Skip to content

පටුනට යන්න

යේසුස් කළ ප්‍රාතිහාර්යයන් සැබෑ සිදුවීම්ද නැතහොත් ප්‍රබන්ධ කථාද?

යේසුස් කළ ප්‍රාතිහාර්යයන් සැබෑ සිදුවීම්ද නැතහොත් ප්‍රබන්ධ කථාද?

යේසුස් කළ ප්‍රාතිහාර්යයන් සැබෑ සිදුවීම්ද නැතහොත් ප්‍රබන්ධ කථාද?

“භූතාවේශ වූ බොහෝදෙනෙක් ඔහු [යේසුස් ක්‍රිස්තුස්] වෙත ගෙනෙන ලද්දෝය. ඔහු වචනයකින් ආත්මයන් දුරු කර, අසාධ්‍ය තත්වයක සිටි සියල්ලන්ව සුව කළේය.” (මතෙව් 8:16, NW) “ඔහු [යේසුස්] අවදිව සුළඟට තරවටු කරමින්, ‘නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න!’ කියා මුහුදට පැවසීය. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලතාවක් ඇති විය.” (මාක් 4:39, NW) ඔබ මෙම ප්‍රකාශයන් සලකන්නේ කෙසේද? ඒවායින් විස්තර කෙරෙන්නේ සැබෑ, ඓතිහාසික සිදුවීම්යයි ඔබ විශ්වාස කරන්නෙහිද? නැතහොත් ඔබට හැඟෙන්නේ ඒවා හුදු මිථ්‍යාවන් වූ උපහැරණ කතා බවද?

යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් ඇත්තටම ඉතිහාසයේ සිදු වීදැයි කියා අද දින බොහෝදෙනෙක් බෙහෙවින් සැක පහළ කරති. දුරේක්ෂය හා අන්වීක්ෂය, අභ්‍යවකාශ ගවේෂණය හා ජාන ඉංජිනේරු විද්‍යාව දියුණු වී ඇති මේ යුගයේ ප්‍රාතිහාර්යමය ක්‍රියා සහ අධිමානුෂික සිදුවීම් සඳහා තිබෙන්නේ සුළු පිළිගැන්මක් බව පෙනෙන්න තිබේ.

ප්‍රාතිහාර්යයන් පිළිබඳ වාර්තා විශ්වාස කළ නොහැකි බව හෝ ඒවා උපහැරණ වශයෙන් දක්වා ඇති බවයි ඇතමුන්ගේ අදහස. “සැබෑ” යේසුස්ව හෙළි කරනවායයි පැවසෙන පොතක ලේඛකයෙකු කියා සිටින්නේ ක්‍රිස්තුස්ගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳ කතන්දර ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත කිරීමට යොදාගන්නා “වෙළඳ උපක්‍රමවලට” වඩා වැඩි දෙයක් නොවන බවය.

වෙනත් අය යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් සලකන්නේ සම්පූර්ණ ප්‍රෝඩාවක් වශයෙනි. මුළා කිරීමේ වරදට යේසුස්ද හසු වී සිටිනවායයි පැවසේ. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ විසූ ජස්ටින් මාටර්ට අනුව යේසුස්ගේ වැරදි සෙවූ අය “ඔහුව විජ්ජාකාරයා කියාද, මිනිසුන්ව රවටන්නා කියාද හැඳින්වීමට පටන්ගත්හ.” සමහරු පවසන්නේ, යේසුස් ප්‍රාතිහාර්යයන් සිදු කළේ “යුදෙව් ප්‍රොපේතවරයෙකු ලෙස නොව මිථ්‍යාදෘෂ්ටික සිද්ධස්ථානවල පුහුණුව ලත් විජ්ජාකාරයෙකු ලෙසය කියායි.”

නොහැකිකම යනු කුමක්ද?

ජනයා ප්‍රාතිහාර්යයන් විශ්වාස කිරීමට අදිමදි කරන්නේ මන්දැයි යන්නට ප්‍රධාන හේතුව එවැනි සැකයන් මගින් හෙළි වේයැයි ඔබට හැඟිය හැක. අධිස්වාභාවික බලයන් ක්‍රියාත්මක විය හැකි බව සිතීම ඔවුන්ට අසීරු දෙයක් පමණක් නොව එය පිළිගැනීමටද නොහැකි දෙයකි. “ප්‍රාතිහාර්යයන් සිදු නොවන බව නම් ස්ථිරයි” කියා අඥේයවාදියෙකුයයි කියාගන්නාවූ යෞවනයෙක් පැවසුවේය. ඔහු 18වන සියවසේ විසූ ස්කොට්ලන්ත ජාතික දාර්ශනිකයෙකු වූ ඩේවිඩ් හියුම්ගේ වදන් මෙසේ උපුටා දැක්වීය. “ප්‍රාතිහාර්යයක් යනු ස්වාභාවික නීතිවලට පටහැනිව දිව යන්නකි.”

කෙසේවුවත්, යම් සිද්ධියක් විය නොහැකි බව තරයේ කියා සිටීම ගැන බොහෝදෙනෙක් දෙවරක් සිතා බලති. විශ්වකෝෂයක් වන ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියාහි ප්‍රාතිහාර්යයන් හඳුන්වන්නේ “ස්වභාවධර්මයේ පවතින අප දන්නා නීති මගින් පැහැදිලි කළ නොහැකි සිද්ධීන්” වශයෙනි. මෙම නිර්වචනයට අනුව, මීට සියවසකට පෙර සිටියාවූ අයට ගුවන් ගමනාගමනය, විද්‍යුත් සන්නිවේදනය හා චන්ද්‍රිකා යැවීම ගැන අහන්න ලැබුණා නම් එය ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට “ප්‍රාතිහාර්යයන්” මෙන් පෙනෙන්න තිබෙනු ඇත. වත්මන් දැනුමට අනුව ප්‍රාතිහාර්යයන් ගැන අපට පැහැදිලි කළ නොහැකි නිසාම ඒවා සිදු විය නොහැකියයි තරයේ කියා සිටීම ඇත්තෙන්ම අනුවණකමකි.

යේසුස් ක්‍රිස්තුස් හා බැඳි ප්‍රාතිහාර්යයන් සම්බන්ධයෙන් තිබෙන ඇතැම් ශුද්ධ ලියවිලිමය සාක්ෂි අපි සෝදිසි කර බැලුවොත් අප කුමක් දැනගනු ඇද්ද? යේසුස් කළ ප්‍රාතිහාර්යයන් සැබෑ සිදුවීම්ද නැතහොත් ප්‍රබන්ධ කථාද?