යෙදෙව්වා. පාසැල ආරම්භ කළ මුල් වසරවල ඔහු බේස් බෝල් ක්‍රීඩාවට හවුල් වුණත් ගිම්හානයේ පැවැත්වීමට නියමිතව තිබූ දිස්ත්‍රික් සමුළුවලට සහභාගි වීමට තිබුණ නිසා යම් අනතුරක් සිදු වී වැඩකටයුතුවලට බාධා ඇති වෙයි යන බිය නිසා පසුව ඔහු ක්‍රීඩාවට හවුල් වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු ක්‍රීඩා විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළා. ඔහු ක්‍රීඩාවට සහභාගි වූ විදේශීය සිසුන්ට වාසි වෙන විදිහට ප්‍රසිද්ධියේ තරඟ නීති කැඩූ විට එම විදේශීය සිසුන් හුඟාක් සන්තෝෂ වුණා.

නේදන් සමඟ ගිය ගමන්

අවසානයේ මමත් නේදන් සමඟ වෙනත් රටවලට ගියා. ශාඛා කාර්යාලවල සේවය කළ ස්වේච්ඡා සේවකයන් සහ මිෂනාරිවරුන් සමඟ අද්දැකීම් බෙදාගැනීමෙන් මම සතුටක් ලැබුවා. ඔවුන්ට තිබූ ප්‍රේමය හා කැපවීම මම පෞද්ගලිකවම අද්දැක්කා. ඒ වගේම එයාලාගේ දිනචර්යාව ගැන සහ එයාලා පැවරුම් ලැබූ රටවල ජීවන තත්වය ගැන මම දැනගත්තා. ගත වී තිබෙන වසර ගණනාව පුරා මම සංචාරය කළ එම රටවලින් අගය පළ කරන ලිපි මට ලැබී තිබෙනවා.

අපේ අතීත සංචාරයන් ගැන කල්පනා කරනකොට අද්දැකීම් හුඟාක් මතක් වෙනවා. එකක් තමයි අපි පෝලන්තයට ගිය අවස්ථාව. සහෝදරියන් දෙන්නෙක් මගේ ඉස්සරහා එකිනෙකාගේ කනට කොඳුරමින් කතා කරනවා. “ඇයි ඔයාලා කනට කොඳුරලා කතා කරන්නේ?” කියලා මම එයාලාගෙන් ඇහැව්වා. එතකොට එයාලා සමාව ඉල්ලලා, එහෙම කළේ පෝලන්තයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කර තිබුණ කාලයේදී ඔවුන්ගේ සංවාදවලට හොර රහසින් සවන් දීම සඳහා නිලධාරීන් විසින් ඔවුන්ගේ නිවෙස්වල මයික්‍රෆෝන සඟවා තිබුණ නිසයි කියල කිව්වා.

සහෝදරි ආඩා, පෝලන්තයේ තහනම යටතේ සේවය කළ බොහෝදෙනා අතරින් එක් අයෙක්. ඇයට තිබුණේ බොකුටු කෙස්. ඇය නළලට කෙස් වැටෙන විදිහට කපලා තිබුණා. එක් අවස්ථාවක ඇය නළලට වැටී තිබුණ කෙස් ටික උඩට කර මට ලොකු කැළලක් පෙන්නුවා. පීඩා කරන්නෙකු එල්ල කළ ප්‍රහාරයක ප්‍රතිඵලයයි ඒ. අපේ සහෝදර සහෝදරියන්ට විඳදරාගැනීමට සිදු වූ කෲර පීඩාවල ප්‍රතිඵල මගේ ඇස් දෙකින්ම දැක්කාම මට අදහාගන්න බැරිව ගියා.

බෙතෙල් නිවසට පස්සේ මගේ සිත්ගත් ස්ථානය හවායි. එහි හීලෝ නගරයේ 1957දී තිබුණ සමුළුව මට මතකයි. එය අමතක නොවන අවස්ථාවක්. සමුළුවට ආව සංඛ්‍යාව එහි හිටපු සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි වුණා. නගරාධිපති සාමාන්‍යයෙන් වැදගත් අයව පිළිගන්නා ආකාරයට නගරයට ඇතුල් වීම සඳහා සංකේතමය යතුරක් දෙමින් නේදන්වත් පිළිගත්තා. හුඟදෙනෙක් මල් මාලා දාලා අපිව පිළිගත්තා.

