Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දෙවන කොරින්ති 6:14හි “නොඇදහිලිකරුවන්” යන යෙදුම පාවිච්චි කිරීමේදී පාවුල් යොමු දක්වන්නේ කාටද?

“නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න” යනුවෙන් 2 කොරින්ති 6:14හි [NW] අපට කියවීමට තිබෙනවා. පාඨ සම්බන්ධය දෙස බලන විට, ක්‍රිස්තියානි සභාවට කොහෙත්ම සම්බන්ධ නැති පුද්ගලයන් ගැන පාවුල් මෙහිදී කතා කරමින් සිටි බව අපට පැහැදිලි වෙයි. “නොඅදහන්නෙකු” හෝ “නොඇදහිලිකරුවන්” යන යෙදුම් පාවුල් භාවිත කළ ආකාරය වාර්තා කරන වෙනත් බයිබල් පදවලින්ද මෙය සනාථ වෙයි.

නිදසුනක් වශයෙන් “නොඇදහිලිකරුවන් ඉදිරියෙහි” නඩු කීම පිළිබඳව පාවුල් ක්‍රිස්තියානීන්ට තරවටු කරයි. (1 කොරින්ති 6:6) මෙහිදී නොඇදහිලිකරුවන් වන්නේ, කොරින්ති උසාවියේ සේවය කරමින් සිටි විනිසුරුවන්. සාතන් “නොඇදහිලිකරුවන්ගේ මනස් අන්ධ කර ඇත” කියා පාවුල් ඔහුගේ දෙවන ලිපියේ සඳහන් කරනවා. ‘වැස්මකින්’ වසා ඇත්තාක් මෙන් එවන් නොඇදහිලිකරුවන්ගේ මනස් වසා තිබෙන බැවින් ඔවුන්ට ශුභාරංචිය වටහාගන්න බැහැ. මෙම නොඇදහිලිකරුවන් යෙහෝවාට සේවය කිරීම සඳහා කිසිම උනන්දුවක් දක්වා නැහැ. මන්ද, පාවුල් ඉහත සඳහන් දේ පැවසීමට කලින් “යෙහෝවා වෙත හැරෙන විට, ඒ වැස්ම ඉවත් කරනු ලැබේ” යයි පැහැදිලි කළා.—2 කොරින්ති 3:16; 4:4, NW.

සමහර නොඇදහිලිකරුවන් නීතිය නොසලකා කටයුතු කරන හෝ රූප අදහන අයයි. (2 කොරින්ති 6:15, 16) එහෙත් හැමෝම යෙහෝවාගේ සේවකයන්ට විරුද්ධ නැහැ. සමහරු සත්‍යය ගැන උනන්දු වෙනවා. බොහෝ නොඇදහිලිවන්තයන්ට ක්‍රිස්තියානි කලත්‍රයන් සිටින අතර ඔවුන් දිගටම එම කලත්‍රයා සමඟ තම පවුල් ජීවිතය ගත කිරීමට කැමති වෙයි. (1 කොරින්ති 7:12-14; 10:27; 14:22-25; 1 පේතෘස් 3:1, 2) කෙසේවෙතත් පාවුල් “නොඇදහිලිකරුවා” යන යෙදුම නිතරම පාවිච්චි කරන්නේ “ස්වාමීන්ව අදහාගෙන” සිටි අයගෙන් සෑදී තිබෙන ක්‍රිස්තියානි සභාවට කිසිම සම්බන්ධයක් නැති ඉහත සඳහන් ආකාරයේ පුද්ගලයන්ට යොමු දැක්වීමටයි.—ක්‍රියා 2:41; 5:14; 8:12, 13.

දෙවන කොරින්ති 6:14හි සඳහන් ප්‍රතිපත්තිය ක්‍රිස්තියානීන්ගේ ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම අදාළ කළ හැකි වටිනා මාර්ගෝපදේශකයක් වන අතර විවාහ කලත්‍රයෙකු සොයන ක්‍රිස්තියානීන්ට එය අනුගමනය කළ යුතු ඥානවන්ත උපදෙසක් ලෙසද ගෙනහැර දක්වා තිබෙනවා. (මතෙව් 19:4-6) කැප වූ බව්තීස්ම ලත් ඥානවන්ත ක්‍රිස්තියානියෙකු නොඇදහිලිකරුවන් අතරින් තම විවාහ කලත්‍රයාව තෝරගන්නේ නැහැ. ඊට හේතුව සැබෑ ක්‍රිස්තියානියෙකුට තිබෙන සාරධර්ම, ඉලක්ක සහ විශ්වාසයන් නොඇදහිලිකරුවන්ගේ ඒවාට වඩා බෙහෙවින් වෙනස් වීමයි.