හිතට විශාල සතුටක් දැනුණ තවත් සමුළුවක් තමයි 1955දී ජර්මනියේ න්‍යූරම්බග්වල හිට්ලර්ගේ හමුදා පෙරැට්ටු බිමක්ව තිබූ ක්‍රීඩාංගණයක පැවති සමුළුව. හිට්ලර් ජර්මනියේ සිටි යෙහෝවාගේ සෙනඟව මුළුමනින්ම තුරන් කරන්න අදිටන් කරගෙන හිටපු බව කොයි කවුරුත් දන්නා දෙයක්. ඒත් ඒ මොහොතේ එම ක්‍රීඩාංගණය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් පිරිලා තිබුණා! මගේ ඇස්වලට ආ කඳුළු හංගගන්න බැරිව ගියා. වේදිකාව හරිම විශාලයි. එහි පිටුපස තිබූ විශාල කුලුනු 144 නිසා පසුබිමට විශේෂ අලංකාරයක් තිබුණා. මම හිටියේ වේදිකාවේ. පැමිණ සිටි 1,07,000කට වඩා විශාල සෙනඟව මට දැකගන්න පුළුවන් වුණා. පිටුපස පේළිය ගොඩක් ඈතින් තිබුණ නිසා මට ඒක පෙනුණේ යාන්තමට වගේයි.

ජර්මනියේ සහෝදරයන්ට තිබුණ ස්ථිර විශ්වාසයත් නාට්සි පාලන සමයේ ඔවුන් පීඩා විඳින විට යෙහෝවාගෙන් ලැබූ ශක්තිය කොයි තරම්ද කියාත් අපේ හදවතට දැනුණා. එය යෙහෝවාට පක්ෂපාතව සිටින්නත් විශ්වාසවන්තකම අඛණ්ඩව පවත්වාගන්නත් අප තුළ තිබෙන අදිටන ශක්තිමත් කළා. අවසන් කතාව දුන්නේ නේදන්. කතාව අවසානයේදී ඔහු පැමිණ සිටි අයට අත වනා සමුගත්තා. ඒ අයත් ඉක්මනට ඔවුන්ගේ ලේන්සු වනමින් සමුගැනීමට ප්‍රතිචාරය දැක්වුවා. ඒක හරියට ලස්සන මල් යායක් වගේයි පෙනුණේ.

වර්ෂ 1974 දෙසැම්බර් මාසයේදී පෘතුගාලයට ගිය ගමනත් අමතක වෙන්නේ නැහැ. අපගේ සාක්ෂි දැරීමේ වැඩය නීත්‍යනුකූල කළාට පස්සේ ලිස්බන්වල පැවැත්වූ සාක්ෂිකරුවන්ගේ පළමු රැස්වීමට අපි සහභාගි වුණා. එම රටේ අවුරුදු 50ක කාලයක් පුරා සාක්ෂි දැරීමේ වැඩය තහනම් කර තිබුණා! ඒ කාලයේදී රටේ රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 14,000යි. නමුත් පැවැත්වුව රැස්වීම් දෙකට එදා 46,000ක් සහභාගි වුණා. “අපිට තවත් හැංගෙන්න අවශ්‍ය නැහැ. අපි නිදහස්” කියා සහෝදරයෝ පවසද්දී මට ඇඬුණා.

මම නේදන් සමඟ සංචාරය කරන කාලයේදී වගේම අදත් ගුවන් යානාවල, අවන්හල්වල සහ වීථිවල අවිධිමත්ව සාක්ෂි දැරීමට ගොඩක් ආසයි. මම හැම වෙලාවේදීම බයිබල් පොත් පත් අරගෙන යන නිසා මම නිතරම ඉන්නේ සාක්ෂියක් දරන්න සූදානමින්. එක් අවස්ථාවක අපි ප්‍රමාද වෙලා පැමිණෙන ගුවන් යානයක් එන තුරු බලා ඉන්නකොට එක් කාන්තාවක් මගෙන් ඇහැව්වා මම කොහේද රැකියාව කරන්නේ කියලා. ඇගේ එම ප්‍රශ්නය නිසා ඇය සමඟ සංවාදයක් පටන්ගන්න පුළුවන් වුණා වගේම අවට ඇහුම්කන් දීගෙන සිටි අය සමඟත් කතා කරන්න මඟ පෑදුණා. බෙතෙල් සේවය සහ මගේ දේශනා සේවයේ ක්‍රියාකාරකම් නිසා මම කාර්යබහුලයි. ඒත්, ඒ තුළින් මම සතුටක් අද්දකිනවා.

අසනීප වීම සහ වෙන්වීමේදී දුන් දිරිගැන්වීම

වර්ෂ 1976දී නේදන් පිළිකාවක් නිසා ලෙඩ ඇඳට වැටුණා. මමත් බෙතෙල් පවුලේ සාමාජිකයිනුත් ඔහුට උපකාර කළා ඊට මුහුණ දෙන්න. ඔහු රෝගී තත්වයෙන් හිටියත් ඒ දවස්වල බෘක්ලින්වලට ලෝකයේ නොයෙකුත් ශාඛා කාර්යාලවලින් පුහුණුව ලබාගැනීමට පැමිණ සිටි අයට අපේ කාමරයට අපි ආරාධනා කළා. ඩොන් සහ එලීන් ස්ටීල්, ලොයිඩ් සහ මෙල්බා බැරි, ඩග්ලස් සහ මේරි ගෙස්ට්, මාටින් සහ ගට්‍රෘට් පොයට්සිඤ, ප්‍රයිස් හියුස් සහ වෙනත් හුඟදෙනෙක් පැමිණි අවස්ථා මට මතකයි. එයාලා තමන්ගේ රටේ අද්දැකීම් අපට කිව්වා. මගේ සිත්ගත්තේ තහනම යටතේ අපගේ සහෝදරයන්ගේ නොසැලෙන විශ්වාසය ගැන කිව්ව අද්දැකීම්.

නේදන්ට එයාගේ මරණය ආසන්න බව තේරුණාම, වැන්දඹුභාවයට හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය හොඳ උපදෙස් ටිකක් ඔහු මට දුන්නා. ඔහු මෙහෙම කිව්වා. “අපි ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළා. හුඟදෙනෙක් ඒක අද්දකින්නේ නැහැ.” අපේ විවාහ ජීවිතයේ ප්‍රීතියට හේතු වුණේ නේදන්ට තිබුණ සැලකිලිමත් ස්වභාවය. එක උදාහරණයක් කියනවා නම්, අපි සංචාරයේ යෙදෙනකොට අපට මුණගැසෙන නොයෙකුත් දෙනා ගැන ඔහු මට මෙහෙම කියනවා. “ඕඩ්‍රි, සමහර වේලාවට ඒ අයව මම ඔයාට හඳුන්වලා දෙන්නේ නැත්නම්, ඒ කියන්නේ මට ඒ අයගේ නම් අමතක වෙලා කියන එකයි.” මම හුඟාක් සතුටු වුණා ඔහු ඒ ගැන කලින්ම කීම ගැන.

නේදන් මට මෙම සිහිගැන්වීම දුන්නා. “මැරුණාට පස්සේ අපේ බලාපොරොත්තුව ස්ථිරයි. ආයෙත් වේදනාවෙන් දුක් විඳින්න සිදු වෙන්නේ නැහැ.” ඊටපස්සේ ඔහු මට මෙහෙම උනන්දු කළා. “ඉස්සරහ බලන්න. එතැන තමයි තෑග්ග තියෙන්නේ. අතීතයේ මතකයන් ඔයාගේ සිතේ රැඳුනත් ඒවා ගැන හිත හිතා ජීවත් වෙන්න එපා. කාලයත් එක්ක ඔයාට තිබෙන වේදනාව අඩු වෙයි. ඔයා ගැන කේන්තියක් අනුකම්පාවක් ඇති කරගන්න එපා. ඔයාට ලැබුණ ප්‍රීතිය සහ ආශීර්වාද ගැන සන්තෝෂ වෙන්න. ටික කාලයක් ගියාට පස්සේ අතීතයේ දේවල් සිහි වෙනකොට ඔයාට සතුටක් දැනේවි. අතීත මතකයන් දෙවිගෙන් අපට ලැබුණ තෑග්ගක්.” තවදුරටත් ඔහු මට මෙහෙම කිව්වා. “නිකම් ඉන්න එපා. අනිත් අය වෙනුවෙන් ඔයාගේ කාලය යොදවන්න උත්සාහ කරන්න. මේ තුළින් ජීවිතයෙන් සතුටක් ලබන්න ඔයාට උපකාරයක් ලැබෙයි.” වර්ෂ 1977 ජූනි 8වන දා නේදන් තම භූමික ජීවිතයෙන් සමුගත්තා.