කොහොමවුණත්, බයිබලය පාඩම් කරන සහ ක්‍රිස්තියානි සභාවත් සමඟ ඇසුරු කරන අය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් සම්බන්ධයෙන් තත්වය කුමක්ද? ඔවුන් නොඇදහිලිකාරයන්ද? නැහැ. ශුභාරංචියේ සත්‍යය පිළිගෙන බව්තීස්මය කරා දිගටම දියුණු වෙමින් සිටින පුද්ගලයන්ට නොඇදහිලිකරුවන්යයි නොකිව යුතුයි. (රෝම 10:10; 2 කොරින්ති 4:13) සිය බව්තීස්මයට කලින් කොර්නේලියස්ව හඳුන්වනු ලැබුවේ “දෙවි කෙරෙහි භය ඇතිව සිටි භක්තිවන්ත මිනිසෙකු” ලෙසටයි.—ක්‍රියා 10:2, NW.

එසේනම් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ලෙසට පිළිගෙන තිබෙන කෙනෙකු සම්බන්ධයෙන් 2 කොරින්ති 6:14 අදාළ නොවන බැවින් එවැනි පුද්ගලයෙකු සමඟ පූර්ව විවාහ ඇසුරේ යෙදීම මෙන්ම ඔහු සමඟ විවාහ වීම කැප වූ ක්‍රිස්තියානියෙකුට ඥානාන්විත දෙයක් වෙයිද? නැහැ ඒක ඥානවන්ත දෙයක් නෙවෙයි. ඒ ඇයි? වැන්දඹුවන් ගැන පාවුල් දුන් ඍජු උපදෙස ඊට හේතුවයි. පාවුල් මෙහෙම ලිව්වා. “තමන් කැමති කෙනෙකු සමඟ විවාහ වීමට ඇය නිදහස්ව සිටින්නීය. නමුත් ස්වාමීන් තුළ පමණි.” (1 කොරින්ති 7:39, NW) එම උපදෙසට එකඟව “ස්වාමීන් තුළ” සිටින අය අතරින් පමණක් විවාහ කලත්‍රයන් සෙවීමට කැප වූ ක්‍රිස්තියානීන්ට දිරිගන්වා තිබෙනවා.

“ස්වාමීන් තුළ” හා ඊට සම්බන්ධ “ක්‍රිස්තුස් තුළ” යන යෙදුම්වල අර්ථය කුමක්ද? “ක්‍රිස්තුස් තුළ” හෝ “ස්වාමීන් තුළ” සිටි පුද්ගලයන් ගැන රෝම 16:8-10හි සහ කොලොස්සි 4:7හි පාවුල් කතා කරයි. ඔබ එම පද කියෙව්වා නම් එවැනි අය ‘හවුල් සේවකයන්,’ ‘අනුමැතිය ලබා තිබෙන අය,’ ‘ප්‍රේමණීය සහෝදරයන්,’ ‘විශ්වාසවන්ත දේවසේවකයන්’ සහ ‘සෙසු දාසයන්’ වූ බව ඔබට වැටහෙයි.

කෙනෙකු “ස්වාමීන් තුළ . . . දාසයෙකු” බවට පත් වන්නේ කොයි අවස්ථාවේදීද? එය සිදු වන්නේ ඔහු කැමැත්තෙන්ම දාසයෙකු විසින් කළ යුතු දෙය කරන විටයි. එනම් තමාවම නොසලකන විටයි. යේසුස් මෙසේ පැහැදිලි කරයි. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම්, ඔහු තමාවම නොසලකා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා!” (මතෙව් 16:24, NW) කෙනෙක් ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමටත් දේවකැමැත්තට පූර්ණ ලෙස තමාව යටත් කිරීමටත් පටන්ගන්නේ දෙවිට කැප වන අවස්ථාවේදීයි. ඉන්පසුව ඔහු බව්තීස්මයට ඉදිරිපත් වන අතර එමගින් යෙහෝවා දෙවි විසින් පත් කරන ලද ඔහුගේ අනුමැතිය ලත් දේවසේවකයෙකු බවට පත් වෙයි. * එසේනම්, ‘ස්වාමීන් තුළ විවාහ වීමෙන්’ අදහස් කරන්නේ තමා ඇත්තෙන්ම අදහන්නෙකු බව ඔප්පු කළ “දෙවිගේත්, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේත් දාසයෙක්” වන කැප වූ කෙනෙක් සමඟ විවාහ වීමයි.—යාකොබ් 1:1.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරමින් හොඳ ආත්මික දියුණුවක් ලබමින් සිටින කෙනෙක් ප්‍රශංසාව ලබන්න වටින තැනැත්තෙක්. ඒ කෙසේවෙතත් ඔහු තවමත් යෙහෝවාට තමාව කැප කර හෝ ඔහුගේ සේවයට හා ආත්ම පරිත්‍යාගී ජීවිතයකට තමාව යොදාගෙන හෝ නැහැ. ඔහු තවමත් අවශ්‍ය වෙනස්කම් කරමින් සිටියි. විවාහය වැනි ජීවිතයේ විශාල වෙනසක් සිදු කිරීම ගැන කල්පනා කිරීමට පෙර, කැප වූ බව්තීස්ම ලත් ක්‍රිස්තියානියෙකු වීමට ඇතුළත් ප්‍රධාන වෙනස්කම් ඔහු සිදු කළ යුතුයි.