ග්ලෙන් හයිඩ් සමඟ විවාහය

මට ඕනේ නම් අතීතය ගැන හිත හිතා ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් අලුත් ජීවිතයක් පටන්ගන්න පුළුවන් කියලා නේදන් මට කියලා තිබුණා. ඉතින් වර්ෂ 1978දී වොල්කිල්වල තිබුණ වොච්ටවර් ගොවිපොළේ පදිංචි වෙන්න ගියාට පස්සේ මම ග්ලෙන් හයිඩ් සමඟ විවාහ වුණා. ඔහු ඉතා කඩවසම්, නිශ්චල, ඒ වගේම කරුණාවන්ත ගතිගුණ තිබුණ කෙනෙක්. ඔහු සාක්ෂිකරුවෙක් වෙන්න කලින් අමෙරිකාව ජපානය සමඟ යුද්ධයක නිරත වෙලා හිටිය කාලේ නාවික හමුදාවේ සේවය කරලා තිබුණා.

දිය යටින් මිසයිල යවන පැට්‍රල් බෝට්ටුවක ඇන්ජිම් කාමරයේ තමයි ග්ලෙන් සේවය කරලා තියෙන්නේ. ඇන්ජිමේ සද්දේට ඔහුගේ කන් ඇසීම දුර්වල වෙලා. යුද්ධයෙන් පස්සේ ඔහු ගිනි නිවන භටයෙක් හැටියට සේවය කරලා තියෙනවා. යුධ කාලයේ අද්දැක්ක බිහිසුණු දේවල් නිසා අවුරුදු ගණනාවක් ඔහු බියකරු සිහිනවලින් පීඩා වින්දා. අවිධිමත්ව සාක්ෂි දැරූ ඔහුගේ ලේකම්වරියගෙන් තමයි ඔහු බයිබල් සත්‍යය ඉගෙනගෙන තියෙන්නේ.

වර්ෂ 1968දී ගිනි නිවන භටයෙක් හැටියට බෘක්ලින් බෙතෙල් නිවසේ සේවය කිරීමට ග්ලෙන්ව කැඳෙව්වා. පසුව වොච්ටවර් ගොවිපොළට ගිනි නිවන රථයක් ගත්තට පස්සේ, 1975දී ඔහුව එතැනට මාරු කළා. කාලයක් යනකොට ඔහුට ඇල්සයිමස් රෝගය හැදුණා. අපි විවාහ වෙලා අවුරුදු දහයකට පස්සේ ග්ලෙන් මිය ගියා.

මම මේ තත්වයට මුහුණ දුන්නේ කොහොමද? නේදන් එයා මැරෙනවා කියා දැනගත්තාම මට දුන්න නැණවත් උපදෙස් මට නැවතත් සහනයක් ලබා දුන්නා. වැන්දඹුභාවයට සාර්ථකව මුහුණ දීම ගැන ඔහු ලියා තිබුණ දෙය මම නැවත නැවත කියෙව්වා. මම තවමත් ඒ තොරතුරු වෙනත් අයගේ සහකරුවන් මිය ගිය විට ඒ අය සමඟ බෙදාගන්නවා. ඔවුනුත් නේදන්ගේ උපදෙස්වලින් සහනයක් ලබලා තිබෙනවා. ඇත්තටම නේදන් මට උනන්දු කළ විදිහට ඉදිරිය දිහා බැලීම ප්‍රයෝජනදායකයි.

අගනා සහෝදරත්වයක්

මගේ ප්‍රීතිමත්, තෘප්තිමත් ජීවිතයට විශේෂයෙන් දායක වුණේ බෙතෙල් පවුලේ සිටින ප්‍රේමණීය මිතුරන්. එක් විශේෂ මිතුරියක් තමයි එස්තර් ලෝපෙස්. ඇය 1944දී ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ තුන්වන පන්තියෙන් උපාධිය ලබාගත් සහෝදරියක්. ඇය අපගේ බයිබල් ප්‍රකාශන ස්පාඤ්ඤ භාෂාවට පරිවර්තනය කරන්න උපකාර කිරීම සඳහා 1950 පෙබරවාරි මාසයේදී නැවතත් බෘක්ලින්වලට පැමිණියා. නේදන් සංචාරක කටයුතුවල නිරත වෙනකොට එස්තර් තමයි මගේ හිතවත්ම මිතුරිය වුණේ. ඇයත් ඉන්නේ වොච්ටවර් ගොවිපොළේ. ඇයට දැන් අවුරුදු අනූ ගණනක් විතර ඇති. ඇගේ සෞඛ්‍ය තත්වය දුර්වල නිසා ඇයව අපගේ සාත්තු නිවාසයේ රැකබලා ගන්නවා.