ප්‍රගතිශීලී බයිබල් ශිෂ්‍යයෙක්යයි පෙනී යන කෙනෙකු සමඟ, සමහර විට ඔහු බව්තීස්ම වන තුරු ඔහු සමඟ විවාහ නොවීමට අදිටන් කරගෙන පූර්ව විවාහ ඇසුරක් ඇරඹීම ක්‍රිස්තියානියෙකු සඳහා ඥානාන්විත දෙයක් වේවිද? නැහැ. කැප වූ ක්‍රිස්තියානියෙක් තමා සමඟ විවාහ වීමට කැමති වුවත් තමා බව්තීස්ම වන තුරු එසේ නොකරන බව බයිබල් ශිෂ්‍යයෙකු දැනගත්තොත් සමහරවිට ඔහු බව්තීස්ම වෙන්නේ වැරදි චේතනාවක් මත විය හැකියි.

බොහෝවිට පුද්ගලයෙකු බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකුව සිටින්නේ සීමිත කාල පරිච්ඡේදයකට පමණයි. ඒ කියන්නේ ඔහු බව්තීස්මය දක්වා දියුණු වන තෙක් පමණයි. එම නිසා ස්වාමීන් තුළ පමණක් විවාහ වීම සඳහා දී තිබෙන ඉහත සඳහන් උපදේශය අසාධාරණ දෙයක් නොවෙයි. එහෙත් විවාහ වීමේ වයසට පැමිණ සිටින, ක්‍රිස්තියානි පවුලක ඇති දැඩි වූ, වසර කිහිපයක් පුරා සභාව තුළ ක්‍රියාශීලීව කටයුතු කර ඇති, බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ගැන කුමක් කිව හැකිද? තත්වය ඒක නම් යෙහෝවාට තම ජීවිතය කැප කිරීමෙන් ඔහුව වළක්වා තිබෙන්නේ කුමක්ද? ඔහු පසුබට වන්නේ ඇයි? ඔහුට යම් සැකයන් තිබෙනවාද? ඔහු නොඇදහිලිකරුවෙක් නොවූවත්, “ස්වාමීන් තුළ” සිටින කෙනෙකු ලෙස ඔහුව හඳුන්වන්න බැහැ.

විවාහය සම්බන්ධව පාවුල් දුන් උපදෙස් අපගේම ප්‍රයෝජනය උදෙසායි. (යෙසායා 48:17) විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින කලත්‍රයන් දෙදෙනාම යෙහෝවාට කැප වී සිටින විට, විවාහය තුළ ඔවුන් එකිනෙකා අතර තිබෙන බැඳීමට ශක්තිමත් ආත්මික අඩිතාලමක් තිබෙනවා. ඔවුන්ට එකම සාරධර්ම හා ඉලක්ක තිබෙනවා. මෙය සන්තෝෂවත් සම්බන්ධයකට බෙහෙවින් දායක වන දෙයක්. තවද ‘ස්වාමීන් තුළ විවාහ වීමෙන්’ කෙනෙක් යෙහෝවාට පක්ෂපාතකම පෙන්වන අතර එය සදාකාලික ආශීර්වාදවලට මඟ පාදයි. මන්ද “පක්ෂපාත කෙනෙකු සමඟ [යෙහෝවා] පක්ෂපාතව කටයුතු කරන්නේය” කියා බයිබලය පවසනවා.—ගීතාවලිය 18:25, NW.

[පාදසටහන]

^ 10 ඡේ. පාවුල් මුලින්ම මෙම වදන් ලියුවේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි. ඔවුන් “ස්වාමීන් තුළ . . . දාසයෙකු” වීමේදී, දේවපුත්‍රයන් සහ ක්‍රිස්තුස්ගේ සහෝදරයන් වශයෙන් අභිෂේක කරනු ලැබීමත් ඇතුළත් වුණා.

[31වන පිටුවේ පින්තූරය]

“පක්ෂපාත කෙනෙකු සමඟ [යෙහෝවා] පක්ෂපාතව කටයුතු කරන්නේය.”