මගේ පවුලේ අයගෙන් රසල් සහ ක්ලාරා විතරයි තවමත් ජීවතුන් අතර ඉන්නේ. රසල්ට දැන් අවුරුදු අනූවකටත් වඩා වැඩියි. ඔහු බෘක්ලින් බෙතෙල් නිවසේ විශ්වාසවන්තව සේවය කරනවා. විවාහයෙන් පස්සේ බෙතෙල් නිවසේ නැවතීමට අවසර ලැබූ පළමු අය අතරේ ඔහුත් එක් කෙනෙක්. වර්ෂ 1952දී ඔහු සෙසු බෙතෙල් සාමාජිකාවක් වන ජීන් ලාසන් සමඟ විවාහ වුණා. ජීන්ගේ සහෝදරයා වන මැක්ස් 1939දී බෙතෙල් නිවසේ සේවය සඳහා ආවා. වර්ෂ 1942දී නේදන්ට පස්සේ මුද්‍රණ කටයුතු භාර අවේක්ෂකයා ලෙස සේවය කළේ ඔහුයි. මැක්ස් තවමත් බෙතෙල් නිවසේ වගකීම් රාශියක් උසුලනවා. ඒ අතර ස්නායු පද්ධතියේ දරුණු ආබාධයක් වන මල්ටිපල් ස්කලරොසිස් රෝගයෙන් පෙළෙන තම ආදරණීය භාර්යාව වන හෙලන්වත් ඔහු රැකබලා ගන්නවා.

යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කළ අවුරුදු 63ක කාලය දිහා ආපසු හැරී බලනකොට මට කියන්න පුළුවන් මගේ ජීවිතය ඇත්තෙන්ම තෘප්තිමත් ජීවිතයක් කියලා. බෙතෙල් නිවස මගේ නිවස වුණා. හිතේ සන්තෝෂයෙන් තවමත් මම එහි සේවය කරනවා. හොඳ වැඩ පුරුදු සහ යෙහෝවාට සේවය කිරීම සඳහා ආශාවක් අපේ හදවත් තුළ ඇති කළාට මම මගේ දෙමාපියන්ට ප්‍රශංසා කරනවා. අපේ පුදුමාකාර සහෝදරත්වයත්, අපගේ සහෝදර සහෝදරියන් සමඟ පාරාදීස පොළොවක අපගේ උදාර මැවුම්කරු මෙන්ම එකම සැබෑ දෙවි වන යෙහෝවාට අනන්ත කාලය දක්වා සේවය කිරීමේ අපේක්ෂාවත් තමයි ඇත්තටම ජීවිතය තෘප්තිමත් කරන්නේ.

[24වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1912දී මගේ දෙමාපියන් විවාහ වූ දිනය

[24වන පිටුවේ පින්තූරය]

වමේ සිට දකුණට: රසල්, වේන්, ක්ලාරා, ආඩිස්, මම සහ කර්ටිස් 1927දී

[25වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1944දී පුරෝගාමි සේවය කරන කාලයේදී. මගේ දෙපස ෆ්‍රාන්සස් සහ බාබ්රා මැක්නොට්

[25වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1951 බෙතෙල් නිවසේදී. වමේ සිට දකුණට: මම, එස්තර් ලෝපෙස් සහ මගේ අයියාගේ භාර්යාව ජීන්

[26වන පිටුවේ පින්තූරය]

නේදන් සහ ඔහුගේ දෙමාපියන් සමඟ

[26වන පිටුවේ පින්තූරය]

නේදන් සමඟ 1955දී

[27වන පිටුවේ පින්තූරය]

නේදන් සමඟ හවායිවල

[29වන පිටුවේ පින්තූරය]

මගේ දෙවෙනි ස්වාමිපුරුෂයා වන ග්ලෙන් සමඟ